පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Monday, August 28, 2017
සුදු ආප්ප
ඉස්සර මම පුංචි කාලේ (නමසිය අනූ ගනන් වල මුල් කාලේ) අපේ ආච්චී අපට කන්න ආප්ප උයා දෙනවා. සෙනසුරාදා දවසක් තමයි තෝරගන්නේ එදාට අපට ඉස්කොලෙත් නිවාඩුනේ. කලින් දවසේ කැකුලු හාල් පෙඟෙන්න දාලා වංගෙඩියේ දාලා කොටලා හලා ගන්නවා. ඊට පස්සේ රෑට, කොටා ගත්ත පිටි ලොකු මැටි මුට්ටියකට දාලා ඒකට යීස්ට්, ආප්ප සෝඩා දාලා පොල් වතුරෙන් අනලා වහල තියනවා. උදේම නැගිටලා පොල් ගාලා පොල් කිරි කලින් දවසේ හදපු පිටි මිශ්‍රනයට දාලා හොඳට කලවම් කරලා වහලා තියනවා. ඔන්න ඊට පස්සේ ලිප ලෑස්ති කරනවා පිරිසිදු පරණ ඇතිලි දෙකකට පොල් ලෙලි දාලා ඒවා පත්තු කරලා හදාගන්නවා. ඒවට කියන්නේ ගිණි කබල කියලා( දැන් ඉන්න පොඩි දරුවොනම් දැකලා නැතුව ඇතී. ආප්ප උයන ගන්නේ යකඩ තාච්චි. ඒවා හොඳට පදම් කරපුවා. මට මතකයි ආච්චී ඒවා වෙන කිසිම වැඩකට ගත්තෙ නෑ.ආප්ප උයන්න විතරක්ම වෙන් කරල තිබුනා. පිටි මුට්ටියත් ලිප ළඟට අරන් ලිප ගාව බංකුවක් තියලා ඉඳ ගන්නවා. තව එතන තියනවා පීරිසියක තියපු පොඩි පොට්ටනියක්. ඒක ඇතුලේ තියෙන්නේ තලපු කජුමද කීපයක් එක්ක පොල්තෙල්. ගින්දර හොඳින් ඇවිලෙනකොට තාච්චි දෙක ලිපේ තියලා රත් වෙද්දී අර පොඩි පොට්ටනියෙන් තාච්චිය පිහිදානවා. එහෙම කරන්නේ ආප්ප තාච්චියට ඇලෙන එක නතර කරන්න. ඔන්න තාච්චිය පදමට රත්වෙලා ආවම තාච්චිය අතට අරන් පොල් කටු හැන්දෙන් එකක් තාච්චියට දානවා දානකොට චෝස් ගාලා සද්දයක් එනවා. ඒක ලිප උඩින් තියලා ආයේ අරගෙන තාච්චිය කරකෝනවා. ඒකට එයාලා කිව්වේ ආප්පෙ අඳිනවා කියලා. ඊට පස්සේ ලිපේ තියලා අර හදාගත්තු ගිණි කබල තාච්චිය උඩින් තියනවා. එහෙම තාච්චි දෙකේම මාරුවෙන් මාරුවට ආප්ප උයනවා. ඉදෙන ආප්ප බිම තියන වට්ටියට දානවා. ඒවා ලා දුඹුරු පාටයි. වාටිය කර කර ගාල හැපෙනවා ඒ වගේම ගොඩක් රසයි.අපිත් ආච්චි වටේට බංකු තියාගෙන වාඩි වෙලා හදන උණු උණු ආප්ප තරඟෙට කනවා. වර්තමානයේ ගිණි කබල් තියලා ආප්ප උයන්නෙ නෑ.දර ලිප පාවිච්චි කරන්නෙත් නෑ. ඉස්සර ආච්චී හදපු ආප්ප වගේ රස ආප්ප නම් කන්න ලැබුනෙ නෑ කොහෙන්වත්.
Thursday, August 24, 2017
හැංගි විහංගි
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)
හැංගි විහංගි (Half girl friend) පොත චේතන්ගේ අනිත් පොත් වලට වඩා ගොඩක් සරල ආදර කතාවක්. Half girl friend නමින්ම චිත්‍ර පටියකුත් මෑතකදී නිකුත් උනා . මට මතක විදිහට ප්‍රධාන චරිත රඟපෑවේ අර්ජුන් කපූර් සමග ශ්‍රද්ධා කපූර්. මට නම් තවම බලන්න බැරි උනා. පොතේ සාරාංශය කිව්වොත් කියවලා නැති අයට කියවද්දී තියන රසය නැතිවෙනවා. පොත කියවලම බලන්නකො.
Monday, August 21, 2017
මේ භවයේදි
සසරින් සසර
පතමින් අප
ඉප දෙන්නා
මේ භවයේදිත්
මේ විදිහට
හමුවන්නා
අපට උරුම
කැළයත් අහිමිව
යන්නා
පරිස්සම් වෙන්න
මැණිකේ උන්
ගිනි බිඳලන්නා
"වියරුව"
මම කියවපු අලුත්ම පොත ආනන්ද ලියනගේ මහතා විසින් රචිත The Vengeance පොතේ සිංහල පරිවර්තනය "වියරුව". සිංහලට පරිවර්තනය කරන්නේ අනුලා ද සිල්වා මහත්මිය. පොත ගැන කියනවනම් අපේ ඉතිහාස තොරතුරු,අපේ රටේ තිබූ යුද්ධයට සම්භන්ද සිදුවීම් එකට ගලපලා ලියපු රහස් පරීක්ෂක ගනයට එක් කරන්න පුලුවන් පොතක්. ඒ වගේම බොහෝ රටවල තොරතුරුත් විස්තර සහිතව තියනවා.මට මුලදී ටිකක් කියවන්න කම්මැලිකමක් දැනුනත් , අවසානයට යද්දී පුදුමාකාර කුතුහලයකින් කියෙව්වා. ඒ වගේම ඉන්දියාව ,එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල තොරතුරුත් අපේ ඉතිහාසය සම්බන්ධ මා නොදැන සිටි තොරතුරුත් දැනගත්තා. පොත ලියන්න කලින් ආනන්ද මහතා මේ දේවල් පිළිබඳ අධ්‍යනය කරන්න ඇති කියලා හිතුනා.
ආනන්ද් මහතා විසින් රචිත The Legacy නම් පොත "රාජ උරුමය" නමින්ද The Deception නම් පොත "මායාව"
නමින්ද අනුලා ද සිල්වා මහත්මිය විසින්ම පරිවර්තනය කර ඇති නමුත් මම තවම ඒ පොත් දෙකම කියවලා නෑ.
( ඡායාරූපය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ආනන්ද් මහතා විසින් රචිත The Legacy නම් පොත "රාජ උරුමය" නමින්ද The Deception නම් පොත "මායාව"
( ඡායාරූපය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)
Wednesday, August 16, 2017
Subscribe to:
Posts (Atom)



