Showing posts with label මම කියවපු පොත්. Show all posts
Showing posts with label මම කියවපු පොත්. Show all posts

Thursday, August 20, 2020

ගැබී

The Long Road Home - Danielle Steel

ගැබී- කෝශලී සිරිචන්ද්‍ර

 

       ගැබී ප්‍රබන්ධයකි. එය ධෛර්ය, බලාපොරොත්තුව හා ආදරය පිළිබඳ දැනෙන කතාන්දරයකි. 

       අම්මාගේ සපත්තු වල තියුණු අඩි ශබ්දය ඇසෙනවිට ගැබ්‍රියෙල්ලා මවගේ ඇඳුම් අල්මාරියේ සැඟව සිටියාය. ඇය නිසැකවම තමාව සොයාගන්නා බවත් ඉන්පසු සිදුවෙන දේත් දැන දැනම ඇය එහි සැඟව සිටියාය. සැඟවෙන්නට තැනක් එම නිවසේ ඇයට නොවීය. මවගේ පහරදීම් වලින් ඇයව ගලවාගන්නට කිසිවෙකුත් එහි නොවීය.

    ඩැනියල් ස්ටීල් The Long Road Home ලියන්නට පටන් ගන්නේ කියවන කෙනෙකුට දරාගත් නොහැකි මට්ටමට මවගේ අමානුෂික පහරදීම් වලට ලක්වෙන දැරියකගෙනි. මුල් පරිච්ඡේදය කියවන විට පොත පැත්තකට දමන්නටත් මේ තරම් අමානුෂික මවක් හිතේ ඇඳගෙන ඇය මේවා කෙසේ ලීවාදැයි හිතෙන තරමටම එය මා සංවේදී කොට තිබුනි. එහෙත් මේ දැරියගේ ඉරණම කෙසේ විසඳේදැයි යන කුහුලෙන් යළි කියවන්නට සිතුනි.

            ඇය ඉපදුණු මොහොතේ සිටම ඇයට මවගෙන් වෛරය හැර වෙන කිසිවක් නොලැබෙන අතර, ඇගෙන් ලැබෙන පහර දීම් වලට හේතුව බොහෝ විට ඇය අහම්බෙන් යමක් බිම දැමූ නිසා හෝ ඇයගේ හැසිරීම මව සතුටු කිරීමට ප්‍රමාණවත් නොමැති නිසාය. ඇගේ පියා ඇය මවගෙන් ගලවා ගැනීමට කිසිවක් නොකරයි. ඇගේ මව ඇයට නිතර පහර දෙන්නේත් ඇගේ පියා ඒවා නොදැක්කා සේ ඉන්නේත් තමන්ගේ ඇති වැරදි නිසා යැයි ගැබී සිතයි. ඇගේ මව තනි වචනයකින් විග්‍රහ කලහොත් ඇය යක්ෂණියකි. ඇය සිය දරුවාට වෛර කළාය, ඇයට ඊර්ෂ්‍යා කළ අතර කුඩා දැරිය දුක් විඳිය යුත්තේ කෙසේදැයි ඇය දැන සිටියාය. අවුරුදු 9 කට පසු ඇගේ පියා ඔවුන් දෙදෙනා හැර ගිය විට ඇගේ මව ඇයව කන්‍යාරාමයේ තබා දෙවන විවාහයට යාමට තීරණය කරයි. 

         ගැබී ගේ මව ඇය වෙනුවෙන් කල හොඳ දෙයක් ඇත්නම් ඒ ඇයව කන්‍යාරාමයට බාර දීම පමනි. කන්‍යාරාමයේදී ඇයට පවුලක් ලැබේ, ආදරය හා රැකවරණය ලැබේ, ලිවීමට ඇති ඇගේ ආශාව අගය කෙරේ. නමුත් අතීතයේ භීෂණය ඇයව අත්හරින්නේ නැත. ඇයට 30 හැවිරිදි කඩවසම් පූජකවරයකු වන ජෝ කොනර්ස් මුණ ගැසෙන අතර වැඩි කල් නොගොස් ඔවුන් මිත්‍රත්වයක් ගොඩනඟා ගනී. අවසානයේදී එය ප්‍රේම සම්භන්ධයක් දක්වා දුර යයි. ඔවුන්ගේ ලෝකය තුළ ආදරය තහනම් නමුත් ඔවුන්  ඒ වෙනුවෙන් සටන් කිරීමට තීරණය කරයි. නැතහොත් පොත කියවාගෙන යද්දී අපට  සිතන්නේ එයයි. අපේ සිතුවිලි බිඳ දමමින්  ජෝ සියදිවි නසා ගන්නා අතර ගැබීට ඔහුගේ මරණයට හේතු වූයේ ඇයගේ වරදක් යැයි යන හැඟීම ඉතිරි වේ. ඇය ගැබ්ගෙන ඇති බව දැනගන්නා අතර ජෝගේ මරණය පිළිබඳ පුවත දරුණු ගබ්සාවකට තුඩු දෙයි. ඇයව කන්‍යාරාමයෙන් ඉවතට ඇද දමන අතර සෙමෙන් ඇය නිව්යෝර්ක්හි තමා වෙනුවෙන් නව ජීවිතයක් ගොඩනඟයි. ඇය නැවතී සිටීමට බෝඩිමක් සොයාගනී, එහිදී ඇයට වයස්ගත් මහාචාර්ය වරයෙක් හමුවන අතර ඔහු ඇයට දුවෙකුට මෙන් ආදරය කරයි., ඇයගේ ලේඛන කලාව දියුණුකරගැනීමට ඔහු ඇයට මඟ පෙන්වමින් ඇයට බොහෝ උපකාර කරයි. ඇයට ස්ටීව් නම් පෙම්වතෙක් හමුවේ. ඇය ඔහුට ආදරය නොකලත් ඔවුන් අතර සම්භන්දයක් ඇතිවේ. දැන් ඇය වෙනුවෙන් දේවල් සුමට වනු ඇතැයි පොත කියවන අපට සිතන විට, ඒ මිනිහා වංචාකාර මිනිසෙකු මිස අන් කිසිවක් නොවන බවත් ඔහු ඇය සමඟ සිටින්නේ ඇය උපයාගත් මුදල් සඳහා පමණක් බවත් ඇයට දැනගන්නට ලැබේ. මහාචාර්යවරයා ස්ටීව් ගේ රහස දැනගෙන ගැබීව අතහරින්නයැයි පවසයි. ස්ටීව්ගේ පහර දීමෙන් මහාචාර්යවරයා මියයයි. ඔහුගේ අවසන් කැමැත්ත අනුව ගැබීට විශාල මුදලක් හිමිවේ. ස්ටීව් එය ඉල්ලා ඇයට කරදර කරයි. ඇය එය ප්‍රතික්ෂෙප කරන විට ඔහු ඇයට දරුණු ලෙස පහර දී ඇයව මරා දමයි. ඇයව රෝහලට ගෙන යන අතර තරමක් ආශ්චර්යමත් ලෙස ඇගේ ජීවිතය බේරෙයි. ඇය සිටින රෝහලේ වෛද්‍ය පීටර් සමඟ මිත්‍ර වී එකිනෙකාට කැමති වීමට පටන් ගනී. අවසානයේදී, ගැබීට ඇගේ දෙමාපියන් ආදරය නොකිරීමට හේතුව සහ ඇය අතහැර දැමීමට හේතුව දැනගැනීමට උවමනා වේ. ඇය තම පියා බැලීමට ගොස් ඇයව බේරා ගැනීමට තරම් ශක්තියක් ඔහුට නොවූ බවත් තවමත් ඔහු දුර්වලයෙකු බවත් වටහා ගනී. ඉන්පසු ඇය කැලිෆෝනියාවේ සිටින තම මව හමුවීමට තීරණය කරයි. ඒ වනවිට ඇය මියගොස් වග ඇගේ සැමියාගෙන් දැනගන්නට ලැබේ.ඇගේ මව ආදරය කළ හැකි කාන්තාවක් නොවනබවත්, ඇය යක්ෂනියක් වැනි කාන්තාවක් බවත්  ඇගේ සුළු පියා දැන ගනී. ගේබ්‍රියෙලා අවසානයේ ඇගේ අතීත ජීවිතයෙන් මිදීම සොයා ගන්නා අතර වෛද්‍ය පීටර් සමඟ ඇය නව ආරම්භයක් කරා ගමන් කරයි.

                           මම ඩැනියෙල් ස්ටීල් ගේ පොත් කීපයක් කියවා තිබේ. ඒවායේ චරිත අතරින් දුක සිතෙනා සහ කියවනවිට කඳුලු සලන්නට සිතෙනා කතාවක් තිබුනේ ගැබ්‍රියෙල්ලාට පමනි. ඇගේ මව කොයිතරම් කුරිරුදැයි සිතුනි. ප්‍රබන්ධයක් උනත් ඇයට වෛරකරන්නට මට සිතුනි. එහෙත් ගැබ්‍රියෙල්ලා, ඇය අසරණ වන හැම මොහොතකම ශක්තිමත් වූවාය. කෙසේ හෝ ඇගේ ජීවිතය බේරාගත්තාය. එකකට පසු තවත් නරක දෙයක් ඇයට සිදු වන අතර ඇය ඒවා සමඟ පුදුම ලෙස සටන් කරයි. ජෝ කොනර්ස්, පූජකයා සහ ඇගේ පෙම්වතා ඇගේ පියාගේ චරිතයට සමාන චරිතයකි. මම ඔහුට අනුකම්පා කළත්, ඔහු බොහෝ මට්ටම්වල දුර්වලයෙක් විය. මම මෙම පොත අවසානය දක්වා කියවීමෙන් සතුටක් ලැබුවෙමි. පොත කියවා නොමැතිනම් ඔබත් කියවන්න. ආශිර්වාද ප්‍රකාශනයකි. 

