Showing posts with label මගෙම සිතුවිලි. Show all posts
Showing posts with label මගෙම සිතුවිලි. Show all posts

Wednesday, October 2, 2019

වර්ජන


ඔයාලට කියන්න යාළුවනේ ස්ටේෂන් මාස්ටර් ලා එයාලගේ ඔෆීස් ඉබ්බො දාලා සීල් කරලා ගිහින්. රෑ උනාම ලයිට් දාන්න ක්‍රමයක් නැති නිසා ස්ටේෂන් එක අඳුරේ. හවසට කෝච්චි හතරක් යනවනේ ප්‍රධාන මාර්ගයේ. ඊයෙ ඉතින් මාත් ආසාවටත් එක්ක කෝච්චියෙ ගියා.😁😁(ආසාවට නෙමේ ඉතින් බස් 3-4 යන ගමනක් පහුගිය ටිකේ ගියේ) කාලෙකින් යන්නත් බැරි උනානේ. පල්ලෙවෙලින් බහින්න බලනකොට තමයි තරු පෙනුනේ. කරුවලට ෆ්ලැට් ෆෝම් එක පේන්නෙ නැහැ. මේ දවස් වල කෝච්චිවල යන අය එකිනෙකාට උදව් කරගන්න නිසා ඉතින් ෆෝන් වල ආලෝකයේ පිහිටෙන් රේල් පාරට නොවැටී බිමට බැහැ ගත්තා.
මොනවා උනත් ඔය වර්ජකයෝ අසමත්. මිනිස්සු දිනුම්. අමාරුවෙන් හරි මිනිස්සු ගෙවල් වල ඉන්නෙ නැතුව වැඩට ගියා. දුම්‍රිරිය දෙපාර්තමේන්තුවට පාඩුව දිනකට මිලියන 17ක් කියලා පත්තරේ තිබුනා.
ගොඩක් වෙලාවට පොඩි එවුන්ට අම්මා තාත්තා හවස ගේන රස කැවිල්ල නැතුව යන්න ඇති. ලෝක ළමා දිනේට තෑග්ගක් ලැබෙන්න නැතුව ඇති. කොහේවත් එක්කන් යන්නත් බැරිවෙයි. බස් ත්‍රීවීල් වලට වැඩිපුර වියදමක් යනවනේ. කමක් නෑ දුම්‍රිය දෙපාර්තුමේන්තුවේ වර්ජනය කරපු උදවිය එයාලගේ වැටුප් වැඩිකරගෙන එයාලගේ දරු පවුල් සතුටෙන් තියයිනෙ. අනුන්ට හෙන ගහලා ගියත් අපට මොකද? අපිට හරියනවා නම්. ඔහොම යන්...

Tuesday, April 23, 2019

මිනිසා කොයිබටද

                                                    
         
                                  අඳුරු ඉරිදාවෙන් පස්සේ වේදනාකාරී මූසල දවස් කීපයක් ගෙවිලා ගියා. නිදාගන්න ගියත් කන්න බොන්න ගියත් වෙච්ච විනාශය මතක් වෙලා හිත කීරි ගැහෙනවා. සිද්ද උනේ ආයේ කවමදාවත් සිදු නොවෙයි කියලා හිතපු දෙයක්. අවුරුදු දහයක් නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් උන අපට මේ අත්දැකීම නුහුරුයි වගේ. බස් එකේ කෝච්චියේ යනකොට සෙවිල්ලෙන් ඉන්න එක මග තොටේදී දකින දකින කෙනා දිහා සැකෙන් බලන්න වෙන එක මොනතරම් අසීරුද. හිතට හරිම වේදනාවක්. අපිට ආයෙමත් වැරදුනේ කොතනද කියලා හිතෙනවා.
                                      අපි හැමවෙලේම අනිත් මිනිස්සුන්ට සාමය සංහිඳියාවේ දෑත දිගු කරනකොට ඔවුන්ගෙන් කොටසක් අපිට  බෝම්බ දික් කරයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. ත්‍රස්තවාදය, අන්තවාදය, ආගමට මුවා වෙලා කරන විනාශය බරපතලයි. මේ අන්තවාදය නිසා සමහර රටවල් අන්ත අසරණ වෙලා. මිනිස්සු මරලා මිනිස්සු අසරණ කරලා ලබාගන්න තියන විමුක්තිය මොකක්ද කියලා මටනම් තේරෙන්නෙ නෑ.
                                  මනුෂ්‍ය ආත්මයක් ලබපු අපි මේ ලෝකෙට දෙන්න ඕන හොඳ විතරයි. මිනිස්සුන්ට, පරිසරයට, සොබාදහමට යහපත කරලා හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපේ යුතුකම වියයුත්තේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද?
                                  ආගමක් නිසා මිනිස්සු හික්මීම ලබනවා. කිසිම ආගමක සඳහන් වෙලා නෑ ඔවුන්ගේ ආගම හැර අනිත් ආගම් අදහන්න එපා කියලා. එහෙනම් ඇයි මේ ආගමික අන්තවාදයක්. තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගම විතරක් මෙලොව රැඳෙන්න ඕනා කියන හැඟීමක්. මේවාට ඔවුන් ළඟ පිළිතුරු නෑ. මනුෂ්‍ය ශරීරයක් ලැබුවාට හිතන්න මොළයක් වත් හොඳ හදවතක්වත් දීලා නෑ. 

Thursday, November 30, 2017

දෙසැම්බර්


දෙසැම්බර් කියන්නේ අවුරුද්දේ මම කැමතිම මාසය. මම කතෝලිකයෙක් නොවුනත් දෙසැම්බර් පටන් ගන්නවත් එක්කම රේඩියෝ එකේ රූපවාහිනියෙන් ඇහෙන ජින්ගල් බෙල්ස් music එකට මම හරි කැමතියි. බටහිර සහ අග්නිදිග ආසියාවේ රටවල් වලට හිම වැටෙන්න පටන් අරගෙනත් ඇති. මම පොඩි කාලේ නම් හිතුවා අනේ අපටත් හිම වැටෙනවානම් කියලා, අදටත් මට හිතෙනවා අපටත් හිම වැටෙනවනම් කියලා.සීතල හිම එකතු කරලා ස්නෝ මෑන් කෙනෙක් හදන්න, හිම උඩ ලිස්සලා යන්න ෆොටෝ ටිකක් ගන්න, තිබුනා කියලා හිතෙනවා. ඒත් ඒ රටවල අය නම් කියන්නේ හිම වැටුනම ලස්සන උනාට සීතලත් එක්ක ඒක කරදරයක් කියලයි. අපට ඒ අත්දැකීම නැති නිසා වෙන්න ඇති මම හිම වලට කැමති. දෙසැම්බර් අපටත් ඉතින් ටිකක් ටිකක් සීතලයිනේ. අදත් ටිකක් සීතල වැහිබර  දවසක්. එහෙම වෙලාවට කෝපි කෝප්පයක් බොන ගමන් කැමතිම පොතක් කියවන්න තිබ්බ නම් කියලා හිතෙනවා. එහෙම කරන්න බෑනෙ ඉතින් උදේ පාන්දර සීතලේම නැගිටලා කෑම හදලා ගෙදර වැඩ කරලා වැඩට යන්නත් තියෙනවනේ. මම ඒවට කියන්නේ දෙසැම්බර් හීන කියලා. 
බෞද්ධයන් වෙන අපට උඳුවප් මාසය වැදගත් වෙන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් නිසයි. ඒ වගේම සිරිපා සමය ආරම්භ වෙන්නෙත් උඳුවප් පෝයෙන්.
දෙසැම්බර් මාසයට නම හැදිලා තියෙන්නේ ලතින් වචනයක් වන"ඩ්සෙම්"( රෝමන් කැලැන්ඩරයට මේ ඔවුන්ගේ දහ වෙනි මාසය .ඩිසෙම් කියන්නේ දහය කියන එක ) කියනව වචනයෙන් කියලයි කියන්නෙ.


Tuesday, November 14, 2017

දළුකානා වැවෙන් ඉල්ලීමක්

අපි ගිය සතියේ විනෝද චාරිකාවක් ගියා. දිඹුලාගල පන්සලටත් ගියා. දිඹුලාගල පන්සලේ වාහන නැවතුම්පොළේ කඩේකින්, කෑම කන්න සුදුසු තැනක් තියනවාද ඇහුවම එතන ඉඳන් කිලෝ මීටර් 3 විතර ගිහාම වැවක් තියනවා, ඒ වැව් බැම්මේ ඉඳන් කෑම කන්න පුලුවන් කිව්වා. ඔන්න ඉතින් අපි එතෙන්ට ගියා. ඇත්තටම ඒ වැව සහ අවට පරිසරය පුදුමාකාර ලස්සනයි. දළුකානා වැව. ප්‍රසිද්ධ වැවක් නොවුනට  ගොඩක් නිස්කලංක පරිසරයක්. එක පැත්තකින් කොළ පාටින් බබලන කන්දක්. එතන කවුරුත් නාන්නෙ නම් නැතුව ඇති ගස් වල කොළ වැටිලා තියන විදිහෙන් අපි එහෙම අනුමාන කලා. වැව් ඉවුරේ ආරක්ෂාවට ලොකු කලු ගල් කුට්ටි අතුරල තිබුනා. ඉවුර දිගටම කුඹුක් ගස් වැවිලා හරිම සිසිලයි. වැව් බන්ට් එක කෙලවර උනේ ලොකු ගල් තලාවකින්. 
      අපි ගල්තලාවේ වාඩි වෙලා කෑම කමු කියලා කතාවෙලා ගල් තලාවට ගියා. ඔයාලා පුදුම වෙයි, ගල් තලාව පුරාවටම බෝතල් කටු තිබුනා. ගහක් යට අරක්කු බෝතල් තිබුනා. තැන තැන බයිට් පැකට්, එක එක වර්ගේ ප්ලාස්ටික් බෝතල්  , ෂොපින් බෑග් , ලන්ච් ෂීට් විසිරිලා. එතන නිස්කලංක නිසා විනෝද චාරිකා යන අය එතනට එනවා ඇති. එහෙම ඇවිත් බීලා බෝතල් ගල් තලාවෙම බිඳලා කටු එතනම දාලා ගිහින්. මේතරම් ලස්සන පරිසරයක් මේ විදිහට විනාශ කරන්නේ මොන හිතකින්ද මන්දා. බිව්වානම් බෝතල් ටික ගහක් යටින් තියලා යන්න තිබුනා. කෑම කාපු කොල ටික අරන් ගිහින් පුච්චලා දාන්න තිබුනා. ඒත් මේ මිනිස්සු කරලා තිබුනේ තමුන්ගේ වැඩේ කරගෙන තව කෙනෙක්ට එතන පාවිච්චි කරන්න බැරි වෙන්න විනාශ කරලා දාපු එක. මෙහෙම පරිසරය විනාශ කරන මිනිස්සු ඉන්නෙ අපේ රටේ විතරමද කොහෙද. ගිය තැන විනාශයි. 
මම මෙහෙම ලිව්වේ ඔයාලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න. මේ වගේ ස්ථානයකට ගිහාම ටොෆී කොලයක් වත් නොදා ඉන්න උත්සාහ කරන්න. එහෙම කලොත් අපේ අනාගත පරපුරටත් මේ සුන්දර පරිසරය විඳින්න ඉතුරු වෙයි. නැත්නම් මතුදාක අපේ දරුවොම අපට ශාප කරයි.

     

Monday, September 18, 2017

ලෝකය වෙනස් කිරීමට නම්




තරුණ වියේදී මා විසින් ලෝකය වෙනස් කල යුතු යැයි සිතුවෙමි.

එහෙත් මට ලෝකය වෙනස් කිරීමට නොහැකි විය.

එනිසා මම මගේ ජාතිය වෙනස් කිරීමට උත්සාහ කළෙමි.

මට මගේ ජාතියද වෙනස් කිරීමට නොහැකි විය.

එනිසා මම මගේ අවදානය මගේ නගරයට යොමු කළෙමි.

නගරය වෙනස් කිරීමේ උත්සාහයද සාර්ථක නොවීය.

කාලය ගතවී මම මහලු වියට එළඹුනෙමි.

 මම මගේ පවුල වෙනස් කිරීමට සිතුවෙමි.

එයත් ව්‍යර්ථ විය.

මහලු පුද්ගලයෙක් ලෙස මට වෙනස් කිරීමට ඉතිරිව තිබුනේ මා පමනි.

අවසානයට මම වටහා ගතිමි. මම මගේ තරුණ කාලයේදී, මගේ  ජීවිතය  වෙනස් කර ගත්තා නම්, මට මගේ පවුලට බලපෑම් කිරීමට හැකියාව තිබුණි. මට සහ මගේ පවුලට නගරයට බලපෑම් කිරීමට හැකිය. නගරයේ බල පෑමෙන් ජාතිය වෙනස් කළ හැකිය.ඉන් පසු ලෝකයම වෙනස් කල හැකිය. මුලිම වෙනස් විය යුත්තේ මා ය

Tuesday, August 8, 2017

ශිෂ්‍යත්වේ


පෙරේදා අපේ හස්බන්ඩ් ගේ අක්කා ආවා අපේ ගෙදර පුතාලා දෙන්නත් එක්ක. ලොකු පුතා මේ පාර ශිෂ්‍යත්වෙ ලියන නිසා කොල්ලට මොකුත් කරන්න දෙන්නෙ නෑ.අරක කරන්න එපා මේක කරන්න එපා, විභාගේ ඉවර වෙනකන් තුවාල කරගන්නෙ නැතුව පරිස්සම් වෙන්නලු. 20 පස්සේ ඕන දෙයක් කරන්නලු ඉතින් කොල්ලා පුපුර පුපුර ඉන්නවා. අම්මා බනිනවා අක්කලට විභාගයක් නිසා ළමයින්ගේ නිදහස නැති කරලා කියලා.(මම බ්ලොග් ලියන වග ගෙදර අය දන්නේ නෑ. දැනගත්තත් බලන්නෙ නෑ එක නිසා බය නැතුව ලියනවා) අම්මා දොස් කියද්දී අයියයි අක්කයි අනිත් ළමයි ගැන කිව්වා විස්තරයක්. ඒක අහලා උසස් පෙළ විභාගේ ලියන ළමයින්වත් මෙහෙම මරවන්නේ නැතුව ඇති කියලා මට හිතුනා.

* එක අම්මා කෙනෙක් දරුවාව ඇහැරවන්නේ පාන්දර 4.30 ටලු. ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් හෝ දෙකක් කරවනවලු ඉස්කෝලේ යන්න කලින්. ඒ ළමයාට දවසට ප්‍රශ්න පත්තර 5 කරවනවලු .
අපේ අක්කා කිව්වලු අපේ ළමයා නැගිටින්නේ 6 ට කියලා. අපෝ එහෙම බෑ ලකුණු ගන්න. අපේ එක්කෙනත් නැගිටින්නෙ නෑ වේ වැල අරන් කිව්වලු වැඩ කරවන්නේ. ඒ ළමයට ලකුණු 90 ට වඩා තියනවලු ප්‍රශ්ණ පත්තර වලට.

