Wednesday, December 19, 2018

දරුවන් වෙනුවට ගස් වැවූ අත්තම්මා තිමක්කා


              සාලුම්මරඩා තිමක්කා පරිසරවේදිනියක්. කර්නාටක ප්‍රාන්තයේ වගේම ඉන්දියාවෙත් ජනප්‍රිය කාන්තාවක්. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර සම්මාන කීපයකම හිමිකාරියක්. ඒ අතරේ ඉන්දියානු ජාතික පුරවැසි සම්මානයත් තිබෙනවා (National Citizen's award ).
           බැංගලෝරයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හුලිකාල්හිදී උපත ලබන ඇයට "තිමක්කා" යැයි නම් තබනවා. ඇය කවමදාකවත් පාසැල් ගිහින් නෑ.  විධිමත් අධ්‍යාපනයක් ලබලත් නෑ. කුඩා කාලයේ සිටම ජීවිත සටනට උර දුන්නා මිසක අධ්‍යාපනයක් ගැන හිතලවත් නෑ. ඇය කුඩා කල සිටම ගල් කොරියක වැඩ කරනවා. ඔව්  ගෞරව සම්මාන ලැබුවට ඇය කුලී වැඩ කරන්නියක්. ඇය විවාහ වෙන්නේ චික්කයියා සමග. ඔහු ගොපල්ලෙක්. විවාහ වෙලා අවුරුදු විසි පහක් ගෙවිලා යනවා. ඒත් ඔවුන්ට දරුවන් ලැබෙන්නෙ නැහැ. ඔවුන් ඒ ගැන බොහෝ සිත්තැවුලෙන් ඉන්නවා. ඥාතීන්ගේ අපහාස නිසා තිමක්කා සිය දිවි හානි කරගන්න ත් හිතනවා. 
          ඔය අතරෙදි තමයි ඇගේ සැමියාගෙන් අමුතු යෝජනාවක් එන්නේ.. "අපි දරුවො වෙනුවට පැපැල  සිටවමු. ඒවාට දරුවන්ට වගේ සලකමු. ඒවා මහා වෘක්ෂ වෙනකන්  රැකබලාගම්මු." තිමක්කා ඒ අදහසට කැමති වෙනවා. 
          ඉන් පසුව ඔවුන්ට පැල සිටුවන්න ස්ථානයක් තෝරගන්න වෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ඔවුන්ගේ ගමේ සිට අල්ලපු ගම තෙක් දිවෙන මාර්ගය. ගහක් කොලක් නැති නිසා දිවා කාලයේ ඒ මාර්ගයේ යන මිනිස්සු විඳින පීඩාව ඔවුන් දකිනවා. පැල  විදිහට ඔවුන් තෝරගන්නේ ඔවුන්ගේ ගමේ හොඳින් වැඩෙන නුග පැළ.
         මුල්ම වතාවට ඔවුන් මාර්ගය දෙපස පැල දහයක් සිටුවනවා. ඊ ළඟ වසරේදී පැල පහලොවක්. ඊ ළඟ වසරේදී පැල පහලවක්. ඔය විදිහට වසරින් වසර සිටුවන  පැල ප්‍රමාණ‍ය වැඩි කරනවා.
           උදේ නිවසින් පිටවෙලා රැකියාවට යන ඔවුන්ගේ සවස් කාලය ගෙවෙන්නේ පැල වෙනුවෙන්. වතුර බාල්දි හතරක් රැගෙන නිවසෙන් පිටවෙන ඔවුන් දෙදෙනා කිලෝ මීටර් හතරක් දුරට පාර දෙපස සිටුවා ඇති පැල වලත වතුර දානවා. මදි හරියට ආසන්නයේ තිබෙන ළිඳකින්, ඇලකින්, පොකුණකින් වතුර ගන්නවා. පැල හරකුන්ගෙන් ආරක්ෂා කරගන්න කටු ඉපල් වලින් ආවරණය කරනවා. 
         ඔය අන්දමට ඔවුන් නුග පැල 384 ක් ඔවුන්ගේ අත් වලින් රෝපණය වෙලා මහා වෘක්ෂ බවට පත්වෙනවා.එහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 1.5 කට අධිකයි. 1991 වසරේදී තිමක්කාගේ සැමියා මිය යනවා. එහෙත් තිමක්කා ඔවුන්ගේ අරමුණ අතහරින්නේ නෑ. ඇය දිගටම පැල සිටුවනවා. වර්තමානයේ කර්නාටක රජය  විසින් මෙම වෘක්ෂ රැක බලා ගන්නවා. ඇගේ වැඩිමහල් දරුවා (පළවෙනි නුග ගසටා වයස අවුරුදු හැට පහක් බව ඇය පවසනවා.
         තිමාක්කාගේ නම ඉදිරියට සාලුම්මරඩා කියන කොටස එකතු වෙන්නේ මේ මහා රුක් රෝපණයෙන් පසුවයි. සාලුම්මරඩා කියන්නේ රුක් ගොමුව කියන එක. අපම දුෂ්කරතා මැද එදා වේල හොයාගන්නා අතරතුර ඇය සොබා දම් මෑණියන්ට කල මෙහෙය වෙනුවෙන් මෙම ගෞරව නාමය ලබනවා.
         ඇය පරිසරවේදිනියක් වගේම සමාජ සේවිකාවක්. ඇගේ මූලිකත්වයෙන් වැසි ජලය රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ගමේ ජල ටැංකියල් ඉදිකෙරෙනවා. දැන් ඇගේ බලාපොරොත්තුව ඔවුන්ගේ ගමේ අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම.  එමගින් ඔවුන්ගේ ගමට මෙන්ම අහළ ගම් වලටත් විශාල සේවයක් වෙතැයි ඇය අපේක්ෂා කරනවා. 
          107 හැවිරිදි මෙම මිත්තනිය ආර්ථික අපහසුතා මැද ජීවත්වෙනවා. ඇයට රජයෙන් සුළු දීමනාවක් ලැබෙනවා. කොතරම් අග හිඟ කම් තිබුනත් ඇය ඇගෙන් සමාජයට සොබාදහමට සිදුවිය යුතු සේවය තවමත් ඉටු කරනවා. නුග ගස් වලට අමතරව තවත් ගස් බොහෝ සංඛ්‍යාවක් ඇය විසින් රෝපණය කොට තිබෙනවා.
        රටට සොබා දහමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්න අධ්‍යාපනයවත් මුදල් වත් අවශ්‍ය නොමැති බවට ඇය අපට හොඳම උදාහරණයක්.
         

Sunday, December 16, 2018

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෝමල්....


                       ඇය කෝමල් ගුප්තා. ඉන්දියාවේ දිල්ලියේ ජීවත් වෙන තරුණියක්. වෘත්තියෙන් ඉවන් කාගෝ ආයතනයේ භාණ්ඩ බෙදාහැරීමේ නිලධාරිනියක්. ඉන්දියාවේ වගේම ලංකාවෙත් තවම ඩිලිවරි සර්විස් වල සේවය කරන්නේ පුරුෂ පාර්ශවය විතරයි. කාන්තාවන්ට සුදුසු ආරක්ෂාකාරී රැකියාවක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය සලකන්නේ නැහැ.
           ඉන්දියාවේ තියෙන්නේ පුරුෂ මූලික සමාජයක්, විවිධ ජාතින්, ගෝත්‍ර, ආගම් හා සංස්කෘතික වශයෙන් ගතානු ගතික අදහස් දරන, කාන්තාවන්ගෙන් බහුතරය ගෘහස්ත වැඩ කටයුතුවලට පමනක් සීමාකල කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවදානයක් නොදෙන රටක්. එවන් රටක ගැහැණු ළමයෙක් කාගෝ ආයතනයක සේවය කරන ගමන් බයිසිකලයක ගිහින් භාණ්ඩ බෙදාහරින එක කොහොමත් ඔවුන්ගේ සමාජය අනුමත කරන්නෙ නෑ.
         නමුත් ඒ සාම්ප්‍රදායික බැම්ම බිඳලා එම වෘත්තීයේ යෙදෙන්න කෝමල් පටන් අරන්. කෝමල් සමග තවත් තරුණියන් 19 දෙනෙක් මෙම ආයතනයේ රැකියාව කරනවා. "ඉවන් කාගෝ" නව දිල්ලියේ තිබෙන කාගෝ ආයතනයක්. ඉන්දියාවේ තිබෙන කාන්තාවන් පමනක් භාණ්ඩ බෙදාහැරීමේ නිරතවන එකම කාගෝ ආයතනය. 
         කෝමල් ගුප්තාට වයස 22 යි. නව දිල්ලියේ ජීවත්වෙන ඇගේ නිවසේ සිටින්නේ බාල සහෝදරයාත් මවත් පමනයි. ඇගේ වැඩිමහල් සහෝදරියෝ තිදෙනාම විවාහකයි. පියා මිය ගිහින්. පියාගේ මරණයත් සමග ඇගේ පවුලේ නඩත්තුව සඳහා කෝමල්ට රැකියාවක් අවශ්‍ය වෙනවා. ඇය ඉවන් කාගෝ ආයතනයාට එකතු වෙනවා.
        "  මම ඉන්ජිනේරුවරියක් වෙන්න හීන මැව්වා. ඒත් පියාගේ මරණයත් එක්ක ඒක හීනයක්ම උනා."
 "මීට වසර හතරකට පෙර මම දොලොස් වන ශ්‍රේණියෙන් පාසැල් ගමන අවසන් කලා. ඉන් පසු අම්මාට සහයක් වෙන්න මේ රැකියාව තෝරගත්තා. "
"මගේ අම්මා මට කැමති රැකියාවක් තෝරාගන්න නිදහස දුන්නා."
" මම දිනකට පාර්සල් තිහ හතලිහක් බෙදාහරිනවා. මට $ 250 ක වැටුපක් ලැබෙනවා."
" මගේ වියදමට ටිකක් තියාගන වැඩි ප්‍රමාණයක් මම අම්මාට දෙනවා." "මම කැමතියි ස්කූටරය පදින්න."
මම දිල්ලියේ ජීවත් උනත් ගිහින් තිබුනේ නගරයේ සීමිත ප්‍රදේශයකට විතරයි. මේ රැකියාවත් සමග මට දිල්ලියේ නොගිය ස්ථාන බොහොමයක් දැක බලාගන්න ලැබුනා."
" දැන් මට ඕන මේ රැකියාව කරන ගමන් වැඩිදුරටත් ඉගන ගන්න. මෙයිට වඩා හොඳ රැකියාවක් කරන්න."
                 ඉවන් කාගෝ නිර්මාතෘ  යෝගේෂ් කුමාර් එය ආරම්භ කරන්නේ 2016 වසරේ මැයි මාසයෙදීයි.  මෙවන් රැකියාවක් කරද්දී විවිධ ස්ථාන වලට පාර්සල් අරන් යන්න වෙනවා. ගැහැණු ළමයින්ට යම් කිසි කරදරයක් වෙන්නත් ඉඩ තිබෙනවා. එනිසා රැකියාව ආරම්භ කිරීමට පෙර ඔවුන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලැබෙනවා.  ඔවුන් සේවයේ යොදවන්නේ දහවල් වරුවේ පමණයි. ඒ වගේම ඔවුන්ට හුරු   තෝරාගත් නියමිත මාර්ග වල පමනයි. ඉවන් කාගෝ ආයතනය ඉදිරියේදී තරුණියන් දෙදහසකට රැකියා දෙන්න ඒ කියන්නේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම එය පහසු කාර්යයක් නෙමෙයි. ඒත් සාම්ප්‍රදායික බැමි බිඳින්න ඔවුන් සූදානම්.
             2017 මාර්තු මාසයේ එළි දක්වපු ලෝක බැංකු වාර්තාවන්ට අනුව ඉන්දියානු රජයේ ලබාගත් තොරතුරු වලට අනුකූලව 2004 වසරේ සිට 2012 වර්ෂය තෙක් රැකියාවලින් නෙරපපු ඉන්දීය කාන්තාවන් ප්‍රමාණය මිලියන 19.6ක්. උගත්කම හා හැකියාව මනා ශරීර සෞඛ්‍යයක් තිබුනත් රැකියාවල් ලබාගැනීමේදී කාන්තාවක් වීම ඉන්දියාවේදී විශාල බාධකයක් වෙනවා. එනිසා ඔවුන්ට පිරිමින් යටතේ ලැබෙන දෙයකින් ජීවත් වෙන්න සිදුවෙනවා. ඉදිරියේදී මෙම බැමි බිඳී යාවී. රැකියා වෙළඳ පොළේ තරුණියන් සඳහා සීමා මායිම් පුළුල් වේවි.

"We are trying to bring the change, but it will take some time"

Thursday, December 13, 2018

ටජ් මහලේ ප්‍රවේශ පත්‍ර මිල ඉහළට


ඉන්දියානු රජය සහ අග්‍රාවේ බලධාරීන් ටජ් මහල් නැරඹීමට පැමිනෙන සංචාරකයින් සඳහා ඇතුල් වීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දමීමට තීරණය කරලා.  විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටත් බලපැවැත්වෙන පරිදි ගාස්තු ඉහළ දමා තිබෙනවා.
          ඒ අනුව දේශීය සංචාරකයෙකුට ටජ් මහල නැරඹීමේ ප්‍රවේශ පත් ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් 250 කුත් විදේශීය සංචාරකයෙකුට ඉන්දීය රුපියල් 1100 සහ සොහොන් ගැබ නැරඹීම සඳහා අමතරම් ඉන්දීය රුපියල් 200 කුත් ගෙවීමට සිදුවෙනවා.
        ඉන්දීය රජය මෙලෙස ගාස්තු වැඩි කිරීමට තීරණය කොට ඇත්තේ ප්‍රමාණය ඉක්මවා ටජ් මහල නැරඹීමට එන සංචාරකයින් සීමා කිරීමේ අරමුණෙන්. වසරකට මිලියන හතක පමන දේශීය විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් ටජ් මහල නැරඹීමට පැමිනෙනවා. එනිසා ටජ් මහල් භූමියේ ජනයා ප්‍රමාණය ඉක්මවා ගැවසෙන අතර එමගින් ටජ් මහලට හානි විය හැකි බවත් ඔවුන් පවසනවා.එමෙන්ම සංචාරකයින් නිසා  ටජ් මහල පිහිටි භූමිය සහ යමුනා ගංගාව අපවිත්‍රවීමද තවත් හේතුවක්.
        ප්‍රවේශ පත්‍ර වල මිල ඉහළ ගියත් සංචාරකයින් පැමිනීමේ අඩුවක් නොමැති බවත් සංචාරකයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බවත් සඳහන්.
       ඒ අසහාය නිර්මාණය පියවි ඇසින් දකින්න කවුද අකමැති. වැඩිපුර මුදලක් වැය කොට හෝ එය නරඹන්නට සංචාරකයින් පෙළඹෙන එක ඉන්දීය රජයට නතර කරන එක ඒ තරම් පහසු දෙයක් නොවනු ඇති. එහෙත් ලෝක උරුමයක් වන ටජ් මහලට හානියක් නොවී රැක ගැනීමට ඉන්දීයානු බලධාරීන් උත්සාහ කිරීම වරදක් විදිහට කවුරුත් දකින්නෙත් නැහැ.

Tuesday, December 11, 2018

ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්

භාවිතයෙන් ඉවත්කල ගල්  කොරියක හෝටලයක් නිර්මාණය කලා කිව්වොත් ඔබ පුදුම වේවි. මේ පහත ඡායාරූපයේ තිබෙන්නේ ඒ ගල්කොරිය.


පහත ඡායාරූපයේ තිබෙන්නේ ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් හෝටලය. 


                        චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙම නැත්නම් අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. නොවැම්බර් 22 දා විවෘත කල "ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් "හෝටලය කියන්නෙත් චීනයේ අලුත්ම අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කල විශාල ගල් කොරියක. කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදි කිරීමට වසර දහයක් ගතවී තිබෙනවා. මෙය ඉදිකිරීමට යුරෝ මිලියන 225 ක් වැය වී තිබෙනවා.
         මෙහි මහල් දෙකක් පොළව මට්ටමෙත් ඉතිරි මහල් දාසය පොළව මට්ටමෙන් යටට වන්නට නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක  ජලය තුල නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට හැකියාවද සහිතයි. එමෙන්ම එම පහළ මහලේ මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්ද තිබෙනවා. 





කැමති අයට ගල් මත නැගීමට   (Rock climbing) මෙන්ම කායකින් (kayaking) පහසුකම්ද තිබෙනවා.



මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමට නම් සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කරන්නට සිදුවෙනවා.



මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්.  මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කල හොඳම නිර්මාණය බව මාටින් පවසනවා.
                    එමෙන්ම හෝටලේ නවාතැන්ගන්නා අමුත්තන්ට උවමනානම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළක්ද තිබෙනවා.



    එමෙන්ම මෙහි කෘතිම දිය ඇල්ලක්ද නිර්මාණය කොට තිබෙනවා.