Wednesday, December 19, 2018

දරුවන් වෙනුවට ගස් වැවූ අත්තම්මා තිමක්කා


              සාලුම්මරඩා තිමක්කා පරිසරවේදිනියක්. කර්නාටක ප්‍රාන්තයේ වගේම ඉන්දියාවෙත් ජනප්‍රිය කාන්තාවක්. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර සම්මාන කීපයකම හිමිකාරියක්. ඒ අතරේ ඉන්දියානු ජාතික පුරවැසි සම්මානයත් තිබෙනවා (National Citizen's award ).
           බැංගලෝරයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හුලිකාල්හිදී උපත ලබන ඇයට "තිමක්කා" යැයි නම් තබනවා. ඇය කවමදාකවත් පාසැල් ගිහින් නෑ.  විධිමත් අධ්‍යාපනයක් ලබලත් නෑ. කුඩා කාලයේ සිටම ජීවිත සටනට උර දුන්නා මිසක අධ්‍යාපනයක් ගැන හිතලවත් නෑ. ඇය කුඩා කල සිටම ගල් කොරියක වැඩ කරනවා. ඔව්  ගෞරව සම්මාන ලැබුවට ඇය කුලී වැඩ කරන්නියක්. ඇය විවාහ වෙන්නේ චික්කයියා සමග. ඔහු ගොපල්ලෙක්. විවාහ වෙලා අවුරුදු විසි පහක් ගෙවිලා යනවා. ඒත් ඔවුන්ට දරුවන් ලැබෙන්නෙ නැහැ. ඔවුන් ඒ ගැන බොහෝ සිත්තැවුලෙන් ඉන්නවා. ඥාතීන්ගේ අපහාස නිසා තිමක්කා සිය දිවි හානි කරගන්න ත් හිතනවා. 
          ඔය අතරෙදි තමයි ඇගේ සැමියාගෙන් අමුතු යෝජනාවක් එන්නේ.. "අපි දරුවො වෙනුවට පැපැල  සිටවමු. ඒවාට දරුවන්ට වගේ සලකමු. ඒවා මහා වෘක්ෂ වෙනකන්  රැකබලාගම්මු." තිමක්කා ඒ අදහසට කැමති වෙනවා. 
          ඉන් පසුව ඔවුන්ට පැල සිටුවන්න ස්ථානයක් තෝරගන්න වෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ඔවුන්ගේ ගමේ සිට අල්ලපු ගම තෙක් දිවෙන මාර්ගය. ගහක් කොලක් නැති නිසා දිවා කාලයේ ඒ මාර්ගයේ යන මිනිස්සු විඳින පීඩාව ඔවුන් දකිනවා. පැල  විදිහට ඔවුන් තෝරගන්නේ ඔවුන්ගේ ගමේ හොඳින් වැඩෙන නුග පැළ.
         මුල්ම වතාවට ඔවුන් මාර්ගය දෙපස පැල දහයක් සිටුවනවා. ඊ ළඟ වසරේදී පැල පහලොවක්. ඊ ළඟ වසරේදී පැල පහලවක්. ඔය විදිහට වසරින් වසර සිටුවන  පැල ප්‍රමාණ‍ය වැඩි කරනවා.
           උදේ නිවසින් පිටවෙලා රැකියාවට යන ඔවුන්ගේ සවස් කාලය ගෙවෙන්නේ පැල වෙනුවෙන්. වතුර බාල්දි හතරක් රැගෙන නිවසෙන් පිටවෙන ඔවුන් දෙදෙනා කිලෝ මීටර් හතරක් දුරට පාර දෙපස සිටුවා ඇති පැල වලත වතුර දානවා. මදි හරියට ආසන්නයේ තිබෙන ළිඳකින්, ඇලකින්, පොකුණකින් වතුර ගන්නවා. පැල හරකුන්ගෙන් ආරක්ෂා කරගන්න කටු ඉපල් වලින් ආවරණය කරනවා. 
         ඔය අන්දමට ඔවුන් නුග පැල 384 ක් ඔවුන්ගේ අත් වලින් රෝපණය වෙලා මහා වෘක්ෂ බවට පත්වෙනවා.එහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 1.5 කට අධිකයි. 1991 වසරේදී තිමක්කාගේ සැමියා මිය යනවා. එහෙත් තිමක්කා ඔවුන්ගේ අරමුණ අතහරින්නේ නෑ. ඇය දිගටම පැල සිටුවනවා. වර්තමානයේ කර්නාටක රජය  විසින් මෙම වෘක්ෂ රැක බලා ගන්නවා. ඇගේ වැඩිමහල් දරුවා (පළවෙනි නුග ගසටා වයස අවුරුදු හැට පහක් බව ඇය පවසනවා.
         තිමාක්කාගේ නම ඉදිරියට සාලුම්මරඩා කියන කොටස එකතු වෙන්නේ මේ මහා රුක් රෝපණයෙන් පසුවයි. සාලුම්මරඩා කියන්නේ රුක් ගොමුව කියන එක. අපම දුෂ්කරතා මැද එදා වේල හොයාගන්නා අතරතුර ඇය සොබා දම් මෑණියන්ට කල මෙහෙය වෙනුවෙන් මෙම ගෞරව නාමය ලබනවා.
         ඇය පරිසරවේදිනියක් වගේම සමාජ සේවිකාවක්. ඇගේ මූලිකත්වයෙන් වැසි ජලය රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ගමේ ජල ටැංකියල් ඉදිකෙරෙනවා. දැන් ඇගේ බලාපොරොත්තුව ඔවුන්ගේ ගමේ අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම.  එමගින් ඔවුන්ගේ ගමට මෙන්ම අහළ ගම් වලටත් විශාල සේවයක් වෙතැයි ඇය අපේක්ෂා කරනවා. 
          107 හැවිරිදි මෙම මිත්තනිය ආර්ථික අපහසුතා මැද ජීවත්වෙනවා. ඇයට රජයෙන් සුළු දීමනාවක් ලැබෙනවා. කොතරම් අග හිඟ කම් තිබුනත් ඇය ඇගෙන් සමාජයට සොබාදහමට සිදුවිය යුතු සේවය තවමත් ඉටු කරනවා. නුග ගස් වලට අමතරව තවත් ගස් බොහෝ සංඛ්‍යාවක් ඇය විසින් රෝපණය කොට තිබෙනවා.
        රටට සොබා දහමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්න අධ්‍යාපනයවත් මුදල් වත් අවශ්‍ය නොමැති බවට ඇය අපට හොඳම උදාහරණයක්.
         

Sunday, December 16, 2018

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෝමල්....


                       ඇය කෝමල් ගුප්තා. ඉන්දියාවේ දිල්ලියේ ජීවත් වෙන තරුණියක්. වෘත්තියෙන් ඉවන් කාගෝ ආයතනයේ භාණ්ඩ බෙදාහැරීමේ නිලධාරිනියක්. ඉන්දියාවේ වගේම ලංකාවෙත් තවම ඩිලිවරි සර්විස් වල සේවය කරන්නේ පුරුෂ පාර්ශවය විතරයි. කාන්තාවන්ට සුදුසු ආරක්ෂාකාරී රැකියාවක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය සලකන්නේ නැහැ.
           ඉන්දියාවේ තියෙන්නේ පුරුෂ මූලික සමාජයක්, විවිධ ජාතින්, ගෝත්‍ර, ආගම් හා සංස්කෘතික වශයෙන් ගතානු ගතික අදහස් දරන, කාන්තාවන්ගෙන් බහුතරය ගෘහස්ත වැඩ කටයුතුවලට පමනක් සීමාකල කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවදානයක් නොදෙන රටක්. එවන් රටක ගැහැණු ළමයෙක් කාගෝ ආයතනයක සේවය කරන ගමන් බයිසිකලයක ගිහින් භාණ්ඩ බෙදාහරින එක කොහොමත් ඔවුන්ගේ සමාජය අනුමත කරන්නෙ නෑ.
         නමුත් ඒ සාම්ප්‍රදායික බැම්ම බිඳලා එම වෘත්තීයේ යෙදෙන්න කෝමල් පටන් අරන්. කෝමල් සමග තවත් තරුණියන් 19 දෙනෙක් මෙම ආයතනයේ රැකියාව කරනවා. "ඉවන් කාගෝ" නව දිල්ලියේ තිබෙන කාගෝ ආයතනයක්. ඉන්දියාවේ තිබෙන කාන්තාවන් පමනක් භාණ්ඩ බෙදාහැරීමේ නිරතවන එකම කාගෝ ආයතනය. 
         කෝමල් ගුප්තාට වයස 22 යි. නව දිල්ලියේ ජීවත්වෙන ඇගේ නිවසේ සිටින්නේ බාල සහෝදරයාත් මවත් පමනයි. ඇගේ වැඩිමහල් සහෝදරියෝ තිදෙනාම විවාහකයි. පියා මිය ගිහින්. පියාගේ මරණයත් සමග ඇගේ පවුලේ නඩත්තුව සඳහා කෝමල්ට රැකියාවක් අවශ්‍ය වෙනවා. ඇය ඉවන් කාගෝ ආයතනයාට එකතු වෙනවා.
        "  මම ඉන්ජිනේරුවරියක් වෙන්න හීන මැව්වා. ඒත් පියාගේ මරණයත් එක්ක ඒක හීනයක්ම උනා."
 "මීට වසර හතරකට පෙර මම දොලොස් වන ශ්‍රේණියෙන් පාසැල් ගමන අවසන් කලා. ඉන් පසු අම්මාට සහයක් වෙන්න මේ රැකියාව තෝරගත්තා. "
"මගේ අම්මා මට කැමති රැකියාවක් තෝරාගන්න නිදහස දුන්නා."
" මම දිනකට පාර්සල් තිහ හතලිහක් බෙදාහරිනවා. මට $ 250 ක වැටුපක් ලැබෙනවා."
" මගේ වියදමට ටිකක් තියාගන වැඩි ප්‍රමාණයක් මම අම්මාට දෙනවා." "මම කැමතියි ස්කූටරය පදින්න."
මම දිල්ලියේ ජීවත් උනත් ගිහින් තිබුනේ නගරයේ සීමිත ප්‍රදේශයකට විතරයි. මේ රැකියාවත් සමග මට දිල්ලියේ නොගිය ස්ථාන බොහොමයක් දැක බලාගන්න ලැබුනා."
" දැන් මට ඕන මේ රැකියාව කරන ගමන් වැඩිදුරටත් ඉගන ගන්න. මෙයිට වඩා හොඳ රැකියාවක් කරන්න."
                 ඉවන් කාගෝ නිර්මාතෘ  යෝගේෂ් කුමාර් එය ආරම්භ කරන්නේ 2016 වසරේ මැයි මාසයෙදීයි.  මෙවන් රැකියාවක් කරද්දී විවිධ ස්ථාන වලට පාර්සල් අරන් යන්න වෙනවා. ගැහැණු ළමයින්ට යම් කිසි කරදරයක් වෙන්නත් ඉඩ තිබෙනවා. එනිසා රැකියාව ආරම්භ කිරීමට පෙර ඔවුන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලැබෙනවා.  ඔවුන් සේවයේ යොදවන්නේ දහවල් වරුවේ පමණයි. ඒ වගේම ඔවුන්ට හුරු   තෝරාගත් නියමිත මාර්ග වල පමනයි. ඉවන් කාගෝ ආයතනය ඉදිරියේදී තරුණියන් දෙදහසකට රැකියා දෙන්න ඒ කියන්නේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම එය පහසු කාර්යයක් නෙමෙයි. ඒත් සාම්ප්‍රදායික බැමි බිඳින්න ඔවුන් සූදානම්.
             2017 මාර්තු මාසයේ එළි දක්වපු ලෝක බැංකු වාර්තාවන්ට අනුව ඉන්දියානු රජයේ ලබාගත් තොරතුරු වලට අනුකූලව 2004 වසරේ සිට 2012 වර්ෂය තෙක් රැකියාවලින් නෙරපපු ඉන්දීය කාන්තාවන් ප්‍රමාණය මිලියන 19.6ක්. උගත්කම හා හැකියාව මනා ශරීර සෞඛ්‍යයක් තිබුනත් රැකියාවල් ලබාගැනීමේදී කාන්තාවක් වීම ඉන්දියාවේදී විශාල බාධකයක් වෙනවා. එනිසා ඔවුන්ට පිරිමින් යටතේ ලැබෙන දෙයකින් ජීවත් වෙන්න සිදුවෙනවා. ඉදිරියේදී මෙම බැමි බිඳී යාවී. රැකියා වෙළඳ පොළේ තරුණියන් සඳහා සීමා මායිම් පුළුල් වේවි.

"We are trying to bring the change, but it will take some time"

Thursday, December 13, 2018

ටජ් මහලේ ප්‍රවේශ පත්‍ර මිල ඉහළට


ඉන්දියානු රජය සහ අග්‍රාවේ බලධාරීන් ටජ් මහල් නැරඹීමට පැමිනෙන සංචාරකයින් සඳහා ඇතුල් වීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දමීමට තීරණය කරලා.  විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටත් බලපැවැත්වෙන පරිදි ගාස්තු ඉහළ දමා තිබෙනවා.
          ඒ අනුව දේශීය සංචාරකයෙකුට ටජ් මහල නැරඹීමේ ප්‍රවේශ පත් ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් 250 කුත් විදේශීය සංචාරකයෙකුට ඉන්දීය රුපියල් 1100 සහ සොහොන් ගැබ නැරඹීම සඳහා අමතරම් ඉන්දීය රුපියල් 200 කුත් ගෙවීමට සිදුවෙනවා.
        ඉන්දීය රජය මෙලෙස ගාස්තු වැඩි කිරීමට තීරණය කොට ඇත්තේ ප්‍රමාණය ඉක්මවා ටජ් මහල නැරඹීමට එන සංචාරකයින් සීමා කිරීමේ අරමුණෙන්. වසරකට මිලියන හතක පමන දේශීය විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් ටජ් මහල නැරඹීමට පැමිනෙනවා. එනිසා ටජ් මහල් භූමියේ ජනයා ප්‍රමාණය ඉක්මවා ගැවසෙන අතර එමගින් ටජ් මහලට හානි විය හැකි බවත් ඔවුන් පවසනවා.එමෙන්ම සංචාරකයින් නිසා  ටජ් මහල පිහිටි භූමිය සහ යමුනා ගංගාව අපවිත්‍රවීමද තවත් හේතුවක්.
        ප්‍රවේශ පත්‍ර වල මිල ඉහළ ගියත් සංචාරකයින් පැමිනීමේ අඩුවක් නොමැති බවත් සංචාරකයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බවත් සඳහන්.
       ඒ අසහාය නිර්මාණය පියවි ඇසින් දකින්න කවුද අකමැති. වැඩිපුර මුදලක් වැය කොට හෝ එය නරඹන්නට සංචාරකයින් පෙළඹෙන එක ඉන්දීය රජයට නතර කරන එක ඒ තරම් පහසු දෙයක් නොවනු ඇති. එහෙත් ලෝක උරුමයක් වන ටජ් මහලට හානියක් නොවී රැක ගැනීමට ඉන්දීයානු බලධාරීන් උත්සාහ කිරීම වරදක් විදිහට කවුරුත් දකින්නෙත් නැහැ.

Tuesday, December 11, 2018

ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්

භාවිතයෙන් ඉවත්කල ගල්  කොරියක හෝටලයක් නිර්මාණය කලා කිව්වොත් ඔබ පුදුම වේවි. මේ පහත ඡායාරූපයේ තිබෙන්නේ ඒ ගල්කොරිය.


පහත ඡායාරූපයේ තිබෙන්නේ ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් හෝටලය. 


                        චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙම නැත්නම් අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. නොවැම්බර් 22 දා විවෘත කල "ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් "හෝටලය කියන්නෙත් චීනයේ අලුත්ම අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කල විශාල ගල් කොරියක. කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදි කිරීමට වසර දහයක් ගතවී තිබෙනවා. මෙය ඉදිකිරීමට යුරෝ මිලියන 225 ක් වැය වී තිබෙනවා.
         මෙහි මහල් දෙකක් පොළව මට්ටමෙත් ඉතිරි මහල් දාසය පොළව මට්ටමෙන් යටට වන්නට නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක  ජලය තුල නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට හැකියාවද සහිතයි. එමෙන්ම එම පහළ මහලේ මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්ද තිබෙනවා. 





කැමති අයට ගල් මත නැගීමට   (Rock climbing) මෙන්ම කායකින් (kayaking) පහසුකම්ද තිබෙනවා.



මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමට නම් සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කරන්නට සිදුවෙනවා.



මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්.  මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කල හොඳම නිර්මාණය බව මාටින් පවසනවා.
                    එමෙන්ම හෝටලේ නවාතැන්ගන්නා අමුත්තන්ට උවමනානම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළක්ද තිබෙනවා.



    එමෙන්ම මෙහි කෘතිම දිය ඇල්ලක්ද නිර්මාණය කොට තිබෙනවා.



Thursday, November 22, 2018

දුම්රියේ යුවතිය

බුක් ෆෙයාර් එකෙන් පොත අරන් ආවට කියවලා ඉවර කරන්න හදිස්සියක් තිබුනෙ නෑ. අඟරුවාදා බ්‍රහස්පතින්දා නිවාඩු නිසා බදාදාත් නිවාඩුවක් දාලා නිදහසේ ගෙදර ඉන්න ගමන් "දුම්රියේ යුවතිය" කියවන්න හිතුවා. කෝශලී සිරිචන්ද්‍රගේ එක පරිවර්තනයක් වත් මම කියවලා තිබුනෙ නෑ. ඒ වගේම Paula Hawkins ගේ පොත් මම කියවලා තිබුනෙත් නෑ..
              කතාව ආරම්භය නම් මටත් ගැලපුනා. කෝච්චියේ යන ගමන් ජනේලෙන් වට පිටාව බලමින් යන එක. පොතේ හරි අඩක් කියවන තෙක්ම පොත මොනවගේ අවාසානයකට යනවද කියලා හිතාගන්න බැරි උනා. කෝශලී ගේ පරිවර්තන ශෛලියට කම්මැලිකමක් නැතිව කියවන්න පුලුවන් උන නිසා එක දවසින් කොහොම හරි කියවලා ඉවර කරනවා කියලා හිතාගත්තා.
                 මේ පොතේ චරිත එකකටවත් මගෙ හිතේ කැමැත්තක් ඇති උනේ නෑ. රැචල් කියන්නේ මත් පැන් වලට ඇබ්බැහිවෙලා , ඒ නිසාම රැකියාව අහිමි කරගත් , ටොම් ගෙන් දික්කසාද උනත් ඔහුව අතහරින්නට අකමැති තමන් ගැන නොසිතන වෙරි උනහම තමන් කියන කරන දේ උනත් නොදන්න කිසි කමකට නැති ගැහැණියක්.ඒ උනාට ඇගේ කුතුහලයට සහ ඕන දෙයක් වෙච්චදෙන් කියලා හැම එකකම මැද්දට පනින ගතියට නම් මම කැමතියි.
ඇනා, රේචල්ගේ කලින් සැමියාගේ දෙවන බිරිඳ වගේම ඔවුන් දික්කසාද වෙන්නට පදනම්වූ ටොම් සමග අනියම් සම්භන්දයක් පැවැත්වූ කාන්තාව. කුඩා දියණියකගේ මවක්. ටොම් සහ රැචල් ජීවත් වූ නිවසේ අකමැත්තෙන් ජීවත් වෙමින් රැචල්ගෙන් නිතර සිදුවෙන කරදර ඉවසමින් සිය පවුල රැකගන්න උත්සාහ කරන කාන්තාවක්.
                        මේගන්, හිතුවක්කාරකම නිසා කුඩා කාලයේදීම ජීවිතය අයාලේ යවාගත්, නමුත් ස්කොට් සමග විවාහයෙන් පසු වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට හැකියාව තිබියදීත් ඉන් සෑහීමට පත් නොවන ඇය විසින් කරන ලද හා කරමින් පවතින වැරදි නිසා ආතතියට පත් කාන්තාවක්.
                     මෙම කාන්තාවන් තුන්දෙනා සහ ටොම්, ස්කොට්, කමල් යන පිරිමි චරිත තුන වටා ගෙතුණු මුලදී ත්‍රාස ජනක කතාවක් විදිහට නොදැනෙන අඩක් කියවීමෙන් පසු කුතුහලය මුසු ත්‍රාසයක් දැනෙන අපූරු කතාවක්. මේ පොතේ මට දැනුනු විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට මිනීමැරුම කරපු කෙනාට අපේ සැකය කිසිසේත්ම යොමු වෙන්නෙ නැතිවෙන්න කතාව ලියන්න ලේඛිකාව ගත්ත උත්සාහය . ඇත්තටම ඇය සාර්ථකයි.
                              ඒ වගේම ටොම්..රැචල් ගේ බීමත් කමින් ප්‍රයෝජන ගන්න පිරිමියෙක්. එහෙම අය අපේ සමාජයේත් නැතුවා නෙමේ. තමන් බීපු වෙලාවට මොනවද කරන්නෙ කියලා තමන්ම නොදන්න බව රැචල්ට අඟවලා ඇය නොකල වැරදිවලට සමාව ගන්න ඇයව පොළඹවන්න තරම් ටොම් කපටියි. එහෙම විටින් විට සිද්ද වෙනකොට ගොඩක් බිව්වම මම කරන දේවල් මට මතක නෑ කියලා හිතන්න නිකන්ම රැචල් පෙලඹුන එකත් පුදුමයක් නෙමේ..
                              කියවලා නැති අය කියවන්න. මෙහි මුල් කෘතිය "The girl on the train" වසරක් ඇතුලත පිටපත් මිලියන පහළොවකට වඩා අළෙවි වෙනවා. භාෂා 40 කට වඩා පරිවර්තනය වී තිබෙනවා. මේ ඇසුරෙන් චිත්‍ර පටියකුත් නිපදවා තිබෙනවාලු.

Monday, November 5, 2018

සාගරාන්තර ආලෝකය

සාගරාන්තර ආලෝකය
The light between Oceans



ආදරය මේ ලෝකයේ අපි කැමතිම වචනය. අහිමිවීම අපි අහන්නවත් කැමති නැති වචනයක්. මේ පොත පුරා තියෙන්නේ ආදරය හා අහිමිවීම ගැන කතාවක්. පොතේ අවසන් පිටු කීපය කියවද්දී මම හිතාන උන්නේ ඉසබෙල්ට පොතේ අවසානයේදිවත් ලුසීව මුණගැහෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ලුසී එද්දී ඉසී යන්න ගිහින්. ඒ කියන්නේ මම බලාපොරොත්තු නොවුනු අවසානයක් තිබුන පොතක්.
දරුවො තුන්දෙනෙක් ගබ්සා උන ගැහැණියකට බෝට්ටුවක පාවෙලා ආව දරුවෙක් ලැබුනම ඒ දරුවා තමන්ගේ දරුවෙක් විදිහට හදාවඩා ගන්න හිතන එක සාධාරණයි. ඒ මොහොතේ ඉසබෙල්ට තිබුනේ දරුවා තමන්ගේ කරගැනීමේ උවමනාව. දරුවාගේ සැබෑ අම්මා ඇය නැතිව විඳින වේදනාව ඒ මොහොතේ ඇයට දැනෙන්නෙ නැතුව ඇති. හැනා ලුසීගේ සැබෑ මව කියලා දැනගත්තම එයාට ලුසීව පරිත්‍යාග කරන්න බැරි වෙන තරමට දරුවාට තියන බැඳීම වැඩි වෙලා. ඒත් ඉසබෙල්ට ලුසීව ඇය අයිති ලෝකෙටම බාර දෙන්න වෙනවා සදාකාලික වේදනාවක් හිතේ තියාගෙන.
හැනා..සතුරු ජාතියකට අයිති තරුණයෙක් විවාහ කරගෙන දෝශාරෝපනයට ලක්වෙනවා. අවසානයේ ඇයට සැමියා වගේම දුවත් අහිමි වෙනවා. ආයෙමත් එයාගෙ දුව ග්රේස්ව ලැබුනම එයාව ආදරෙන් හදාවඩා ගත්තු අම්මාට එයාව පරිත්‍යාග කරන්නේ කොහොමද? ඒත් එයා දුවගේ සතුට වෙනුවෙන් ඒ පරිත්‍යාග කරන්න සූදානම් වෙනවා. අන්න එතනදි මමත් හිතුවා අවසානයේදී ඉසබෙල්ට දරුවා ලැබෙයි කියලා. ඒත් වෙලා තිබුනෙ වෙනත් දෙයක්.
මම පොතක් කියවනකොට මම කැමති අකමැති අය වෙන්කර ගන්නවා. ඒත් මේ පොතේදි නම් මට කාගෙවත් පැත්තක් ගන්න බැරි උනා. හැමෝම ගැන සාධාරණව හිතුවා. එහෙම වෙන්න හැමෝටම සාධාරණ හේතු තිබුනා.
පොත කියවලා නැති අය කියවන්නකො. ලස්සන පොතක්. චිත්‍රපටයත් ලස්සනයිලු.
.
1ඡායාරූපය උපුටා ගැනීම. ගංගා සුදුවැලිකන්ද මහත්මියගේ ෆේස්බුක් වෝලයෙනි.

