Friday, June 30, 2017

කවිකඳුර


කවිකඳුර පොත මුද්‍රණය කරලා අවුරුදු හතක් විතර ගතවෙලා තිබුනත්, ගොඩක් ලස්සන පොතක් කියලා බොහොමයක් දෙනා වර්ණනා කලාට පහුගිය කාලේ පරිවර්තන කෘතිම කියවන්න ඇබ්බැහිවෙලා උන්න නිසාද කොහෙදෝ මට මේ පොත කියවන එක මගහැරුනා.පුස්තකාලේ ගිහාම මට හිතුනා පරිවර්තන නැතුව සිංහල පොත් දෙකක් තෝරගත්තානම් හොඳයි කියලා. ඉතින් මම කවිකඳුර අරන් ආවා.
        මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා ගලාගෙන යන කතාවක් විදිහට තමයි කවිකඳුර ලියලා තියෙන්නේ. ලංකාව යටත් විජිතයක් වෙන්න කලින් මෙහි විසූ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් සරලයි. සුන්දරයි. මහනුවර රාජධානියේ අවසන් කාලය  කියන්නේ ලංකාවේ ලොකූ වෙනස්කම් රැසක් සිදූවූ යුගයක්. දේශපාලනික,සමාජීය,සංස්කෘතික වෙනස්කම් වගේම රජකම පවා වෙනත් ජාතිකයෙකුට ගිය යුගයක්.බලයට කෑදරකමේ සිදුවන පාවාදීම්, එකිනෙකාට විරුද්ධව කේලාම් කීම් වගේම කුල ක්‍රමය නිසා ඇතිවන ගැටළු සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව ගැන යම්කිසි කතිකාවක් ඇතිකරන්න කතුවරිය උත්සාහ කරලා තියනවා.
           මේ කාලේ වෙනකොට බුදු දහම පිරිහිලා. බුදු දහම මේතාක් දුරට හරි රැකගෙන එන්නේ ගනින්නාන්සේලා නමින් හැඳින්වුනු ගිහි ජීවිතයක් ගත කරන ගමන් සාමනේර ශීලය පමනක් රැකගෙන කුඩා පන්සල් කීපයක් සහ ඒවායේ තිබූ ධර්ම් ග්‍රන්ථ සහ ධාතූන් වහන්සේලා රැකගන්න උත්සාහ දරපු කොටසක ගෙන්. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ඉල්ලීමට සියම් දේශයේ රජතුමාගෙන් ඉල්ලීමක් කර උපාලි ස්වාමින්  වහන්සේ ඇතුළු උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසි නමක් ලක්දිවට වැඩම කරවා උපසම්පදාකර්මය සිදුකරනු ලබනවා.
            පෘතුග්‍රීසි, ලන්දේසි වගේම ඉංග්‍රීසි ජාතිකයන්ගේ ගති සිරිත් වගේම විවිධ ජාතීන අතර අවාහ විවාහ සිද්දවෙන්න පටන් ගන්නෙත් මේ කාලෙදි. බුදු දහමෙන් ඉවත්වෙලා අනෙකුත් ආගම් අදහන්න ජනතාව හුරුවෙන්නෙත් මේ යුගයේ.
            ලංකාවේ සමාජීය සංකෘතික මෙන්ම දේශපාලනික පරිවර්තනයන් සිදුවෙමිනි පවතින කාල වකවානුවක පිංචි අම්මා,මරියම්මා,සුවඳි,ටිකිරි මැණිකේ,උක්කුවා,නිලමේ,
අංකුට්ටා,බ්ලෙක්,හීංඑකා,වික්ටර්,අයිවන්, වැනි චරිත රාශියක් එක්කාසු කරන් යම්කිසි කතාවක් ගොඩනගාගන්න කරපු උත්සාහයක් තමයි කවිකඳුර කියන්නේ. 
                           සාමාන්‍ය නවකතාවක කතාව ගලාගෙන යන ආකාරයට වඩා වෙනස් ආකාරයකට තමා මේ පොත ලියලා තියෙන්නේ. කතාකරන භාෂාවෙන් ලියපු නිසාත් මට මේ පොත වෙනස් පොතක් උනා.
                       2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නෙත් කවිකඳුර.
 

Tuesday, June 27, 2017

සීට්ටු

අහපන් නයනක්කේ,
හම්බවෙන සොච්චමෙන්
භාගයක් ගෙදරට ,
ඉතිරියෙන් කොටසක්
දෙනවා බෝඩිමට,
උදේ දවල් කෑම
ශේප් වෙනවා වැඩපොලෙන්
රෑට ඔය පොඩි දෙයක්
හොඳටෝම ඇති
බඩගින්න නැතිවෙන්න
කොහොමද බං මම ගන්නෙ
අසාවට චේන් පොටක්
නෑනේ කිසි ඉතුරුවක්....

අල්ලපන් සීට්ටුවක්
මම එහෙමයි
මගේ වැඩ කරගත්තෙ
සල්ලි වගේම
දැම්මා නොයෙකුත් සීට්ටු
උඹටත් පුළුවන් නංගියේ
ඒ විදිහට එකතු කරගන්න
සල්ලි වගේම දෑවැද්දට බඩුත්..


ලේසියෙන් සල්ලිනම්
හොයතහැකි ඇති තරම්
ඒත් බං නංගියේ
රැක ගනින් උඹේ නම
අවුරුදු පහක් වත්
වැඩ කලොත් උඹ මෙතන
හොඳට කල්පනා කර
ගැලපුවොත් උඹේ පඩිය
උඹට බැරි නෑ
මං වගේ ගොඩ යන්න...

ලැබුනා උපදෙසක්
රන් හා  වටින
උඹට පින් නයනක්කේ

මට කියලා දුන්නාට...

අනේ උඹේ පින්
මට එපා උඹ ගනින්
මම වගේම උඹත්
කෙල්ලෙක්නෙ බං
මෙහෙ ඇවිත් දුක්
විඳින...




Friday, June 23, 2017

සෙනසුරාදා

අද උදේ ඇහැරිලා බලද්දී ලයිට් ඩිම් වෙලා. මෙලෝ වැඩක් කර්ගන්න බෑ කළුවරේ. ඒ මදිවට මොරසූරන වැස්ස. කැම්මැලි උනත් වැඩට නොයා බෑනෙ ලෑස්ති වෙලා පාරට ගිහාම හංදියෙ කඩේ මාමා කිව්වා අද සීටීබී බස් එක නෑ කියලා. අනිත් පාරේ යන වෑන් එක එයිනෙ කියලා හිතාගෙන පාරෙන් එහා පැත්තට ගියා විතරයි මෙන්න එනවා බස් එක. ආයේ පාර පැනලා දුවන් ඇවිත් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටිකට් කඩන ගමන් කියනවා ඔයා බස් එක ඇතුල තෙමුවා කියලා. බස් එකනම් මොකද අනේ මේ මාත් හොඳටම තෙමිලා කියලා මම ගිහින් වාඩි උනා. බස් එකෙන් බැහැලා ස්ටේෂන් එකට ගිහාම කියපි කෝච්චිය විනාඩි 25 ක් පරක්කුයි කියලා. කොහොමහරි කෝච්චිය කියපු වෙලාවට ආවා. ගම්පහින් බැහැලා මීගමු බස් එකට නැග්ගා. ඒක කාන්සියට මීගමු යන බස් එකක්. හෙමින් හෙමින් ඔහේ යනවා. මිනිස්සුත් තම තමන්ගේ ලෝක වල හුදකලා වෙලා ගාටනව කියලා වගේ වගක් නැතුව ඔහේ ඉන්නවා.  අද මම වැඩට ආවේ විනාඩි 25ක් පරක්කු වෙලා.අදනම් කිසි කමකට නැති දවසක් උනා.

Thursday, June 22, 2017

අරගලය


අනේ මහත්තයා මේක 
ආයේ මහන්න බෑ 
අලුත් එකක් ගන්න
සපත්තු මහන්නා 
එහෙම කිව්වම 
මාව සීතල වෙලා ගියා..
අලුත් සපත්තු ජෝඩුවක් 
රුපියල් දෙදහක් විතර
කොල්ලාට කැම්පස් යන්න බෑ
පෙරේතය වගේ
දොස්තර මහත්තයෙක් 
වෙන්නනෙ ඉගන ගන්නේ
ඉතින් අරන් දුන්නා 
මේ මාසෙ පඩියෙන් 
අලුත් සපත්තු 
ජෝඩු දෙකක්ම
අත්තිකාරමක් වත් දමා
ගන්නවා හවසට 
අඩු ගනන් සපත්තු ජෝඩුවක්
එහෙම හිතාගෙන 
ඔෆීසියට ඇවිත් 
පටන් ගත්තා වැඩ
අන්න අරුන්
මෙඩ්ඩෝ රිංගලලු
අමාත්‍යාංශයට
ගහලලු ඔක්කොටම 
තුවාලළු ළමයින්ට
ඔෆීසියේ කතාවක්
මාත් බය උනා හොඳටම
අපේ එකත් ඇති ඔය අතර
එතකොටම මට
කෝල් එකක්
අන්කල් "මියුරු ඉස්පිරිතාලේ"
ඔලුව පැලිලා 
දමා කෙටි නිවාඩුවක්
දිව්වා රෝහලට
දොස්තර කෙනෙක් වෙන්න
ඉගන ගන්න ගිය
මගෙ කොල්ලා 
වට කරන් බෙහෙත් දානව
දොස්තරලා
මගෙ පුතේ මේ අහපන්
අපට බෑ රට හදන්න
අනේ මට දුක් නොදී 
උඹවත් හැදියන්
රට ගියදෙන් යකාට
එහෙම කියන්න 
හිතට ආ සිතුවිල්ල
හිතෙම තද කරන්
කිට්ටු උනා 
කොල්ලා ලඟට
"තාත්තේ" 
උන් අපට ගැස්සුවා
අසාධාරණයට 
විරුද්ධව අරගල කරපු
වරදට
කඳුලු පිරිච්ච
කොල්ලගේ ඇස් 
කිව්වා එහෙම කතාවක්...



Wednesday, June 21, 2017

ඩෙංගු


ඩෙංගු වසංගතයක් බවට පත්වෙලා. ලංකාවේ රෝහල් වලට රෝගීන බාරගන්න බැරි තරමටම රෝගීන් සංඛ්‍යාව ඉහල ගිහින්.එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්නවාලු.ඩෙංගු නිසා අහිමි වෙන ජීවිත ප්‍රමාණයත් ඉහළ ගිහින්. දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන්, සහෝදරයන්,හිතවතුන් ඩෙංගු මදුරුවෙක් නිසා අපෙන් වෙන් වෙද්දී හිතට වේදනාවක් එක්කම දැනෙන්නේ කේන්තියක්
                              ඇයි මේ රෝගය මැඩ පවත්වන්න රජය මැදිහත් නොවෙන්නේ.ඇයි රාජ්‍ය සේවයේ වගකිව යුත්තෝ අහක බලාගෙන ඉන්නේ.ඩෙංගු මදුරුවා එක එක විදිහට කාලය හා පරිසරයට අනුගත වෙලා වෙනස් වෙනවලු.රෝග ලක්ෂණ වගේම රෝගයෙන් වෙන හානියත් වෙනස් වෙනවලු
                               දැන්වීම් පත්‍රිකා, උපදෙස්, දඬුවම් මගින් මේවා මැඩලන්න පුලුවන්ද? දැන්වීම්, උපදෙස් අහනවා බලනවා දකිනවා විතරයි. දඩ මුදල් වලින් රජයට කීයක් හරි එකතුවෙයි. ඒත් රෝගය පැතිරීම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.
                                   මගෙත් ලඟම ඥාතියෙක් ඩෙංගු රෝගයෙන් මිය ගියා. රජයෙන් කලේ මොකක්ද අහළ පහළ ගෙවල් අවටට දුම් ගහලා අතපිහිදා ගත්තා. ඒකෙන් මදුරුවෝ බෝ වෙන එක නතර වෙයිද?මෙයට මෙයිට වඩා සාර්ථක පිළියමක් අවශ්‍යයි. ජනතාවගෙන් වගේම රජයේ මැදිහත් වීමත් අවශ්‍යයි.තමන්ගේ කුණු අනුන්ගේ නිවසක් ඉදිරිපිටට හෝඅ මහපාර අයිනට ගෙනිහින් දාන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක් මේක.

                        මෙයිට වඩා කාර්යක්ෂම හා සාර්ථක ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතුයි. මෙයිට වඩා අඩු පහසුකම් තියාගෙන මැලේරියාව සම්පූර්ණයෙන් මර්දනය කලා නම් ඇයි ඩෙංගු මර්ධනය කරගන්න අපට බැරි.
               
       
ජනතාවගේ උත්සාහයයි කැපවීමයි රජයේ මැදිහත්වීමයි තියනවා නම් මේ අභියෝගය ජයගන්න බැරි කමක් නෑ.තමනෙගේ කෙනෙක් අහිමි වෙන්න කලින් අපිත් හිතලා බලමු. අපේ ගෙවල් අවට පිරිසිදු කරන්න දවසකට පැයක් වෙන් කලානම් හොඳටම ඇති. පුලුවන්තර්ම් වතුර එකතු වෙන්න ඉඩ නොතියා තණ කොළ පඳුරු වැවෙන්න ඉඩ නොතියා අපිත් අපේ වගකීම ඉටු කරමු. අරයා මෙයා කරනකන් බලා නොසිට අපිත් අදම මේ මොහොතෙම අපේ යුතුකම ඉෂ්ඨ කරමු..


Sunday, June 11, 2017

කියවීම

                                           
                                       
                                     මෑත දවසක හවස කෝච්චියෙදී මම බකල් නිලන් වාඩිවෙලා යද්දී මට එහා පැත්තේ උන්න ගැහැණු ළමයා ඇහුවා අද කියවන්න පොතක් නැතිද කියලා. ඇත්තටම එදා මට කියවන්න පොතක් තිබුනෙ නෑ. ඉතින් මම කිව්වා අද නම් නෑ කියලා. මාව අඳුනන්නේ නැති උනත් මගේ පොත් කියවිම හවස කෝච්චියේ මාව දකින අයටත් හුරුවෙලාද කොහෙද?
                                            ඔහොම කියවන්න කම්මැලි නැතිද කියලා අහන අයත් ඉන්නවා. සල්ලි වියදම් කරලා පොත් ගන්න එක අපරාදයක් නෙ කියන අයත් ඉන්නවා. නෑ මට පොත් කියවන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ ඒ වගේම  සල්ලි දීලා පොත් ගන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ. කියවන එක ලියන එක මගේ විනෝදාංශය. ඒ දෙකෙන්ම මටවත් අන් අයටවත් හානියක් නෑ.

                                                 කියවීම මම පටන් ගත්තේ මොන්ටිසෝරි යන කාලේ "සුරතලා" පත්තරෙන්. යන්තන් අකුරු කියවන්න පටන් ගත්තට පස්සේ මට මතකයි මම අපේ සීයා,මාමා, පුංචි ගෙදරට ගේන පත්තරත් කියෙව්වා. මටත්" බිංදු, හඳ මාමා, මිහිර, විජය" පත්තර අරන් දුන්නා." සිළුමිණ පත්තරේ, තරුණි පත්තරේ, ඒ කාලේ තිබ්බා යොවුන් ජනතා කියලා පත්තරේකුත්, ඊට අමතරව අපේ මාමා චිත්‍ර කතා පත්තරත් ගෙනාවා. ළමයින්ට  නිසුදුසුයි කියලා  කවුරුත් මට ඒවා කියවන්න එපා කිව්වෙත් නෑ..තේරුනා නැතා මම කියෙව්වා. ඒ අතරේ අපේ අම්මා මට කතන්දර පොත් ගෙනත් දුන්නා. සෝවියට් රුසියන් ළමා කතා.ඔය විදිහට තමයි මම පොත් කියවන්න පටන් ගත්තේ.
                                         
    
                                    ඉස්කෝලේ ඉහල පංති වලදී "මල්" පත්තරත් කියෙව්වා. "කුමරි,අරලිය,සුවඳ" වගේ ඒවා. ඒ අතරේ මල් නව කථාත් කියෙව්වා." තරුණී, සිරිකත, නවලිය" කාන්තා පත්තරත් කියෙව්වා. දැන් නම් මගේ පොත් කියවීම ටිකක් වෙනස් වෙලා. නව කථා පොත් වෙනුවට මම දැන් "පරිවර්තන" වලට හුරු වෙලා. නව කථා කියවනනේ නැතුවත් නෙමේ. ඔය අතරේ අන්තර් ජාලයෙන් ඉංග්‍රීසි පොත් download කරගෙනත් කියවනවා. 

                                                                             මම මට පුලුවන් කාලයක් පොත් කියවයි. පොත් කියෙව්වා කියලා මම මගේ ජීවිතේ අනිත් වැඩ අතපසු කරගෙනත් නෑ. රැකියාවට යනවා. ගෙදර දොරේ වැඩ කරනවා. ඔය අතරේ කියවීමටත් වෙලාව හදාගන්නවා.
                                                     ඇත්තටම පොතක් පත්තරයක් කියවනවා කියන්නේ මට නම් මානසික සුවයක්. අනික කොච්චර දේවල් දැනගන්න පුලුවන්ද. මම කැමතියි මම වගේ අනිත් අයත් කිය්වන්න හුරු වෙනවා නම්. ඒත් ගොඩක් අය කියවන්න කම්මැලියි.

