Showing posts with label මග තොටේදී. Show all posts
Showing posts with label මග තොටේදී. Show all posts

Saturday, August 24, 2019

ටිකට්


                                   ඊයේ හවස මම ගිය ලංගම බස් එකට උඩුගම්පොළ හන්දියෙදී ටිකට් පරීක්ෂකයෝ ගොඩ උනා. නැගපු ගමන්ම ටිකට් ගන්න ටිකට් ගන්න....කියලා ටිකට් පරීක්ෂා කරන්න ගත්තා. මගේ ටිකට් එකත් රතු පෑනකින් මාක් කරලා දුන්නා. බස් එකේ ඉස්සරහම සීට් එකක වාඩි වෙලා උන්න යුවළක් ළඟ ටිකට් තිබුනෙ නෑ. ඔවුන් ටිකට් ගත් බව පැවසුවා. ඊට පස්සේ ඒ දෙන්නා බෑග් වල සාක්කුවල බිම හැම තැනම ටිකට් හෙව්වට තිබුනෙ නෑ. ඒ දෙන්න ටිකට් ගත්ත බව කොන්දොස්තර මහතාත් පුන පුනාම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතද්දී එක පරීක්ෂක ම්හත්මයෙක් මීගමුවෙන් ගම්පහට ටිකට් ගත්ත අය අත උස්සන්න කිව්වා. හය දෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ කොන්දොස්තර මහතාගේ ටිකට් මැෂින් එක අරන් මීගමුවෙන් ගම්පහට ටිකට් කීයක් අරන්ද බැලුවා. අටක් අරන් (ඒ මැෂින් එකෙන් ඔය තරම් දේවල් බලන්න පුලුවන් කියලා මම දැන ගත්තෙත් ඊයේ)
එතකොට ඉතින් අර දෙන්නාත් ටිකට් අරන් කියලා ඔප්පු උනා.
ඊට පස්සේ එයාලා කිව්වා ටිකට් අරන් නිසා දඩ මුදලක් ගන්නෙ නෑ, ඒ උනාට අනිත් හැමෝම ළඟ ටිකට් තිබුනා ඔයාලා ගාව විතරක් තිබුනෙ නෑ, ඔයාලට නිකන් යන්න දුන්නොත් එයාලට කරන අසාධාරණයක් ඒ නිසා මීගමු-ගම්පහ ටිකට් දෙකක් ආයෙ ගන්න කියලා. ඒ දෙන්නා ආයේ ටිකට් ගත්තා.
ටිකට් එකක් කියන්නේ පුංචි කොල කෑල්ලක්නේ. ඒක ඔය බෑග් එකේ හරි සාක්කුවක හරි දාගන්න පුලුවන්නේ. ගමනාන්තය වෙනකන් ටිකට් එක තියාගන්න බැරිකමකුත් නෑනෙ. මගෙ නම් ඉතින් බෑග් එකෙන් සතියකට කලින් ගිය ටිකට් උනත් හොයාගන්න තියනවා..😁😁😁ඒක වෙනම කතාවක්.
---------------------------------------------------------------------------------
                   ටිකට් එකක වටිනාකම තියෙන්නේ පරීක්ෂා කරනකොට පෙන්වන්න විතරක් නෙමේ නීතිමය තත්ත්වයකදී උසාවියට සාක්ෂියක් විදිහටත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා බස් එකේ උන්න දෙන්නෙක් කතා උනා. මම බෑග් එකේ ටිකට් එකතු කරන එකේ වරදක් නෑ නේද? 😉😉😉
මේවා පුංචි පුංචි කාරණා උනත් සිතන්න යමක් ඒවායේ තියන බව මාත් තේරුම් ගත්තා