Thursday, November 1, 2018

චීනය නිර්මාණය කල ලොව දිගම පාලම

             

                                  මුහුද මැද්දෙන් රටකින් තවත් රටකට කිලෝ මීටර් 54 දිග පාලමකින් යද්දී මොනවගේ හැඟීමක් හිතට දැනෙයිද. නිල්පාට මුහුද, නිල් පාට සුදු පාට මිශ්‍ර උන අහස, මුහුද පිසගෙන එන සුළඟ ත් එක්ක හිතට දැනෙන ත්‍රාස ජනක හැඟීම. ඔව් දැන් අපට ඕන නම් එය වින්දනය කරන්න පුලුවන් හොංකො සිට මැකාවෝ යන ගමන්. 
               චීන මහා ප්‍රාකාරය හදලා ලෝකයම මවිතයට පත්කළ චීන්නු ඔන්න දැන් ලොව දිගම පාලම හදලා. හොංකොං සහ මැකාවූ චීනයට අයිතියි කියලා කවුරුද් දන්නවනේ. ඒ රටවල් දෙකම සංචාරක පාරාදීසයන්. මේ රටවල් දෙක යා කර නිර්මාණය කල පාලමේ දිග කිලෝ මීටර් 54ක්. සැතපුම් වලින් නම් 34ක්. ඊට වැයවූ මුදල ඇ.ඩො. බිලියන 20ක්. මෙම ෂුහායි,හොංකොං,මැකාවෝ පාලම මගින් වර්ග කි.මී 56,500ක භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා.



                  පසුගිය 23 වෙනිදා චීන ජනාධිපතිවරයා චීනය පැත්තේ සිට මෙම පාලම විවෘත කරනු ලැබිනි. ඔක්තෝම්බර් 24 වෙනිදා සිට පාලම මහ ජනතාවට විවෘත කරනු ලැබුවා. 
             මෙය ඉදි කිරීමට වානේ ටොන් ලක්ෂ 4ක් යොදාගෙන ඇති අතර එමගින් අයිපල් කුලුනු 60 තනන්නට හැකි බව සඳහන්.  මෙය භූමි කම්පා, සුළි කුණාටු ඇතුළු වෙනත් ආපදා වලට ඔරොත්තු දීමට හැකි ලෙස නිපදවා තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාර වැළක්වීමට සෝදිසි කැමරා 48 සහ පොලිස් මුර සංචාරක රථ ද යොදා තිබෙනවා. 
               මෙම පාලම ඉදිකිරීම් කටයුතු වලදී 18 දෙනෙක් මිය ගොස් ඇති අතර සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
                 පාලම ඉදිකිරීමේදී නෞකා ගමනාගමනය සඳහා සමුදුරු උමං මාර්ගයක්ද  ඒ නිසාම කෘතිම දූපත් දෙකක්ද නිර්මාණය කර තිබෙනවා. 
                මෙම පාලම හරහා වාහන ධාවනය කරන රියදුරන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මනින උපකරණයක් පැළඳීම අනිවාර්ය කොට තිබෙනවා. රියදුරුට ඈනුම් යන ප්‍රමාණය කැමරා මගින් ගණනය කොට ඈණුම් තුනකට වඩා යන්නේ නම් අනතුරු සංඥා නිකුත් කිරිමේ ක්‍රමයක්ද තිබෙනවාලු. එමගින් රිය පදවන අතර තුර නින්ද යාමෙන් වන අනතුරු වලක්වා ගැනීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්.
                   

        එමෙන්ම මෙමෙ පාලමෙන් චීන රියදුරන් මංතීරු වල දකුණු පසින්ද හොංකොං සහ මැකාවූ රියදුරන් වම් පසින්ද ගමන් කලයුතු වෙනවා.
       පාලම හරහා පෞද්ගලික ෂටල් බස් සේවාවක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඇ.ඩො 8-10 ක මුදලක් ගෙවා ටිකට් පතක් ගත යුතු වෙනවා.
                            විශාල වියදමක් දරා තනන ලද මෙම පාලමෙන් බලාපොරොත්තු වූ තරමේ ලාබයක් නොලැබෙනු ඇති බවටත් මත පල වෙනවා.  එමෙන්ම මෙමගින් සිදුවූ පරිසර හානියත් සමග සුදු තල්මසුන් ගහනය අඩු වී ඇතිබවත් ඒ ආශ්‍රිතව සුදු තල්මසුන් දකින්නට නොහැකිවනු ඇතැයි පරිසරවේදීන් පවසනවා. 
                                                      
                                                                                                  තොරතුරු හා ඡායාරූප අන්තර් ජාලයෙනි

Thursday, September 27, 2018

සමුද්ද යාතිකාව



                 පහුගිය ඉරිදා පොත් ප්‍රදර්ශනයට ගිහින් ගෙනාපු පොත් වලින් කියවපු මුල්ම පොත. සමුද්ද යාතිකාව. කාලීඩ් හුසෙයිනි  මහතා ගේ Sea Prayers  පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තිකාව ගංගා සුදුවැලිකන්ද මහත්මිය.
                 කාලීඩ් හුසෙයිනි මහතා විසින් රචිත අළෙවි වාර්තා තැබූ පොත් තුන ගොඩක් අය කියවලා ඇති. The kite Runner ( සරුංගල් ලුහු බඳින්නා), The thousand splendid suns (මනරම් හිරු දවසක්), And the mountains echoed (කඳුකරය දෝංකාර දුනි) නව කථා ත්‍රිත්වය හරහා ඔහු ලස්සන රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව යුද්ධයත් සමග විනාශ වූ ආකාරය පිළිබඳ සිය පාඨකයන්ගේ හිත් වල සංවේගයක් උපදවන්න සමත් උනා. 
            යුද්ධය මොනතරම් බියකරුද කියලා යුද්ධයක් පැවති රටක, කොයි වෙලේ කොහේ පුපුරණ බෝම්බයකට අපිවත් අහුවෙයිද කියලා බයෙන් උන්න අපි හොඳටම දන්නවා. ලංකාවේ යුද්ධය අවසන් උනත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යුක්‍රේනයේ, යේමනයේ, තවමත් යුද ගැටුම් පවතිනවා. කොයි මොහොතේ බෝම්බයක් පුපුරයිද, කොයි මොහෝතේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයිද, කොයි මොහොතේ ගුවනින් බෝම්බ හෙලයිද, ඒවගේ දේකින් තමන්ගේ පවුලේ අයෙක් හෝ සමීපතමයෙක් නැතිවෙයිද කියන බයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල අනන්තවත් ඉන්නවා. 
            උපන් රටේ තමන්ට ආරක්ෂාව නැතිවෙනකොට කෑම බීම නැති වෙනකොට වෙඩි හඬ නෑසෙන බෝම්බ පුපුරන්නෙ නැති වඩා සුරක්ෂිත රටකට ජීවිතාරක්ෂාව පතා පළා යන්නට අහිංසක මිනිස්සු උත්සාහ කරනවා. ඒ සිය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරදීමේ අරමුණත් ඇතුව.රටකින් තවත් රටකට පළා යාම පහසු කාර්යක් නෙමේ. ගුවනින් කොහොමත්ම යන්න බෑ. ගොඩ බිම හරහා හෝ මුහුදෙන් අනාරක්ෂිත බෝට්ටුවක යන එක තමයි විකල්පය වෙන්නෙ.



                        2015 සැප්තැම්බර් 02 වෙනිදා තුර්කියේ සිට ග්‍රීසිය බලා  සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් සිටි අනාරක්ෂිත  බෝට්ටුවක් පෙරළී ජීවිතක්ෂයට පත්ව තුර්කි වෙරළටම ගසාගෙන විත් වෙරළේ වැතිර සිටි  සිව් හැවිරිදි ඇලන් කුර්දි නම් කුඩා දරුවාගේ ලොවක් සංවේදී කල ඡායාරූපය අප කාටත් තාමත් මතක ඇති. සමුද්ද යාතිකාව ,එම සිදුවීම පදනම් කරගෙන අනාරක්ෂිත බෝට්ටු ගමනක යෙදෙන්න සූදානමෙන් ඉන්න පියෙක් ලිපියක් ආකාරයෙන් සිය පුතු මර්වාන්ට ලියන සංවේදී සටහනක් සහ පිංතූර සහිත ලොකු කතාවක් කියන පුංචි පොතක්. මෙම පොතෙන් කාලීඩ් හුසෙයිනි මහතා ලබන කතෘ භාගය ඒක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වෙත පරිත්‍යාග කරනවාලු.



  "මගේ ආදරණිය මර්වාන්,
මේ හඳ එළියේ මම ඔයාගේ මූණෙ
පැතිකඩ දිහා බලනවා, මගෙ පුතේ 
අහිංසක නින්දකින් වැහිලා තියන ඔයාගේ
ඇහිපිහාටු හරියට හැඩේට ඇඳපු අකුරු
මෝස්තරයක් වගෙයි.."

"මගේ අත අල්ලගන්න. කිසිම 
වෙන්නෙ නෑ." කියලා මම ඔයාට කියනවා



Tuesday, September 18, 2018

අන්තර්ජාලයේ කාගේත් අවධානය දිනාගත් රෙක්සි

         
                        මේ ඉන්නේ රෙක්සි. රෙකිසි ගොඩක් ජනප්‍රියයි විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් එකේ. රෙකිසිගේ විවිධාකාරයේ ඡායාරූප වලින් අන්තර් ජාලය පිරිලා. රෙක්සිගේ ඡායාරූපයක් දකින ඕන කෙනෙක් අනේ කියුට් බෝලගෙඩි කිටියෙක් කියලනම් අනිවාර්යෙන්ම කියනවා. පූසෙක් උනත් රෙකිසිට මුළු ලෝවේම ආකර්ෂණය වගේම ආදරය දිනාගන්න හැකිවෙලා තිබෙනවා. 
              

           රෙක්සි කොයිතරම් ලස්සන බෝල කිටියෙක් උනත් දුක්බර කතාවකුත් තියනවා. රෙක්සිගේ පිටුපස ගාත් දෙකම අක්‍රීයයි. අනතුරක් නිසා රෙකිසිගේ කොඳු ඇට පෙළට හානි වෙලා. ඒ නිසා පිටුපස ගාත් වැඩ කරන්නෙ නෑ. ඒ උනාට රෙක්සිට ඒක ගැටළුවක් නෙමේ. එයා ඒකට හැඩගැසිලා සාමාන්‍ය පූසෙක් වගේ සක්‍රීයව ජීවත් වෙනවා. රෙක්සිට වයස අවුරුදු තුනයි.



           
              රෙක්සි ගේ දෙපා අකර්මන්‍ය උනාට පස්සේ රෙකිසිගේ හාම් පුතා රෙක්සිටඩ් නොසලකා හැරලා.ඊට පස්සේ රෙක්සිව බලාගන්න ගත්තු  ඩාෂා රෙක්සිව තරුවක් කරලා. ඩාෂා කියන විදිහට රෙක්සිගේ හැසිරීම් සාමාන්‍ය පූසෙක් වගේමයි. එයාගේ ආබාධිත තත්ත්වය ගැන එයාට හැඟීමක්වත් නෑ. අනිත් පූසෝ කරන හැම දේම එයාට කරන්නත් පුලුවන්. රෙක්සිට එයාගේ කන් කසාගන්න වැසිකිලියට යන්න නම් බෑ..ඒකට එයාට ගෙදර අයගෙන් උදව් ලැබෙනවා.



          ඩාෂා රෙක්සිව බාරගත්තට පස්සේ රෙකිසිට ඇවිදින්න පහසු වෙන්න රෝද කරත්තයක් අරන් දෙනවා. ඒත් කරත්තයට වඩා පහසුවෙන් රෙකිස් එයාගේ ක්‍රමයට ඉදිරිපස ගාත් වල උදව්වේන් ඇවිදිනවා කියලා ඩාෂා පවසනවා.



                 

Wednesday, September 12, 2018

"නන්දිතය"



                                 
                    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වලින් මම කියවලා තියෙන්නේ කීපයක් විතරයි. එතුමියගේ පොත් වල භාෂා විලාසයට මම බොහොම කැමතියි. පොත කියවද්දී ඇගේ ලිඛිත විලාශයත් එක්ක මගේ මනසේ, මනරම් සිත්තම් මැවෙනවා. ඒ මැවෙන සිත්තම් වලට මම බොහොම කැමතියි. "නන්දිතය" කියවලා ඉවර කලා. සටහනක් ලියන්න හිතුනා.
       චීනයත් එක්ක අපේ කොයිතරම් සබඳතා තියනවද? ඒත් මට චිනය ගැන තියෙන්නේ සුළු දැනුමක්. චීන මහා ප්‍රාකාරය, චීනයේ නිෂ්පාදිත භාණ්ඩ, ලෝකයටම අභියෝගයක් වීගෙන එන චීන ආර්ථිකය ඔයවගේ දේවල් ටිකක් විතරයි මම දැනගෙන උන්නේ. නන්දිතයේ චරිත හරහා සුනේත්‍රා මහත්මිය මාව චීනය ගැන යමක් හොයන්න පෙළඹෙව්වා. 
        චීනයේ වෙසෙන ජාතීන් කීපයකට අයත් පුද්ගලයින් කීපදෙනක් වටා ගෙතෙන නන්දිතය එකිනෙකාගේ දෘෂ්ඨි කෝණ වලින් ලියලා තිබෙනවා. ලංකාවේ නන්දිත, තායිලන්තයේ බුන්සිරි, ඉතාලියේ ග්‍රාබියෙලා, තමිල්නාඩුවේ බාල සුබ්‍රමනියම්, බෙයිජිනයේ ශන්-ග, ඉන්දියාවේ කිරන්, ඇමරිකාවෙන් ආව ලිලියානා, විවිධ සංස්කෘතීන් විවිධ සිතුවිලි එක්ක නන්දිතය හරහා අපිව හමුවෙනවා. මනුෂ්‍ය මනසක ස්වරූපය එකිනෙකාගෙන් අපට දැනෙන්න ගන්නවා.
      පොතේ තවත් විශේෂයක් තමයි තැනින් තැන සටහන් වන කියමන්. වෙනම සටහන් කරලා තියාගන්න තරම් වටිනා කියමන් මට මේ පොතෙන් ලැබුනා..
         ඒවගේම නන්දිත ඇතුළු මේ පොතේ චරිත කළු සුදු හොඳ නරක කියලා වෙන් කරන්න බෑ. ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අත් දැකීම් සහ එකිනෙකා තේරුම් ගන්නා ආකරය අනුව ඔවුන් තුල තිබෙන හොඳ නරක වෙනස් වෙනවා. නන්දිතය හරහා කතුවරිය ශ්‍රී ලංකාවේ අපි අදහන බුදු දහම සහ චීනයේ අදහන බුදු දහමේ වෙනස සරලව පැහැදිලි කරනවා. පොත අවසාන වන්නේ කිරන් ගුවන්-යින් කියන බුද්ධ ප්‍රතිමාවත් සමග කථා කරන පරිච්ඡේදයකින්.

