Wednesday, September 12, 2018

"නන්දිතය"



                                 
                    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වලින් මම කියවලා තියෙන්නේ කීපයක් විතරයි. එතුමියගේ පොත් වල භාෂා විලාසයට මම බොහොම කැමතියි. පොත කියවද්දී ඇගේ ලිඛිත විලාශයත් එක්ක මගේ මනසේ, මනරම් සිත්තම් මැවෙනවා. ඒ මැවෙන සිත්තම් වලට මම බොහොම කැමතියි. "නන්දිතය" කියවලා ඉවර කලා. සටහනක් ලියන්න හිතුනා.
       චීනයත් එක්ක අපේ කොයිතරම් සබඳතා තියනවද? ඒත් මට චිනය ගැන තියෙන්නේ සුළු දැනුමක්. චීන මහා ප්‍රාකාරය, චීනයේ නිෂ්පාදිත භාණ්ඩ, ලෝකයටම අභියෝගයක් වීගෙන එන චීන ආර්ථිකය ඔයවගේ දේවල් ටිකක් විතරයි මම දැනගෙන උන්නේ. නන්දිතයේ චරිත හරහා සුනේත්‍රා මහත්මිය මාව චීනය ගැන යමක් හොයන්න පෙළඹෙව්වා. 
        චීනයේ වෙසෙන ජාතීන් කීපයකට අයත් පුද්ගලයින් කීපදෙනක් වටා ගෙතෙන නන්දිතය එකිනෙකාගේ දෘෂ්ඨි කෝණ වලින් ලියලා තිබෙනවා. ලංකාවේ නන්දිත, තායිලන්තයේ බුන්සිරි, ඉතාලියේ ග්‍රාබියෙලා, තමිල්නාඩුවේ බාල සුබ්‍රමනියම්, බෙයිජිනයේ ශන්-ග, ඉන්දියාවේ කිරන්, ඇමරිකාවෙන් ආව ලිලියානා, විවිධ සංස්කෘතීන් විවිධ සිතුවිලි එක්ක නන්දිතය හරහා අපිව හමුවෙනවා. මනුෂ්‍ය මනසක ස්වරූපය එකිනෙකාගෙන් අපට දැනෙන්න ගන්නවා.
      පොතේ තවත් විශේෂයක් තමයි තැනින් තැන සටහන් වන කියමන්. වෙනම සටහන් කරලා තියාගන්න තරම් වටිනා කියමන් මට මේ පොතෙන් ලැබුනා..
         ඒවගේම නන්දිත ඇතුළු මේ පොතේ චරිත කළු සුදු හොඳ නරක කියලා වෙන් කරන්න බෑ. ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අත් දැකීම් සහ එකිනෙකා තේරුම් ගන්නා ආකරය අනුව ඔවුන් තුල තිබෙන හොඳ නරක වෙනස් වෙනවා. නන්දිතය හරහා කතුවරිය ශ්‍රී ලංකාවේ අපි අදහන බුදු දහම සහ චීනයේ අදහන බුදු දහමේ වෙනස සරලව පැහැදිලි කරනවා. පොත අවසාන වන්නේ කිරන් ගුවන්-යින් කියන බුද්ධ ප්‍රතිමාවත් සමග කථා කරන පරිච්ඡේදයකින්.

 "ඔය ළමයා දැන් තමන්ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුෂ්‍ය ජීවිතේක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජීවිතේ දිහා බලන්න ගන්න."

       ඇත්තටම එහෙම බලන්න පුළුවන්නම් අපි දැවෙන අපි විඳවන ගැටළු හැම එකකටම විසඳුම එතන තියනවා නේද?

No comments:

Post a Comment