Friday, April 5, 2019

මුදල් පසුම්බිය නැති උනොත්


ඊයේ හවස ගෙදර යන්න මම නැගපු බස් එකේ වැඩි සෙනගක් හිටියේ නැහැ. මටත් බස් එකට නැගලා බස් හෝල්ට් දෙකක් විතර පහු වෙනකොට වාඩි වෙන්න ලැබුනා. මේ දවස් වල තියන අධික උණුසුමයි, විදුලි කප්පාදුවයි, සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට ඇතිවෙන කලබලයයි එක්ක බස් එකේ මිනිස්සු උන්නෙත් හේබාල ගිහින්. බස් එක රද්දොළුගම ස්කීම් එකේ බස්ටෑන්ඩ් එකේ නතර කර්ලා ටික වෙලාවක් තිබුනා. එතකොට තමයි පිරිමි ළමයෙක් බස් එකේ ඉස්සරහා දොරෙන් නැගලා කඩාගෙන බිඳගෙන පිටිපස්සට දිව්වේ. ඒ වෙද්දී සීට් ගණනටවත් සෙනග උන්නෙ නැහැ. කොන්දොස්තරත් ඒත් එක්කම පිටිපස්සට දිව්වා. ඒ ළමයගේ පර්ස් එක නැතිවෙලා. ඉතින් ඔක්කොම එකතුවෙලා පර්ස් එක හෙව්වට තිබුනෙ නෑ.
               දුකම හිතෙන වැඩේ ඒ ළමයට කතාකරන්න බැහැ. ඉතින් එයා අංග චලනයෙන් තමයි එයාගේ දුක කිව්වේ. කොහොමහරි පර්ස් එක තිබුනෙ නැහැ. කොන්දොස්තර නම් කිව්වා පර්ස් එක ඇදලා එයාට සල්ලි දුන්න වග මතක බව. එතනින් එහාට ඉතින් එයා මගීන් ගැන හොයලා බලන්නෙ නැති බව. ඒ ළමයා බැස්සට පස්සේ කීප දෙනෙක් නැග්ගා බැස්සනෙ.
            පව්. සාමාන්‍ය මනුස්සයෙකුට වගේත් නෙමේ ඒ වගේ කෙනෙකුගේ පර්ස් එකක් නැති උනාම කරදරයි. ඒක ඇතුලේ එයාගේ මොන මොනවා තිබුනද දන්නෙ නෑනෙ. හැඳුනුම් පත් , බැංකු කාඩ් ආයෙ හදන්න ගිහාම සෑහෙන කට්ටක් කන්න වෙනවා.
          උත්සව සමය නිසා පික් පොකට් කාරයෝ වැඩියි. කාරයෝ විතරක් නෙමේ කාරියොත් ඉන්නවනේ. මේ දවස් වල බෝනස් දෙනවා, අවුරුද්දට බඩු ගන්න හෙම ඕන නිසා පසුම්බි වල වැඩිපුර මුදල් තිබෙන බවත් ඔවුන් දන්නවා. ඒක නිසා මේ ලියන මමත් කියවන ඔබත් මෙ දවස් වල මුදල් පසුම්බි පරිස්සම් කරගන්න වගබලා ගන්න මතක තියාගන්න ඕන. අතේ තියන සතේම පසුම්බියේ දාගෙන යන්න එපා. බෑග් එකක් පාවිච්චි කරනවා නම් ආරක්ෂිතව දෙතුන් තැනක තියාගන්න.
              මෑතකදී මගේ මිතුරියකගේ මුදල් පසුම්බිය නැති උනා. ඒත් බස් එකේදි. ඇයගේ වටිනා කියන සබ්බ සකලමනාවම තිබිලා තියෙන්නේ ඒ පසුම්බියේ. හැඳුනුම් පත්, බැංකු කාඩ්, පාස් පොත් ඔය වගේ ගොඩක් දේවල් එක්ක මුදලින් වටිනාකම මනින්න බැරි අම්මා අරන් දීපු කොන්තෙකුත් තිබිලා. එයාට ඒවා ආයේ අලුතෙන් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න උනා. පසුම්බියක් ඇහුලුවත් අදාල පුද්ගලයා හොයලා බාර දෙන්නේ එහෙමත් කෙනෙක්. අඩුම තරමේ ඒකේ තිබුන දේවල් ටික කවරෙකට දාලා (මුදල් ඕන නෑ කියමුකො ) තැපැල් පෙට්ටියකට වත් දාන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. ඒ නිසා නැති උනොත් ඒවා අපට ලැබෙන්න තිබෙන ප්‍රතිශතය 0.1% වඩා අඩුයි. ඔන්න ඒ වෙලාවේ තමයි මමත් වටිනා කියන දේවල් සේරම පහසුවට පසුම්බීයේ දාගත්තට ඒවා නැති උනොත් වෙන පාඩුව හා අලුතෙන් ගන්න ගතවෙන කාලය ගැන හිතුවේ..ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.

