Showing posts with label මගේ සොඳුරු මතක. Show all posts
Showing posts with label මගේ සොඳුරු මතක. Show all posts

Tuesday, December 19, 2017

රිවස්ටන්


මම පහුගිය ඉරිදා රිවස්ටන් ගිය නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. ගිය අයත් ඇති, නොගිය අයත් ඇති. මාතලේ නකල්ස් ආශ්‍රිතව තමයි රිවස්ටන් පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ඒ ගමනෙදි පුංචි ලෝකාන්තය බලාගන්න පුලුවන්. චාරිකාව යද්දී හොඳ තත්වයේ වාහනයක යනවා නම් වඩාත් හොඳයි. කඳු හෙල් වංගු බහුල පටු පාරක් නිසා බ්‍රේක් හොඳට වැඩ කරන වාහනයක යන එක හොඳයි.
මාතලේ පහුවෙලා උඩට යනකොට රබර් වතු, එනසාල් වතු, තේ වතු වගේම හෙල් මලු ක්‍රමයට හදපු කුඹුරු, ෆයිනස් වගාවන්, ස්වභාවික වනාන්තර දැක බලාගන්න පුලුවන්. මේ දවස් වල මීදුම ටිකක් තදයි. විටින් විට ළඟ ඉන්න කෙනාව පේන්නෙ නැති වෙන්නම මීදුම අපිව වසාගන්නවා. ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි. වාතය හරිම පිරිසිදුයි. බස්නාහිර පලාතේ ඉන්න අපට එහෙට ගිහින් හුස්ම ගන්නකොට ඒ වෙනස හොඳට දැනෙනවා. දූව්ලි නැති දුමාරය නැති විනාශ නොවූ පරිසරය ඇත්තටම මගේ හිත පුදුම විදිහට සන්සුන් කලා. රිවස්ටන් ගොඩක් වැදගත් වෙන්නේ සුළං කපොල්ල නිසයි.
රිවස්ටන් වලින් කිලෝමීටර් හතක් පමන දුර ගිහාම පිටවල පතන හමුවෙනවා. කොළ පාට තැනිතලවක්. පායන කාලෙටනම් දුඹුරු පාට වෙනවලු. පාරේ ඉඳන් පතනේ කිලෝමිටරයකට ආසන්න දුරක් ගිහාම පුංචි ලෝකාන්තය දැක ගන්න පුලුවන්. එතනට යන්න නියමිත පාරක් හදලා නෑ. පතනෙ මැද්දෙන් හොයාගන්න පුලුවන් වෙන්න ගල් වල සුදු පාට සලකුණු යොදලා තියනවා. පුංචි ලෝකාන්තය බලන්න ගිහාම ආරක්ෂාව පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂක වැටක් සවි කරලා නෑ. සුළං තදයි. අපිව ආපස්සට තල්ලු කරන තරමට වෙලාවකට සුළං හමනවා. එතන ඉඳන් පහල බැලුවම කොල පාටට අවට පේනවා. කඳු පංතියත් ලස්සනට බලාගන්න පුලුවන්. පුංචි ලෝකාන්තෙට හැරෙන පාර ගාව ඉඳන් ටික දුරක් ගිහාම තෙල්ගමුව ඔයේ සීතල වතුර නාගන්නත් පුලුවන්. හැබැයි කල්පනාවෙන්. වතුර වැඩිවෙන්වලු හිටපු ගමන්.
මෝටර් බයික් වල යන පිරිමි ළමයි දැක්කා. පරිස්සමෙන් ගියොත් වාහනේක යනවට වඩා අපූරුවට වට පිටාව බලන්න පුලුවන් කියලා මට හිතුනා.
අවාසනාවට හොඳ වර්ගයේ කැමරාවක් මාගාව නෑ. කෝල් ගන්නයි ජීපීඑස් ඕන් කරන් ගිය නිසා ෆෝන් එකේ බැට්‍රි භාගෙකටත් වඩා අඩුවෙන් තිබුනෙ. ඒක නිසා මට හොඳ ෆොටෝ ටිකක් ගන්න තිබුන අවස්ථාව මහ ඇරුනා.
තව එකක් වැහි කාලේ ගිහාම අපිව සාදරයෙන් පිළිගන්න කට්ටියක් බලන් ඉන්නවා. කූඩැල්ලෝ. 😁😁😁😁😁😁😁😁😁
තව ඉල්ලීමක් ඔයාලා එහෙ ගිහාම ටොපි කොළයක් තරම් දෙයක්වත් පරිසරයට එකතු නොකරන්න වගබලා ගන්න. වාසනාවට තාමත් ඒ පරිසරය පවිත්‍රයි. කවුරුවත් ශොපින් බෑග් එකක්වත් දාලා ගිහින් තිබුනෙ නෑ.