My rating 5/5

Friday, August 14, 2020

සොරාගත් මතක



 Tell Me your Dreams - Sidney Sheldon

සොරාගත් මතක - කෝෂලී සිරිචන්ද්‍ර
ප්‍රධාන චරිත
ඈෂ්ලි පැටර්සන්, ඇලෙත් පීටර්ස්, ටෝනි ප්‍රෙස්කෝට්, ඩේවිඩ් සිංගර්, ස්ටීවන් පැටර්සන්, ගිල්බට් කේලර්, ජෙසී ක්විලර්
ඈෂ්ලි පැටර්සන් , සිලිකන් වැලී හි පිහිටි පරිගණක ග්‍රැෆික් සමාගමක සේවය කරන බුද්ධිමත් තරුණියකි. ඇය තනිකඩය, විනෝදශීලී නැත. තනිවම ඇගේ නිවසේ හුදකලාව ජීවත් වේ. කවුරුන් හෝ ඇය පසුපස එන බවක් ඇයට දැනෙන්නට පටන් ගනී. ටෝනි ප්‍රෙස්කෝට් සහ ඇලෙත් පීටර්ස් ඈෂ්ලිගේ සම සේවකයින් වේ.
ටෝනි අන්තර්ජාලයේ චැට් රූම් වලට ගොස් චැට් කරන්නට සහ ඩිස්කෝ ඩාන්ස් වලට ප්‍රිය කරයි. ඇලෙත් චිත්‍ර අඳින්නට සහ කෞතුකාගාර නරඹන්නට ප්‍රිය කරයි.
ඔවුන් දෙදෙනාම ඈෂ්ලිව ඇගේ ඒකාකාරී ජීවිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරති. ඈෂ්ලි, ටෝනි සහ ඇලෙත් ගේ නම් මිනීමරුම් කීපයකට ඈඳෙයි. එම මිනීමරුම් සියවසේ විකාර සහගත නඩු විභාගයකට මග පාදයි.
සිඩ්න් ෂෙල්ඩන් විසින් රචිත Tell Me Your Dreams කෘතිය "සොරාගත් මතක" ලෙස කෝෂලී සිරිචන්ද්‍ර විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. මෙම කෘතිය ප්‍රබන්ධයක් වන මුත් එයට සත්‍ය සිදුවීම් පදනම් වූ බව පැවසේ. මෙම පොත මම සැබවින්ම කියවා රස වින්ඳෙමි. ඊළඟට කුමක් වේදෝ යැයි කුතුහලයෙන් පෙළුනෙමි. අධිකරණය හෝ අපරාධ නීති ගැන දැනුමක් නැති වුවත් අධිකරණයක නඩුවක් අසන අවස්ථාවක් හිතෙන් මවා ගෙන පොත කියවීම අපහසු නැත. බහු පෞර්ෂ ආබාධය ( Dissociative identity disorder (DID) නම් මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ අසා නොතිබුනි. එක පුද්ගලයෙක් තුල පුද්ගලයන් කීප දෙනෙක් ජීවත්වීම සහ ඔවුන් ගතිගුණ වලින් එකිනෙකාට වෙනස්වීමත් යම් යම් අවස්ථාවල සැබෑ පුද්ගලයාගේ මනස අනෙකාට පාලනය කිරීමත් කලහැකි බව දැනගත්විට ගූගල් හරහා එම රෝගය පිළිබඳ කරුණු සෙවීම බොහෝ කුතුහලය දනවන්නක් විය.
ඈෂ්ලි කුඩා වියේදී සිය පියා විසින් අපහරණයට ලක් කොට තිබුනි. ඒ පිළිබඳ මව දැනුවත් කලද ඇය එය නොසකලා ඈෂ්ලිව නොසලකා හැර තිබුනි. එම හේතුවම ඇයව ඇයටත් හොරා මානසික රෝගියෙක් කර තිබුනි. අවසානයේ ඇයත් නොදැන ඇය විසින් පස් දෙනෙක්ව අමානුෂික විදිහට ඝාතනය කොට තිබුනි.
කියවලා නැති අය කියවන්න. ආශිර්වාද ප්‍රකාශනයක්.

Monday, June 29, 2020

කුමර කොබෙයි


                                      ශමෙල් ජයකොඩි මහත්මියගේ ඇමෙරිකා කියවා අවසන් වූ සැනෙන් "කුමර කොබෙයි" පොත ලැබුණි. "ඇමෙරිකා" පොතට වඩා වෙනස් කතාවක් "කුමර කොබෙයි" හි ගැබ්වී තිබේ. මා ඇගේ පොත් වලින් කියවා ඇත්තේ අනන්ත දේශය, ඇමෙරිකා සහ කුමර කොබෙයි පමනි. අනෙක් පොත් දෙකට වඩා "කුමර කොබෙයි" මාගේ සිත් ගත්තේ එහි කතා නායිකාවන් තිදෙනාගේ ගතිගුණ අඩු වැඩි වශයෙන් මා තුලත් තිබෙන නිසා යැයි සිතමි.
                                                       කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයකින් ඇමරිකා මහද්වීපය හරහා යෙදෙන දින හතක චාරිකාවක් පදනම් කරගෙන මෙම පොත රචනා කර ඇත. එහි ප්‍රධාන කතා නායිකාව වන ඉන්දිකා කැනඩාවේ කෘෂි ආයතනයක රැකියාව කරන යම් යම් හේතු නිසා විවාහය ප්‍රමාද වූ අයෙකි. ඇයට සැන් ෆ්‍රැන්සිස්කෝ වල වීසා නොමැතිව රැඳී සිටින නොදුටු පෙම්වතෙක් සිටියි. කාන්තාවක් ලෙස දරුවන් ලබන සරු කාල සීමාවේ කෙලවරේ සිටින ඇයට විවාහ වන්නට හෝ දරුවෙක් ලබන්න යැයි මිතුරියන් ඉල්ලා සිටියි. ඇගේ පෙම්වතා කාලිංග බලන්නට ඇය ඇගේ මිතුරියන් වන නිර්මලා සහ අරුන්දතී සමග  ඇමරිකා මහාද්වීපය හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ යයි.
                                             චාරිකාව අතර තුරදී ඔවුන් තිදෙනාගේ ජීවිතය විටින් විට පර්ච්ඡේද වශයෙන් දිග හැරේ. ඔවුන්ගේ ජීවිත අසාර්ථක නැත. ඔවුන් කිසියම් මාර්ගයකින් ජීවිතයේ සාර්ථකත්වය ලැබූවන්ය. එහෙත් ඔවුන්ගේ ජීවිත තුල කඩා වැටීම්ද ඇත. 
                                         නිර්මලා දක්ෂ ව්‍යාපාරිකාවකි. දරුවන් දෙදෙනා සමග සාරවත් ජීවිතයක් ගත කරයි. එහෙත් ඇගේ සැමියාට අනියම් සබඳතා දෙකකි. දරුවන්ද සිටී. ඇය ඒ බව දැන දැනත් ඒ ඔහුගේ චරිත ස්වභාවය බව සිතා ඔහුට කැමති දෙයක් කරන්නට ඉඩදී දරුවන් සමග ජීවත්වෙයි.
                     අරුන්දතී ට දරුවන් දෙදෙනෙකි. ඇගේ පළමු සැමියා (වීසා ගැනීමට කරගත් විවාහයකි ) මිය ගොස්ය. ඔහුත් දැනුවත්ව ඇයගේ තිබූ සම්භන්දයෙන් ලැබුනු දරුවන් දෙදෙනා සමග ඇය ජීවත්වෙයි. සූදුවට හා බීමට  ඇබ්බැහිවී පුනරුත්තාපනය වන ඇගේ දරුවන්ගේ පියා ඇවිත් රැගෙන යන ලෙස ඔහුගේ පෙම්වතිය කරන ඉල්ලීම මත ඇය ඔහු සොයා ඉන්දිකාලගේ ගමනට එකතුවෙයි. අරුන්දතීට වෙනත් පෙම්වතෙකුද ඇත.
                            තුන් ආකාරයක ගති ගුණ ඇති කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතෙන මෙම කතාව මම එක හුස්මට කියවා අවසන් කලෙමි. ටිකින් ටික කියවා රස විඳින්නට නොහැකි තරම් එය මාව ආශක්ත කරගෙන තිබුනි.
             කාන්තාවන් වේවා, පිරිමින් වේවා අප ලෝකයට පෙන්වන අපේ ජීවිතයට වඩා හාත්පසින් වෙනස් කතාවක් අභ්‍යන්තරයේ තිබිය හැක. ජීවිතයේ කොටසක් සාර්ථක වෙද්දී කොටසක් අසාර්ථක විය හැක.
               ඔවුන්ගේ චාරිකාවේදී ඇමරිකාවේ නගර එහි සුවිශේෂී ස්ථාන සහ භූ විෂමතා, එහි ජන ජීවිතය පිළිබඳවද විස්තර කෙරේ. ඇමෙරිකා සහ කුමර කොබෙයි කියවූ පසු ඇමෙරිකාව පිළිබඳ මම මවාගෙන සිටි චිත්ත ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඒ වගේම කතුවරිය අපේ මවු රට ලංකාව තරම් ජීවත් වෙන්න හොඳ රටක් නොමැතිබව නොකියා කියන බවත් වැටහුනා. 
         


               
  

Thursday, June 25, 2020

ඇමෙරිකා


ඇමෙරිකා- ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි මහත්මිය, ස්වර්ණ පුස්තක සම්මානයට කීප වතාවක්ම නිර්දේශ උන වෙනස් ආකාරයේ පොත් රචනා කරන ලේඛිකාවක්. පුස්තකාලයේ පොත් රාක්ක වලට එකතු වූ අලුත් පොත් අතරේ ඇගේ "ඇමෙරිකා" පොතත් තිබුනා. පොත කියවන පළවෙනි සාමාජිකයා වෙමින් පොත මම අරගෙන ආවා.
           විදෙස් රටකට ගිහින් ලංකාවට වඩා හොඳ ජීවිතයක් ලබාගන්න බොහෝ දෙනෙක් හීන මවනවා. ලංකාවේ ඉඳලා වැඩක් නෑ වෙන රටක පදිංචියට ගියොත් දරුවන්ටවත් හොඳ කලක් යයි කියලා කියන අයත් ඉන්නවා.  අපේ ගති සිරිත් සංස්කෘතික ලක්ෂණත් අරගෙන ගිහින් විදෙස් රටක පදිංචිවෙලා, වෙනස් සංස්කෘතියක් වෙනස් ජීවන රටාවක් වෙනස් මිනිසුන් අතරේ අපේ විදිහට ජීවත්වෙන්න ගිහාම ලොකු ඝට්ටනයකට මුහුණ දෙන්න වෙනවා. 
                මෙම පොතේ කතා නායකයා සහ නායිකාවත් ඒ වගේ ලොකු ඝට්ටනයකට මුහුණ දෙනවා. හොඳ රැකියා ලැබුනත් මිල මුදල් ගෙවල් යාන වාහන සැප සම්පත් ලැබුනත් ඔවුන්ට එයින් තෘප්තියක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම කතාව කියවාගෙන යනකොට අනිත් රටවල් වලින් පැමින ඇමෙරිකාවේ පදිංචි උන පුද්ගලයින් පවා ඔවුන්ගේ රටේ ජීවත්වූ ආකාරයට ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙන්වන්නේ. ඇමෙරිකාවේ මිනිස්සු නැහීගෙන වැඩ කරනවා , රජයට බදු ගෙවන ගමන් ඔවුන් බොහොමයක් දෙනා අග හිඟයෙන් තොර දිවියක් ගත කරනවා. සති අන්තයේ සහ නිවාඩු කාලයේ සංචාරයේ යෙදීමෙන් විවිධාකාර විනෝදාංශ වලට යොමුවෙලා සතුටු වෙනවා.
               ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන්ගේ බලපෑමෙන් තොර නිදහස් ජීවිතයක් තිබෙනවා. අපේ රටේ දරුවන් දෙමාපිය අනසක යටතේ ජීවත්වෙන දෙමාපියන්ට උවමනා දේවල් පමනක් කරන (සමහර වෙලාවට විවාහක දරුවන්ගේ ජීවිත පවා ගෙවෙන්නේ ඒ විදිහට ) දරුවන් කොටසක්. ප්‍රදීප් සහ නිලංකාට ඔවුන්ගේ දරුවා ඇමෙරිකාවේ දරුවන් විදිහට හැඩ ගැසී ජීවිතය විනාශ කරගනීදෝ යන බියෙන් ජීවත්වෙන්න සිදුවෙනවා.
                   බොහෝ වෙලාවට විදෙස් රටවල් වල ජීවත්වෙන අපේ රටේ අය ගොඩක් සුව පහසු ජීවිතයක් ගෙවන බව තමයි අපේ රටේ ජීවත්වෙන අය හිතාගෙන ඉන්නේ. ඒ වගේම විදෙස් රටවල ඉන්න බොහොමයක් දෙනා මවා පෙන්වන්නෙත් එහෙමයි. ඒ වගේ වාතාවරණයක් යටතේ කතුවරිය වෙනස් කෝණයකින් මේ පොත ලියනවා. කොටසක් ඒ රටේ සංස්කෘතියට හැඩ ගැහෙනවා ඇති. තමන්ගේ උපන් රට සහ ජීවත්වෙන රට සසඳන්නට යාමෙන් එහෙත් මෙහෙත් දෙදිහා ගැනම කලකිරීමක් තියන ප්‍රදීප් වගේ අයත් ඇති.
           කොහොමත් මිනිස්සු උනාම තමන්ට ජීවත්වෙන්න වෙන වටපිටාවට , රැකියා ස්ථානයට ආශ්‍රය කරන්න වෙන මිනිසුන්ගේ ජීවන රටාවට යම් ආකාරයකට හැඩගැසෙන්න, ගැලපෙන්න වෙනවා. එහෙම නැතුව අපි හුරුවෙලා තියන විදිහට ඒ තැන්වල හැසිරෙන්නත් අනිත් දේවල් සංසන්දනය කරන්නත් ගියොත් අපේ ජීවිත නීරස සහ අතෘප්තිමත් එකක් වෙන්න තියන ඉඩ වැඩියි.
                   ඕනෑම දේක හොඳ සහ නරක දෙකම තියනවා. අපි ගොඩක් වෙලාවට නරක ඉස්මතු කරගන්න උත්සාහ කලාට හොඳ ඉස්මතු කරගන්න උත්සාහ කරනවා අඩුයි. ඕනෑම දේක සුබ සහ හොඳ පැත්ත විතරක් බලනවා නම් නරක සහ අසුබ පැත්ත නොසකලා හරිනවානම් ජීවත්වෙන්න පහසුයි. මෙම කතාවේ ප්‍රදීප්ට ඒ දේ කරන්න බැරිවෙනවා. නිලංකා අදාල තැන අදාල විදිහට හැඩගැහෙන්න යම් තාක් දුරට සමත් වෙනවා. සහන් එරට සමාජය ගැන සහ ඔහුගේ දෙමාපියන් ගැනත් හොඳ වැටහීමකින් ඉන්නවා. 

