Monday, August 28, 2017

සුදු ආප්ප




ඉස්සර මම පුංචි කාලේ (නමසිය අනූ ගනන් වල මුල් කාලේ) අපේ ආච්චී අපට කන්න ආප්ප උයා දෙනවා. සෙනසුරාදා දවසක් තමයි තෝරගන්නේ එදාට අපට ඉස්කොලෙත් නිවාඩුනේ. කලින් දවසේ කැකුලු හාල් පෙඟෙන්න දාලා වංගෙඩියේ දාලා කොටලා හලා ගන්නවා. ඊට පස්සේ රෑට, කොටා ගත්ත පිටි ලොකු මැටි මුට්ටියකට දාලා ඒකට යීස්ට්, ආප්ප සෝඩා දාලා පොල් වතුරෙන් අනලා වහල තියනවා. උදේම නැගිටලා පොල් ගාලා පොල් කිරි කලින් දවසේ හදපු පිටි මිශ්‍රනයට දාලා හොඳට කලවම් කරලා වහලා තියනවා. ඔන්න ඊට පස්සේ ලිප ලෑස්ති කරනවා පිරිසිදු පරණ ඇතිලි දෙකකට පොල් ලෙලි දාලා ඒවා පත්තු කරලා හදාගන්නවා. ඒවට කියන්නේ ගිණි කබල කියලා( දැන් ඉන්න පොඩි දරුවොනම් දැකලා නැතුව ඇතී. ආප්ප උයන ගන්නේ යකඩ තාච්චි. ඒවා හොඳට පදම් කරපුවා. මට මතකයි ආච්චී ඒවා වෙන කිසිම වැඩකට ගත්තෙ නෑ.ආප්ප උයන්න විතරක්ම වෙන් කරල තිබුනා. පිටි මුට්ටියත් ලිප ළඟට අරන් ලිප ගාව බංකුවක් තියලා ඉඳ ගන්නවා. තව එතන තියනවා පීරිසියක තියපු පොඩි පොට්ටනියක්. ඒක ඇතුලේ තියෙන්නේ තලපු කජුමද කීපයක් එක්ක පොල්තෙල්. ගින්දර හොඳින් ඇවිලෙනකොට තාච්චි දෙක ලිපේ තියලා රත් වෙද්දී අර පොඩි පොට්ටනියෙන් තාච්චිය පිහිදානවා. එහෙම කරන්නේ ආප්ප තාච්චියට ඇලෙන එක නතර කරන්න. ඔන්න තාච්චිය පදමට රත්වෙලා ආවම තාච්චිය අතට අරන් පොල් කටු හැන්දෙන් එකක් තාච්චියට දානවා දානකොට චෝස් ගාලා සද්දයක් එනවා. ඒක ලිප උඩින් තියලා ආයේ අරගෙන තාච්චිය කරකෝනවා. ඒකට එයාලා කිව්වේ ආප්පෙ අඳිනවා කියලා. ඊට පස්සේ ලිපේ තියලා අර හදාගත්තු ගිණි කබල තාච්චිය උඩින් තියනවා. එහෙම තාච්චි දෙකේම මාරුවෙන් මාරුවට ආප්ප උයනවා. ඉදෙන ආප්ප බිම තියන වට්ටියට දානවා. ඒවා ලා දුඹුරු පාටයි. වාටිය කර කර ගාල හැපෙනවා ඒ වගේම ගොඩක් රසයි.අපිත් ආච්චි වටේට බංකු තියාගෙන වාඩි වෙලා හදන උණු  උණු ආප්ප තරඟෙට කනවා. වර්තමානයේ ගිණි කබල් තියලා ආප්ප උයන්නෙ නෑ.දර ලිප පාවිච්චි කරන්නෙත් නෑ. ඉස්සර ආච්චී හදපු ආප්ප වගේ රස ආප්ප නම් කන්න ලැබුනෙ නෑ කොහෙන්වත්.

1 comment: