Thursday, June 25, 2020

ඇමෙරිකා


ඇමෙරිකා- ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි මහත්මිය, ස්වර්ණ පුස්තක සම්මානයට කීප වතාවක්ම නිර්දේශ උන වෙනස් ආකාරයේ පොත් රචනා කරන ලේඛිකාවක්. පුස්තකාලයේ පොත් රාක්ක වලට එකතු වූ අලුත් පොත් අතරේ ඇගේ "ඇමෙරිකා" පොතත් තිබුනා. පොත කියවන පළවෙනි සාමාජිකයා වෙමින් පොත මම අරගෙන ආවා.
           විදෙස් රටකට ගිහින් ලංකාවට වඩා හොඳ ජීවිතයක් ලබාගන්න බොහෝ දෙනෙක් හීන මවනවා. ලංකාවේ ඉඳලා වැඩක් නෑ වෙන රටක පදිංචියට ගියොත් දරුවන්ටවත් හොඳ කලක් යයි කියලා කියන අයත් ඉන්නවා.  අපේ ගති සිරිත් සංස්කෘතික ලක්ෂණත් අරගෙන ගිහින් විදෙස් රටක පදිංචිවෙලා, වෙනස් සංස්කෘතියක් වෙනස් ජීවන රටාවක් වෙනස් මිනිසුන් අතරේ අපේ විදිහට ජීවත්වෙන්න ගිහාම ලොකු ඝට්ටනයකට මුහුණ දෙන්න වෙනවා. 
                මෙම පොතේ කතා නායකයා සහ නායිකාවත් ඒ වගේ ලොකු ඝට්ටනයකට මුහුණ දෙනවා. හොඳ රැකියා ලැබුනත් මිල මුදල් ගෙවල් යාන වාහන සැප සම්පත් ලැබුනත් ඔවුන්ට එයින් තෘප්තියක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම කතාව කියවාගෙන යනකොට අනිත් රටවල් වලින් පැමින ඇමෙරිකාවේ පදිංචි උන පුද්ගලයින් පවා ඔවුන්ගේ රටේ ජීවත්වූ ආකාරයට ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙන්වන්නේ. ඇමෙරිකාවේ මිනිස්සු නැහීගෙන වැඩ කරනවා , රජයට බදු ගෙවන ගමන් ඔවුන් බොහොමයක් දෙනා අග හිඟයෙන් තොර දිවියක් ගත කරනවා. සති අන්තයේ සහ නිවාඩු කාලයේ සංචාරයේ යෙදීමෙන් විවිධාකාර විනෝදාංශ වලට යොමුවෙලා සතුටු වෙනවා.
               ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන්ගේ බලපෑමෙන් තොර නිදහස් ජීවිතයක් තිබෙනවා. අපේ රටේ දරුවන් දෙමාපිය අනසක යටතේ ජීවත්වෙන දෙමාපියන්ට උවමනා දේවල් පමනක් කරන (සමහර වෙලාවට විවාහක දරුවන්ගේ ජීවිත පවා ගෙවෙන්නේ ඒ විදිහට ) දරුවන් කොටසක්. ප්‍රදීප් සහ නිලංකාට ඔවුන්ගේ දරුවා ඇමෙරිකාවේ දරුවන් විදිහට හැඩ ගැසී ජීවිතය විනාශ කරගනීදෝ යන බියෙන් ජීවත්වෙන්න සිදුවෙනවා.
                   බොහෝ වෙලාවට විදෙස් රටවල් වල ජීවත්වෙන අපේ රටේ අය ගොඩක් සුව පහසු ජීවිතයක් ගෙවන බව තමයි අපේ රටේ ජීවත්වෙන අය හිතාගෙන ඉන්නේ. ඒ වගේම විදෙස් රටවල ඉන්න බොහොමයක් දෙනා මවා පෙන්වන්නෙත් එහෙමයි. ඒ වගේ වාතාවරණයක් යටතේ කතුවරිය වෙනස් කෝණයකින් මේ පොත ලියනවා. කොටසක් ඒ රටේ සංස්කෘතියට හැඩ ගැහෙනවා ඇති. තමන්ගේ උපන් රට සහ ජීවත්වෙන රට සසඳන්නට යාමෙන් එහෙත් මෙහෙත් දෙදිහා ගැනම කලකිරීමක් තියන ප්‍රදීප් වගේ අයත් ඇති.
           කොහොමත් මිනිස්සු උනාම තමන්ට ජීවත්වෙන්න වෙන වටපිටාවට , රැකියා ස්ථානයට ආශ්‍රය කරන්න වෙන මිනිසුන්ගේ ජීවන රටාවට යම් ආකාරයකට හැඩගැසෙන්න, ගැලපෙන්න වෙනවා. එහෙම නැතුව අපි හුරුවෙලා තියන විදිහට ඒ තැන්වල හැසිරෙන්නත් අනිත් දේවල් සංසන්දනය කරන්නත් ගියොත් අපේ ජීවිත නීරස සහ අතෘප්තිමත් එකක් වෙන්න තියන ඉඩ වැඩියි.
                   ඕනෑම දේක හොඳ සහ නරක දෙකම තියනවා. අපි ගොඩක් වෙලාවට නරක ඉස්මතු කරගන්න උත්සාහ කලාට හොඳ ඉස්මතු කරගන්න උත්සාහ කරනවා අඩුයි. ඕනෑම දේක සුබ සහ හොඳ පැත්ත විතරක් බලනවා නම් නරක සහ අසු පැත්ත නොසකලා හරිනවානම් ජීවත්වෙන්න පහසුයි. මෙම කතාවේ ප්‍රදීප්ට ඒ දේ කරන්න බැරිවෙනවා. නිලංකා අදාල තැන අදාල විදිහට හැඩගැහෙන්න යම් තාක් දුරට සමත් වෙනවා. සහන් එරට සමාජය ගැන සහ ඔහුගේ දෙමාපියන් ගැනත් හොඳ වැටහීමකින් ඉන්නවා. 

"ලෝකේ කොහේ ගියත් මනුස්සයෝ කියන අය එකයි. හැමෝම ළඟ හොඳ නරක තියෙනවා. එහෙම හිතුවොත් ඔයාලට ඕනෑ තැනක සතුටෙන් ඉන්න පුළුවනි. "
               -සහන්-

                         පරිවර්තන පොත් කියවන්න හුරුවෙලා උන්න මට අපේ ලේඛිකාවකගේ වෙනස් ආකාරයේ පොතක් කියවන්න ලැබුනාට සතුටුයි. 

No comments:

Post a Comment