Thursday, November 1, 2018

චීනය නිර්මාණය කල ලොව දිගම පාලම

             

                                  මුහුද මැද්දෙන් රටකින් තවත් රටකට කිලෝ මීටර් 54 දිග පාලමකින් යද්දී මොනවගේ හැඟීමක් හිතට දැනෙයිද. නිල්පාට මුහුද, නිල් පාට සුදු පාට මිශ්‍ර උන අහස, මුහුද පිසගෙන එන සුළඟ ත් එක්ක හිතට දැනෙන ත්‍රාස ජනක හැඟීම. ඔව් දැන් අපට ඕන නම් එය වින්දනය කරන්න පුලුවන් හොංකො සිට මැකාවෝ යන ගමන්. 
               චීන මහා ප්‍රාකාරය හදලා ලෝකයම මවිතයට පත්කළ චීන්නු ඔන්න දැන් ලොව දිගම පාලම හදලා. හොංකොං සහ මැකාවූ චීනයට අයිතියි කියලා කවුරුද් දන්නවනේ. ඒ රටවල් දෙකම සංචාරක පාරාදීසයන්. මේ රටවල් දෙක යා කර නිර්මාණය කල පාලමේ දිග කිලෝ මීටර් 54ක්. සැතපුම් වලින් නම් 34ක්. ඊට වැයවූ මුදල ඇ.ඩො. බිලියන 20ක්. මෙම ෂුහායි,හොංකොං,මැකාවෝ පාලම මගින් වර්ග කි.මී 56,500ක භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා.



                  පසුගිය 23 වෙනිදා චීන ජනාධිපතිවරයා චීනය පැත්තේ සිට මෙම පාලම විවෘත කරනු ලැබිනි. ඔක්තෝම්බර් 24 වෙනිදා සිට පාලම මහ ජනතාවට විවෘත කරනු ලැබුවා. 
             මෙය ඉදි කිරීමට වානේ ටොන් ලක්ෂ 4ක් යොදාගෙන ඇති අතර එමගින් අයිපල් කුලුනු 60 තනන්නට හැකි බව සඳහන්.  මෙය භූමි කම්පා, සුළි කුණාටු ඇතුළු වෙනත් ආපදා වලට ඔරොත්තු දීමට හැකි ලෙස නිපදවා තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාර වැළක්වීමට සෝදිසි කැමරා 48 සහ පොලිස් මුර සංචාරක රථ ද යොදා තිබෙනවා. 
               මෙම පාලම ඉදිකිරීම් කටයුතු වලදී 18 දෙනෙක් මිය ගොස් ඇති අතර සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
                 පාලම ඉදිකිරීමේදී නෞකා ගමනාගමනය සඳහා සමුදුරු උමං මාර්ගයක්ද  ඒ නිසාම කෘතිම දූපත් දෙකක්ද නිර්මාණය කර තිබෙනවා. 
                මෙම පාලම හරහා වාහන ධාවනය කරන රියදුරන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මනින උපකරණයක් පැළඳීම අනිවාර්ය කොට තිබෙනවා. රියදුරුට ඈනුම් යන ප්‍රමාණය කැමරා මගින් ගණනය කොට ඈණුම් තුනකට වඩා යන්නේ නම් අනතුරු සංඥා නිකුත් කිරිමේ ක්‍රමයක්ද තිබෙනවාලු. එමගින් රිය පදවන අතර තුර නින්ද යාමෙන් වන අනතුරු වලක්වා ගැනීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්.
                   

        එමෙන්ම මෙමෙ පාලමෙන් චීන රියදුරන් මංතීරු වල දකුණු පසින්ද හොංකොං සහ මැකාවූ රියදුරන් වම් පසින්ද ගමන් කලයුතු වෙනවා.
       පාලම හරහා පෞද්ගලික ෂටල් බස් සේවාවක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඇ.ඩො 8-10 ක මුදලක් ගෙවා ටිකට් පතක් ගත යුතු වෙනවා.
                            විශාල වියදමක් දරා තනන ලද මෙම පාලමෙන් බලාපොරොත්තු වූ තරමේ ලාබයක් නොලැබෙනු ඇති බවටත් මත පල වෙනවා.  එමෙන්ම මෙමගින් සිදුවූ පරිසර හානියත් සමග සුදු තල්මසුන් ගහනය අඩු වී ඇතිබවත් ඒ ආශ්‍රිතව සුදු තල්මසුන් දකින්නට නොහැකිවනු ඇතැයි පරිසරවේදීන් පවසනවා. 
                                                      
                                                                                                  තොරතුරු හා ඡායාරූප අන්තර් ජාලයෙනි

Thursday, September 27, 2018

සමුද්ද යාතිකාව



                 පහුගිය ඉරිදා පොත් ප්‍රදර්ශනයට ගිහින් ගෙනාපු පොත් වලින් කියවපු මුල්ම පොත. සමුද්ද යාතිකාව. කාලීඩ් හුසෙයිනි  මහතා ගේ Sea Prayers  පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තිකාව ගංගා සුදුවැලිකන්ද මහත්මිය.
                 කාලීඩ් හුසෙයිනි මහතා විසින් රචිත අළෙවි වාර්තා තැබූ පොත් තුන ගොඩක් අය කියවලා ඇති. The kite Runner ( සරුංගල් ලුහු බඳින්නා), The thousand splendid suns (මනරම් හිරු දවසක්), And the mountains echoed (කඳුකරය දෝංකාර දුනි) නව කථා ත්‍රිත්වය හරහා ඔහු ලස්සන රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව යුද්ධයත් සමග විනාශ වූ ආකාරය පිළිබඳ සිය පාඨකයන්ගේ හිත් වල සංවේගයක් උපදවන්න සමත් උනා. 
            යුද්ධය මොනතරම් බියකරුද කියලා යුද්ධයක් පැවති රටක, කොයි වෙලේ කොහේ පුපුරණ බෝම්බයකට අපිවත් අහුවෙයිද කියලා බයෙන් උන්න අපි හොඳටම දන්නවා. ලංකාවේ යුද්ධය අවසන් උනත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යුක්‍රේනයේ, යේමනයේ, තවමත් යුද ගැටුම් පවතිනවා. කොයි මොහොතේ බෝම්බයක් පුපුරයිද, කොයි මොහෝතේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයිද, කොයි මොහොතේ ගුවනින් බෝම්බ හෙලයිද, ඒවගේ දේකින් තමන්ගේ පවුලේ අයෙක් හෝ සමීපතමයෙක් නැතිවෙයිද කියන බයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල අනන්තවත් ඉන්නවා. 
            උපන් රටේ තමන්ට ආරක්ෂාව නැතිවෙනකොට කෑම බීම නැති වෙනකොට වෙඩි හඬ නෑසෙන බෝම්බ පුපුරන්නෙ නැති වඩා සුරක්ෂිත රටකට ජීවිතාරක්ෂාව පතා පළා යන්නට අහිංසක මිනිස්සු උත්සාහ කරනවා. ඒ සිය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරදීමේ අරමුණත් ඇතුව.රටකින් තවත් රටකට පළා යාම පහසු කාර්යක් නෙමේ. ගුවනින් කොහොමත්ම යන්න බෑ. ගොඩ බිම හරහා හෝ මුහුදෙන් අනාරක්ෂිත බෝට්ටුවක යන එක තමයි විකල්පය වෙන්නෙ.



                        2015 සැප්තැම්බර් 02 වෙනිදා තුර්කියේ සිට ග්‍රීසිය බලා  සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් සිටි අනාරක්ෂිත  බෝට්ටුවක් පෙරළී ජීවිතක්ෂයට පත්ව තුර්කි වෙරළටම ගසාගෙන විත් වෙරළේ වැතිර සිටි  සිව් හැවිරිදි ඇලන් කුර්දි නම් කුඩා දරුවාගේ ලොවක් සංවේදී කල ඡායාරූපය අප කාටත් තාමත් මතක ඇති. සමුද්ද යාතිකාව ,එම සිදුවීම පදනම් කරගෙන අනාරක්ෂිත බෝට්ටු ගමනක යෙදෙන්න සූදානමෙන් ඉන්න පියෙක් ලිපියක් ආකාරයෙන් සිය පුතු මර්වාන්ට ලියන සංවේදී සටහනක් සහ පිංතූර සහිත ලොකු කතාවක් කියන පුංචි පොතක්. මෙම පොතෙන් කාලීඩ් හුසෙයිනි මහතා ලබන කතෘ භාගය ඒක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වෙත පරිත්‍යාග කරනවාලු.



