අපේ සේවාස්ථානය ඉස්සරහා තියනවා කාණුවක්. කාණුවක් කිව්වට පොඩි ඇලක් වගේ. මෙයිට අවුරුද් 4-5 කලින් මේ ප්‍රදේශය ඒ තරම්ම ජනාකීර්ණ වෙලා තිබුනෙ නෑ. ඒක නිසා මේ කාණුවේ තිබුනේ පිරිසිදු ජලය.මාලු හිටියා ගොඩක්. පොකුරු පිටින්. සමහර කාලෙට ළමයි ඇවිත් අල්ලනවා පොඩි දැල් දාලා. එහෙම දවස් වලට මම ගිහින් බලනවා. ලස්සන මාලු. එයාල වතුර බාස්කට් වල දාලා අරන් යනවා ගෙවල් වල තියන පොකුණු වලට දාන්න. බත් ඇට ටිකක් කාණුවට දැම්මම බලන්න ආසයි ඒවා කන්න රංචු පිටින් පොරකන හැටි. අවාසනාවට කොළඹ මීගමු මාර්ගයේ යන වාහනවල මගීන්, එයාල කන බොන දේවල් වල බෝතල්, කවර, හැමදේම යන ගමන් මේ කාණුවට විසි කරන්න පටන් ගත්තා. ඒ වගේම පාර අයීනේ නතර කරලා කෑම කාල කුණු ටික ඔක්කොම කාණුවට දැම්මා. ටිකෙන් ටික මේ ප්‍රදේශය ජනාකීර්ණ උනා. ගොඩනැගිලි හැදුනා. ව්‍යාපාරික ස්ථාන විවෘත උනා. කාණුව ට උඩින් කොන්ක්‍රීට් කොට ඇල්ලුවා. ඒක අඳුරු උනා. ආයතනවල අපතේ යන ජල නල කාණුවට දැම්මා. දැන් කාණුව විනාශ වෙලා. මාලු නෑ. දැන් කාණුව දකින කෙනෙක් කවදාවත් හිතන්නෙ නෑ මාලු රංචු ගනන් හිටපු තැනක් කියලා. දැන් කාණුවෙන් එන්නේ දුඟදක් විතරයි. එබිලා බැලුවොත් පාට පාට ප්ලාස්ටික්, වීදුරු බෝතල්. ඉටි කවර, යෝගට් කෝප්ප පිරිලා. සුද්ද කරන්න කෙනෙකුත් නෑ. නගරසභාවෙන් උනත් බලන්නෙ නෑ..
ඉහත ඡායා රූපය දැක්කම මට මතක් උනේ අපේ ඉස්සරහා කාණුව. අපේ මිනිස්සු අපේ තියන දේවල් විනාශ කරගන්නවා ඉක්මනටම. ඊට පස්සේ එන වසංගත රෝග වලට පවතින ආණ්ඩුවට බනිනවා. කල්පනාකරලා බලනකොට මේ වසංගත පතුරවන්න අපි හැමෝම සහයෝගය දක්වලා.
අපි පරිසරය රැක්කොත් පරිසරය අපිවත් රකිනවා. මොනතරම් කිව්වත් මොනතරම් දැනුවත් කලත් මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නෑ. තදබල නීති දාලා දඬුවම් කරලා මිසක අපේ රටේ පරිසර විනාශය නතර කරන්න බෑ .
No comments:
Post a Comment