Wednesday, April 3, 2019

ජීවිතය සහ රැකියාව


බස් එකේ යද්දී දුරකථන සංවාදයක් (අනිත් අයටත් ඇහෙන්න කතා කරපු නිසා) ඇසුනු නිසා ඒ ඔස්සේ ගෙතුන කතාවක්...හිතන්නට යමක් , යමක් නෙමේ බොහෝ දේවල් ඒ සංවාදය ඇතුලේ තිබුනා.
ඔහු යම්කිසි ආයතනයක අළෙවි කලමණාකරුවෙක්. සේවා කාලය වසර අටක්. ඔහුට අනුව එම සේවා කාලය තුල ඔහු යටතේ සේවය කල අනෙකුත් සේවකයින් සමග උපරිමයටම කැප වෙලා ආයතනයට වඩාත් හොඳ ආදායමක් ලබාදුන් අයෙක්. ඒත් පහුගිය වසර අගභාගය වෙනකොට රටේ පවතින ආර්ථික මට්ටමත් එක්ක බොහෝ ව්‍යාපාර වල අළෙවිය අඩුවෙනවා. මේ ආයතනයටත් එම කලදසාවම ලබලා. හොඳටම ලාබ ලබපු ආයතනයක ආදායම අඩු වෙනකොට ඒ ගැන හොයා බලපු ආයතනයේ කළමනාකාරීත්වය දෝෂාරෝපණය කරන්නේ අළෙවි අංශයට. රටේ ආර්ථික උද්දමනයත් එක්ක මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීම් සීමා කර ඇතිබව ආයතන ප්‍රධානීන් වටහා ගන්නේ නෑ වගේම මෙතෙක් කලක් ඔහුගෙන් ආයතනය ඉටුකල සේවාව ඔවුන්ට වැදගත් වෙන්නෙත් නෑ..ඔය හේතූන් නිසා ඇතිවූ කලකිරීමෙන් ඔහු සේවයෙන් ඉවත් වෙනවා.
මෙතනින්න් එහාට ඒ දුරකථන සංවාදය ඒ විදිහටම දාන්නම්
""මට දුක රස්සාව නැති උන එකට නෙමේ මචං..රස්සාව නිසා නැතිවෙලා තියන දේවල් වලට.."
"උදේට පුතාව නර්සරි යවන්න ලෑස්ති කරන්න හදනකොට තාත්තිට බෑ කියලා දුවන්නේ වයිෆ් ළඟට"
"දුවට හෝම් වර්ක් කියලා දෙන්න හදනකොට අම්මී වැඩ ඉවර කරලා ඇවිත් කියලා දෙයි කියනවා.. කොටින්ම කිව්වොත් අම්මා ට බෙහෙත් ගේන්න යන්නත් මට එන්න එපා වයිෆ් ව එක්කන් යන්නම් කිව්වනෙ"
"අපේ ගෙදර කිසිම කෙනෙක් කිසිම උදව්වක් මගෙන් ඉල්ලන්නෙ නෑ..අඩුම තරමේ ගෙදර ඉන්න බල්ලා පූසාවත් මගෙත් එක්ක එකතු නෑ..රස්සාව හින්දා මම මේ මිනිස්ස්න්ගෙන් කොච්චර නම් දුරස් වෙලාද?"
"උඹට කියන්න මචං..අපේ නංගිලගේ ගෙදර දානයක් තිබිලා එහේ ගියා. අපේ අක්කගේ මහත්තයා අනිත් නෑදෑයො බැහැලා වැඩ. අරක ගේන්න යමු ,මේක මෙහෙම කරමු..කියලා වැඩ. ඒ එක්කෙනෙක්ටවත් මම උන්නද කියලවත් ගානක් නෑ. ඒ මිනිස්සුන්ට මම අමුත්තෙක්. "
අපි අපේ සේවා ස්ථානයට අවංක වෙන්න ඕන. අපේ රාජකාරිය නිවැරදිව කැපවීමෙන් කරන්නත් ඕන. ඒත් රාජකාරිය ජීවිතේම කරගත්තම කවදාහරි අපෙන් ගිලිහෙන බැඳීම් දිහා බලාගෙන සුසුම් හෙලන්න වෙන බවත් මතක තියාගන්න ඕන.
මටත් මේ ටිකම වගේ සිද්දවේගෙන එනවා නේද කියලා හිතුනා.
ගොඩක් වෙලාවට ආයතනයකට අපේ වටිනාකම තියෙන්නේ ඔවුන්ට අපෙන් ලාභයක් තියනකන් විතරයි. ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙනවටත් වඩා අපෙන් ඔවුන්ට සේවයක් වෙනවානම් පමනයි. අපෙන් ඔවුන් ලද සේවාවේ ගුණාත්මක බව යම් හේතුවකින් අඩු උනොත් (අපේ වරදක් නොවී අපට පාලනය කරන්නට නොහැකි යම් කාරණාවකදී උනත්) අපි අපේ සේවා කාලය තුල පෙර කල දේවල් ඔවුන්ට ඒතනින් එහාට වැදගත් වෙන්නේ නෑ. අපි මෙහෙමයි කලේ' අපි කොච්චර මහන්සි වෙලා වැඩ කලාද, අපි අපි ගැනවත් නොහිතා මේකට නැහුනා, මහන්සියේ තරමට වැටුපක් වත් ගත්තේ නෑ, ඔය වගේ දේවල් ඔවුන්ට නිකම්නම් වචන පමනයි..
ඒ නිසා අපේ පෞද්ගලික ජීවිතයයි, අපිට සමීප අපේ කියන අයයි අමතක කරලා රැකියාව ජීවිතේ කරගත්තොත් අවසානයට ඉතුරු වෙන්නේ කලකිරීම් සහ සිත් රිදීම් පමනයි. ඒ නිසා රාජකාරී ජීවිතයි පෞද්ගලික ජීවිතයයි සමබර කරගෙන නොගියොත් මම කලින් කිව්ව පුද්ගලයට වගේ ගිලිහී ගිය බැඳීම් දිහා බලාගෙන දුක් වෙන්න පසුතැවෙන්න සිද්ද වෙයි.

