Monday, October 30, 2017

කොස් ඇට මුල්ල

       
    කොස් ඇටත් කඩෙන් ගන්න වෙලා කියලා යාලුවෙක් කිව්වා. ඒ කතාව දුර දිග ගිහින් මට අපේ ආච්චී වගේම කොස් ඇට මුල්ලත් මතක් උනා. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අය කල්පනා කරන්න පුලුවන් මොකක්ද මේ කොස් ඇට මුල්ල කියන්න කියන්නේ කියලා.
 ඉස්සර ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න  එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.
    මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. ඊට පස්සේ  ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා. ඊට උඩින් වැලි ටිකක් දානවා.ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලයි.
               
කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමානයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා. 
              අපේ ගෙදර උනත් කොස් වාරෙට බොහොමයක් කොස් වගේම කොස් ඇටත් නාස්ති වෙලා යනවා. ඉස්සර අපේ ආච්චී නම් බංකුවක් තියාගෙන ඉඳගෙන එක ඇටයක්වත් අහක නොදා එකතු කරගන්නවා. ඉස්සර අපි කියනවත් එක්ක "අපේ ආච්චි ට කන්න නෑ වගේ මේවා එකතු කරනවා "කියලා. ඒත් වැඩිහිටියො උනාට පස්සේ, අද කල්පනා කරද්දී තමයි තේරෙන්නේ එයාලා හැම දෙයක්ම මොනතරම් අපූරුවට පිරිමහගත්තද කළමනාකරණය කරගත්තද කියලා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් නොසලකා හැරියට මෙහෙම කල් තබා ගැනීම ආර්ථිකමය වාසියක් වගේම අවාරෙට කන්නත් ලැබෙනවා. කල්පනා කරලා බලද්දී අපි අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන ගොඩක් හොඳ දේවල් ඉවතට දාලා.

Friday, October 27, 2017

ආදරය සහ විවාහය


කුඩා ළමයින්ට එක එක ගැටළු මතුවෙනවනේ ඉස්කෝලෙදි ටීචර් ගෙන් අහන්න. එක දවසක් ටීචර් පංතියට ආවම දරුවෙක් ටීචර් ගෙන් ඇහුවළු

"ඇයි ටීචර් මිනිස්සු එයා ආදරේ කරන කෙනාව අතහැරලා වෙනත් අය එක්ක විවාහ වෙන්නේ?

ටීචර් කිව්වළු,

"හරි, මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා පොඩි වැඩක් කරන්න ඕනේ. එහා පැත්තේ තියන තිරිඟු යායට ගිහින් ,එතනින් හොඳම තිරිඟු කරල කඩාගෙන එන්න ඕනේ. හැබැයි ඔයා තිරිඟු කරල් තෝරද්දී ඉස්සරහටම යනවා මිසක ආපස්සට එන්න බෑ.. "

ඔන්න ළමයා තිරිඟු යායට ගිහින් තිරිඟු තෝරනවලු. එයාට හිත ගිය තිරිඟු කරලක් හම්බ උනාලු. එයාට ආයේ හිතුනලු තව ඉස්සරහට ගිහින් බලනවා මෙයිට වඩා ලොකු කරල් ඇති කියලා. තව ටිකක් ඉස්සරහට යද්දී තව කරලක් හම්බ උනාලු. ඒක කඩනවා කියලා හිතද්දී යටි හිත කිව්වලු තව ඉස්සරහට ගිහින් බලන්න මෙයිට වඩා හොඳ කරල ඉස්සරහා ඇති කියලා. ඔහොම තිරිඟු යායේ අඩක් විතර ගිහාම ළමයා තේරුම් ගත්තලු එයාට ඉස්සෙල්ලාම හම්බ උන තිරිඟු කරල තරම් ඉස්සරහට යද්දී හම්බෙන කරල් විශාල නැතිබව.

ඊට පස්සේ මේ ළමයට පසුතැවීමක් ඇති උනාලු අපරාදේ හම්බුන හොඳම තිරිඟු කරල අත ඇරියනේ කියලා. ටීචර් ගේ කොන්දේසියේ හැටියට ආපහු ගිහින් ඒ කරල කඩන්නත් බෑනේ. ඒක නිසා ළමයා හිස් අතින්ම පංති කාමරයට ගියාලු.

ටිචර්ට විස්තරේ කිව්වම ටීචර් කිව්වලු

"ඔයා ඔයාට හම්බුන හොඳ කරල අත හැරලා හොඳම කරල හොයන්න ඉස්සරහට ගියායින් ඔයාට හම්බවෙන්න තිබ්බ හොඳම කරල මගහැරුනා. දැන් ඔයාට ආපහු හැරෙන්නත් බෑ. අන්න ඒ විදිහට තමයි බොහොමයක් මිනිස්සුත්, ආදරෙන් බැඳුනට, වඩා හොඳ කෙනෙක් හොයන්න ගිහින් තමුන්ට ලැබුනු හොඳම පුද්ගලයාව අහිමි කරගන්නේ."

"එහෙනම් ටීචර් අපි කා එක්කවත් ආදරෙන් බැඳෙන්න හොඳ නෑ නේද?" "නෑ දරුවෝ, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ආදරේ නොකර ඉන්න ඕනෙ කියලා, අපිට හොඳයි කියලා හිතෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙන්න පුලුවන්. ඔයා කාත් එක්ක හරි අවංක ආදරෙකින් බැඳුනම ඔයාගේ අරමුණු, ඉලක්ක,සහ අනිත් අයගේ සම්බන්ධතා එක්ක සසඳලා ඔයාගේ ආදරේ අහිමි කරගන්න එපා. "

"එතකොට ටීචර් එයාල වෙන කෙනෙක් තෝරගන්නේ කොහොමද හොඳම කෙනාව ම හැරුනම?"

"ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා ආයෙමත් තිරිඟු කරලක් කඩාගෙන එන්න ඕනේ කලින් කොන්දේසිය ඒ විදිහමයි ආපහු හැරෙන්න බෑ."
ළමයා ආයේ තිරිඟු යායට ගියාළු. කලින් කරපු වරද ආයේ කරන්නෙ නෑ කියලා හිතාගෙන තිරිඟු යාය මැද්දටම ගිහින් එයාට හොඳයි කියලා හිතෙන කරලක් කඩාගෙන පංති කාමරයට ගිහින් ටීචර්ට එයා කරල තෝරගත්තු විදිහ විස්තර කලාළු. "මේ වතාවේ ඔයා හිස් අතින් නෑවිත් ඔයාට හොඳයි, මේ කරල තමයි ඔයාට ගැලපෙන්නේ කියලා හිතෙන කරල තෝරගෙන අරන් ආවා. විවාහයේදීත් අවසානෙට සුදුසු කෙනා තෝරගන්නේ ඔය විදිහට තමයි."

එතකොට ටීචර් ආදරේ කරලා විවාහ වෙන එකද සුදුසු විවාහ වෙලා ආදරේ කරන එකද?

ඒක තීරණය කලයුත්තේ ඔබයි. ඔබේ හදවතයි. 

"ජීවිතයත් හරියට පළතුරු කූඩයක් වගෙයි. එයින් ඔබ කැමතිම පළතුර තෝරගෙන අනුභව කරන්න පුලුවන්. නැත්නම් පළතුරු වලින් පෝෂ්‍යදායකම පළතුර තෝරගෙන අනුභව කරන්නත් පුලුවන්. අවශ්‍ය දේ ඥානවන්තව තෝරාගන්න ඕනේ . නැතිනම් ජීවිතේපුරාම පසුතැවෙන්න වෙයි ඔබේ තේරීම ගැන. ඔබ ඔබට අවංකනම්, ඔබට ඔබව විශ්වාසනම් ඔබ නිවැරදි දේ තෝරා ගනීවි.

Thursday, October 26, 2017

පරිත්‍යාගයත් සමග ලැබෙන සතුට


උදෑසන කාර්යාලයට යන්න සූදානම් වෙමින් උන්න කන්නා මහතා අමතන බිරිඳ, කාර්යාලයට යන ගමන් ඇඳුම් කීපයක් ලොන්ඩ්‍රියට දෙන ලෙස ඉල්ලීමක් කරනවා.

ඇයි මේවා ලොන්ඩ්‍රි දාන්නේ?

අපේ සේවිකාව අද එයාගේ මිනිබිරියගේ ගෙදර යනවා. උදෙන්ම බස් එක ගන්න ඕන නිසා එයාට අද රෙදි හෝදන්න කාලයක් නෑ. එයා ආපහු එන්නේ තව දවස් දෙකකින්.එයාගේ මිනිබිරීගේ උපන්දිනේ හෙටලු. ඉතින් එයා උපන්දිනය සමරන්නත් එක්ක තමා එහෙ යන්නේ.

"කමක් නෑ මම මේක ලොන්ඩ්‍රියට දීගෙන යන්නම්"

"ආ..මම ඔයාගෙන් අහන්න ආවේ, මම අපේ සේවිකාවට රු 500 ක  බෝනස් එකක් දුන්නට කමක් නෑ නේද?

"ඇයි ඔයා එයාට නත්තලට බෝනස් එකක් දුන්නා නේද?"

"ඔව්, ඒත් එයා ජීවත් වෙන්නේ අමාරුවෙන්, බස් ගාස්තුවත් වැඩිනෙ එහෙට යන්න. එකයි මම එයාට වැටුපට අමතරව රු 500 දෙන්න හිතුවේ."

"ඔයා සංවේදී වැඩියි නෝනා..ඕනවට වඩා හිතනවා"

"නෑ එහෙම නෑ. අපි අද රෑට එළියට ගිහින් පීසා කන්නනෙ උන්නේ. අපි ඒ ගමන නොගිහින් ඒ සල්ලි අපේ සේවිකාවට දෙමු."

"ඔයා හදන්නේ මගේ පීසා කෑල්ලත් උදුර ගන්න. කමක් නෑ අපි ඔය පීසා කෑලි 6 අමතක කරමු. ඔයා හිතපු විදිහට කරන්නකො"

දින කීපයකට පස්සේ කන්නා මහතා සාලයේ පුටුවකට වෙලා පත්තරේ බලනවා. ඒ වෙලාවේ සේවිකාව සාලය මොබ් කරන්න පැමිනෙනවා.

"කොහොමද ගීතා, මිනිබිරීගේ ගෙදර ගිහින් විනෝද උනාද? ඒ ගොල්ලෝ ගොඩක් සතුටු වෙන්න ඇති නේද ඔයාව දැකලා."

ඔව් සර්, මම ගොඩක් විනෝද උනා, නෝනා දුන්න රු 500/- ම වියදම් කලා. රු 150/- දීලා මගෙ මිනිබිරීට ඇඳුමක් ගත්තා, බස් ටිකට් වලට රු 100/- ක් වියදම් උනා, මගේ දුවට රු 50/- කට වළලු ගත්තා. මගේ බෑනට රු 50/- කට බෙල්ට් එකක් ගත්තා. ඉතුරු රු 50/- මිනිබිරීට දුන්නා ඉස්කෝලෙට ඕන කරන පැන්සල් , පොත් ගන්න ."

කන්නා මහතාට පුදුම හිතුනා. පීසා කෑලි 6ක් ගන්න මුදලින් සේවිකාව ඇගේ පවුලේ සියලු දෙනාටම තෑගිත් අරන්, එයාලව බලන්න ගිහින් එයාල එක්ක ගොඩක් සතුටෙන් කාලය ගත කරලා, මිනිබිරීගේ උපන්දිනෙත් සතුටින් සමරලා. ඒ ඔක්කොටම වැය උනේ අපි පීසා එකක් කන්න යන මුදල. 
     
අපට අපි අමාරුවෙන් උපයාගන්නා මුදල අපට උවමනා විදිහට වියදම් කරන්න පුලුවන්. ප්‍රයෝජනවත් දේකට වගේම තාවකාලික සතුටක් වෙනුවෙන්.පීසා වැනි මිල වැඩි කෑමකට උනත්. ඒ වගේම අපට පුලුවන් ඒ වගේ අනවශ්‍ය වියදමක් නතර කරලා ඒ මුදලින් කාට හරි උපකාරයක් කරන්න. අපි මොහොතක සතුටට නාස්ති කරන ඒ මුදල, තවත් කෙනෙක් අත්‍යවශ්‍ය දේකට යොදවලා සතුටුවෙනවා බලන්න.

You may not be obligated to do so, but your little goodwill can light up someone’s life in many ways.

(අන්තර්ජාලයෙන් උපුටාගෙන පරිවර්තනය කරන ලද්දකි.)

Thursday, October 19, 2017

හැලොවින් , Halloween


හැලොවින් යනු ඔක්තෝම්බර් මස 31 වෙනිදා රාත්‍රියේ ඇමරිකාව ඇතුලු ලෝකයේ බටහීර රටවල් වල පවත්වන උත්සවයකි.මෙහි මූලාරම්භය 16 වන සියවස තෙක් දිවයයි. . All-Hallows-Even  යන ස්කොට්ලන්ත වචනයෙන් බිඳී ගොස් Halloween  නම් වචනය සෑදී ඇත.
 දකුණු ආසියාතික රටවල් වල මෙම දිනය සමරනු නොලැබුවත් ඇමරිකාව, එංගලන්තය,කැනඩාව, අයර්ලන්තය,ඕස්ට්‍රේලියාව වැනි රටවල ජනතාව මහා ඉහළින්මෙම දිනය සමරති. එමෙන්ම ඔකොතොම්බර් 31 වෙනිදා එම රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස වෙන්කර ඇත.හැලොවින් වල අරමුණ ලෙස සඳහන් වෙන්නේ  ඔවුන් එදිනට යක්ෂයා, භූතාත්ම,මළ අයගේ ආත්ම,මායාකාරියන්, සුරංගනාවියන් යන අයගේ ආත්ම සමග සම්භන්ද වීමයි.

හැලොවින් යනු කුඩා දරුවන්ටත් ඉතා සුවිශේෂී දිනකි. කුඩා දරුවෝ විවිධා කාරයේ විකට රූපී සහ කාටූන් චරිත මෙන් නිර්මානය වූ ඇඳුම් වලින් සැරසී එදින රාත්‍රියේ කණ්ඩායම් ලෙස් වීදී සංචාරය කරති. වීදියේ පිහිටි නිවාස වලට යන ඔවුන් එම නිවාස වල ඉදිරි දොරටුවට තට්ටු කොට එම නිවැසියන්ට Trick or treet යැයි පවසති. එවිට එම නිවැසියෝ කුඩා දරුවන්ට ටොෆී, චොක්ලට් වැනි පැණි රස කෑම වර්ග බෙදා දෙති. ඒවා එකතු කිරීමට දරුවෝ කුඩා මල්ලක් හෝ වට්ටක්කා හැඩයේ කූඩයක් රැගෙන යති.
එමෙන්ම වැඩිහිටියෝ විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි ගෙනවිත් එහි මදය හාරා ඉවත් කොට වට්ටක්කා ගෙඩියේ පිටත ඇස් දෙකක් නහයක් කපා එහි මධ්‍යයේ ඉටි පන්දමක් දල්වා එය සිය නිවසේ ඉදිරිපස දොරටුව අසලින් තබති. අතීතයේ දී එමගින් අශුද්ධ ආත්ම පලවාහැරිය හැකි බවට විශ්වාසයක් තිබුනි.
හැලොවින් උත්සවය හා සබැඳුනු ඇදහිලි විශ්වාස, කතාන්දර බොහොමයක් ඇත. වර්තමානයේදී නම් හැලොවීන් උත්සවය විනොදාස්වාදය සඳහා සහ ව්‍යාපාරික අරමුණු සඳහා පවත්වන උත්සවයක් බවට පත්වී ඇත.
(ඡායාරූප සහ තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )

Monday, October 16, 2017

සැමෝවරය

සැමෝවරය/Samovar

රුසියන් පොත් කියවද්දී මට ලොකූ ගැටලුවක් තිබුනා සැමෝවරය ගැන. ගොඩක් පොත් වල තියනවා තේ හදන්න සැමෝවරය රත් කරන්න සේවිකාවට කිව්වා. හැමෝටම සැමෝවරයෙන් තේ හැදුවා. කුතුහලයක තිබුනට ඒ මොකක්ද කියලා හොයන්න බැරි උනා. ඊයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හොයලා බැලුවා ඒ ගැන. මේන්න මේ වගේ එකක් තමයි සැමෝවරයක කියන්නේ.
සැමෝවරය කියන්නේ රුසියාව සහ අවට රටවල් වල ජලය උණු කිරීමටසාම්ප්‍රදායිකව භාවිත කරන ලෝහ බඳුනක්. මේ රත්වූ වතුර හදාගන්න පාවිච්චි කරනවා.මේවා යකඩ, තඹ, ඔප දැමූ පිත්තල, ලෝකඩරිදී, රත්රන්, ටින් හෝ නිකල් වැනි නිමැවුම්වලින් සාදාගත හැක. සාමාන්‍ය සැමෝවරයක එහි බඳ,මේසයක් මත තැබීමට පාදයක්,චිමිනි, වාෂ්ප විදිනයක්,අල්ලා ගැනීමට අඬුවක්,වතුර ගැනීමට හා වැසීමට හැකි ටැප් එකක්,සහ තේ පොච්චිය යන කොටස් අඬංගු වෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන්   විවිධ ධාරිතාවයන්ගෙන් යුත් සැමෝවර් තියනවා.තේ හදා ගන්න අවශ්‍ය වෙලාවට එයට වතුර පුරවනවා. ඉන් පසු ඒ කාලයේ නම් ගල් අඟුරු දල්වලා එය රත් කරනවාලු. වර්තමානයේ විදුලි බලය යොදා ගන්නවලු. ඉන් පසු එහි තිබෙන තේ කොල දමන් කොටසට තේ කොල දානවා. වතුර රත් උනාම කරාමය ඇරලා කෝප්ප වලට තේ වක්කර ගන්නවා.