 "ඔය ළමයා දැන් තමන්ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුෂ්‍ය ජීවිතේක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජීවිතේ දිහා බලන්න ගන්න."

       ඇත්තටම එහෙම බලන්න පුළුවන්නම් අපි දැවෙන අපි විඳවන ගැටළු හැම එකකටම විසඳුම එතන තියනවා නේද?

Monday, June 11, 2018

Thumhari Sulu (තුම්හාරී සුලූ )


                                                        ඊයේ අහම්බෙන් වගේ සිරස නාලිකාවේ විකාශනය උන තුම්හාරී සුලූ චිත්‍ර පටිය නරඹන්න ලැබුනා. ආදර කතා සටන් වලින් වෙනස් උන කතාවක් වගේ පෙනුන නිසා මම සේරම වැඩ පැත්ත්කට කරලා සුලූ බැලුවා. ඇත්තටම ලස්සන චිත්‍ර පටයක්.
                  "තුම්හාරී සුලූ" ඉන්දියාවේ තිරගත වෙන්නේ 2017 වර්ෂයේ. සුරේෂ් ත්‍රිවානී ගේ අධ්‍යක්ෂනයක්. විද්‍යා බාලන්,ආර්.ජේ මලික්ෂා, නේහා දුප්තා, මානව් කාවුල් ප්‍රධාන චරිත රඟපානවා. මෙහෙ ප්‍රධාන චරිතය වෙන්නේ සුලෝචනා (විද්‍යා බාලන්) මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක්, මවක්, බිරිඳක්. නිවසේ වැඩ කටයුතු කරන ගමන් සැමියා සහ පුතා සමග සතුටෙන් ජීවත් වෙන ගැහැණියක්. විද්‍යා බාලන් සුලෝචනා හෙවත් සුලූගේ චරිතය හරිම ආකර්ෂණීය ලෙස රඟපානවා. ඒ නිසා චිත්‍ර පටය නරඹන්න කම්මැලිකමක් දැන්නෙ නැහැ.



                           
  සුලෝචනා ගොඩක් සතුටෙන් ඉන්න කාන්තාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි උනත් ඇ‍ය විවිධ දේ අත්හදා බලන්න කැමතියි. සූලූ හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාමේ තරඟයකින් දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඔවුන් පදිංචි නිවාස සංකීර්ණයේ පැවති හොඳම අම්මා තේරීමේ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. රේඩියෝ චැනල් එකකින් තිබ්බ රැෆල් ඩ්‍රෝ එකකින් සුලූ ට ෆ්‍රෙෂර් කුකර් එකක් ලැබෙනවා. කුකර් එක ගන්න චැනල් එකට යාමත් සමග සුලූගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ එම චැනල් එකෙට නිවේදකයින් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දකින සුලූට එයට ඉල්ලුම් කරන්න හිතෙනවා. එතන පිළිගැනීමේ නිලධාරිනිය එක්ක වාද කරලා කොහොම හරි සුලූ ඒ අවස්ථාව උදා කරගන්නවා. විද්‍යා බාලන් කට හඬ පරීක්ෂණයේදී සහභාගී වෙන අවස්ථාව තමයි චිත්‍ර පටියේ මම කැමතිම කොටස උනේ. සුලූ කොයි වෙලෙත් හිනා වෙනවා. දඟකාර අපූරු චරිතයක්.

                                               
  සුලූ චැනල් එකේ නිවේදිකාවක් වෙනවා. ගෙදර වැඩ කටයුතු කරන ගමන් ඇය නිවේදිකාවක් ලෙස රාත්‍රී කාලයේ සේවය කරනවා. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳින් ලැබෙනවා. ඇයගේ වෘත්තියට සහයක් උන සතුටින් උදව් කල සැමියාට ඔහුගේ සේවා ස්ථානයෙන් ලැබෙන පීඩනය හේතුවෙන් බොහොම ඉක්මනට කේන්ති යන්න පටන් ගන්නවා. ඔය අතරේ සුලූගේ පුතාව පාසැලෙන් නෙරපනවා. සුලූගේ රැකියාව නිසා දුරුවාත් පවුලත් ගැන තියන වගකීම් පැහැර හැරිය නිසා පුතා හිතුවක්කාර උන බවට සුලූට ඇගේ නිවුන් සොහොයුරියන් ඇතුළු පවුලේ අය චෝදනා කරනවා.ඔහුගේ වරදට අම්මාට දොස් කියන්න එපායැයි ඉල්ලා ලියුම්ක් ලියලා තබමින් පුතා නිවසින් හොර රහසේ පැනලා යනවා. පුතාව හොයන්න සුලූ සැමියා එක්ක ගොඩක් වෙහෙසෙනවා. පස්සේ පුතාව හොයාගත්තම සුලූ එයා ආසාවෙන් කරපු නිවේදිකා වෘත්තියෙන් ඉවත් වෙනවා.


සුලූ කොයි තරම් ආසාවෙන් කැමැත්තෙන් කරපු රැකියාව උනත් ඉන් ඉවත් වෙන්නේ සුපුරුදු හිනාවෙන්මයි. ඇය ඇගේ සතුට නිවස වෙනුවෙන් කැප කරන්නෙත් ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ මම නම් බලපු ලස්සන චිත්‍ර පටියක්. නොබලපු අය බලන්න. ගොඩක් ලස්සනයි. විද්‍යා බාලන්ගේ රඟපෑම නම් හරිම ඉහළින් තිබුනා.



Friday, June 1, 2018

අනාත කඳවුරකින් මෝස්තර නිරූපන ලෝකයට



ඇය නාකීම් ගැට්වේ. අන්තර් ජාලයෙන් මෙන්ම මුහුණු පොතෙන්ද ගොඩක් අය ඇයව නිතර දකින්නට ලැබෙනවා.ඇය කාගේත් කතා බහට ලක්වෙන්නේ ඇගේ කලු වර්ණ සම හේතුවෙන්. ඔව් ඇය කලුම කලු තරුණියක්. ඇයට වයස අවුරුදු 14 වෙද්දී ඇය සිටියේ අනාත කඳවුරක. ඊට වසර දහයකට පසු ඇය අති සාර්ථක නිරූපිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධ Calvin Klein, Fashion Nova, Aldo, සහ Cosmopolitan, වැනි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන් සඳහා මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන්නට තරම් වාසනාවන්ත වෙනවා. මෝස්තර නිරූපන ලෝකයේ "Queen of the dark"ලෙස හඳුන්වන ඇගේ ළමා කාලයනම් බොහොම කටුක එකක්.
"මාව ඉපදෙන්න ඉන්නකොට අම්මට සුඩානයේ සිට ඉතියෝපියාවට යන්න සිද්දවෙනවා ඇ‍ය වගේම සරණාගතයින් රැසක් සමග. ඇය ඒ ගමන යන්නේ සැමියෙකුගේ, පවුලේ පිරිමියෙකුගේ ආරක්ෂාව රැකවරණය නොමැතිව තනිවයි. ඉතියෝපියානු සරණාගත කඳවුරකදී මම ඉපදෙනවා. එහිදී මගේ සොහොයුරා රෝගී වීම හේතුවෙන් වකුගඩු අක්‍රීයවී මිය යනවා. මගේ අම්මාට අපිව සරණාගතයින් ලෙස ඇමරිකාවට අරන් යන්න උවමනා උනත් එයට ඉතියොපියාවේ සිට අවස්ථාවක් නොලැබෙන නිසා අපි කෙන්යාවට යනවා. එහේ ඉන්නකොට තමයි 2007 දී අපට ඇමරිකාවට යන්න ලැබෙන්නේ.
"ඇමරිකාවට ගිහාම මගේ ඥාති සොයුරු සොයුරියන් සමග යළි එක්වන්නට ලැබීම ගැන ගොඩක් සතුටු උනා. මට පාසැල් යන්න ලැබුන එක ඊටත් වඩා සතුටට කාරණාවක් උනා. ඒත් මගේ කලු වර්ණ සම නිසා මම ගොඩක් ප්‍රතික්ෂෙප කිරීම් වලට මුහුණ දුන්න. ගොඩක් අයට මගේ සමේ පැහැය ගැටළුවක් උනා. එයාලා පුදුම උනා මගේ පැහැය ගැන.එක අවස්ථාවක මම පාසැලේ කෑම ශාලාවට යද්දී කෑම මේසේ හිටපු ළමයි සේරම නැගිටලා යන්න ගියා. මම මගේ සොයුරියගෙන් ඇහුවා බීලීචින් ක්‍රීම් පාවිච්චි කරන්නද කියලා. ඇය කිව්වා කාලයක් යද්දී එය මට කරදරයක් වෙයි කියලා. ඊට පස්සේ මම මගේ සමට ආදරේ කරන්න පටන් ගත්තා.
"මගේ සම ලස්සනයි..එය දීප්තිමත්. සුමුදුයි...මම මගේ සම ආයුධයක් කරගන්නවා ලොවට පණිවිඩයක් දෙන්න, කෙනෙකුගේ පෙනුම අන් අයගෙන් වෙනස් වෙනවා කියන්නේ ඔහු හෝ ඇය ලස්සනයි කියන එක. මම අනිත් අයට කියන්න කැමතියි ඔබ ඔබම වෙන්න ඔබගේ පෙනුමට ඔබට ආදරේ කරන්න. අනිත් අයට වඩා ඔබ වෙනස් උනාට එය වරදක් නෙමේ..
යැයි නාකිම් පවසනවා.
ලංකාවේ අපිත් අපේ සමේ පැහැය ගැන ගොඩක් හිතනවා. පැහැපත් සමක් වෙනුවෙන් නොකරන දෙයක් නෑනෙ. ඒත් නාකීම් ඇගේ නිරූපණ ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කරගන්න ඇගේ කලු සම ආශිර්වාදයක් කරගන්න ගමන් ලොවට පණිවිඩයක් දෙනවා අපි හැමෝම ලස්සනයි අපි හැමෝම සුවිශේෂයි කියලා.
.



Monday, May 7, 2018

පෝළිම

                             
                                                    අද උදේ මම බැංකුවට ගියා මුදල් තැන්පත් කරන්න. දවස් තුනක නිවාඩුවකින් පස්සේ නිසාද කොහෙද බැංකුවේ ගණු දෙණු කරන්න ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. මම පෝළිමට එකතු වෙනකොටත් කවුන්ටර් පෝළිමේ දහදෙනෙක් විතර හිටියා. ටිකෙන් ටික මගේ වාරය ළංවෙද්දී එක පාරටම කඩාගෙන බිඳගෙන ආපු ගෑණු කෙනෙක් පෝළිමේ ඉස්සරහම උන්න කෙනාගෙ ළඟින් හිට ගත්තා. එක කවුන්ටර් එකක් හිස් උනාම ඒ කවුන්ටර් එකේ උන්න ගැහැණු ළමයා පෑනෙන් තට්ටුවක් දාලා ඊළඟ ගණු දෙණු කරුට එන්න සංඥා කලා. පෝළීමෙන් පිටත් හිටපු ගැහැණු කෙනා කවුන්ටරේට යන්න සූදානම් වෙද්දීම කවුන්ටර් එකේ ඉන්න ගැහැණු ළමයා පෝළිමට යන්න කියලා අර ගැහැණු කෙනාට කිව්වා. පෝළිමේ උන්න හැමෝටම හිනා ගියා. පෝළිමේ ඉන්නත් ඕනද කියලා එයාටම කියාගන්න ගමන් ඒ ගැහැණු කෙනා පෝළිමේ අගට එකතු උනා. 
                        අපේ රටේ මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමී වෙලාද කියලා මට හිතුනා. දහ පහලොස් දෙනෙක් පෝළිමේ ඉන්දි එයාට විතරක් විශේෂයක් වෙන්නෙ නෑ කියලා හිතන්න තරම් මොළයක් තිබුනෙ නැතිද මන්දා. නිකන් ලැජ්ජා උන එක විතරයි උනේ. 

Monday, April 2, 2018

සුබ ගමන් සුඩාන්

                                                                 
          
                                                              කාලෙන් කාලෙට ප්‍රථිවියේ වෙසෙන සතුන් වඳවෙලා යනවා. වඳවෙලා යනවා කියන්නේ ඔවුන් මේ ලෝකෙන් තුරන් වෙලා යනවා. සුදු රයිනෝසිරස් වර්ගයටත් ඒ ඉරණම ම අත් උනා.  අඟවල් ලබා ගැනීමේ අරමුණෙන් දිගින් දිගටම රයිනෝසිරස් සත්ත්වයන් දඩයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුදු රයිනෝසිරස් පිරිමි සතුන්ගෙන් මෙලොව ජීවත් වෙන්න වාසනාව තිබුනේ එකම එක සුදු රයිනෝ කෙනෙකුට විතරයි. එයාගේ නම "සුඩාන්" . අවි අමෝරාගත් ආරක්ෂකයින් පැය විසිහතරෙම "සුඩාන්ව" මුර කලා. එහෙත් පසුගිය සතියේ පාද වල ඇතිවූ ආසාදනයක් හේතුවෙන් ඇව්දීමට නොහැකිවූ "සුඩාන්" මිය ගියා. "සුඩාන්" ගේ මරණයත් සමග සුදු රයිනෝවන් පෘථිවියේන් වඳ වී ගිය විශේෂයක් ලෙස නම් වෙනවා.  
                               1975 වර්ෂයේ දී තමයි "සුඩාන්" ව සුඩානයේ වනාන්තරයක දී දක්නට ලැබෙන්නෙ. එතකොට ඔහුට වයස අවුරුදු දෙකක්. ඔහුව  චෙක් රාජ්‍යයේ Dvůr Králové සත්ත්ව උද්‍යානයට රැගෙන යනවා.  එහෙත් එම සත්ත්ව උද්‍යානය මූල්‍ය අර්බුදයකට ලක්වීම නිසා "සුඩාන්ව" 2009 දී කෙන්යාවේ උද්‍යානයකට රැගෙන යන්නේ "නජින්" සහ "ෆාටු" කියන සුදු රයිනෝ ගැහැණු සතුන් සමගයි. 
                             සුඩාන්ගේ භාරකරු පවසන විදිහට, ඔහුව නරඹන්නට එන සංචාරකයින් සමග සුඩාන් ගොඩක් සුහද වෙනවලු. ඔවුන් සමග ඡායාරූප වලට පෙනී සිටින්න කැමැත්තක් දක්වනවලු. මිනිස්සු කතා කරනකොට සුඩාන් ඉතා කැමැත්තෙන් ඔවුන් කිට්ටුවට එනවලු. ඒ ඔවුන් ලවා ඇඟ කසා ගැනීමේ අරමුණෙන්.
                                      ගැහැණු සතුන් දෙදෙනෙක් සමග ජීවත් උනත් සුඩාන්ට දාව පැටවුන් බිහි කරන්නට ගැහැණු සතුන් සමත්වෙන්නෙ නෑ. එහෙත් නිලධාරීන් සුඩාන්ගේ ශුක්‍රානු සංරක්ෂ්ණය කරන්නේ මතු දිනක පැටවුන් බිහිකර ගැනීමේ අරමුණෙන්. කවුරුන් හෝ මැදිහත් වුනොත් සුඩාන්ගේ පැටව් බිහිකරගන්නට හැකි වේවි. එසේ වුවහොත් සුදු රයිනෝසිර්ස් සත්වයන් වඳවී ගිය සත්තුන්ගේ ලේඛනයට එක් නොවේවි. 