"ලෝකේ කොහේ ගියත් මනුස්සයෝ කියන අය එකයි. හැමෝම ළඟ හොඳ නරක තියෙනවා. එහෙම හිතුවොත් ඔයාලට ඕනෑ තැනක සතුටෙන් ඉන්න පුළුවනි. "
               -සහන්-

                         පරිවර්තන පොත් කියවන්න හුරුවෙලා උන්න මට අපේ ලේඛිකාවකගේ වෙනස් ආකාරයේ පොතක් කියවන්න ලැබුනාට සතුටුයි. 

Monday, June 15, 2020

වුල්ෆන්


Add caption

වුල්ෆන්
පරිවර්තනය -උපාලි කන්නන්ගර මයා
The Wolfen - Whitley Strieber

වෙයාර් වුල්ෆ් යනු මිථ්‍යා සත්ත්වයෙකි. ලොව පුරා බොහෝ ත්‍රාසජනක කතා වලට මොවුන් මාතෘකාවක් වී ඇත. සමහර ජනප්‍රවාදයන්ට අනුව වෙයාර් වුල්ෆ් යනු පුන් සඳ පායා එන රාත්‍රියේදී වෘකයන් බවට පත්වෙන මිනිසුන් කොට්ඨාශයකි. මිනිසා සහ වෘකයන්ගේ විකෘති සංයෝගයකි. පෙනුම බිය කරුය. ලේ පිපාසිත තිරිසනුන්ය. මිනිසුන් දඩයම් කොට බුදිති.
වුල්ෆන් මට හම්බවෙන්නෙ පුස්තකාලෙන්. පුස්තකාලෙන් මම පොත අරන් එන්නෙ පොත කියවන්න අරගෙන යන පළවෙනි සාමාජිකයා විදිහට.
බෲක්ලීන් නගරයේ අතහැර දැමූ වාහන ගොඩ ගසා ඇති රථ ගාලක විනාශ කල යුතු වාහන සටහන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කෲර ලෙස යම්කිසි පිරිසකගේ ප්‍රහාරයකින් මිය යනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න බාරවෙන්නේ බෙකී නෙෆ් සහ ජෝජ් විල්සන් කියන රහස් පරීක්ෂක යුගලයට. ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණ අරඹද්දී නගරයේ කීප තැනකම හුදකලා මිනිසුන් ඝාතනය කෙරෙනවා. මෙම මිනිස් ඝාතන කරන්නේ වෙයාර් වුල්ෆ් ලා කියලා ඔවුන් දැනගන්නවා. බුද්ධියක් සහ තියුණු ඉවක් තියන වුල්ෆන්ලාට ඔවුන් ජීවත්වෙන බව ලොවෙන් තව දුරටත් සඟවාගන්න උවමනා වෙනවා. ඒ නිසා ඔවුන් තීරණය කරනවා රහස් පරීක්ෂක යුවලව මරන්න. ඉතුරු ටික ලිව්වොත් වැඩක් නෑනෙ. කියවලා නැති අය කියවලාම බලන්න. පොත කියවලා හීනෙන් බය උනොත් ඔන්න අපි දන්නෙ නෑ. කෝකටත් කියලා වෙයාර් වුල්ෆ් කෙනෙක්ගෙ ෆොටෝ එකක් ඇමුණුවා.




Monday, November 25, 2019

සමුදුරු සුසානය


Salt to the Sea
Ruta Sepetys
සමුදුරු සුසානය
පරිවර්තනය- නිම්මි මුදිතා හේරත්

                දෙවනි ලෝක යුද්ධය කියන්නේ මතක් කරන්නට වත් නොවටිනා මහා අපරාධයක්. ජීවිත දහස් ගණනක් අකාලයේ විනාශ උනා. තවත් දහස් ගණනක් අමානුෂික වද දීලා මැරුවා. 1939 සැප්තැම්බර් 1 පටන් අරන්1945 සැප්තැම්බර් 2 අවසන් උන යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වයෙන් මිනිසුන් 61,000,000 පමණත් අනෙත් පක්ෂයෙන් 12,000,000 පමණත් මිය ගියා යැයි පැවසෙනවා. සියල්ල අවසානයේ හිට්ලර් ටත්, හිරෝහිතෝ අධිරාජ්‍යයා ටත් මුසෝලිනී ටත්, අනෙක් පාර්ශ්වයේ ස්ටාලින් ඇතුළු අනෙක් අයටත් ලැබුනු දෙයක් නෑ. හිට්ලර් මහා කළු පැල්ලමක් ලොවට ඉතිරි කර මැරිලා ගියා.
              සමුදුරු සුසානය ලියවෙන්නෙ ඓතිහාසික ප්‍රබන්ධයක් විදිහට. කොයිතරම් ඉතිහාසය සම්භන්ද දේවල් කියෙව්වත් "විල්හෙම්                 ගස්ට්ලෝෆ්" නෞකාව ගැන දැනගත්තේ මේ පොත කියෙව්වට පස්සේ. පොතේ කතාවත් සම්පූර්ණයෙන්ම කේදවාචකයක්. ටොපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් නැව මුහුදුබත් වෙද්දී මගීන් 10,582 දෙනෙක් සිටි බවත් ඉන් 5000 පමණ දරුවන් බවත් පැවසෙනවා. ජීවත් වෙන්න ලැබෙන්නේ ඉන් 1900 කට පමණයි.
               පොත කියවද්දී ඇත්තටම මමත් මරණය දකිමින් ජීවත් වීම උදෙසා සටන් කරමින් ඉන්නවා වගේ හැගීමක් දැනුනා.
පොතේ කතාව කිව්වොත් වැඩක් නෑනෙ. නොකියවපු අය කියවලාම බලන්න. 

Monday, November 18, 2019

හඬ නිහඬ- Silent Patient


හඬ නිහඬ- Silent Patient
සිංහල පරිවර්තනය - කුමාර සිරිවර්ධන මහතා
මම පොත කියවන්නේ තරමක් ප්‍රමාද වෙලා. ගොඩක් දෙනෙක් පොත නිකුත්වූ විගසම අරගෙන කියවලා ඇති.
පොත කියවන්න ගත්ත වෙලේ පටන් අවසානය වෙනකන් කියවන්නේ නැතුව මගදී නතර කරන්න හිතුනේ නැති තරම් කුතුහලයක් පොතේ අන්තිම පිටුව වෙනකන්ම තිබුනා. පොත හඳුන්වලා තිබුනේ "මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක”( psychological thriller, )කාණ්ඩයේ පොතක් විදිහට. ඔව් එහි ත්‍රාසයත් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයකුත් තිබුනා. නමුත් මෙම කතාව වටා ගෙවී ඇති චරිත අධ්‍යයනය කරන්නත් පාඨකයාට ඉඩ ලබාදී තිබුනා.
"ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා සමග හොඳ පවුල් ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවක්. ඇය චිත්‍ර ශිල්පිනියක්. ඇගේ සැමියා විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. ඔවුන් ලන්ඩනයේ ඔවුන්ගේම නිවසක වාසය කරනවා. එක හවස් වරුවක ඇගේ සැමියා ගේබ්‍රියෙල් විලාසිතා රූගත කිරීමකින් ප්‍රමාද වී නිවසට පැමිණෙන අතර ඇලීෂියා ඔහුට පස් වතාවක් මුහුණට වෙඩි තබනවා. එයින් පසුව ඇය එක වචනයක්වත් කතා කරන්නෙ නෑ.
ඇගේ සැමියාගේ මරණයත් ඇලේසියාගේ නිහඬ බවත් රටේ ලොකු කුතුහලයක් ඇතිකරනවා. ඉන්පසු ඇයව උතුරු ලන්ඩනයේ ආරක්ෂිත අධිකරණ වෛද්‍ය ඒකකයක් වන ග්‍රෝව්හි ප්‍රතිකාර සඳහා නතර කරනවා. තියෝ ෆේබර් යනු අපරාධ මනෝචිකිත්සකවරයකු වන අතර ඔහු ඇලීෂියා සමඟ වැඩ කිරීමේ අවස්ථාව සඳහා බොහෝ කාලයක් බලා සිටිනවා. ඔහුට ග්‍රෝව් හි සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා. ඇය සිය සැමියාව ඝාතනය කිරීමට හේතුව සෙවීම ඔහුගේ අරමුණ වෙනවා. " මේ විදිහට ආරම්භ වෙන කතාව පාඨකයා නොසිතූ අවසානයකට කැඳවාගෙන යනවා.
නවකතාවේ මනෝ විද්‍යාත්මක අවධානය නොතකා, අපි කතාව දෙස බලන විට එහි අතිශයින් ඛේදජනක හා හද කම්පා කරවන සුළුය කතාවක් එහි ගැබ්වී ඇත.
මෙම පොත ඇලෙක්ස් මයිකල්ඩීස් රචිත පළමු නව කතාව වන අතර ඔහු මෙයිට පෙර චිතපට දෙකක තිර රචනා ලියා ඇත. මෙමෙ නවකතාව ආශ්‍රයෙන් චිත්‍ර පටයක් නිපදවූ බව දැන්ගන්නට ලැබුනමුත් එය තිරගත වූවාද තිරගත වන්නට තිබේදැයි නොදනිමි.
==============================================
"අනපේක්ෂිත හැගීම් කිසි විටෙක මිය යන්නේ නැත. ජීවමානවම යටපත්ව තිබෙන ඒවා පසුව් ඉස්මතු වන්නේ වඩාත් අවලස්සන ආකාරයෙනි."
සිග්මන් ෆ්‍රොයිඩ්

Sunday, November 10, 2019

නොත්‍ර දාමයේ කුදා



" නොත්‍ර දාමයේ කුදා" නමින් සිංහලය හඬ කවා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කතාව නරඹලා තිබුනාට පොත නම් කියවලා තිබුනේ නෑ. පොත කියවලා අවසන් කලේ ඊයේ.
සුන්දර ඉස්මිරෙල්ඩා ට ආදරය කරන්නට ගොඩක් අය උන්නට ඒ විරූපී කාසිමෝඩෝ හැරෙන්නට අනිත් අය ඇයට ආශා කලා මිසක ආදරේ කළේ නෑ. ඒ වගේම ඉස්මිරල්ඩා ට මරණය ගෙනෙන්නට හේතු උන සීබට් කෙරේ ඇගේ සිතේ ඇතිවූ ආදරයත් ඒක පාර්ශ්විකයි.
නොත්‍රදාම දේවස්ථානය පදනම් කරගෙන වික්ටර් හියුගෝ පුද්ගලයින් කීප දෙනෙක්ගේ ප්‍රේමය පිලිබඳ මනෝභාවයන් විග්‍රහ කෙරෙන අපූරු කෘතියක්. ප්‍රේමය හමුවේ ඇතිවෙන ගැටළු හමුවේ පලා යන්නවුන් සහ මට හිමි නොවුනා නම් මැරුනාවේ කියන අය අතරේ විරූපී වුවත් ලා ඉස්මිරල්ඩා කෙරේ සැබෑ ප්‍රේමයක් තිබුනේ ක්වාසිමෝඩෝ ගේ සිතේ විතරයි. ඔව් තවත් කෙනෙකුට ආදරේ වෙන්න තමුන් ලස්සන වෙන්නවත් අනිත් කෙනාගේ කැමැත්තවත් උවමනා වෙන්නේ නැහැ.
යමුනා විනෝදනී මහත්මිය ගයන "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස් කෙස් ගසකට සමයි, බිඳුනු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි."
අවසානයට පූජකයාගේ ආදරය (ආදරයද ආශාවද මන්දා) කොහොම හරි ඔහු ගත කරන පූජක ජීවිතයට නොගැලපෙන ආශාවන් පසුපස යන්න ගිහින් ඔහුත් තව ජිවිත ගණනාවකුත් විනාශ වෙනවා.
ප්‍රංශය හා පැරීසිය තාමත් බොහෝ දෙනාට සුන්දර සිහිවටන ගෙනෙන රටක් සහ නගරයක් උනත් පොතට අනුව නම් ඒ කාලයේ ඔවුන් අන්ධ විශ්වාසයන්ට මුල් තැන දී ක්‍රියා කල බව නම් පේනවා.
"නොත්‍රදාමයේ කුදා" එහෙම නැතිනම් වික්ටර් හියුගෝ "The Hunch back of NotreDame " කුමාර සිරිවර්ධන මහතාගේ පරිවර්තනයක්.  ආශිර්වාද ප්‍රකාශනයක්. මිල රු 875/=

Monday, October 14, 2019

ඈත දුර ඈත


පසුගිය වසරේ දැසැම්බරයේ සිට ගන්නට පෙරුමු පිරූ, මා යන එකම අවස්ථාවකදීවත් පොත් සාප්පුව නොතිබූ "ඈත දුර ඈත" පොත් ප්‍රදර්ශනයේදී හමුවුනි.
ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මියගේ "සුවඳ තොටු පොළ" හරහා දෙතුන් වතාවක්ම හොං කොං දේශය පුරා සංචාරය කල මට "ඈත දුර ඈත" හරහා හොංකොං ජීවිත වලට එබෙන්නට ඉඩ ලැබුනි.
වසර එකොළහක් පුරා එකට ජීවත් වූ පෙම්වතා වංචාවෙන් වෙනත් කාන්තාවක් හා ගිය පසු ඇතිවන මානසික අපහසුතාවය කොතරම්දැයි නමක් සඳහන් නොවන කතා නායිකාව හරහා අත්විඳින්නට ලැබුනි. මිනිසුන් කාර්යබහුල වන්නට වන්නට ඔවුන්ගේ ජීවිත පීඩනයට ලක්වන අතර සිය පවුල හිතවතුන් සමග හිතවත් කම් පවත්වා ගනිමින් ජීවිතය ගෙනයාම පහසු නැත. එයින් මිදීමට සංගීතය, සමාජ ශාලා මෙන්ම තාවකාලික සම්භන්දතාද බොහෝ දෙනා ඉවහල් කරගනී. එම සංස්කෘතිය ලංකාවට තවමත් නුහුරු වුවද නැතුවාද නොවේ.
ඇය බොහෝ ශක්තිමත්ය. ඇගේ රැකියාවේ උපරිමයටම ගොස් ඇත. ආර්ථිකව ශක්තිමත්ය. සැබවින්ම ඇය ශක්තිමත් ගැහැණියකි. එහෙත් පෙම්වතා හැරයාමෙන් පසු පිරිමින් සමග ස්ථිර සබඳතාවයකට යන්නට ඇයට හිත් නොදෙන්නේ ඔවුන්ගේ ගතිගුණ නිසාම විය යුතුය. ඇයව වර්ණනා කිරීමෙන් හෝ ඇයට වඩාත් ලංවීමට උත්සාහ කිරීමෙන් හෝ ඇයට ගොඩක් ආදරය කරනවග සමීප වග පැවසීමෙන් හෝ ඇගේ හිත දිනාගත නොහැක. එය බහුතරයක් ගැහැණුන්ගේ ස්වභාවයයි. ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පිරිමින් වටහා ගන්නේ නැත.
අපේක්ෂා නොකළ අවසානයකට ප්‍රීතිමත් අවසානයකට ඇය අපව ගෙනයයි. ඒ වගේම මෙහි Food Imagery සිංහල වචනය ආහාර නිරූපණයට (හරිද මන්දා) මා බොහෝ කැමැත්තෙමි. බොහොමයක් ආහාර අපට ආගන්තුක නිසා ගූගල් සහය යොදා සොයා බලන්නට සිත්විය. බොහෝ කැමැත්තෙන් කියවූ පොතක් බව නොකියාම බැරිය.🥰🥰🥰

රත් වරලැති ලිය

                              