.දරුවන්ටත් ළදරු වියේදීම පොත් කියවන්න හුරු කලොත් ලොකු වෙද්දී එයාලා බලකිරීමකින් තොරව කියවන්න හුරු වේවි.



Friday, June 9, 2017

පිච්ච මල



                                        සුදු පාට පිච්ච මලක්
                                        විකසිතව සුවඳ දෙමින්
                                        බුදු පුදටයි සූදානම 
                                        අද උදේම හරිම සතුටෙන්.........

Thursday, June 8, 2017

නුඹ වැනි දුවක්




මා කුස හොවා නුඹ මෙළොවට බිහි වෙද්දී
ලේ කිරි පොවා මා නුඹ නලවද්දී
පා පොඩි තබා නුඹ හෙමිහිට ඇවිදිද්දී
මැව්ව හීන නුඹ හෙමිහිට ලොකු වෙද්දී

වසරින් වසර නුඹ හෙමිහිට ලොකු වූවා
යහගුණයෙන් මෙන්ම රුවෙනුත් හැඩ වුවා
අම්මා තාත්තගේ නම රැන් දූවා
සරසවිය නුඹෙ දෙවෙනි මව් වූවා

නුඹ දැන් ලොකුයි අපහට බයක් නැතේ
නුඹහට රන් දොරටුත් විවර වෙතේ
පරිස්සමින් හෙමිහිට යමුකො පුතේ
හිතනා තරම් මේ ලොව සොඳුරු නැතේ

අම්මා තාත්ත ගෙ ආශිර්වාදෙ ඇතේ
බුදු සරණින් නුඹ හට දුකක් නැතේ
තිස්තුන් කොටියක් දෙවි පිහිටයි නුඹට පුතේ
නුඹ වැනි දුවක් ලැබුනේ පෙර පිනට පුතේ

ජීවිතය කියන්නේ පාසැලක්


                                                     
 ඔව්, ජීවිතය කියන්නේ පාසැලක්. මව් කුසින් ඉපදුන මොහොතේ සිට මියයන මොහොත දක්වාම අපි ජීවිතය නම් පාසැලේ ඉගනුම ලබනවා. උදෑසන අවදි උන වෙලාවේ සිටන් රාත්‍රී නින්දට යන තුරුම අපි ජීවත් වෙන මොහොතක් පාසාම  යමක් ඉගන ගන්නවා.



                                                           ජීවිතය නම් පාසැලේදී අපට කොයි තරම් යාලුවෝ මුණ ගැහෙනවද? ඉන් කීප දෙනෙක් පමනක් ජීවිත කාලයටම අපි ළඟ ඉතිරි වෙනවා. ගොඩක් අය තාවකාලිකව අපේ ජීවිතේට එන අය. ඒ අයගෙන් කොටසක් ඉඳ හිට හෝ මුණ ගැහෙනවා. කොටසක් අහම්බෙන් වත් මුණ ගැහෙන්නේ නෑ. තවත් කොටසක් ජීවිතය කියන පාසැලෙන් යන්නම ගිහින්. ඒ හැමෝගෙන්ම අපි යමක් ඉගන ගෙන ඇති. එහෙම බලනකොට මේ ජීවිතේ අපට හමුවෙන සෑම දෙනාම අපේ ගුරුවරු.ඒ වගේම අනිත් අයට අපිත් ගුරුවරයෙක් වෙන්න ඇති.

                                                         උදාවෙන හැම දවසකම අපිත් ජීවිතේට යමක් එකතු කරගම්මු. ඒක කොතනින්ද කාගෙන්ද කියන එක ගැන සිතිය යුතු වන්නේ නෑ. අපි ඉගන ගන්නේ හොඳ දෙයක් නම් ඒක ජීවිතේට එක්කාසු කරගෙන, නරක දෙයක් නම් බැහැර කරලා දාමු.ගමට රටට අපට කළ හැකි යමක් තිබේනම් ඉටු කරමු.




                                                          ඒ වගේම අප අවට ජීවත් වෙන සතුන් හා අපි නිවසේ ඇති කරන සතුන්ගෙනුත් අපට ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්. අපි එයාලටත් ආදරය කරමු.එයාලත් අපේ ජීවිත පාසැලේ සාමාජිකයෝ.

