Sunday, November 10, 2019

නොත්‍ර දාමයේ කුදා



" නොත්‍ර දාමයේ කුදා" නමින් සිංහලය හඬ කවා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කතාව නරඹලා තිබුනාට පොත නම් කියවලා තිබුනේ නෑ. පොත කියවලා අවසන් කලේ ඊයේ.
සුන්දර ඉස්මිරෙල්ඩා ට ආදරය කරන්නට ගොඩක් අය උන්නට ඒ විරූපී කාසිමෝඩෝ හැරෙන්නට අනිත් අය ඇයට ආශා කලා මිසක ආදරේ කළේ නෑ. ඒ වගේම ඉස්මිරල්ඩා ට මරණය ගෙනෙන්නට හේතු උන සීබට් කෙරේ ඇගේ සිතේ ඇතිවූ ආදරයත් ඒක පාර්ශ්විකයි.
නොත්‍රදාම දේවස්ථානය පදනම් කරගෙන වික්ටර් හියුගෝ පුද්ගලයින් කීප දෙනෙක්ගේ ප්‍රේමය පිලිබඳ මනෝභාවයන් විග්‍රහ කෙරෙන අපූරු කෘතියක්. ප්‍රේමය හමුවේ ඇතිවෙන ගැටළු හමුවේ පලා යන්නවුන් සහ මට හිමි නොවුනා නම් මැරුනාවේ කියන අය අතරේ විරූපී වුවත් ලා ඉස්මිරල්ඩා කෙරේ සැබෑ ප්‍රේමයක් තිබුනේ ක්වාසිමෝඩෝ ගේ සිතේ විතරයි. ඔව් තවත් කෙනෙකුට ආදරේ වෙන්න තමුන් ලස්සන වෙන්නවත් අනිත් කෙනාගේ කැමැත්තවත් උවමනා වෙන්නේ නැහැ.
යමුනා විනෝදනී මහත්මිය ගයන "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස් කෙස් ගසකට සමයි, බිඳුනු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි."
අවසානයට පූජකයාගේ ආදරය (ආදරයද ආශාවද මන්දා) කොහොම හරි ඔහු ගත කරන පූජක ජීවිතයට නොගැලපෙන ආශාවන් පසුපස යන්න ගිහින් ඔහුත් තව ජිවිත ගණනාවකුත් විනාශ වෙනවා.
ප්‍රංශය හා පැරීසිය තාමත් බොහෝ දෙනාට සුන්දර සිහිවටන ගෙනෙන රටක් සහ නගරයක් උනත් පොතට අනුව නම් ඒ කාලයේ ඔවුන් අන්ධ විශ්වාසයන්ට මුල් තැන දී ක්‍රියා කල බව නම් පේනවා.
"නොත්‍රදාමයේ කුදා" එහෙම නැතිනම් වික්ටර් හියුගෝ "The Hunch back of NotreDame " කුමාර සිරිවර්ධන මහතාගේ පරිවර්තනයක්.  ආශිර්වාද ප්‍රකාශනයක්. මිල රු 875/=

No comments:

Post a Comment