         තුර්කියේ ප්‍රේමය හා පළිගැනීම පිළිබඳ සමකාලීන කතන්දරයක් මුල් බැසගෙන ඇත්තේ පැට්‍රිසයිඩ් හා මිනීමැරීම් පිළිබඳ පුරාණ මිථ්‍යා මතවලිනි. නොබෙල් ත්‍යාගලාභී ඔර්හාන් පමුක් සිය 10 වන  නවකතාව වන රත් වරලැති ළිය තුළ ඒත්තු ගන්වන්නට උත්සාහ ගන්නේ ඒ පිළිබඳව විය යුතුය. ආධිපත්‍යය සහ තරඟකාරී මිථ්‍යාවන් දෙක පැමිණෙන්නේ පුරාණ ග්‍රීසියෙන් සහ පර්සියාවෙන් ය. (අද ග්‍රීසිය සහ ඉරානය තුර්කියේ බටහිර හා නැගෙනහිර අසල්වැසි රටවල් ය) පුතා නොදැනුවත්වම පියා මරා දමන සොෆොක්ලීස්ගේ ඊඩිපස් රෙක්ස් හි ඊඩිපල් මිථ්‍යාව සහ ෆර්ඩොව්සිගේ ෂහ්නාමේහි රොස්ටම් සහ සොහ්රාබ්ගේ පුරාවෘත්තය , පියා නොදැනුවත්වම පුතා මරා දමයි.                                             සම්ප්‍රදාය හා නූතනත්වය, නැගෙනහිර / බටහිර ගැටුම, ඉස්ලාම් සහ ලෞකිකවාදය සහ සමාජවාදය හා ධනවාදය පිළිබඳ පරම්පරාගත උපමා ලෙස මිථ්‍යාවන් කියවිය හැකිය.නමුත් රත් වරලැති ලිය, එය පියා සහ පුතු අතර ගැටුමක පැටලී සිටියද, කාන්තාවකගේ කතාවක් යැයි මට සිතේ.
                 ඊඩිපස් වැනි චරිත  “පියවරුන්ට” එරෙහිව අරගල කරයි, පමුක් ඔවුන් පරාජය කර  සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරයි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික (ඔටෝමාන්-ඉස්ලාමීය) පියාගේ අවතාරය ලෞකික නූතන පුත්‍රයා සහ ප්‍රධාන චරිතය අතර හොල්මන් කරයි.
            රත් වරලැති ලිය කොටස් තුනකට වෙන් කර ඇත. ඉස්ලාමීය පියා (මහමුට් / පළමු කොටස), ලෞකික පුත්‍රයා (ජෙම් / දෙවන කොටස) සහ ස්ත්‍රීවාදී කාන්තාව (ගොල්චිහාන් / තුන්වන කොටස).
                     පළමුවන කොටස 1980 දශකයේ දී නව යොවුන් වියේ ප්‍රධාන චරිතයක් වන ජෙම් ගේ අත්දැකීම් විස්තර කරයි. ඔහු අන්ගරෙන් නගරයේ ළිං කැණීම් කරන්නෙකුගේ සහයකයෙකු ලෙස කටයුතු කරයි. ළිං කණින්නා මහමුට්, ජෙම් ට පියෙකු ලෙස කටයුතු කරයි. මහන්සි වී වැඩ කොට විවේක ගන්නා විට කුරානයේ කතා කියා දෙයි. මේ අතර රතු වර්ණයෙන් කෙස් වර්ණ ගැන්වූ කාන්තාවක් ජෙම් ගේ සිත පැහැරගනී. රතු හිසකෙස් ඇති කාන්තාව  සංචාරක නාට්‍ය කණ්ඩායමක ලිබර්ටයින් සාමාජිකාවක් වන අතර, ඔහුට වඩා වැඩිමහල් ඇය සමග ජෙම් යහන්ගත වෙයි. 
                ළිඳ කැනීමේදී වැරදීමකින් බාල්දිය ළිඳට වැටීමෙන් ළිඳ තුල සිටි මහමුට් බාස්සුන්නැහේ මිය ගියා යැයි සිතා ජෙම් පැන යයි. එම සිදුවීම සහ රතු කෙස් ඇති කාන්තාව ඔහුගේ ඉදිරි ජීවිතයේ වරදකාරී හැඟීම් ඇති කරයි.
      දෙවන කොටස 1986 සිට 2000 දශකයේ මැද භාගය දක්වා ඉස්තාන්බුල්හිදී ලේඛකයෙකු වීමට ප්‍රථමයෙන් අපේක්ෂා කරන  ජෙම් ඔහු භූ විද්‍යා ඉංජිනේරුවෙකු හා කොන්ත්‍රාත්කරුවෙකු මෙන්ම නූතනත්වයේ සාර්ථක, ව්‍යාපාරිකයෙකු බවට පත්වේ. ඔහුට හා බිරිඳට දරුවන් නොලැබේ. ඔවුන් එක්ව රොස්ටම් / සොහ්රාබ් සහ ඊඩිපස්ගේ නැගෙනහිර හා බටහිර මිථ්‍යාවන් කෙරෙහි අනවශ්‍ය ලෙස උනන්දු වෙති. ඔවුන්ගේ ඒකාබද්ධ ඉදිකිරීම් සමාගම සොහ්රාබ් ලෙස නම් කරන තරමට මෙම උනන්දුව දුර යයි.
              විප්ලවීය රතු හිසකෙස් නිළිය විසින් ඔහුට පුතෙකු සිටින බව නීතීඥයෙකු මාර්ගයෙන් දැනුම් දෙයි. ඩි.එන්.ඒ පරීක්ෂණයකින් එය සනාථ වේ. සමාගම ඇන්ගර්හි දේපළ මිලදී ගැනීමකට සූදානම් වේ. එම අවස්ථාවේ රතු කෙස් ඇති කාන්තාව පිය පුතු හා කතා කරන්නට අවස්ථාවක් සලසා දේ. පියා සහ පුතා ඉන් වසර තිහකට පෙර හාරන ලද ළිං ගැට්ටේ සිට පොරබදයි. 
       රතු හිසකෙස් ඇති කාන්තාව වන ගොල්චිහාන් තුන්වන කොටස විස්තර කරයි.පෙනෙන විදිහට, මෙය පියාගේ පුතුගේ තේමාවන් ගවේෂණය කරන නවකතාවකි. නඩු විභාගය විභාග වෙමින් පවතින එන්වර් (පුතා) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිර්දෝෂීභාවයට සාක්ෂියක් ලෙස අප කියවන නවකතාව ලිවීමට ගොල්චිහාන් ඔහුව දිරිමත් කරයි.
රතු හිසකෙස් ඇති කාන්තාව තුළ නිරූපණය කරන්නේ කුමන ආකාරයේ කාන්තා නියෝජනයක්ද? ගොල්චිහාන් මුලින්ම  නව යොවුන් වියේ ආශාව හා පසුව ශෝකයට පත්වන මවක් වශයෙන් හඳුන්වා දේ.  එමෙන්ම ඇය ජෙම්ගේ පියාගේ පැරණි පෙම්වතියද වේ. ඒ අනුව ඇයද පියා සහ පුතු සමග දැන දැනම යහන්ගත වේ. වේදිකාවේ ඇයගේ නිරූපණයන් ඊඩිපස්ගේ මව ජොකාස්ටා වේවා, රොස්ටාම්ගේ බිරිඳ ටහ්මිනේගේ වේවා, හෝ සාමාන්‍ය තුර්කි ගෘහණියක් වේවා. නවකතාව තුළ රතු හිසකෙස් ඇති කාන්තාවක්  බලවේගයක් ලෙස ඉස්මතු කරයි. ජෙම්ගේ පියා, මාස්ටර් මහමුට් සහ සෙම් ඇතුළු පිරිමින් සියල්ලන්ම මියයතත්, ප්‍රධාන කාන්තා චරිත දෙක (අයේශ් සහ ගොල්චිහාන්) පිළිවෙලින් විවාහය සහ මාතෘත්වය යන බැඳීම් හරහා සොහ්රාබ් සමාගමේ හිමිකාරිත්වය උරුම කර ගනී. මේ අනුව රතු හිසකෙස් ඇති කාන්තාව තුර්කියේ කාන්තාවන්ගේ දුක්ඛිත තත්වය නිරූපනය කරයි.
                 මෙම නව කතාව කියවා අවසානයේ මම වටහා ගත් අයුරින් මෙම  සමාලෝචනය ලියු අතර  සංකීර්ණ පොතක් හෙයින් කියවූ අනෙකුත් අය මෙය කෙසේ වැළඳ ගත්තාදැයි නොදනිමි. කියවා අවසන බොහෝ දේ සිතන්නට සහ තුර්කි පෞරාණික කතා ගැන වැඩි දුරටත් හොයන්නට මා පෙළඹවූ පොතකි. සංකීර්ණ නිසා ඇතමෙකුට නිරස විය හැක. එහෙත් මම නම් රස වින්දෙමි. 

Thursday, September 26, 2019



ලෝරා ඉංගල්ස් වයිල්ඩර් රචිත Little House කතා මාලාව අපේ රටේ බාල වැඩිහිටි කාගෙත් සිත් ගත් පොත් පෙළක්. ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය එම පොත් පෙළ සිංහලට පරිවර්තනය කළා.
මම අද කියන්න යන්නේ, ලෝරා වයිල්ඩර් ගේ දුව රෝස් වයිල්ඩර්ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කරගෙන රොජර් ලී මැක් බ්‍රයිඩ් රචිත, චිත්‍රා අමරසේකර මහත්මිය සිංහලයට පරිවර්තනය කරන ලද පොත් පෙළ ගැන. මෙය පොත් අටකින් සමන්විතයි.
1. කඳු මුදුනේ සොඳුරු නිවස
Little House on Rocky Ridge
2. අස්වනු සමයේ පුරහඳ
Little farm in the Ozarks
3. ඇපල් සුවඳ මුසුවූ ගොවි බිම
In the land of the Big Red Apple
4. දොළ ඉවුරෙන් සිදාදියට
On the other side of the hill
5. තැනිතලා රෝස මල
Little town on the Ozaks
6. අරුණැල්ල
New Dawn on Rocky Ridge
7. නවෝදය
On the Bank of Bayou
8. නිවසින් බැහැර දෙවසරක්
Bachelor girl
කුඩා ගැහැණු දරුවෙක් වන රෝස් යුවතියක වන තුරුම ඇගේ ජීවිතයේ වූ සිදුවීම් ඇතුලත් මෙම පොත් පෙළ දරුවන්ට මෙන්ව වැඩිහිටියන්ටද කියවා රසවිඳිය හැකි පොත් පෙළක්. රෝස් සිය මාපියන් සහ ඔවුන්ගේ මිතුරු කුලී පවුල සමග වඩා යහපත් අනාගතයක් ලබා ගැනීමේ අරමුණෙන් ඩැකෝටාවේ සිට මිසූරියට පැමින රොකී රිජ් ගොවිපොළ මිලට ගෙන පදිංචි වූ පසු ඔවුන්ගේ ජීවිතය ගලාගෙන ගිය ආකාරය මෙම පොත් පෙළෙහි සටහන්වී තිබෙනවා.
මෙම පොත් ටික කියවන ගමන් මමත් රෝස් එක්ක රොකී රිජ් ගොවිපොළේ දහසකුත් එකක් වැඩ කරමින් තැනිතලාවේ දුවමින් පාසැලට, නගරයට යමින් ජීවත් උනා. ගැමි දැරියකවූ රෝස්ට නගරයේ පොහොසත් දැරියන්ට මෙන් ලස්සන ඇඳුම් සපත්තු තිබුනේ නෑ. සිය දෙමාපියන්ට ඒවාට වියදම් කළ නොහැකි නිසා ඇයට ඇතිවූ සිත් පීඩාවන් මමත් ඇයත් සමග වීඳ ගත්තා.
රෝස් බොහෝ දේවල් දරාගත්ත දිරිය දැරියක්. වර්තමානයේ දරුවන්ට කල නොහැකි බොහෝ අසීරු දේවල් කරමින් සිය මවට හා පියාට ගොවිපොළ දියුණු කරගන්නට ඇය බොහෝ වෙහෙසවී උදව් කරනවා.
2019 වන විට ඇමරිකාව අද පවතින තත්තවයත් රෝස් ගේ බාලවියේ, ඒ කියන්නේ 1900 දී ඇමරිකාව තිබූ තත්ත්වයත් සලකා බලනකොට දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියන අපි ගැන කණගාටුවක් නොදැනුනාම නෙමේ. සත්‍ය කතාවක් නිසා ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගේන්න මිනිස්සු පුදුමාකාර ලෙස වෙහෙසවී වැඩකර තිබුණු බව වැටහුනා.
අටවන පොතෙන් (නිවසෙන් බැහැර දෙවසරක්) චිත්‍රා අමරසේකර මහත්මිය පවසන ආකාරයට වර්ෂ 1886 දෙසැම්බර් පස්වෙනි දින උපත ලද රෝස් වයිල්ඩර් 1968 ඔක්තෝම්බර් තිස්වෙනිදා මෙළොවින් සමුගන්නවා.
රෝස් වයිල්ඩර් ගිලට් ලේන් නැමැත්තා සමග විවාහ වෙනවා. 1910 දී ඇය මවක් කරමින් ඉපදෙන පුංචි පුතා ලදරු වියේදීම මිය යනවා. 1918 දී සැමියාගෙන් දික්කසාද වන රෝස් නව කතා, කෙටි කතා, තීරු ලිපි ආදිය ලියමින් ලේඛන් කලාවට පිවිසෙනවා. ඇය බොහෝ රටවල් වල සංචාරය කරනවා. ඇයට 1965 දී හමුවන රොජර් ලී මැක් බ්‍රයිඩ් ට ඇගේ දේපළ මෙන්ම ඇගේ කතාව පොතක් ලෙසේ පළ කිරීමේ අයිතියද ලැබෙනවා.
කියවා නැති අය කියවලා බලන්න. ගොඩක් ලස්සන පොත් පෙළක් . සමයවර්ධන ප්‍රකාශනයක්.