කාටත් උදව් කරගෙන,සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා ජීවිත පාසැලේ හොඳ ශිෂ්‍යයෙක්. අපිත් ජීවිත පාසැලේ හොඳ ශිෂ්‍යයෝ වෙන්න උත්සාහ කරමු.





Tuesday, June 6, 2017

කුළෑටි මුහුද

කුළෑටි මුහුද       පරිවර්තනය - ස්වර්ණකාන්ති රාජපක්ෂ

The sea of Innocence  - Kishwar Desai

                                         

මම කියවලා ඉවර කරපු අලුත්ම පොත. පුස්තකාලෙන් ගෙනාවට මොනවගේ පොතක් ද කියලා අදහසක් නැතුවයි අරන් ආවේ. කියවන්න ගත්තම තමා තේරුනේ මේ පොත රහස් පරීක්ෂක පොතක් කියලා. ඒ වගේ පොතක් එක දිගටම කියවලා ඉවර කරන්න ඕනා..එතකොටයි කතාවට අදාල රූපමය සටහන් මනසේ ඇඳ ගන්න පුලුවන් වෙන්නේ.

මේ පොතේ කතා නායිකාව සිම්ර්‍න් සිං එයාගේ දුව (හදාගන්න ගත්ත දුව,සිම්ර්‍න් සිං අවිවාහකයි ) ත් එක්ක ගෝව වෙරළ තීරයට යනවා විවේකයක් ගන්න. සිම්ර්‍න් සිං සිගැරැට් බොන, බියර් බොන සාම්ප්‍රදායික ඉන්දියානු කාන්තාවකට වඩා වෙනස් කාන්තාවක්. සිම්ර්‍න් සිං ගේ හිටපු පෙම්වතා පොලිස් නිලධාරියෙක්. එයාගේ ඉල්ලීමකට අකමැත්තෙන් උනත් සිම්ර්‍න් සිං ගෝව වෙරළේ දී අතුරුදහන් උන හිපි තරුණියක් ගැන හොයන්න පටන් ගන්නවා..ඒ විදිහට ගලාගෙන යන මේ කතාවේ ගෝව වෙරළේ සිදුවෙන මත් ද්‍රව්‍ය වෙළඳාම, නොයෙකුත් අපචාර, ස්ත්‍රී දූෂණ, විදේශික ගැහැණු ළමයින්ව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරලා ඔවුන් හරහා මත් ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන ආකාරය ගැන ලියලා තියනවා. ඒවා ඇත්තටම නම් සිදුවෙනවද දන්නෙ නෑ. ඒ වගේම මේ ව්‍යාපාර වල හිමිකරු එහෙම නැත්නම් මහ මොළකරු වෙන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්..කොහොම හරි අවසානයට සිම්ර්‍න් සිං හිපි ගැහැණු ළමයගේ අභිරහස හොයාගන්නවා. එත් එතකොට ඒ ළමයා මිය ගිහින් කාලයක් ගත වෙලා.සිම්ර්‍න් සිං  ට ගොවෙන් ම පෙම්වතෙකුත් මුණ ගැහෙනවා.
මේක ප්‍රබන්ධ කතාවක් , සත්‍ය කතාවක් නොවෙන මුත් ඉන්දියාවේ සිදුවුන සත්‍ය සිදුවීම් ගැනත් මේ පොතේ සටහන් වෙනවා. මම කියවපු දුක්බර කේදවාචකයක් ..මත් කුඩු නිසා තරුණ ජීවිත විනාශ වෙන හැටි වගේම ඒවායින් මිනිස්සු කෝටිපතියෝ වෙලා සුදු රෙදි පොරවගෙන ඉන්න අන්දම ගැන  කතාකරන්න කතුවරිය මේ පොතෙන් උත්සාහ කරලා තියනවා.ඔයාලත් කියවලා බලන්න.

                                         මතක පොතේ පිටු..........
එකම එක වරක් යළි

එකම එක වරක් යළි
ඔබේ රුව දකින්නට
පාරමී පුරන නෙතු
මට අවනත නොවන කල
ඔබ ගැන මතකය
පමනක් හිත තුල තෙරපන්
මතක පොත පෙරලීමි
නුඹ මගෙත් නොවේ
මා නුඹෙත් නොවේ
මතක් කරයි 
මතක පොතේ පිටු
බොහෝ කලකට පෙර
නුඹ මා අතහැර
බොහෝ දුර ගොසින් වග...