Sunday, October 1, 2017

කැලේ ගස


කැලේ ගස
ජයකොඩි සෙනෙවිරත්න

 ජයකොඩි සෙනෙවිරත්න මහතා ගේ පොත් වලට මම කැමති වෙන්න විශේෂතම හේතුව තමයි එතුමා ගොඩක් ලියන්නේ ගැමි ජීවිත පදනම් කරගත්තු නව කතා වීම.
"කැලේ ගස" පොතත් ගමක එක පවුලක සහෝදරයෝ සහ ඔවුන් ගේ දරුවන් වටා ගෙතුණු කතාවක්. " පොඩි මහත්තයා, පොඩි හාමිනේ, ගැලිසන්, මොරිසන්, චූටි මැණිකේ,අප්පුහාමි,කැතරිනා,උක්කුං,සුද්දී, ගුණපාල එම පවුලේ සාමාජිකයෝ.
         කුඩා කාලයේ එකට සහෝදර බැම්මෙන් උන්නත් විවාහ වෙලා දරුවෝ ලබද්දී සහෝදරයෝ උනත් වෙනස් වෙනවා. ඊට පස්සේ ගොඩක් දෙනා උත්සාහ කරන්නේ තමුන් ගේ කොටස වැඩි කරගන්න. දේපල ඉඩ කඩම් නිසා සහෝදරයෝ විරසක වෙනවා. දේපල වෙනුවෙන් සහෝදරකම් නෑදෑකම් උනත් අත හරින්න සූදානම් වෙනවා.කතුවරයා මේ පොතෙන් කතා කරන්නේ ඒ පිළිබඳව.    
     අනිත් දේ තමයි ජාදි බේදය හා කුල බේදය. දරුවෙක් වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් කුලයක කෙනෙක් සමග විවාහ උනාම දෙමව්පියෝ සහා නෑ පරපුරම එම දරුවාව තමන්ගේ පරම් පරා නම්බුවට අවමන් කලා කියලා පවුලෙන් අයින් කරනවා. ඔවුන් ට උරුම දේවල් දෙන්නෙත් නෑ. ඒ අතුරින් කොටසක් වෙහෙස මහන්සියෙන් තමන් ගේ ජීවිත ගොඩ නගා ගන්නවා. කොටසක් උරුමය බලාපොරොත්තු වෙනවා. ඉල්ලලා රණ්ඩු වෙනවා. දියුණු වෙලා ඉන්න සහෝදරයන්ට ඊර්ෂා කරනවා.
   මේ පොතෙන් කියන්නේ එහෙම කතාවක්.අනුන් විනාශ කරන්න ගිහාම තමනුත් විනාශ වෙන බව කතාව අවසානෙන් අපට පාඩමක් උගන්නනවා. මොරිසන්, ජයනෙත්ති ගේ කඩේ ගිණි තියලා යද්දී ඇලට වැටිලා මැරෙන්නේ කල කම් පලදීමක් විදිහටයි.
      ඒ වගේම නොගැලපෙන සම්බන්දතා හදාගෙන විවාහයට පෙර සම්බන්දතා දුර දිග අරන්  ගිහාම සුද්දී ට වගේ ජීවිතේ නාස්ති කරගෙන නමට කැලලක් එකතු කරගන්න සිද්ද වෙනවා.
      මේ පොත ලියලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ලංකාවේ පරිසරය පදනම් කරගෙන උනත් මේ පොතේ එන චරිත වල ගති ලක්ෂණ වල අද ජීවත් වෙන  මිනිසුන්ගේ ගති ලක්ෂණ වලත් වෙනසක් නෑ කියලා මට හිතුනා. 
       ඒ වගේම එදා තිබුනු ස්වයංපෝෂිත ආර්ථික රටාව ගැන ලියලා තිබුන ආකාරයත් මගේ හිතට දැනුනා. කුඹුරෙන් වී ටික, ගෙවත්තෙන් ගොටු කොළ, කොස් දෙල් ඇතුලු අනෙකුත් එළවලු ටික ලැබුනම මහා ලොකුවට මුදල් නැතත්  මිනිස්සුන් ට හොඳට කාලා බීලා සතුටෙන් ඉන්න ප්‍රමාණවත් දේවල් ඔවුන් ගේ ළඟම  තිබුනා. 
        ජාති,ආගම්,කුල බේදය කියන්නේ සමාජයට පිලිලය ක්. ඉන් අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ. අද ලෝකය දිහා බැලුවමත් ජාති,ආගම් බේදය නිසා විශාල ගැටළු ඇතිවෙමින් තියනවා. 
  මේ හැම දේකින්ම ලැබෙන විපාක තමයි මේ පොත කියවලා අන්තිමට පොත ගැන හිතලා බලද්දී අපට දැනෙන්නේ. එක දිගට කම්මැලි කමක් නැතිව කියවාගෙන යන්න පුලුවන් පොතක්. කියවලා නැති අය කියවලා බලන්න.

ඔබ යළිත් එනවානම්