* අනිත් ළමයා 5ට ඇහැරවලා ප්‍රශ්ණ පත්තරයක් කරවනවලු. වැරදුනාම ගුටිත් කනවලු.

*තව ළමයෙක් උදේ 5.30 ගෙදරින් ඇවිත් හවස පංති ඉඳලා ගෙදර යද්දී රෑ 8 විතර වෙනවලු.

ඉතින් අක්කයි අයියයි දෙන්නම බනිනවා ළමයට, මෙයාලට අපි ශිෂ්‍යත්ව බරක් දීලා නෑ, ඒ ළමයි ඉස්කෝලේ යන්නෙ එන්නේ බස් වල වෑන් වල තෙරපිලා ,මෙයාලව ගෙදර වාහනේ ම ගිහින් දානවා, ඇති තරම් ටීවී බලනවා, සෙල්ලම් කරනවා , අපි පොතක් පාඩම් කරන්න කිව්වම මෙයාලට බඩගිනි වෙනවා, එක්කෝ ඔලුව රිදෙනවා ,බඩ රිදෙනවා. කොල්ලා සද්ද නැතුව අහගෙන ඉන්නවා.

අන්තිමටම අහගෙන ඉඳලා කොල්ලා කියනවා,
" ඔයාලගේ නම්බුව බේරලා දුන්නම ඉවරනේ ඉතින් මම 150 ට වඩා ගන්නම් කියලා. "


සේරම අහන් ඉඳලා අනේ මට හිතුනා කලින් ඉපදුනත් අපි මොනතරම් වාසනාවන්තද කියලා.


Friday, July 21, 2017

කවුළුවෙන් එබී බලා



උදේට වැඩට එද්දි බස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින නිසා මට වාඩි වෙලා යන්න පුලුවන්. ජනේලයක් අයිනේ සීට් එකක වාඩි උනාම මම බහින තැන එනකන්ම කරන්නේ වට පිටාව නරඹන එක. අවුරුදු ගාණක්ම යන්නෙ එන්නේ එකම පාරේ නිසා එකම පරිසරය තමයි දකින්න තියෙන්නේ. ඒත් මට හැමදාම ඒ පරිසරය නැවුම්. ගහකොළ සත්තු ගොඩනැගිලි වගේම මිනිස්සුත් මගේ නෙත ගැටෙනවා. උදේ හවස විවිධ මිනිස් ක්‍රියාකාරම් දකින්න ලැබෙනවා. සීට් එකට වඩා නිදිකිරා වැටෙනවට වඩා වට පිටාව නරඹන එක හිතට සතුටක් ගේනවා. රැකියාවක් කරන ගෘහනියක් වෙන මට විශේෂයෙන් කියලා ඇවිදින්න යන්න කාලයක් නැති තරම්.  ඉතින් පරිසරය රසවිඳින්න ලැබෙන්නෙත් උදේ හවස වැඩට යද්දී ආපහු එද්දී තමයි.
   
       
ඒ වගේම හවස කෝච්චියේ යද්දීත් ගම්පහා ඉඳන් මීරීගමටම යනකන් වැඩිපුර තියෙන්නේ වෙල් යායවල්. ගම්පහ ඉඳන් මගලෙගොඩට යනකන් හම්බ වෙන වෙල්යාය තමයි මටනම් සුන්දරම. හවස අහසත් ගොඩක් ලස්සනයි. පාට පාට වළාකුළු ලස්සන රටා මවනවා. ඉර බැහැගෙන යනවා. හැම තැනම කොළ පාටයි. ඒත් ඒ වෙල් යායේ සුන්දරත්වය තව ටික කලෙකින් මැකිලා යාවි. කොළඹ නුවර අධිවේගී මාර්ගය හැදෙන්නේ මේ වෙල් යාය හරහා රේල් පාරත් එක්කමයි. තව අවුරුදු කීපයකින් පොළවෙන් ඉහළට ඉස්සුන කොන්ක්‍රීට් කණු එක්ක තියන පාරක් දිහා තමයි බලන් යන්න වෙන්නේ. එහම හිතෙනකොට කොච්චර පහසු උනත් අධිවේගී මාර්ගය හදන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා.ඒත් අධිවේගී මාර්ගය පාවිච්චි කරන අයට නම් හරිම සුන්දර දසුන් නෙත ගැටේවි. මාතෘකාවෙන් ටිකක් පිටට ගියා.
                    මට කියන්න ඕන උනේ පරිසරය විඳින්න, සතා සිවුපාවා දිහා බලන්න, විවිධාකාර මිනිසුන්ගේ ක්‍රියාකාරම් නරඹන්න වෙනම වෙලාවක් ඕනේ නෑ. බස් එකේ කෝච්චියේ වැඩට යන එන ගමන් උනත් පුලුවන්. ඒකට ඕනේ අපේ ලස්සන හිතයි ඇස් දෙකයි විතරයි.