Tuesday, March 12, 2019

පෝස්ටර් වසංගතය

යාළුවෙක් මට පිංතූර කීපයක් අරන් එව්වා. ඔයා ලියනවනේ මේ ගැනත් මොනවාහරි ලියන්න කියලා ඉල්ලීමක් කලා. 
         එයා කියන විදිහට මේ අම්මා පාර සුද්ද කරලා අතු ගාලා කුණු එකතු කරන ගමන් හැමදාම මේ තාප්පයේ අලවල තියන පෝස්ටර් ගලනවනවලු. පහුවදාට ආයෙමත් අලවලාලු. ඉතින්. ඉතින් ගිණි අවුවේ මේ පෝස්ටර් ගලවන එක එයාගේ දෛනික රාජකාරියේ කොටසක්.
      අපේ රටේ පෝස්ටර් කියන්නේ වසංගතයක්. රට පාලනට කරන දේශපාලකයන්ගේ ඉඳන් ටියුෂන් ගුරුවරයා දක්වා පෝස්ටර් අලවනවා. එකක් දෙකක් නෙමේ. එකම පෝස්ටර් එක තාප්පෙ පුරාම අලවනවා. මිනිස්සුන්ට සමී
ප වෙන්න ප්‍රචාරක මාධ්‍යක් විදිහට පෝස්ටර් භාවිතා කලාට මේ වගේ අසරණ මිනිස්සු ඒ නිසා මොනතරම් දුක් විඳිනවද. අනිත් එක පරිසරය මොනතරම් අවලස්සන වෙනවද. නගර සභාවෙන් කරන්න ඕනා දවස ගානේ මේ මිනිස්සු ලව්වා පෝස්ටර් ගලවන එක නෙමේ පොස්ටර් අලවන එක නතර කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න එක.


Monday, May 7, 2018

පෝළිම

                             
                                                    අද උදේ මම බැංකුවට ගියා මුදල් තැන්පත් කරන්න. දවස් තුනක නිවාඩුවකින් පස්සේ නිසාද කොහෙද බැංකුවේ ගණු දෙණු කරන්න ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. මම පෝළිමට එකතු වෙනකොටත් කවුන්ටර් පෝළිමේ දහදෙනෙක් විතර හිටියා. ටිකෙන් ටික මගේ වාරය ළංවෙද්දී එක පාරටම කඩාගෙන බිඳගෙන ආපු ගෑණු කෙනෙක් පෝළිමේ ඉස්සරහම උන්න කෙනාගෙ ළඟින් හිට ගත්තා. එක කවුන්ටර් එකක් හිස් උනාම ඒ කවුන්ටර් එකේ උන්න ගැහැණු ළමයා පෑනෙන් තට්ටුවක් දාලා ඊළඟ ගණු දෙණු කරුට එන්න සංඥා කලා. පෝළීමෙන් පිටත් හිටපු ගැහැණු කෙනා කවුන්ටරේට යන්න සූදානම් වෙද්දීම කවුන්ටර් එකේ ඉන්න ගැහැණු ළමයා පෝළිමට යන්න කියලා අර ගැහැණු කෙනාට කිව්වා. පෝළිමේ උන්න හැමෝටම හිනා ගියා. පෝළිමේ ඉන්නත් ඕනද කියලා එයාටම කියාගන්න ගමන් ඒ ගැහැණු කෙනා පෝළිමේ අගට එකතු උනා. 
                        අපේ රටේ මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමී වෙලාද කියලා මට හිතුනා. දහ පහලොස් දෙනෙක් පෝළිමේ ඉන්දි එයාට විතරක් විශේෂයක් වෙන්නෙ නෑ කියලා හිතන්න තරම් මොළයක් තිබුනෙ නැතිද මන්දා. නිකන් ලැජ්ජා උන එක විතරයි උනේ. 