Tuesday, June 11, 2019

The girl in room 105

                     
           
           චේතන්ගේ පොත් සියල්ලම මම කියවලා තිබෙනවා. ඔහුගේ පොත් හරහා නිර්මාණය වූ චිත්‍රපටත් නරඹලා තිබෙනවා. චේතන්ගේ ගිය වසරේ පළවූ නව කතාව The girl in room 105  කියවලා ඉවරකලේ අද. ඔව් ටිකක් විතර පරක්කුවෙලා කියෙව්වේ. පොත නිකුත් කරන්න කලින් චේතන් අපූරු Book Trailer එකකුත් කරලා තිබුනා. පොත ගැන සඳහන් කරන්න කලින් චේතන්ගේ පොත් ගැන කිව්වොත් ඒවා සරලයි තමයි. ඒ වගේම ඔහු ලියන්නේ සරල ඉංග්‍රීසියෙන් නිසා ඉන්දියාවේ වගේම ලංකාවේත් ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් තියන අයට උනත් කියවලා රස විඳින්න පුලුවන්. චේතන්ගේ පොත් වලට මාතෘකා වෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික තරුණ ජීවිත. සංස්කෘතික වෙනස්කම් හැරුනම ඔවුන්ගේ සහ අපේ ගැටළුවල වෙනසක් නැහැ. ඒ නිසාද කොහෙද චේතන් අපටත් සමීපයි.
     මේ පොත පැය හතරකින් පහකින් කියවලා නිම කරගන්න පුලුවන් මට්ටමේ පොතක්. රහස් පරීක්ෂක පොත් කාණ්ඩයට වැටෙන කතාවක්.  චිත්‍රපටයකට නම් වඩා හොඳ කතාවක් වෙයි. ඔව් ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය වෙන්නත් ඉඩ තිබේවි. 
                 පොතේ මුල් පරිච්ඡේද කීපයේ නම් පෙම්වතිය අහිමිවීම නිසා ශෝකයට පත් තරුණයෙක් ඒ මතකය ඔස්සේ විඳවන ආකාරය ගැන තමයි ලියවිලා තියෙන්නේ. පොතේ මැද හරියට යනකොට කතාව වෙනස් වෙනවා ඔහුගේ පරණ පෙම්වතියගේ මරණයත් සමග එය මිනීමැරුමක් වීමත් එය කල කෙනා හොයාගන්ට ඔහුට උවමනාවීමත් සමග. අවසානයේ වසර තුනක ට පෙර අවසන්වූ ආදර කතාවේ පෙම්වතියගේ මිනීමරුවා සොයාගන්න කතාවේ වීරයා සමත් වෙනවා වගේම ඔහුත් මිතුරාත් එකතුවී රහස් පරීක්ෂක කාර්යාලයක් ආරම්භ කරමින් අරමුණක් නොතිබූ ඔවුන්ගේ ජීවිතයට අලුත් අරමුණක් අරන් එනවා.
             ඒ සමගම පොත හරහා ඉන්දු කාෂ්මීර අර්බුදය ගැන, සුන්දර කාෂ්මීරය ගැන, මුස්ලිමි මූලධර්මවාදීන් සහ හින්දු මූලධර්මවාදීන් ගැන රූපවාහිනිය මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට අත පොවන ආකාරය, තමන්ගේ ගැලවිල්ල සඳහා පොලීසිය කවුරුන්හෝ වරදට පටලවා නිදහස් වීම මෙන්ම ඒ හරහා උසස්වීම් ලබාගැනීමට සිතීම වැනි කාරණාත් කතාවෙනවා. 
          උසස් අධ්‍යාපනයක් ලද මුත් නිසි රැකියාවක් නොලැබීම පෙම්වතුන් වීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවන මුත් විවාහටය ජාතිය ආගම බලපාන බව සහ දෙමාපියන්ට විරුද්ධව විවාහවීමට නොහැකි බව සහ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අතහැරීමට සිදුවෙන බවත් මේ හරහා කතාවෙනවා.
          අවසානයේදී මෙහි කථානායකයා තමන්ට ගැහැණුන්  පිළිබඳ අවබෝධයක් නොතිබූ බව වැටහෙනවා. අවසානයට ඔහු ඇගේ සොහොන ළඟට ගිහින් Good bye Zara. I Unlove you කියන්නේ එනිසායි.
     මේ පොත චේතන්ගේ අනිත් පොත්වලින් වෙනස් නිසා ගොඩක් අය ඒතරම් කැමැත්තක් දක්වලා තිබුනේ නැහැ. ඒත් මම නම් මේ පොතට කැමතියි. 

Friday, January 18, 2019

මේක අපේ ජාලෙ කඩේ



මේක අපේ ජාලෙ කඩේ කියවන්න ලැබුනේ ඊයෙ. හැමෝම කියවපු පොතක්. ඉන්දියන් නව කතා මම කියවන්න බොහොම කැමතියි. ඒකට හේතුව අපේ අසල් වැසි රට වීම වගේම අපේ සිතුම් පැතුම් වලට සමාන ජීවිතයක් ඔවුන්ට තිබීම. දිලීප ජයකොඩි මහත්මයාගේ පරිවර්තනයක් නම සරල වගේම කියවන්න පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ. මේක අපේ ජාලෙ කඩේ පොත අපට යමක් හිතන්න පුළුවන් පොතක්.
අපේ රටේත් ඉතින් පුංචි කාලේ ඉඳන් ඉගන ගන්න හැල්මේ දුවනවා. ඊට පස්සේ උපාධියක් ගත්තත් සුදුසු රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔහේ බකන් නිලන් ඉන්නවා. අම්මලා විස්සෝප වෙනවා. ඇත්තටම කීයෙන් කී දෙනාද තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන්නේ. අනිත් එක ව්‍යාපාරයක් පටන් ගන්නවා කිව්වම දිරිමත් කිරීම් වෙනුවට ලැබෙන්නේ ඕක හරියන්නෙ නෑ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් හොයා ගන්න කියන එකනෙ.
මේ පොතෙත් තියෙන්නේ තරුණයො දෙන්නෙක් අලුත් අදහසකින් අන්තර් ජාලය සහ මුහුණු පොත යොදාගෙන සාර්ථක ව්‍යාපාරිකයෙන් වෙන අන්දම. ඇත්තටම ඔවුන්ටත් දිරිමත් කරනවා වෙනුවට ඔවුන් කරන්න යන දේ සාර්ථක එකක් නෙමේ කියන්න ගොඩක් අය හිටියා උනත් අවසානයේ ඔවුන්ගේ ඉලක්කය වෙත ඔවුන් යනවා.
වර්තමානය වෙනකොට නම් අන්තර්ජාලය යොදාගෙන ගොඩක් ව්‍යාපාර කරන අය අපේ රටෙත් ඉන්නවනෙ. අලුතෙන් යමක් කරන්න ඉන්න කෙනෙකුට හොඳ දිරිගැන්වීමක් ලබාගන්න පුලුවන්.
ගොඩක් අය කියවලා ඇති. නැති අය කියවලා බලන්නකො.


පිංතූරය අන්තර්ජාලයෙන්

Thursday, November 22, 2018

දුම්රියේ යුවතිය

බුක් ෆෙයාර් එකෙන් පොත අරන් ආවට කියවලා ඉවර කරන්න හදිස්සියක් තිබුනෙ නෑ. අඟරුවාදා බ්‍රහස්පතින්දා නිවාඩු නිසා බදාදාත් නිවාඩුවක් දාලා නිදහසේ ගෙදර ඉන්න ගමන් "දුම්රියේ යුවතිය" කියවන්න හිතුවා. කෝශලී සිරිචන්ද්‍රගේ එක පරිවර්තනයක් වත් මම කියවලා තිබුනෙ නෑ. ඒ වගේම Paula Hawkins ගේ පොත් මම කියවලා තිබුනෙත් නෑ..
              කතාව ආරම්භය නම් මටත් ගැලපුනා. කෝච්චියේ යන ගමන් ජනේලෙන් වට පිටාව බලමින් යන එක. පොතේ හරි අඩක් කියවන තෙක්ම පොත මොනවගේ අවාසානයකට යනවද කියලා හිතාගන්න බැරි උනා. කෝශලී ගේ පරිවර්තන ශෛලියට කම්මැලිකමක් නැතිව කියවන්න පුලුවන් උන නිසා එක දවසින් කොහොම හරි කියවලා ඉවර කරනවා කියලා හිතාගත්තා.
                 මේ පොතේ චරිත එකකටවත් මගෙ හිතේ කැමැත්තක් ඇති උනේ නෑ. රැචල් කියන්නේ මත් පැන් වලට ඇබ්බැහිවෙලා , ඒ නිසාම රැකියාව අහිමි කරගත් , ටොම් ගෙන් දික්කසාද උනත් ඔහුව අතහරින්නට අකමැති තමන් ගැන නොසිතන වෙරි උනහම තමන් කියන කරන දේ උනත් නොදන්න කිසි කමකට නැති ගැහැණියක්.ඒ උනාට ඇගේ කුතුහලයට සහ ඕන දෙයක් වෙච්චදෙන් කියලා හැම එකකම මැද්දට පනින ගතියට නම් මම කැමතියි.
ඇනා, රේචල්ගේ කලින් සැමියාගේ දෙවන බිරිඳ වගේම ඔවුන් දික්කසාද වෙන්නට පදනම්වූ ටොම් සමග අනියම් සම්භන්දයක් පැවැත්වූ කාන්තාව. කුඩා දියණියකගේ මවක්. ටොම් සහ රැචල් ජීවත් වූ නිවසේ අකමැත්තෙන් ජීවත් වෙමින් රැචල්ගෙන් නිතර සිදුවෙන කරදර ඉවසමින් සිය පවුල රැකගන්න උත්සාහ කරන කාන්තාවක්.
                        මේගන්, හිතුවක්කාරකම නිසා කුඩා කාලයේදීම ජීවිතය අයාලේ යවාගත්, නමුත් ස්කොට් සමග විවාහයෙන් පසු වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට හැකියාව තිබියදීත් ඉන් සෑහීමට පත් නොවන ඇය විසින් කරන ලද හා කරමින් පවතින වැරදි නිසා ආතතියට පත් කාන්තාවක්.
                     මෙම කාන්තාවන් තුන්දෙනා සහ ටොම්, ස්කොට්, කමල් යන පිරිමි චරිත තුන වටා ගෙතුණු මුලදී ත්‍රාස ජනක කතාවක් විදිහට නොදැනෙන අඩක් කියවීමෙන් පසු කුතුහලය මුසු ත්‍රාසයක් දැනෙන අපූරු කතාවක්. මේ පොතේ මට දැනුනු විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට මිනීමැරුම කරපු කෙනාට අපේ සැකය කිසිසේත්ම යොමු වෙන්නෙ නැතිවෙන්න කතාව ලියන්න ලේඛිකාව ගත්ත උත්සාහය . ඇත්තටම ඇය සාර්ථකයි.
                              ඒ වගේම ටොම්..රැචල් ගේ බීමත් කමින් ප්‍රයෝජන ගන්න පිරිමියෙක්. එහෙම අය අපේ සමාජයේත් නැතුවා නෙමේ. තමන් බීපු වෙලාවට මොනවද කරන්නෙ කියලා තමන්ම නොදන්න බව රැචල්ට අඟවලා ඇය නොකල වැරදිවලට සමාව ගන්න ඇයව පොළඹවන්න තරම් ටොම් කපටියි. එහෙම විටින් විට සිද්ද වෙනකොට ගොඩක් බිව්වම මම කරන දේවල් මට මතක නෑ කියලා හිතන්න නිකන්ම රැචල් පෙලඹුන එකත් පුදුමයක් නෙමේ..
                              කියවලා නැති අය කියවන්න. මෙහි මුල් කෘතිය "The girl on the train" වසරක් ඇතුලත පිටපත් මිලියන පහළොවකට වඩා අළෙවි වෙනවා. භාෂා 40 කට වඩා පරිවර්තනය වී තිබෙනවා. මේ ඇසුරෙන් චිත්‍ර පටියකුත් නිපදවා තිබෙනවාලු.

Monday, November 5, 2018

සාගරාන්තර ආලෝකය

සාගරාන්තර ආලෝකය
The light between Oceans



ආදරය මේ ලෝකයේ අපි කැමතිම වචනය. අහිමිවීම අපි අහන්නවත් කැමති නැති වචනයක්. මේ පොත පුරා තියෙන්නේ ආදරය හා අහිමිවීම ගැන කතාවක්. පොතේ අවසන් පිටු කීපය කියවද්දී මම හිතාන උන්නේ ඉසබෙල්ට පොතේ අවසානයේදිවත් ලුසීව මුණගැහෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ලුසී එද්දී ඉසී යන්න ගිහින්. ඒ කියන්නේ මම බලාපොරොත්තු නොවුනු අවසානයක් තිබුන පොතක්.
දරුවො තුන්දෙනෙක් ගබ්සා උන ගැහැණියකට බෝට්ටුවක පාවෙලා ආව දරුවෙක් ලැබුනම ඒ දරුවා තමන්ගේ දරුවෙක් විදිහට හදාවඩා ගන්න හිතන එක සාධාරණයි. ඒ මොහොතේ ඉසබෙල්ට තිබුනේ දරුවා තමන්ගේ කරගැනීමේ උවමනාව. දරුවාගේ සැබෑ අම්මා ඇය නැතිව විඳින වේදනාව ඒ මොහොතේ ඇයට දැනෙන්නෙ නැතුව ඇති. හැනා ලුසීගේ සැබෑ මව කියලා දැනගත්තම එයාට ලුසීව පරිත්‍යාග කරන්න බැරි වෙන තරමට දරුවාට තියන බැඳීම වැඩි වෙලා. ඒත් ඉසබෙල්ට ලුසීව ඇය අයිති ලෝකෙටම බාර දෙන්න වෙනවා සදාකාලික වේදනාවක් හිතේ තියාගෙන.
හැනා..සතුරු ජාතියකට අයිති තරුණයෙක් විවාහ කරගෙන දෝශාරෝපනයට ලක්වෙනවා. අවසානයේ ඇයට සැමියා වගේම දුවත් අහිමි වෙනවා. ආයෙමත් එයාගෙ දුව ග්‍රේස්ව ලැබුනම එයාව ආදරෙන් හදාවඩා ගත්තු අම්මාට එයාව පරිත්‍යාග කරන්නේ කොහොමද? ඒත් එයා දුවගේ සතුට වෙනුවෙන් ඒ පරිත්‍යාග කරන්න සූදානම් වෙනවා. අන්න එතනදි මමත් හිතුවා අවසානයේදී ඉසබෙල්ට දරුවා ලැබෙයි කියලා. ඒත් වෙලා තිබුනෙ වෙනත් දෙයක්.
මම පොතක් කියවනකොට මම කැමති අකමැති අය වෙන්කර ගන්නවා. ඒත් මේ පොතේදි නම් මට කාගෙවත් පැත්තක් ගන්න බැරි උනා. හැමෝම ගැන සාධාරණව හිතුවා. එහෙම වෙන්න හැමෝටම සාධාරණ හේතු තිබුනා.
පොත කියවලා නැති අය කියවන්නකො. ලස්සන පොතක්. චිත්‍රපටයත් ලස්සනයිලු.
.
1ඡායාරූපය උපුටා ගැනීම. ගංගා සුදුවැලිකන්ද මහත්මියගේ ෆේස්බුක් වෝලයෙනි.

Thursday, September 27, 2018

සමුද්ද යාතිකාව



                 පහුගිය ඉරිදා පොත් ප්‍රදර්ශනයට ගිහින් ගෙනාපු පොත් වලින් කියවපු මුල්ම පොත. සමුද්ද යාතිකාව. කාලීඩ් හුසෙයිනි  මහතා ගේ Sea Prayers  පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තිකාව ගංගා සුදුවැලිකන්ද මහත්මිය.
                 කාලීඩ් හුසෙයිනි මහතා විසින් රචිත අළෙවි වාර්තා තැබූ පොත් තුන ගොඩක් අය කියවලා ඇති. The kite Runner ( සරුංගල් ලුහු බඳින්නා), The thousand splendid suns (මනරම් හිරු දවසක්), And the mountains echoed (කඳුකරය දෝංකාර දුනි) නව කථා ත්‍රිත්වය හරහා ඔහු ලස්සන රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව යුද්ධයත් සමග විනාශ වූ ආකාරය පිළිබඳ සිය පාඨකයන්ගේ හිත් වල සංවේගයක් උපදවන්න සමත් උනා. 
            යුද්ධය මොනතරම් බියකරුද කියලා යුද්ධයක් පැවති රටක, කොයි වෙලේ කොහේ පුපුරණ බෝම්බයකට අපිවත් අහුවෙයිද කියලා බයෙන් උන්න අපි හොඳටම දන්නවා. ලංකාවේ යුද්ධය අවසන් උනත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යුක්‍රේනයේ, යේමනයේ, තවමත් යුද ගැටුම් පවතිනවා. කොයි මොහොතේ බෝම්බයක් පුපුරයිද, කොයි මොහෝතේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයිද, කොයි මොහොතේ ගුවනින් බෝම්බ හෙලයිද, ඒවගේ දේකින් තමන්ගේ පවුලේ අයෙක් හෝ සමීපතමයෙක් නැතිවෙයිද කියන බයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල අනන්තවත් ඉන්නවා. 
            උපන් රටේ තමන්ට ආරක්ෂාව නැතිවෙනකොට කෑම බීම නැති වෙනකොට වෙඩි හඬ නෑසෙන බෝම්බ පුපුරන්නෙ නැති වඩා සුරක්ෂිත රටකට ජීවිතාරක්ෂාව පතා පළා යන්නට අහිංසක මිනිස්සු උත්සාහ කරනවා. ඒ සිය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරදීමේ අරමුණත් ඇතුව.රටකින් තවත් රටකට පළා යාම පහසු කාර්යක් නෙමේ. ගුවනින් කොහොමත්ම යන්න බෑ. ගොඩ බිම හරහා හෝ මුහුදෙන් අනාරක්ෂිත බෝට්ටුවක යන එක තමයි විකල්පය වෙන්නෙ.



                        2015 සැප්තැම්බර් 02 වෙනිදා තුර්කියේ සිට ග්‍රීසිය බලා  සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් සිටි අනාරක්ෂිත  බෝට්ටුවක් පෙරළී ජීවිතක්ෂයට පත්ව තුර්කි වෙරළටම ගසාගෙන විත් වෙරළේ වැතිර සිටි  සිව් හැවිරිදි ඇලන් කුර්දි නම් කුඩා දරුවාගේ ලොවක් සංවේදී කල ඡායාරූපය අප කාටත් තාමත් මතක ඇති. සමුද්ද යාතිකාව ,එම සිදුවීම පදනම් කරගෙන අනාරක්ෂිත බෝට්ටු ගමනක යෙදෙන්න සූදානමෙන් ඉන්න පියෙක් ලිපියක් ආකාරයෙන් සිය පුතු මර්වාන්ට ලියන සංවේදී සටහනක් සහ පිංතූර සහිත ලොකු කතාවක් කියන පුංචි පොතක්. මෙම පොතෙන් කාලීඩ් හුසෙයිනි මහතා ලබන කතෘ භාගය ඒක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වෙත පරිත්‍යාග කරනවාලු.



  "මගේ ආදරණිය මර්වාන්,
මේ හඳ එළියේ මම ඔයාගේ මූණෙ
පැතිකඩ දිහා බලනවා, මගෙ පුතේ 
අහිංසක නින්දකින් වැහිලා තියන ඔයාගේ
ඇහිපිහාටු හරියට හැඩේට ඇඳපු අකුරු
මෝස්තරයක් වගෙයි.."

"මගේ අත අල්ලගන්න. කිසිම 
වෙන්නෙ නෑ." කියලා මම ඔයාට කියනවා



Wednesday, September 12, 2018

"නන්දිතය"



                                 
                    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වලින් මම කියවලා තියෙන්නේ කීපයක් විතරයි. එතුමියගේ පොත් වල භාෂා විලාසයට මම බොහොම කැමතියි. පොත කියවද්දී ඇගේ ලිඛිත විලාශයත් එක්ක මගේ මනසේ, මනරම් සිත්තම් මැවෙනවා. ඒ මැවෙන සිත්තම් වලට මම බොහොම කැමතියි. "නන්දිතය" කියවලා ඉවර කලා. සටහනක් ලියන්න හිතුනා.
       චීනයත් එක්ක අපේ කොයිතරම් සබඳතා තියනවද? ඒත් මට චිනය ගැන තියෙන්නේ සුළු දැනුමක්. චීන මහා ප්‍රාකාරය, චීනයේ නිෂ්පාදිත භාණ්ඩ, ලෝකයටම අභියෝගයක් වීගෙන එන චීන ආර්ථිකය ඔයවගේ දේවල් ටිකක් විතරයි මම දැනගෙන උන්නේ. නන්දිතයේ චරිත හරහා සුනේත්‍රා මහත්මිය මාව චීනය ගැන යමක් හොයන්න පෙළඹෙව්වා. 
        චීනයේ වෙසෙන ජාතීන් කීපයකට අයත් පුද්ගලයින් කීපදෙනක් වටා ගෙතෙන නන්දිතය එකිනෙකාගේ දෘෂ්ඨි කෝණ වලින් ලියලා තිබෙනවා. ලංකාවේ නන්දිත, තායිලන්තයේ බුන්සිරි, ඉතාලියේ ග්‍රාබියෙලා, තමිල්නාඩුවේ බාල සුබ්‍රමනියම්, බෙයිජිනයේ ශන්-ග, ඉන්දියාවේ කිරන්, ඇමරිකාවෙන් ආව ලිලියානා, විවිධ සංස්කෘතීන් විවිධ සිතුවිලි එක්ක නන්දිතය හරහා අපිව හමුවෙනවා. මනුෂ්‍ය මනසක ස්වරූපය එකිනෙකාගෙන් අපට දැනෙන්න ගන්නවා.
      පොතේ තවත් විශේෂයක් තමයි තැනින් තැන සටහන් වන කියමන්. වෙනම සටහන් කරලා තියාගන්න තරම් වටිනා කියමන් මට මේ පොතෙන් ලැබුනා..
         ඒවගේම නන්දිත ඇතුළු මේ පොතේ චරිත කළු සුදු හොඳ නරක කියලා වෙන් කරන්න බෑ. ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අත් දැකීම් සහ එකිනෙකා තේරුම් ගන්නා ආකරය අනුව ඔවුන් තුල තිබෙන හොඳ නරක වෙනස් වෙනවා. නන්දිතය හරහා කතුවරිය ශ්‍රී ලංකාවේ අපි අදහන බුදු දහම සහ චීනයේ අදහන බුදු දහමේ වෙනස සරලව පැහැදිලි කරනවා. පොත අවසාන වන්නේ කිරන් ගුවන්-යින් කියන බුද්ධ ප්‍රතිමාවත් සමග කථා කරන පරිච්ඡේදයකින්.

 "ඔය ළමයා දැන් තමන්ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුෂ්‍ය ජීවිතේක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජීවිතේ දිහා බලන්න ගන්න."

       ඇත්තටම එහෙම බලන්න පුළුවන්නම් අපි දැවෙන අපි විඳවන ගැටළු හැම එකකටම විසඳුම එතන තියනවා නේද?

Wednesday, February 7, 2018

ජේ.කේ රෝලින් ගැන ඔබ නොදත් දේ

                                                 

                             
                                     මම මේ දවස් වල නැවත වතාවක් හැරී පොටර් පොත් ටික කියවනවා. චිත්‍ර පටි නරඹනවාට වඩා පොත කියවද්දී මැවෙන චිත්ත රූප වලට මම ගොඩක් කැමතියි. හැරී පොටර් කියවන්න ඉතින් වයස් සිමාවක් නෑ කියලා දන්නවනෙ. මම කොහොමත් මින් පෙර කියවලා නැති ළමා කතන්දර පොතක් හම්බුනොත් ඒකත් කියවන ජාතියේ කෙනෙක්. 
                                                  හැරී පොටර් කියවන් යද්දී පොත ලියපු ජේ.කේ රෝලින් මහත්මිය අරුම පුදුම කාන්තාවක් කියලා මට හිතෙනවා. ඒ මොකද මේ විදිහේ පොත් මාලාවක් ලියාගෙන යද්දී එක එක චරිත එක්ක එක එක සිද්ධි මාලාවන් එයාගේ හිතේ කොහොම මැවුනද කියන එක මට නම් තාම ගැටළුවක්. පොත පැත්තක තියලා  ජේ.කේ රෝලින්  ගැන කල්පනාවට ආව නිසා මට හිතුනා එයාගැන තොරතුරු ටිකක් හොයන්න. 
                                 ජේ.කේ රෝලින් කියන්නේ අති සාර්ථක ලේඛිකාවක් වගේම  සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය බිලියන පතිනියක්. ඇගේ හැරී පොටර් කතා මාලාව භාෂා හැත්තෑ හතරකට පරිවර්තනය වී තිබෙනවා. පොත් මිලියන හාරසිය පනහක් පමන අලෙවි වී තිබෙනවා. හැරී පොටර් හරහා චිත්‍රපට මාලාවක්ද හැදුනා. මම මේ ලියන්න යන්නේ ඇය ගැන අපි නොදත් කරුණු කීපයක්.

1.ඇගේ දෙමාපියන් උපාධිධාරීන් නොවේ.



ඇයගේ පියා රොල්ස් රොයිස් හි සහයක ගුවන් යානා ඉංජිනේරුවෙකි. ඇගේ මව උසස් පාසැලක විද්‍යා තාක්ෂණික ශිල්පිනියකි. 

2. ඇයට වයස අවුරුදු 25 දී ඇගේ මව මියයයි.



                       ජේ.කේ රෝලින් ගේ තරුණ අවධියේදීම ඇගේ මව වන ඈන් රෝලීන් අසනීප වෙනවා. ඇගේ ජීවිත කාලයම ගෙවෙන්නේ එම රෝගී තත්ත්වයත් එක්කමයි. ජේ.කේ රෝලින් ගේ "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන්" පොත නිකුත් වෙන්නත් කලින් ඇය මිය යනවා. සිය දියණියගේ සාර්ථකත්වය දකින්න ඇය ජීවත් උනේ නෑ. පසුව ඇය මව වෙනුවෙන්, ඇය  පෙලුන රෝගය පිළිබඳ අධ්‍යනය කරන එඩින්බරෝ විශ්ව විද්යාලයේ, ඈන් රෝලින්ග්ගේ පුනරුත්ථාපන ස්නායු රෝග සායනය ආරම්භ කරන්න ඩොලර් මිලියන දාසයක මුල්‍යමය පරිත්‍යාගයක් කරනවා.  

3. ඇගේ දියණියට, ඇගේ ප්‍රියතම ලේඛිකාවගේ නම තබනවා


ජෙසිකා මිට්ෆෝඩ් 1979 දී
ජේ.කේ රෝලින්ගේ ප්‍රියතම ලේඛිකාව වෙන්නේ ජෙසිකා මිට්ෆෝඩ්. රෝලින්ට වයස අවුරුදු දාහතරේදී, ඇගේ නැන්දනිය විසින්  ජෙසිකා මිට්ෆෝඩ් ගේ ""Hons and Rebels" පොත ගෙනවිත් දෙනවා. ඉන්පසු  එය රෝලීන්ගේ ප්‍රියතම පොත් ගොන්නට එක් වෙනවා . පසුව ඇගේ ප්‍රියතම ලේඛිකාවට කරන ගෞරවයක් වශයෙන් ඇගේ දියණියට ජේසිකා යන නම තබනවා.

4. හැම්බර්ගර්, පීසා, සහ කොකා කෝලා



                          2010 වර්ෂයේදී යුනිවර්සල් ස්ටූඩියෝ හි  "The Wizarding World of Harry Potter" විවෘත කළා. එය නිර්මාණය කිරීමට වසර ගණනාවක්ම ගත උනා. එහි නිර්මාණ කටයුතු වලදී රෝලීන් දැඩි පාලනයකින් යුතුව එහි නිර්මාණ කටයුතු සඳහා දායක උනා. සාමාන්‍ය තේමා උද්‍යානයක ආහාර ලෙස ලබා ගත හැකි හැම්බර්ගර්, පීසා සහ කොකා කෝලා  අළෙවි කරන්නට යුනිවර්සල් ස්ටූඩියෝ වට උවමනා උනත් රෝලින් එයට විරුද්ධ උනා. ඇය එහි ආහාර ලෙස බටර්බියර්, ෂෙපර්ඩ් පයි, මාළු සහ චිප්ස් තෝරාගත්තා.

5. පොත් ප්‍රකාශන සමාගමෙන් ඉවත් වීම.




ඕනෑම ක්ෂේත්‍රයක හිනි පෙත්තට නගින විට මුලදී ඔවුන් සමග සිටි උදව් කල අයව අත්හරින්න වෙන අවස්ථාවන් උදාවෙනවා. ජේ.කේ රෝලින්  හැරී පොටර් පළමු පොත ප්‍රකාශයට පත් කරන්න ඉල්ලීම් කලද ගොඩක් පොත් ප්‍රකාශකයින් ප්‍රතික්ශේප කරනවා. එවකට එතරම් ප්‍රසිද්ධියක් උහුලපු නැති පොත් ප්‍රකාශන සමාගමක් වන "ක්‍රිස්ටෝපර් ලිට්ල්" සමාගම, පොත ප්‍රකාශයට පත් කරන්න එකඟ වෙනවා. ඒ අනුව "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර් ස්ටෝන්" පොත 1995 දී ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. එම පොත ජන්ප්‍රිය වීමත් සමග රෝලින් මෙන්ම ලිටිල් සමාගමද මිලියනපතියන් බවට පත්වෙනවා. ඔහු ඇයට, බ්‍රිතාන්‍යයේ දී පොත් අළෙවියෙන් ලැබෙන ආදායමෙන් 15% ක් ද සිය වෙළඳ ආදායමෙන් 20% ද ලබා දෙනවා. එය පොත් අළෙවි ඉතිහාසයේ හොඳම වෙළඳ සබඳතාවය ලෙසත් සැලකෙනවා.
                            එහෙත් 2011 දී රෝලින් ක්‍රිස්ටෝපර් ලිටිල් සමාගමේ හිටපු හවුල් කරුවෙකු වන නීල් බ්ලෙයාර් ගේ පොත් ප්‍රකාශන සමාගමටද ප්‍රකාශන අයිතිය ලබාදෙනවා. එමෙන්ම පොටර්මෝ හරහා ඊ බුක් අළෙවිය සිදු කරනවා. එයට එරෙහිව "ලිට්ල් " සමාගම නීතිමය පියවර ගන්නවා. අවසානයේදී රෝලින් එම ප්‍රකාශන සමාගමෙන් ඉවත් වෙනවා.

6. 2003 දී ඇගේ පියා සමග අමනාප වෙනවා.

                     ඇගේ පියා වන පීටර් රෝලින් පිළිබඳ ජේ.කේ රෝලින් දැරුවේ නිහඬ පිළිවෙතක්. ඒ පිළිබඳ ඇය 2013 දී නිව් යෝකර් පුවත් පතට මෙසේ ප්‍රකාශ කර තිබුනා.

" මාත් තාත්තාත් අතර ඒ තරම් සමීප සබඳතාවයක් තිබුනෙ නැහැ. ඇත්තටම එය ඉතා අසීරු කාරණාවක්."  එක්තරා සිදුවීමක් නිසා අපි අතර තිබූ සියලු  සබඳතාවයන් නතරවුනා. 2000 වර්ෂයේ දී පියවරුන්ගේ දිනයට, ඇය විසින් ඇගේ " හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ෆයර්" පොතේ මුල් පිටපතක්  ඇගේ අත්සන යොදා " ඔබගේ කුළුඳුල් දරුවාගෙන් ආදරෙන්" ලෙස සටහන් කොට ඇගේ පියාට තෑගි කරනු ලබනවා. ඔහු එම පොත ඩොලර් 48000 අළෙවි කල නිසා ඇය ඔහු සමඟ තිබූ සබඳතා අත්හරිනවා. 2003 පසු ඇය සිය පියා සමග කතාබස් කොට නැති බව පැවසෙනවා. 


7. ඇය තනි මාපියන්ට සහාය දෙන සංවිධානයක සභාපතිවරියයි.



          ඇගේ පළමු සැමියාත් සමග තිබූ කෙටි විවාහයෙන් වෙන්වීමෙන් පසු ඇය තනිව දියණියව හදාවඩා ගන්නවා. තනිව දරුවෙකුත් සමග ජීවත් වීමේ අසීරුතාවය දන්නා ඇය තනි දෙමාපියන්ට ඒ කියන්නේ මව හෝ පියා පමනක් දරුවන්ට සිටින සංවිධානයක සභාපතිනිය වී ඔවුනට උදව් කරනවා.

8. ජේ.කේ රෝලින් මානසික අවපීඩනය ට ලක්වූ තැනැත්තියක්.




                                     ඇය කීපවතාවක්ම මානසික අවපීඩනයට ප්‍රතිකාර ලබාගත් බව සන්ඩේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබුනා. "සොසර් ස්ටෝන්" පොත ලියද්දී සහ ඇගේ දියණිය කුඩා  අවධියේදී මුහුණ දෙන්නට සිදුවූ  අසීරුතා හමුවේ ඇය මානසික අවපීඩනයෙන් පෙළුන බවත්, විසිවන වියේ මැද භාගයේදී තිබූ ආර්ථික අපහසුතා නිසා ඇයට සිය ජීවිතය එපා වූ බවත් ඇය පවසා තිබුනා.

9.කේ අකුර ඇගේ නමේ කොටසක් නෙමෙයි



සාහිත්‍ය ලෝකයේ ඇයව ජේ.කේ රෝලින් යන නමින් හැඳින්නුවට ඇගේ නම ජොඈන් රෝලින්. කේ අකුරෙන් පටන් ගන්න නමක් ඇයට නැහැ. එහෙත් ඇය ඇගේ මිත්තනියගේ නම "කැත්ලින්". මිත්තනියගේ නමින් කේ අකුර අරන් තමයි ඇය සාහිත්‍ය ලෝකයට ජේ.කේ රෝලින් යන නමින් පොත් ලියන්න පටන් ගන්නෙ.