Thursday, July 13, 2017

පරිසරය නසන අපි

                                                       
                                                           
                        අපේ සේවාස්ථානය ඉස්සරහා තියනවා කාණුවක්. කාණුවක් කිව්වට පොඩි ඇලක් වගේ. මෙයිට අවුරුද් 4-5 කලින් මේ ප්‍රදේශය ඒ තරම්ම ජනාකීර්ණ වෙලා තිබුනෙ නෑ. ඒක නිසා මේ කාණුවේ තිබුනේ පිරිසිදු ජලය.මාලු හිටියා ගොඩක්. පොකුරු පිටින්. සමහර කාලෙට ළමයි ඇවිත් අල්ලනවා පොඩි දැල් දාලා. එහෙම දවස් වලට මම ගිහින් බලනවා. ලස්සන මාලු. එයාල වතුර බාස්කට් වල දාලා අරන් යනවා ගෙවල් වල තියන පොකුණු වලට දාන්න. බත් ඇට ටිකක් කාණුවට දැම්මම බලන්න ආසයි ඒවා කන්න රංචු පිටින් පොරකන හැටි. අවාසනාවට කොළඹ මීගමු මාර්ගයේ යන වාහනවල මගීන්, එයාල කන බොන දේවල් වල බෝතල්, කවර, හැමදේම යන ගමන් මේ කාණුවට විසි කරන්න පටන් ගත්තා. ඒ වගේම පාර අයීනේ නතර කරලා කෑම කාල කුණු ටික ඔක්කොම කාණුවට දැම්මා. ටිකෙන් ටික මේ ප්‍රදේශය ජනාකීර්ණ උනා. ගොඩනැගිලි හැදුනා. ව්‍යාපාරික ස්ථාන විවෘත උනා. කාණුව ට උඩින් කොන්ක්‍රීට් කොට ඇල්ලුවා. ඒක අඳුරු උනා. ආයතනවල අපතේ යන ජල නල කාණුවට දැම්මා. දැන් කාණුව විනාශ වෙලා. මාලු නෑ. දැන් කාණුව දකින කෙනෙක් කවදාවත් හිතන්නෙ නෑ මාලු රංචු ගනන් හිටපු තැනක් කියලා. දැන් කාණුවෙන් එන්නේ දුඟදක් විතරයි. එබිලා බැලුවොත් පාට පාට ප්ලාස්ටික්, වීදුරු බෝතල්. ඉටි කවර, යෝගට් කෝප්ප පිරිලා. සුද්ද කරන්න කෙනෙකුත් නෑ. නගරසභාවෙන් උනත් බලන්නෙ නෑ..
                                         ඉහත ඡායා රූපය දැක්කම මට මතක් උනේ අපේ ඉස්සරහා කාණුව. අපේ මිනිස්සු අපේ තියන දේවල් විනාශ කරගන්නවා ඉක්මනටම. ඊට පස්සේ එන වසංගත රෝග වලට පවතින ආණ්ඩුවට බනිනවා. කල්පනාකරලා බලනකොට මේ වසංගත පතුරවන්න  අපි හැමෝම සහයෝගය දක්වලා.
                                              අපි පරිසරය රැක්කොත් පරිසරය අපිවත් රකිනවා. මොනතරම් කිව්වත් මොනතරම් දැනුවත් කලත් මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නෑ. තදබල නීති දාලා දඬුවම් කරලා මිසක අපේ රටේ පරිසර විනාශය නතර කරන්න  බෑ .

Wednesday, June 21, 2017

ඩෙංගු


ඩෙංගු වසංගතයක් බවට පත්වෙලා. ලංකාවේ රෝහල් වලට රෝගීන බාරගන්න බැරි තරමටම රෝගීන් සංඛ්‍යාව ඉහල ගිහින්.එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්නවාලු.ඩෙංගු නිසා අහිමි වෙන ජීවිත ප්‍රමාණයත් ඉහළ ගිහින්. දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන්, සහෝදරයන්,හිතවතුන් ඩෙංගු මදුරුවෙක් නිසා අපෙන් වෙන් වෙද්දී හිතට වේදනාවක් එක්කම දැනෙන්නේ කේන්තියක්
                              ඇයි මේ රෝගය මැඩ පවත්වන්න රජය මැදිහත් නොවෙන්නේ.ඇයි රාජ්‍ය සේවයේ වගකිව යුත්තෝ අහක බලාගෙන ඉන්නේ.ඩෙංගු මදුරුවා එක එක විදිහට කාලය හා පරිසරයට අනුගත වෙලා වෙනස් වෙනවලු.රෝග ලක්ෂණ වගේම රෝගයෙන් වෙන හානියත් වෙනස් වෙනවලු
                               දැන්වීම් පත්‍රිකා, උපදෙස්, දඬුවම් මගින් මේවා මැඩලන්න පුලුවන්ද? දැන්වීම්, උපදෙස් අහනවා බලනවා දකිනවා විතරයි. දඩ මුදල් වලින් රජයට කීයක් හරි එකතුවෙයි. ඒත් රෝගය පැතිරීම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.
                                   මගෙත් ලඟම ඥාතියෙක් ඩෙංගු රෝගයෙන් මිය ගියා. රජයෙන් කලේ මොකක්ද අහළ පහළ ගෙවල් අවටට දුම් ගහලා අතපිහිදා ගත්තා. ඒකෙන් මදුරුවෝ බෝ වෙන එක නතර වෙයිද?මෙයට මෙයිට වඩා සාර්ථක පිළියමක් අවශ්‍යයි. ජනතාවගෙන් වගේම රජයේ මැදිහත් වීමත් අවශ්‍යයි.තමන්ගේ කුණු අනුන්ගේ නිවසක් ඉදිරිපිටට හෝඅ මහපාර අයිනට ගෙනිහින් දාන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක් මේක.