Thursday, February 22, 2018

මොහොතක් ඉවසුවානම්


ඊයෙ හවස අපි ගෙදර යන්න නැගපු කෝච්චියට දාරළුවත් ගම්පහත් අතරෙදි නතර කලා. කෝච්චියේ උන්න පිරිමි උදවිය කෝච්චියට කවුරු හරි පැන්නා කියලා , කෝච්චියෙන් බැහැලා දිව්වා. අවුරුදු 19-20 පිරිමි ළමයෙක් හෙල්මට් එකකුත් දාගෙන පොතකුත් අතින් අරන් කෝච්චියට බෙල්ල තියලා. ඒ ළමයගේ මිනිය ට්‍රොලියෙ තියාගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට බාර දෙන්න අරන් යනවා දකිනකොට මට පව් කියලා හිතුනෙ ඒ ළමයා ගැන නෙමේ, ඒ ළමයව ඔය තත්වෙට උස් මහත් කරන්න දුක් විඳපු අම්මා තාත්තා ගැන.
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
" මිය යන්න සූදානම් පැරදුම දරන්
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
පැරදුනාම මැරෙනවාට වඩා හොඳයි නේද දිනන්න උත්සාහ කලානම්. ප්‍රේම සම්භන්දයක් වේවා විවාහයකින් වෙන් උනා හෝ වේවා එතනින් ජීවිතය නතර වෙන්නෙ නෑනෙ. හැම පැරදුමක්ම දිනුමක් කරගන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
"ඒ දරුවා තව මොහොතක් ඉවසුවානම් තාමත් ජීවතුන් අතර"

Friday, January 26, 2018

කවි බණ


                     අද උදේ, වැඩට එන්න බස් එකට නැගලා ටික දුරක් යද්දී ඩ්‍රයිවර් මහත්තයා බස් එක එලවන ගමන්ම කලබලේ සීඩී ගොඩක් අවුස්සලා අවුස්සලා එකක් තෝරගෙන ප්ලේයර් එකකට දැම්මා. එකත් එකටම මියුසිකල් ශෝ එකක හරි අඬන වැලපෙන සිංදු ටිකක් කියලා හිතුනා. නෑ කවි බණක්.
         දුප්පත් එක ඇහැක් අන්ධ් අම්මා කෙනෙක් සැමියා නැතුව පුතෙක් උස් මහත් කරනවා. ටික ටික ලොකු වෙද්දී අම්මා කැතයි කියලා පුතාට ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ අම්මාව එපා වෙනවා . ඉගනගෙන රට ගිහින් විවාහ වෙනවා. අම්මාව අත හරිනවා. අම්මා පුතා හොයන් ගිහාම හිඟන්නියක් කියලා එලව ගන්නවා. අවසානෙදි ගමේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමකට යන ගමන් ගෙදරට යනවා. ගෙදර කඩන් වැටිලා. අම්මා මිය ගිහින්. අසල් වැසියෙක් ලියුමක් ගෙනත් දෙනවා.අම්මා ගෙ එක ඇසක් අන්ධ වෙලා තියෙන්නෙ, පුතා ඉපදෙනකොට එක ඇහැක් අන්ධ වෙලා ඉපදුන නිසා අම්මා එක ඇහැක් පුතාට දීලා. ඔය කතාව මම කොහෙදි හරි කියෙව්වා වගේ මතකයි.
                            හොඳම වැඩෙ කියන්නේ ටිකක් දුර යද්දී බස් එකේ කට්ටිය මීයට පිම්බා වගේ සද්දයක් නැතුව අහන් ඉන්නවා. ඒ කවි හදවතටම දැනෙනවා. මගෙ ඇස් වලටත් කඳුළු පිරීගෙන එද්දී මම වෙන අතකට හිත යොමුකරන්න උත්සාහ කලාට හරි ගියෙම නෑ. වෙනදා සිංදු ඇහෙද්දී ඇහෙන්නෙ නෑ වගේ ඉන්න පුලුවන් උනාට අද එහෙම බෑ. කොහොම හරි උනපු කඳුළු කම්මුල් දිගේ පෙරලිලා ගියා. ඇත්තටම මට ලැජ්ජ හිතුනා. මම ළඟම හිටගෙන උන්නා ඇන්ටිලා දෙන්නෙක්. අර කවි ඇහිලා කඳුලුත් එනවා කියලා මාව පෙන්නලා ඒ දෙන්නා කතා උනා. මම බහිනකනුත් කවි ඉවර වෙලා තිබුනෙ නෑ. මම අනිත් වාඩි වෙලා උන්න අය දිහාත් බහින්න යද්දී හොරෙන් බැලුවා.ගොඩක් අයගේ ඇස් අග කඳුළු බිංදු එකතු වෙලා තිබුනා. වෙනදාට පුංචි දේටත් මගීන්ට කෑගහන කොන්දොස්තර ගෙන් සද්දයක් නෑ.
                    මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කතා කරන්න සමහර නිර්මාණ වලට පුළුවන් නේද කියලා මට හිතුනා.