  "මගේ ආදරණිය මර්වාන්,
මේ හඳ එළියේ මම ඔයාගේ මූණෙ
පැතිකඩ දිහා බලනවා, මගෙ පුතේ 
අහිංසක නින්දකින් වැහිලා තියන ඔයාගේ
ඇහිපිහාටු හරියට හැඩේට ඇඳපු අකුරු
මෝස්තරයක් වගෙයි.."

"මගේ අත අල්ලගන්න. කිසිම 
වෙන්නෙ නෑ." කියලා මම ඔයාට කියනවා



Tuesday, September 18, 2018

අන්තර්ජාලයේ කාගේත් අවධානය දිනාගත් රෙක්සි

         
                        මේ ඉන්නේ රෙක්සි. රෙකිසි ගොඩක් ජනප්‍රියයි විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් එකේ. රෙකිසිගේ විවිධාකාරයේ ඡායාරූප වලින් අන්තර් ජාලය පිරිලා. රෙක්සිගේ ඡායාරූපයක් දකින ඕන කෙනෙක් අනේ කියුට් බෝලගෙඩි කිටියෙක් කියලනම් අනිවාර්යෙන්ම කියනවා. පූසෙක් උනත් රෙකිසිට මුළු ලෝවේම ආකර්ෂණය වගේම ආදරය දිනාගන්න හැකිවෙලා තිබෙනවා. 
              

           රෙක්සි කොයිතරම් ලස්සන බෝල කිටියෙක් උනත් දුක්බර කතාවකුත් තියනවා. රෙක්සිගේ පිටුපස ගාත් දෙකම අක්‍රීයයි. අනතුරක් නිසා රෙකිසිගේ කොඳු ඇට පෙළට හානි වෙලා. ඒ නිසා පිටුපස ගාත් වැඩ කරන්නෙ නෑ. ඒ උනාට රෙක්සිට ඒක ගැටළුවක් නෙමේ. එයා ඒකට හැඩගැසිලා සාමාන්‍ය පූසෙක් වගේ සක්‍රීයව ජීවත් වෙනවා. රෙක්සිට වයස අවුරුදු තුනයි.



           
              රෙක්සි ගේ දෙපා අකර්මන්‍ය උනාට පස්සේ රෙකිසිගේ හාම් පුතා රෙක්සිටඩ් නොසලකා හැරලා.ඊට පස්සේ රෙක්සිව බලාගන්න ගත්තු  ඩාෂා රෙක්සිව තරුවක් කරලා. ඩාෂා කියන විදිහට රෙක්සිගේ හැසිරීම් සාමාන්‍ය පූසෙක් වගේමයි. එයාගේ ආබාධිත තත්ත්වය ගැන එයාට හැඟීමක්වත් නෑ. අනිත් පූසෝ කරන හැම දේම එයාට කරන්නත් පුලුවන්. රෙක්සිට එයාගේ කන් කසාගන්න වැසිකිලියට යන්න නම් බෑ..ඒකට එයාට ගෙදර අයගෙන් උදව් ලැබෙනවා.



          ඩාෂා රෙක්සිව බාරගත්තට පස්සේ රෙකිසිට ඇවිදින්න පහසු වෙන්න රෝද කරත්තයක් අරන් දෙනවා. ඒත් කරත්තයට වඩා පහසුවෙන් රෙකිස් එයාගේ ක්‍රමයට ඉදිරිපස ගාත් වල උදව්වේන් ඇවිදිනවා කියලා ඩාෂා පවසනවා.