                        මෙයිට වඩා කාර්යක්ෂම හා සාර්ථක ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතුයි. මෙයිට වඩා අඩු පහසුකම් තියාගෙන මැලේරියාව සම්පූර්ණයෙන් මර්දනය කලා නම් ඇයි ඩෙංගු මර්ධනය කරගන්න අපට බැරි.
               
       
ජනතාවගේ උත්සාහයයි කැපවීමයි රජයේ මැදිහත්වීමයි තියනවා නම් මේ අභියෝගය ජයගන්න බැරි කමක් නෑ.තමනෙගේ කෙනෙක් අහිමි වෙන්න කලින් අපිත් හිතලා බලමු. අපේ ගෙවල් අවට පිරිසිදු කරන්න දවසකට පැයක් වෙන් කලානම් හොඳටම ඇති. පුලුවන්තර්ම් වතුර එකතු වෙන්න ඉඩ නොතියා තණ කොළ පඳුරු වැවෙන්න ඉඩ නොතියා අපිත් අපේ වගකීම ඉටු කරමු. අරයා මෙයා කරනකන් බලා නොසිට අපිත් අදම මේ මොහොතෙම අපේ යුතුකම ඉෂ්ඨ කරමු..


Sunday, June 11, 2017

කියවීම

                                           
                                       
                                     මෑත දවසක හවස කෝච්චියෙදී මම බකල් නිලන් වාඩිවෙලා යද්දී මට එහා පැත්තේ උන්න ගැහැණු ළමයා ඇහුවා අද කියවන්න පොතක් නැතිද කියලා. ඇත්තටම එදා මට කියවන්න පොතක් තිබුනෙ නෑ. ඉතින් මම කිව්වා අද නම් නෑ කියලා. මාව අඳුනන්නේ නැති උනත් මගේ පොත් කියවිම හවස කෝච්චියේ මාව දකින අයටත් හුරුවෙලාද කොහෙද?
                                            ඔහොම කියවන්න කම්මැලි නැතිද කියලා අහන අයත් ඉන්නවා. සල්ලි වියදම් කරලා පොත් ගන්න එක අපරාදයක් නෙ කියන අයත් ඉන්නවා. නෑ මට පොත් කියවන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ ඒ වගේම  සල්ලි දීලා පොත් ගන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ. කියවන එක ලියන එක මගේ විනෝදාංශය. ඒ දෙකෙන්ම මටවත් අන් අයටවත් හානියක් නෑ.

                                                 කියවීම මම පටන් ගත්තේ මොන්ටිසෝරි යන කාලේ "සුරතලා" පත්තරෙන්. යන්තන් අකුරු කියවන්න පටන් ගත්තට පස්සේ මට මතකයි මම අපේ සීයා,මාමා, පුංචි ගෙදරට ගේන පත්තරත් කියෙව්වා. මටත්" බිංදු, හඳ මාමා, මිහිර, විජය" පත්තර අරන් දුන්නා." සිළුමිණ පත්තරේ, තරුණි පත්තරේ, ඒ කාලේ තිබ්බා යොවුන් ජනතා කියලා පත්තරේකුත්, ඊට අමතරව අපේ මාමා චිත්‍ර කතා පත්තරත් ගෙනාවා. ළමයින්ට  නිසුදුසුයි කියලා  කවුරුත් මට ඒවා කියවන්න එපා කිව්වෙත් නෑ..තේරුනා නැතා මම කියෙව්වා. ඒ අතරේ අපේ අම්මා මට කතන්දර පොත් ගෙනත් දුන්නා. සෝවියට් රුසියන් ළමා කතා.ඔය විදිහට තමයි මම පොත් කියවන්න පටන් ගත්තේ.
                                         
    
                                    ඉස්කෝලේ ඉහල පංති වලදී "මල්" පත්තරත් කියෙව්වා. "කුමරි,අරලිය,සුවඳ" වගේ ඒවා. ඒ අතරේ මල් නව කථාත් කියෙව්වා." තරුණී, සිරිකත, නවලිය" කාන්තා පත්තරත් කියෙව්වා. දැන් නම් මගේ පොත් කියවීම ටිකක් වෙනස් වෙලා. නව කථා පොත් වෙනුවට මම දැන් "පරිවර්තන" වලට හුරු වෙලා. නව කථා කියවනනේ නැතුවත් නෙමේ. ඔය අතරේ අන්තර් ජාලයෙන් ඉංග්‍රීසි පොත් download කරගෙනත් කියවනවා. 