Thursday, January 18, 2018

කල්පනාවෙන්


අපි යමක් කරද්දී අවට පරිසරය ගැන විමසිලිමත් වෙන්න ඕනා. මම මේ කියන්නේ ගෙදරදි නෙමේ මග තොටේදී බස් එකේදී කෝච්චියෙදි වගේ පොදු ස්ථාන වලදී. අපි නොහිතුවට අපි දිහා බලාගෙන අපි ගැන අවදානෙන් ඉන්න පුද්ගලයන් ඉන්නවා. මට එහෙම කියන්න හිතුනේ අද උදේ මම නැගපු බස් එකට මගින් නැගපු ගැහැණු ළමයෙක් සීට් එකේ වාඩි වෙලා ෆෝන් එක ඔබනවා මෙලෝ කල්පනවාක් නැතුව. මට හිතුන විදිහට එයා කාත් එක්ක හරි චැට් කරනවා හෝ මැසේජ් කරනවා. ඊට පස්සේ හෝල්ට් එකෙන් නැගපු පිරිමි ළමයෙක් ඒ ළමයා ගාවින් හිටගෙන අර ළමයාගේ ෆෝන් එකට එබිලා එයා ටයිප් කරන ඒවා කියෝනවා. ගැහැණු ළමයාට ඒ ගැන වැටහීමක් නෑ. ඒ ගැහැණු ළමයා මොනවා ටයිප් කරාද දන්නෙ නෑ අර පිරිමි ළමයාගේ මුහුණේ මැවුනේ පුදුම හතටත් වඩා පුදුමයක් දැක්කම මුහුණේ මැවෙන විශ්මයාර්ථයක්. ඒ පිරිමි ළමයා බස් එකෙන් බහින්න දොර ගාවට ගිහිල්ලත් අර ගැහැණු ළමයා දිහා හැරිලා බැලුවේ අර විශ්මයට පත් උන මූනෙන්මයි. ඒ පිරිමි ළමයා ගැහැණු ළමයාගේ හැඩරුව හොඳින්ම මතකේ තියාගත්ත වගනම් තේරුනා. ඇය ටයිප් කලේ අතිශයින්ම පෞද්ගලික දෙයක් නම් දැන් අර පිරිමි ළමයා ඒක දැනගෙන ඉවරයි. තවත් දවසක ඔහුගේ යාළුවෙක් එක්ක යද්දී ඒ ගැහැණු ළමයව දැක්කොත් ඔහු කියවපුවා යාළුවා සමග නොකියා හිඳීවිද. අපට අනිත් මිනිස්සු හදන්න බෑ. ඒත් විමසිල්ලෙන් ඉන්න. විශේෂයෙන් ගැහැණු ළමයි. අනුන්ගේ දුරකතනය කට එබෙන එක ඒ තරම් හොඳ ගුණයක් නූනට ගොඩක් අය ඒ වැඩේ කරනවා. ඒ නිසා කල්පනාවෙන්..

Friday, September 15, 2017

බස් කතාවක්


ඊයේ හවස ගම්පහ මීගමු පාරේ බස් අඩුයි. ඉඳලා ඉඳලා ආපු බස් එකෙත් පොල් පටෝලා වගේ සෙනග. මමත් වදෙන් පොරෙන් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටින් එකකට සැමන් අහුරනවා වගේ කට්ටියව ගානට පැක් කලා. අතක් ඉස්සුවොත් පාතට දාන්න බෑ. හිටගෙන ඉන්න තැනින් කකුල පොඩ්ඩක් එහාට මෙහාට කලොත් තනි කකුලෙන් ඉන්න වෙන්නේ. බස් හෝල්ට් වලින් බහින අයට ඉඩ දෙන්න තව හත් අට දෙනෙකුත් බිමට බහින්න ඕනේ. ඔය අතරේ පොඩි පොඩි වචන හුවමාරු ත් තිබුනා. 

ඔය අතරේ බස් එකේ කොනේ සීට් එකක ඉඳගත්තු මනුස්සයෙක් ඔලුව ජනේලෙන් එළියට දාගෙන සිංදු කියනවා. අනිත් මිනිස්සු තරහෙන් ඔරව ඔරව ඉන්දි මේ මනුස්සයා හරිම විනෝදෙන්. 
මොකක්ද දන්නවද කියපු සින්දුව.

😁
"මාගේ පැලෙ අඳුර නසන්න
හිතෙනව මනාළියෙක් ගේන්න
අඹුදරු දරු රැකගන්න අපට
මාලු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න..."

සිංදු කීපයක් ගලපලා එක සිංදුවක් හදලා කියනවා. ඔය විදිහට ඉතින් ගම්පහ කිට්ටුවට ආවා. ගුවන් පාලම කිට්ටුව ලොකු ට්‍රැෆික් එකක්.

"ට්‍රැෆික් මහත්තුරු ට්‍රැෆික් හදනවා. එයාල නැත්නම් මිනිස්සු අගේට
යනවා"
කියලා ඔන්න කට්ටිය බනිනවා.

අර මනුස්සයට වගේ වගක් නෑ. හිනාවෙවී ඉන්නවා.

"අනිත් උදවිය අයියෝ හොඳටම පරක්කු උනා. කෝච්චියත් ගිහින් ඇති. කඩත් වහලා ඇති කියලා"
මූණවල් හතරැස් කරගෙන බහිද්දී අර මනුස්සයා විතරක්

"ඇති යන්තන් ගම්පහට ආවා..මම ෆුල් ජොලියේ ආවා. "
කියලා බස් එකෙන් බැහැලා ගියා.

පොඩි මානසික ආබාධයක් තියනවා උනත් ඒ මනුස්සයා අනිත් උදවියට වඩා සතුටින් ඉන්නවා කියලා මට හිතුනා.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

Monday, August 14, 2017

ආරක්ෂිත ප්‍රවාහනය



අද උදේ මම බස් එක ගන්න බස් ස්ටෑන්ඩ් එකට යන්න පාර පනින්න ඉන්නකොට පාරේ පොඩි ට්‍රැෆික් එකක් තිබුනා. මගේ ඉස්සරහින්ම වගේ තිබ්බ කාර් එකේ පොඩි බබෙක් හිටියා එයාගේ තාත්තා එක්ක.ඒ බබාට යන්තමට අවුරුදු 1 1/2 -2 ඇති. ඒ බබා හිටියේ ඉස්සරහා සීට් එකේ හිටගෙන. කාර් එකේ වෙන වැඩිහිටියෙක් හිටියෙත්  නෑ. ඒ බබා එක්කන් ගියේ හරිම අනාරක්ෂිතව. උදේට මිනිස්සු යන්නේ බොහොම කලබලෙන්. මෝටර් සයිකල්, ත්‍රීවීල් බලන්නේ වාහන අස්සෙන් අස්සෙන් දාගෙන ඉස්සර වෙන්න. මේවගේ වෙලාවක වාහනේ බ්‍රෙක් කරන්න උනොත් සීට් එකට හේත්තු වෙලා යන බබා වැටෙනවා. ඉස්සරහට විසික් උනොත් දරුවව ඩෑෂ් බෝඩ් එකේ වදින්නත් පුලුවන්. 
පොඩි දරුවො එක්ක තනියම වාහනයක යද්දී එයාලගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනේ. බබාලට නිෂ්පාදනය කරපු කාර් සීට් එකක් වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බබාව වාඩි කරලා සීට් බෙල්ට් එකවත් දාන්න ඕනේ. නැත්නම් බබා යන්න ඕනේ පිටිපස්සේ සීට් එකේ. "අවදානමට පෙර සූදානම " කියලා කියනවනේ. 

          බොහොමයක් දියුණු හා බටහිර රටවල, කුඩා දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත ආසන අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම බොහෝ රටවල දරුවන් ඉදිරිපස ආසනයේ රැගෙන යාමත් තහනම්. අවුරුද්දට අඩු දරුවන්ගේ ආරක්ෂිත ආසනයේ දරුවා රඳවන්නට පවා නීති රෙගුලාසි තියනවා. 