Monday, October 30, 2017

කොස් ඇට මුල්ල

       
    කොස් ඇටත් කඩෙන් ගන්න වෙලා කියලා යාලුවෙක් කිව්වා. ඒ කතාව දුර දිග ගිහින් මට අපේ ආච්චී වගේම කොස් ඇට මුල්ලත් මතක් උනා. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අය කල්පනා කරන්න පුලුවන් මොකක්ද මේ කොස් ඇට මුල්ල කියන්න කියන්නේ කියලා.
 ඉස්සර ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න  එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.
    මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. ඊට පස්සේ  ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා. ඊට උඩින් වැලි ටිකක් දානවා.ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලයි.
               
කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමානයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා. 
              අපේ ගෙදර උනත් කොස් වාරෙට බොහොමයක් කොස් වගේම කොස් ඇටත් නාස්ති වෙලා යනවා. ඉස්සර අපේ ආච්චී නම් බංකුවක් තියාගෙන ඉඳගෙන එක ඇටයක්වත් අහක නොදා එකතු කරගන්නවා. ඉස්සර අපි කියනවත් එක්ක "අපේ ආච්චි ට කන්න නෑ වගේ මේවා එකතු කරනවා "කියලා. ඒත් වැඩිහිටියො උනාට පස්සේ, අද කල්පනා කරද්දී තමයි තේරෙන්නේ එයාලා හැම දෙයක්ම මොනතරම් අපූරුවට පිරිමහගත්තද කළමනාකරණය කරගත්තද කියලා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් නොසලකා හැරියට මෙහෙම කල් තබා ගැනීම ආර්ථිකමය වාසියක් වගේම අවාරෙට කන්නත් ලැබෙනවා. කල්පනා කරලා බලද්දී අපි අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන ගොඩක් හොඳ දේවල් ඉවතට දාලා.

Monday, August 28, 2017

සුදු ආප්ප




ඉස්සර මම පුංචි කාලේ (නමසිය අනූ ගනන් වල මුල් කාලේ) අපේ ආච්චී අපට කන්න ආප්ප උයා දෙනවා. සෙනසුරාදා දවසක් තමයි තෝරගන්නේ එදාට අපට ඉස්කොලෙත් නිවාඩුනේ. කලින් දවසේ කැකුලු හාල් පෙඟෙන්න දාලා වංගෙඩියේ දාලා කොටලා හලා ගන්නවා. ඊට පස්සේ රෑට, කොටා ගත්ත පිටි ලොකු මැටි මුට්ටියකට දාලා ඒකට යීස්ට්, ආප්ප සෝඩා දාලා පොල් වතුරෙන් අනලා වහල තියනවා. උදේම නැගිටලා පොල් ගාලා පොල් කිරි කලින් දවසේ හදපු පිටි මිශ්‍රනයට දාලා හොඳට කලවම් කරලා වහලා තියනවා. ඔන්න ඊට පස්සේ ලිප ලෑස්ති කරනවා පිරිසිදු පරණ ඇතිලි දෙකකට පොල් ලෙලි දාලා ඒවා පත්තු කරලා හදාගන්නවා. ඒවට කියන්නේ ගිණි කබල කියලා( දැන් ඉන්න පොඩි දරුවොනම් දැකලා නැතුව ඇතී. ආප්ප උයන ගන්නේ යකඩ තාච්චි. ඒවා හොඳට පදම් කරපුවා. මට මතකයි ආච්චී ඒවා වෙන කිසිම වැඩකට ගත්තෙ නෑ.ආප්ප උයන්න විතරක්ම වෙන් කරල තිබුනා. පිටි මුට්ටියත් ලිප ළඟට අරන් ලිප ගාව බංකුවක් තියලා ඉඳ ගන්නවා. තව එතන තියනවා පීරිසියක තියපු පොඩි පොට්ටනියක්. ඒක ඇතුලේ තියෙන්නේ තලපු කජුමද කීපයක් එක්ක පොල්තෙල්. ගින්දර හොඳින් ඇවිලෙනකොට තාච්චි දෙක ලිපේ තියලා රත් වෙද්දී අර පොඩි පොට්ටනියෙන් තාච්චිය පිහිදානවා. එහෙම කරන්නේ ආප්ප තාච්චියට ඇලෙන එක නතර කරන්න. ඔන්න තාච්චිය පදමට රත්වෙලා ආවම තාච්චිය අතට අරන් පොල් කටු හැන්දෙන් එකක් තාච්චියට දානවා දානකොට චෝස් ගාලා සද්දයක් එනවා. ඒක ලිප උඩින් තියලා ආයේ අරගෙන තාච්චිය කරකෝනවා. ඒකට එයාලා කිව්වේ ආප්පෙ අඳිනවා කියලා. ඊට පස්සේ ලිපේ තියලා අර හදාගත්තු ගිණි කබල තාච්චිය උඩින් තියනවා. එහෙම තාච්චි දෙකේම මාරුවෙන් මාරුවට ආප්ප උයනවා. ඉදෙන ආප්ප බිම තියන වට්ටියට දානවා. ඒවා ලා දුඹුරු පාටයි. වාටිය කර කර ගාල හැපෙනවා ඒ වගේම ගොඩක් රසයි.අපිත් ආච්චි වටේට බංකු තියාගෙන වාඩි වෙලා හදන උණු  උණු ආප්ප තරඟෙට කනවා. වර්තමානයේ ගිණි කබල් තියලා ආප්ප උයන්නෙ නෑ.දර ලිප පාවිච්චි කරන්නෙත් නෑ. ඉස්සර ආච්චී හදපු ආප්ප වගේ රස ආප්ප නම් කන්න ලැබුනෙ නෑ කොහෙන්වත්.