                                                                             මම මට පුලුවන් කාලයක් පොත් කියවයි. පොත් කියෙව්වා කියලා මම මගේ ජීවිතේ අනිත් වැඩ අතපසු කරගෙනත් නෑ. රැකියාවට යනවා. ගෙදර දොරේ වැඩ කරනවා. ඔය අතරේ කියවීමටත් වෙලාව හදාගන්නවා.
                                                     ඇත්තටම පොතක් පත්තරයක් කියවනවා කියන්නේ මට නම් මානසික සුවයක්. අනික කොච්චර දේවල් දැනගන්න පුලුවන්ද. මම කැමතියි මම වගේ අනිත් අයත් කිය්වන්න හුරු වෙනවා නම්. ඒත් ගොඩක් අය කියවන්න කම්මැලියි.

.දරුවන්ටත් ළදරු වියේදීම පොත් කියවන්න හුරු කලොත් ලොකු වෙද්දී එයාලා බලකිරීමකින් තොරව කියවන්න හුරු වේවි.



Thursday, June 8, 2017

ජීවිතය කියන්නේ පාසැලක්


                                                     
 ඔව්, ජීවිතය කියන්නේ පාසැලක්. මව් කුසින් ඉපදුන මොහොතේ සිට මියයන මොහොත දක්වාම අපි ජීවිතය නම් පාසැලේ ඉගනුම ලබනවා. උදෑසන අවදි උන වෙලාවේ සිටන් රාත්‍රී නින්දට යන තුරුම අපි ජීවත් වෙන මොහොතක් පාසාම  යමක් ඉගන ගන්නවා.



                                                           ජීවිතය නම් පාසැලේදී අපට කොයි තරම් යාලුවෝ මුණ ගැහෙනවද? ඉන් කීප දෙනෙක් පමනක් ජීවිත කාලයටම අපි ළඟ ඉතිරි වෙනවා. ගොඩක් අය තාවකාලිකව අපේ ජීවිතේට එන අය. ඒ අයගෙන් කොටසක් ඉඳ හිට හෝ මුණ ගැහෙනවා. කොටසක් අහම්බෙන් වත් මුණ ගැහෙන්නේ නෑ. තවත් කොටසක් ජීවිතය කියන පාසැලෙන් යන්නම ගිහින්. ඒ හැමෝගෙන්ම අපි යමක් ඉගන ගෙන ඇති. එහෙම බලනකොට මේ ජීවිතේ අපට හමුවෙන සෑම දෙනාම අපේ ගුරුවරු.ඒ වගේම අනිත් අයට අපිත් ගුරුවරයෙක් වෙන්න ඇති.

                                                         උදාවෙන හැම දවසකම අපිත් ජීවිතේට යමක් එකතු කරගම්මු. ඒක කොතනින්ද කාගෙන්ද කියන එක ගැන සිතිය යුතු වන්නේ නෑ. අපි ඉගන ගන්නේ හොඳ දෙයක් නම් ඒක ජීවිතේට එක්කාසු කරගෙන, නරක දෙයක් නම් බැහැර කරලා දාමු.ගමට රටට අපට කළ හැකි යමක් තිබේනම් ඉටු කරමු.




                                                          ඒ වගේම අප අවට ජීවත් වෙන සතුන් හා අපි නිවසේ ඇති කරන සතුන්ගෙනුත් අපට ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්. අපි එයාලටත් ආදරය කරමු.එයාලත් අපේ ජීවිත පාසැලේ සාමාජිකයෝ.

කාටත් උදව් කරගෙන,සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා ජීවිත පාසැලේ හොඳ ශිෂ්‍යයෙක්. අපිත් ජීවිත පාසැලේ හොඳ ශිෂ්‍යයෝ වෙන්න උත්සාහ කරමු.





Monday, May 8, 2017

වෙසක්






                  තිලෝගුරු බුදු පියානන් වහන්සෙගේ තෙමගුල සිහි කරන වෙසක් පෝය හෙටයි. ගියපාර හදවා ගත්ත තරු වෙසක් කූඩු දෙක පරිස්සම් කරලා තියාගත්තේ, මේ පාරත් ගන්න හිතාගෙන. මගේම වාසනාවට උණ බට කූඩු උනාට කිසිම හානියක් නොවී තියනවා අවුරුද්දක් ගත වෙලා ගියත්. ඉස්සර වගේ සති ගානකට කලින් කොල අලවලා වෙසක් කූඩු හැඩ කරන්න කාලයක් අපට දැන් නෑ. රැකියාවත් ගෙදර දොරේ වැඩත් එක්ක පුදුම තරමට අපි කාර්යබහුල වෙලා. අද නිදිමරාගෙන වෙසක් කූඩු දෙක අලවන්න වෙන බව දන්නවා. ඒත් තමුන්ගේ අතින්ම කොල අලවලා හැඩ උන වෙසක් කූඩුවක් එල්ලලා තියනවා දකිනකොට හිතට නිරාමිස සතුටක් දැනෙනවා. කඩෙන් වෙසක් කූඩුවක් අරන් ගිහින් එල්ලලා බල්බ් එකක් දැම්මට ඒ සතුට ගන්න බෑ.
             
  මම පුංචි කාලේ අපේ තාත්තා අපට හදලා දෙන්නේ ලොකු නෙළුම් මලක්, ප්ලේන් එකක්,දහ අට පට්ටමක්..ඔයවගේ දෙයක්. ගෙදර හැමෝම එකතු වෙලා කොල අලවලා උඩකින් එල්ලලා පාට බල්බ් එකක් දාල වෙසක් කූඩුව දිහා දුර ඉඳන් බලන් ඉන්දි හිතට දැනෙන සතුට නිම කරන්න බෑ...
    කාලය ගත වෙලා..අපේ ජීවිත වෙනස් වෙලා ඒත් වෙසක් උත්සවය සමරනකොට ඒ ඉමිහිරි මතකයි හිතට ගේන්නේ පුදුමාකාර සතුටක්.

Wednesday, May 3, 2017

දන්සැල්





වෙසක් මස උදාවීමත් සමග වෙසක් උත්සවය නිමිත්තෙන් පවත්වන දන් සැල් පිලිබඳ දැන්වීම් තැන් තැන් වල දක්නට ලැබේ. අපේ රටේ විවිධාකාර දන් සැල් පවත්වනු ලැබේ. අපිත් පෝය හා පසු දින  වාහනයේ නැගී පාරවල් දිගේ යන්නේ කුසගින්න නිසා නොව විනෝදාස්වාදය උදෙසා දන්සැල් වැඳීමේ අරමුණෙනි.
         දන් සැල් අවසානයේ විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යනු මම දැක ඇත්තෙමි.මහා පරිමාන බත් දන්සැල් දෙනවාට වඩා එම මුදලින් වෙනත් සමාජ සත්කාරයක් කරන්නට හැකිනම් වඩාත් යහපත් බව මගේ හැඟීමයි. දිළිඳු පවුලකට මසක් පමන ප්‍රයෝජනයට ගන්නට වියලි ආහාර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආධාර, රෝහලකට අවැසි උපකරණ පරිත්‍යාගයක් වැනි ප්‍රයෝජනවත් යමක් කල හැකිය. පාරේ යන උදවියට බලෙන් ආහාර ගිල්ලනවාට වඩා, පසුවදා විශාල ආහාර ප්‍රමාණයක් ඉවත දමනවාට වඩා එය වෙනත් පුන්‍ය කටයුත්තකට යෙදවීම සුදුසුය.
(ඡායාරූප අන්තර්ජාලයෙනි. හිමිකම ඔවුන් සතුය)

Friday, April 21, 2017

කුණු ගැටලුවට විසඳුමක්

කුණු කන්ද නාය යාමත් සමග කුණු බැහැර කිරීම පිලිබඳ ගැටලු වලට විසඳුම් සහ පිලියම් බොහොමයක්  පහුගිය දවස් වල යෝජනා උනා. මමත් නිවාඩු පාඩුවේ කල්පනා කරලා බැලුවා පරිසරයට අප ද්‍රව්‍ය, විශේෂයෙන්ම නොදිරන ද්‍රව්‍ය එකතු වෙන එක සුළුවෙන් හෝ වලක්වන්න මටත් පුළුවන් නේද කියලා.
මම හැමදාම වැඩට යනකොට උදේට දවල්ට කෑම පාර්සල් දෙකක් අරන් යනවා. ඒ කියන්නේ මම දවසකට lunch sheet දෙකක් පරිසරයට මුදා හරිනවා. මාසෙකට 50ක්.  අවුරුද්දකට 600 ක් 
උදේ හවස බස්, කෝච්චි වල අරන් යන්න අපහසු උනත් කෑම පෙට්ට් 2ක් ගත්තා නම් පරිසරයට lunch sheet  මුදාහරින එක මට නතර කරන්න පුලුවන්.
පිරිසිදුවට කෑම ටික අරන් යන්නත් පුලුවන්.
ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන දේවල් කඩෙන් ගත්තම දාල දෙන්නේත් පොලිතින් බෑග් වල. සිල්ලට බඩු කඩෙන්, එළවළු කඩෙන්, මස්,මාළු කඩෙන්,වෙනත් කෙට් කෑම දාලා දෙන්නෙත් පොලිතීන් බෑග් වලට.
                                                                                    

ඒ වෙනුවට මට පුලුවන් රෙදි බෑග් එකක් අරන් යන්න. පහසුවෙන් නමලා හෑන්ඩ් බෑග් එකේ නිතර දාගෙන යන්න පුළුවන් එකක්. මස්, මාළු ගනිද්දීනම් කරන්න දෙයක් නෑ. අනිත් දේවල් ගනිද්දී කඩෙන් දෙන පොලිතීන් බෑග් ප්‍රතික්ශේප කරලා රෙදි බෑග් එකක් පාවිච්චි කරනවා නම් මම ගෙදරට අරන් යන පොලිතීන් බෑග් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන් වෙයි.
අපේ මුතුන් මිත්තන් අපට රැකලා දුන්න මවුබිම, පරිසරය ඒ වගේ ලස්සනට අපේ මතු පරම්පරාවට උරුම කර දීම අපේ යුතුකම.මම හැදුනොත් ගෙදර අනික් සාමාජිකයොත් ටික ටික හුරුවෙයි.