අපේ රටේ මම දන්නා තරමින් එවැනි නීති රෙගුලාසි නෑ. මෝටර් බයිසිකල් වල තෙල් ටැංකිය මත දරුවා ඉන්දවාගෙන එක අතකින් බයිසිකලේ පදින ගමන් අනිත් අතින් දරුවාව අල්ලගෙන යන තාත්තලා ඕන තරම් මග තොටේදී දකින්න පුලුවන්.

අඩුම තරමේ ආරක්ෂිත හෙල්මට් එකක් දාන්න පුලුවන් වයසකත් නෙමේ දරුවා ඉන්නේ. කොයි මොහොතේ අනතුරක් වෙයිද කියලා අපට කියන්න බෑ. වැඩිහිටියෝ විදිහට මේ ගැන දෙවරක් සිතිය යුතුයි.

අම්මලා දරුවන්ව ස්කූටියේ පිටිපස්සේ තියාගෙන ඉස්කෝලේ යනවා පංති අරන් යනවා. පොඩි දරුවන්ට හුළං වදිනකොට බොහොම ඉක්මනට නිදිමත වෙනවා.එහෙම යද්දී නින්ද ගියොත් කියන අවදානම තියනවා.
දරුවන් එක්ක ගමන් බිමන් යද්දී ඔවුන්ගේ ආරක්ෂාවට මුල් තැන දීම වැඩිහිටියෝ වන අපගේ වගකීම. දරුවෙකුට අනතුරක් උනාට පස්සේ පසුතැවිලි වෙනවාට වඩා අනතුර වෙන්න කලින් වලක්වා ගැනීම තමයි අප කලයුත්තේ.
(ඡායාරූප අන්තර් ජාලයෙනි)

Saturday, July 29, 2017

බිල්ලෝ බායි



ඊයේ හවස මම ගෙදර යන්න නැගපු කෝච්චි පෙට්ටියේ අම්මා තාත්තා එක්ක ගමනක් ගිහින් ගෙදර යන චූටි දුවෙක් හිටියා. අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියනවනෙ. මේ බබාවත් සීට් එකේ වාඩි කරලා තියාගන්න අම්මාට හැකියාවක් තිබුනේ නෑ. දඟලලා කෑ ගහලා බිමට බහින බබා කෝච්චි පෙට්ටියේ කණුවක් අල්ලගෙන රවුමට කැරකෙනවා. යන කොච්චිය ගැස්සුනොත් බබා  වැටෙනවා. අම්මයි තාත්තයි කොච්චර කිව්වත් මේ බබා නෙමේ කියන දේ ඇහුවේ. එයාලට ඉස්සරහා වාඩි වෙලා උන්නා උස මහත ලොකු බඩකුත් තියන රැවුල වවපු කලු පිරිමි එක්කෙනෙක්.. ලොකු බෑග් එකකුත් එයා ගාව තිබුනා. අනේ ඉතින් අර තාත්තා බැරිම තැන බබාට ඉස්සරහ ඉන්න එක්කෙනාව පෙන්නලා කිව්වා, "අන්න අර මාමා බිල්ලෙක්, මෙතනින් වාඩි වෙලා ඉන්න අර බෑග් එකේ ඉන්නෙත් අල්ලගත්තු බබාලා, බඩෙත් ගිලපු එක්කෙනෙක් ඉන්නව කියලා." අර මනුස්සයත් කිව්වා "ඔව් ඔව් මේ බෑග් එක ඇතුලේ ඉන්නේ දඟ කරන බබාල තමයි කියලා" අනේ ඒ බබා බය උනා හොඳටම. ඇස් දෙක ලොකු කරලා අර තඩි බෑග් එක දිහා බලලා තාත්තාගේ ඔඩොක්කුවෙන් වාඩි උනා. බහිනකන් "හ්ම්" සද්දයක් නෑ. එයාල බැස්සෙත් අපේ ස්ටේෂන් එකෙන්මයි. බහිනකොට බබාව තාත්තා වඩා ගත්තා. දොර ගාවට ගියාට පස්සේ කෙල්ල අර තඩි මනුස්සය දිහා බලලා "බිල්ලො බායි" කියලා ටටා කිව්වා. මට හිනාව නතරකරගන්න බැරි උනා. අහල පහල හිටපු ඔක්කොටම හොඳටම හිනා.