                 

Wednesday, September 12, 2018

"නන්දිතය"



                                 
                    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වලින් මම කියවලා තියෙන්නේ කීපයක් විතරයි. එතුමියගේ පොත් වල භාෂා විලාසයට මම බොහොම කැමතියි. පොත කියවද්දී ඇගේ ලිඛිත විලාශයත් එක්ක මගේ මනසේ, මනරම් සිත්තම් මැවෙනවා. ඒ මැවෙන සිත්තම් වලට මම බොහොම කැමතියි. "නන්දිතය" කියවලා ඉවර කලා. සටහනක් ලියන්න හිතුනා.
       චීනයත් එක්ක අපේ කොයිතරම් සබඳතා තියනවද? ඒත් මට චිනය ගැන තියෙන්නේ සුළු දැනුමක්. චීන මහා ප්‍රාකාරය, චීනයේ නිෂ්පාදිත භාණ්ඩ, ලෝකයටම අභියෝගයක් වීගෙන එන චීන ආර්ථිකය ඔයවගේ දේවල් ටිකක් විතරයි මම දැනගෙන උන්නේ. නන්දිතයේ චරිත හරහා සුනේත්‍රා මහත්මිය මාව චීනය ගැන යමක් හොයන්න පෙළඹෙව්වා. 
        චීනයේ වෙසෙන ජාතීන් කීපයකට අයත් පුද්ගලයින් කීපදෙනක් වටා ගෙතෙන නන්දිතය එකිනෙකාගේ දෘෂ්ඨි කෝණ වලින් ලියලා තිබෙනවා. ලංකාවේ නන්දිත, තායිලන්තයේ බුන්සිරි, ඉතාලියේ ග්‍රාබියෙලා, තමිල්නාඩුවේ බාල සුබ්‍රමනියම්, බෙයිජිනයේ ශන්-ග, ඉන්දියාවේ කිරන්, ඇමරිකාවෙන් ආව ලිලියානා, විවිධ සංස්කෘතීන් විවිධ සිතුවිලි එක්ක නන්දිතය හරහා අපිව හමුවෙනවා. මනුෂ්‍ය මනසක ස්වරූපය එකිනෙකාගෙන් අපට දැනෙන්න ගන්නවා.
      පොතේ තවත් විශේෂයක් තමයි තැනින් තැන සටහන් වන කියමන්. වෙනම සටහන් කරලා තියාගන්න තරම් වටිනා කියමන් මට මේ පොතෙන් ලැබුනා..
         ඒවගේම නන්දිත ඇතුළු මේ පොතේ චරිත කළු සුදු හොඳ නරක කියලා වෙන් කරන්න බෑ. ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අත් දැකීම් සහ එකිනෙකා තේරුම් ගන්නා ආකරය අනුව ඔවුන් තුල තිබෙන හොඳ නරක වෙනස් වෙනවා. නන්දිතය හරහා කතුවරිය ශ්‍රී ලංකාවේ අපි අදහන බුදු දහම සහ චීනයේ අදහන බුදු දහමේ වෙනස සරලව පැහැදිලි කරනවා. පොත අවසාන වන්නේ කිරන් ගුවන්-යින් කියන බුද්ධ ප්‍රතිමාවත් සමග කථා කරන පරිච්ඡේදයකින්.

 "ඔය ළමයා දැන් තමන්ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුෂ්‍ය ජීවිතේක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජීවිතේ දිහා බලන්න ගන්න."

       ඇත්තටම එහෙම බලන්න පුළුවන්නම් අපි දැවෙන අපි විඳවන ගැටළු හැම එකකටම විසඳුම එතන තියනවා නේද?

Monday, June 11, 2018

Thumhari Sulu (තුම්හාරී සුලූ )


                                                        ඊයේ අහම්බෙන් වගේ සිරස නාලිකාවේ විකාශනය උන තුම්හාරී සුලූ චිත්‍ර පටිය නරඹන්න ලැබුනා. ආදර කතා සටන් වලින් වෙනස් උන කතාවක් වගේ පෙනුන නිසා මම සේරම වැඩ පැත්ත්කට කරලා සුලූ බැලුවා. ඇත්තටම ලස්සන චිත්‍ර පටයක්.
                  "තුම්හාරී සුලූ" ඉන්දියාවේ තිරගත වෙන්නේ 2017 වර්ෂයේ. සුරේෂ් ත්‍රිවානී ගේ අධ්‍යක්ෂනයක්. විද්‍යා බාලන්,ආර්.ජේ මලික්ෂා, නේහා දුප්තා, මානව් කාවුල් ප්‍රධාන චරිත රඟපානවා. මෙහෙ ප්‍රධාන චරිතය වෙන්නේ සුලෝචනා (විද්‍යා බාලන්) මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක්, මවක්, බිරිඳක්. නිවසේ වැඩ කටයුතු කරන ගමන් සැමියා සහ පුතා සමග සතුටෙන් ජීවත් වෙන ගැහැණියක්. විද්‍යා බාලන් සුලෝචනා හෙවත් සුලූගේ චරිතය හරිම ආකර්ෂණීය ලෙස රඟපානවා. ඒ නිසා චිත්‍ර පටය නරඹන්න කම්මැලිකමක් දැන්නෙ නැහැ.



                           
  සුලෝචනා ගොඩක් සතුටෙන් ඉන්න කාන්තාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි උනත් ඇ‍ය විවිධ දේ අත්හදා බලන්න කැමතියි. සූලූ හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාමේ තරඟයකින් දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඔවුන් පදිංචි නිවාස සංකීර්ණයේ පැවති හොඳම අම්මා තේරීමේ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. රේඩියෝ චැනල් එකකින් තිබ්බ රැෆල් ඩ්‍රෝ එකකින් සුලූ ට ෆ්‍රෙෂර් කුකර් එකක් ලැබෙනවා. කුකර් එක ගන්න චැනල් එකට යාමත් සමග සුලූගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ එම චැනල් එකෙට නිවේදකයින් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දකින සුලූට එයට ඉල්ලුම් කරන්න හිතෙනවා. එතන පිළිගැනීමේ නිලධාරිනිය එක්ක වාද කරලා කොහොම හරි සුලූ ඒ අවස්ථාව උදා කරගන්නවා. විද්‍යා බාලන් කට හඬ පරීක්ෂණයේදී සහභාගී වෙන අවස්ථාව තමයි චිත්‍ර පටියේ මම කැමතිම කොටස උනේ. සුලූ කොයි වෙලෙත් හිනා වෙනවා. දඟකාර අපූරු චරිතයක්.

                                               
  සුලූ චැනල් එකේ නිවේදිකාවක් වෙනවා. ගෙදර වැඩ කටයුතු කරන ගමන් ඇය නිවේදිකාවක් ලෙස රාත්‍රී කාලයේ සේවය කරනවා. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳින් ලැබෙනවා. ඇයගේ වෘත්තියට සහයක් උන සතුටින් උදව් කල සැමියාට ඔහුගේ සේවා ස්ථානයෙන් ලැබෙන පීඩනය හේතුවෙන් බොහොම ඉක්මනට කේන්ති යන්න පටන් ගන්නවා. ඔය අතරේ සුලූගේ පුතාව පාසැලෙන් නෙරපනවා. සුලූගේ රැකියාව නිසා දුරුවාත් පවුලත් ගැන තියන වගකීම් පැහැර හැරිය නිසා පුතා හිතුවක්කාර උන බවට සුලූට ඇගේ නිවුන් සොහොයුරියන් ඇතුළු පවුලේ අය චෝදනා කරනවා.ඔහුගේ වරදට අම්මාට දොස් කියන්න එපායැයි ඉල්ලා ලියුම්ක් ලියලා තබමින් පුතා නිවසින් හොර රහසේ පැනලා යනවා. පුතාව හොයන්න සුලූ සැමියා එක්ක ගොඩක් වෙහෙසෙනවා. පස්සේ පුතාව හොයාගත්තම සුලූ එයා ආසාවෙන් කරපු නිවේදිකා වෘත්තියෙන් ඉවත් වෙනවා.


සුලූ කොයි තරම් ආසාවෙන් කැමැත්තෙන් කරපු රැකියාව උනත් ඉන් ඉවත් වෙන්නේ සුපුරුදු හිනාවෙන්මයි. ඇය ඇගේ සතුට නිවස වෙනුවෙන් කැප කරන්නෙත් ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ මම නම් බලපු ලස්සන චිත්‍ර පටියක්. නොබලපු අය බලන්න. ගොඩක් ලස්සනයි. විද්‍යා බාලන්ගේ රඟපෑම නම් හරිම ඉහළින් තිබුනා.