Thursday, April 6, 2017

කැවුම් කොකිස් මුං අලුවා සහ ආච්චී

සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. කැවිලි පෙවිළි ගැන කතාබහ පුවත් පත් වල යන වට්ටෝරු ඇහෙද්දි දකිද්දී මට මතක් වෙන්නේ අපේ ආච්චීව(තාත්තාගේ අම්මා). අපේ ආච්චි ගෙ නම රොස්ලින් ජයකොඩි උනාට ගොඩක් අය ආච්චිව ඇමතුවේ රෝසා නැන්දා රෝසා ආච්චි යන නමෙන්. ආච්චී තරම් රසට ලස්සනට කැවිලි හදන්න පුලුවන් කෙනෙක් අපේ ගමේ හිටීයෙ නෑ.ඒක නිසා මගුලට,දානෙට,අවුරුද්දට ආච්චීගේ උදව් නැතුවම බැරි උනා.


                 මම පුංචි කාලේ, ආච්චි කොන්ඩ කැවුම් උයද්දී, ලිප ළඟ බංකුවක් තියාගේන කැවුම් උයන හැට් බලන් ඉන්න මම ගොඩක් ප්‍රිය කලා. ටිකෙන් ටික කූර කරකවමින් කොන්ඩ කැවුමේ කොන්ඩේ ගන්න හැටි මට තාමත් මැවිලා පේනවා.

        
              අතිරස හදද්දී නම් මගේ උදව් ආච්චීට ලැබුනා. පොල් තෙල් ගාපු කෙසෙල් කොල උඩ අතිරස මිශ්‍රණයෙන් බෝල හදලා ඒවා පැතලියට වඩලා වට්ටියකින් තියන්නේ මම හරි ආසාවෙන්. ඒවා අච්චී සීරුවට තෙලේ බැදලා මැටි මුට්ටි වල අහුරනවාත් මට මතකයි.
කොකිස් බද්දී නම් පිටි මිශ්‍රනයේ අන්තිම ටිකෙන් කොකිස් බදින්න මට ඉඩ ලැබුනා. ටිකෙන් ටික වයසින් වැඩෙනකොට ආච්චි කලේ කොකිස් මිශ්‍රනය ඒදලා දෙන එක විතරයි. කොකිස් බදින්න නම් මම එක්ස්පර්ට්.☺☺☺

ආස්මී හදනකොට දවල් කුරුඳු කොළ වලින් නානු හදාගන්න හැටි ඒකට පිටි මිශ්‍රකරලා පදමට අනාගන්න හැටි හිල් තියන පොල්කටු හැන්දෙන් තෙලට දාලා නියමිත වෙලාවට දෙකට නමාගන්න හැටි පියවරෙන් පියවට මට ආච්චි කියලා දුන්නා.
ආච්චී මම පොඩි කාලේ ඒ දේවල් කියලා දුන්නේ මම ඒවා ඉගන ගනීවි කියන පරමාර්තයෙන්. එයා වයසට යද්දී මම ටිකෙන් ටික ලොකු වෙද්දී මම මැරෙන්න කලින් මේවා ඉගනගන්න කියලා ආච්චී කියපු වාර අනන්තයි. ඒත් අධ්‍යාපනය පමනක් මගේ අරමුණ වෙලා තිබුන නිසා ඒවා ප්‍රායෝගිකව ඉගන ගන්න උවමනාවක් මට තිබුනෙ නෑ.අද ඒ උවමනාව තිබුනත් අහලා දැනගන්න ආච්චී ජීවතුන් අතර නෑ. දැන්නම් ඒ ගැන ලොකු පසුතැවිල්ලක් වගේම මම වගේ මෝඩයෙක් කියලා හිතෙන වාර අනන්තයි.

ආච්චී අපෙන් සමු අරන් වසර 13ක් ගත වෙලා. එතුමියට නිවන්සුව!