Thursday, February 22, 2018

මොහොතක් ඉවසුවානම්


ඊයෙ හවස අපි ගෙදර යන්න නැගපු කෝච්චියට දාරළුවත් ගම්පහත් අතරෙදි නතර කලා. කෝච්චියේ උන්න පිරිමි උදවිය කෝච්චියට කවුරු හරි පැන්නා කියලා , කෝච්චියෙන් බැහැලා දිව්වා. අවුරුදු 19-20 පිරිමි ළමයෙක් හෙල්මට් එකකුත් දාගෙන පොතකුත් අතින් අරන් කෝච්චියට බෙල්ල තියලා. ඒ ළමයගේ මිනිය ට්‍රොලියෙ තියාගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට බාර දෙන්න අරන් යනවා දකිනකොට මට පව් කියලා හිතුනෙ ඒ ළමයා ගැන නෙමේ, ඒ ළමයව ඔය තත්වෙට උස් මහත් කරන්න දුක් විඳපු අම්මා තාත්තා ගැන.
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
" මිය යන්න සූදානම් පැරදුම දරන්
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
පැරදුනාම මැරෙනවාට වඩා හොඳයි නේද දිනන්න උත්සාහ කලානම්. ප්‍රේම සම්භන්දයක් වේවා විවාහයකින් වෙන් උනා හෝ වේවා එතනින් ජීවිතය නතර වෙන්නෙ නෑනෙ. හැම පැරදුමක්ම දිනුමක් කරගන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
"ඒ දරුවා තව මොහොතක් ඉවසුවානම් තාමත් ජීවතුන් අතර"

Monday, February 19, 2018

ඩෙනිමේ ඉතිහාසය

         
                                                                       ඩෙනිම් ජීන්ස් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඇඟලුම් පැළඳීමට අපේ රටේ බාල,තරුණ, වැඩිහිටි කවුරුත් කැමතියි. සෝදා හෝ නොසෝදා පට්ට ගහන්න පුලුවන් කියලනෙ කතාවටත් කියන්නෙ. කාලාන්තරයක් තිස්සේ ඩෙනිම් ඇන්දට ඩෙනිමේ ඉතිහාසය ගැන ගැන අපි දැනගෙන උන්නෙ නෑනේ. ඩෙනිමටත් අවුරුදු එකසිය පනහක පමන ඉතිහාසයක් තියනවා. 


                
                                  ඩෙනිම් ජින්ස් වර්තමානයේ දී විලාසිතා ලෝකයේ පෙරළි කරන ඇඳුමක් උනාට ඩෙනිම් මුලින්ම ඇඳලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ  වල තිබුන රන් පතල් වල සේවය කරපු පතල් කම්කරුවන්. ඔවුන්ගේ වැඩ බිම් වල වැඩට අඳින ඇඳුමක් විදිහට තමයි ඩෙනිම් භාවිතා කරලා තියෙන්නේ.



                                    ලෙවි ස්ට්‍රවුස් නම් තරුණයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත එන්නේ රන් ඉල්ලම් මතුකරගැනීමේ පරමාර්ථයෙන් උනත් ඔහුට පතල් කර්මාන්තය ගැලපෙන්නෙ නෑ. ඒ නිසා ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තොග හා සිල්ලර වෙළඳ සැලක් පටන් ගන්නවා. එවකට 24 වෙනි වියේ සිටි ලෙවිගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වසර 20 තුල ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙනවා. ලෙවී ධනවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා.

                                      ජේකොබ් ඩේව්ස් කියන්නේ වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක්. ඔහු ලෙවි ගේ පාරිභෝගිකයෙක්. ජේකොබ් ඇඳුම් මසන්න අවශ්‍ය රෙදි මිලට ගන්නේ ලෙවී ගේ වෙළඳ සැලෙන්. දිනක් ජේකොබ් වෙත පැමිනෙන පතල් කම්කරුවෙකුගේ බිරිඳක්, සිය සැමියාට වැඩට අඳින්නට කලිසමක් මසා දෙන ලෙස දැනුම් දෙන්නේ කලිසම ඇඟලූ  පසු එල්ලා නොවැටෙන ලෙස මසා දෙන මෙන් ඉල්ලීමක්ද කරමින්. කලිසම ශක්තිමත්ව මසන්නේ කොහොමද කියලා කල්පනා කරන ජේකොබ් කලිසමේ පහසුවෙන් ඉරෙන සාක්කු කෙලවරවල් වැනි තැන්වල ලෝහ රිවට් සවි කරනවා.
                                      මෙම රිවට් ඇල්ලූ කලිසම පතලේ සෙසු කම්කරුවන් අතරද සීග්‍ර ලෙස ප්‍රසිද්ධ වන්නට පටන් ගන්නවා. මෙම කලිසමට දිනෙන් දින ඉල්ලුම වැඩිවෙනකොට ජේකොබ්ට කලිසමෙහි පේටන්ට් බල පත්‍රය ලබා ගන්නට උවමනා වෙනවා. එහෙත් ඒ සඳහා ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට ව්‍යාපාරිකයෙකුගේ උදව්ව අවශ්‍ය වෙනවා. සුදුසු හවුල්කරුවෙකු ගැන සිතද්දී ඔහුට රෙදි මිලට ගන්නා වෙළඳ සැලෙහි හිමිකරුව සිහියට එනවා. ජේකොබ් ලිපියක් මගින් ඔහුගේ අවශ්‍යතාවය ලෙවීට දැනුම් දෙනවා. දක්ෂ ව්‍යාපාරිකයෙක් වන ලෙවී කලිසමට ඇති ඉල්ලුම පිළිබඳ සොයා බලා ජේකොබ් සමග හවුල් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔවුන් 1873 මැයි 20 වෙනිදා පේටන්ට් අංක 139,121 යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගන්නවා.



                        මුල් කාලයේදී මෙය හඳුන්වලා තියෙන්නේ "වේස්ට් ඕවරෝල්" යන නමින්. බොහොම ඉක්මනට මෙම ඇඟලුම පතල් කම්කරුවන්, ගොපල්ලන් හා අනෙකුත් වැඩ බිම් වල කම්කරුවන් අතර ප්‍රසිද්ධ වෙනවා. ඉන්පසු ඩෙනිම් වල කුණු තැවරුණු විට පෙනෙන නිසා එය නොපෙනෙන්නට නිල් පැහැයෙන් වර්ණ ගන්වන්නට පටන් ගන්නවා. 




          ඩෙනිම් ජින්ස් ලොව පුරා ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 1930 න් පසුව ඇමරිකාවේ නිෂ්පාදනය වෙන කව් බෝයි චිත්‍රපට වල ගොපල්ලන් ඩෙනිම් ජීන්ස් ඇඳ රඟපාන්නට පටන් ගැනීමත් සමගයි. 

          1970 පමන වනතුරු ඩෙනිම් ජින්ස් වලට සමාජ පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ. ඩෙනිම සලකන්නේ කම්කරුවන්ගේ , ගොපල්ලන්ගේ වැඩට අඳින ඇඳුමක් විදිහට පමනයි. ඩෙනිම් ජින්ස් ඇඳගෙන පැමිනෙන අයට වැදගත් මහත්වරුන්ගේ උත්සව වලට හෝටල් වලට ඇතුල් වෙන්න වත් අවසර ලැබෙනෙ නෑ.
වර්තමානයේ ඩෙනිම් ජීන්ස් සහ ඩෙනිම් රෙදි ආශ්‍රිතව නිෂ්පාදනය වෙන ඇඟලුම් විලාසිතා ලෝකයට නැතුවම බැරි අංගයක් වෙලා. විවිධ වර්ණයෙන් විවිධ මෝස්තරයෙන් ඝනකම්, තුනී මෙන්ම ඇදෙන සුළු රෙදි වලින්ද වර්තමානයේ ඩෙනිම් නිර්මාණය වෙනවා. 1873 සිටම කාලයේ තාලයට අලුත් වෙමිනි වෙමින් පැමිනි ඩෙනිම් ජින්ස් වලට ඇති ඉල්ලුම හා කැමැත්ත තව බොහෝ කාලයක් තිබේවි