මම මේ දවස් වල නැවත වතාවක් හැරී පොටර් පොත් ටික කියවනවා. චිත්‍ර පටි නරඹනවාට වඩා පොත කියවද්දී මැවෙන චිත්ත රූප වලට මම ගොඩක් කැමතියි. හැරී පොටර් කියවන්න ඉතින් වයස් සිමාවක් නෑ කියලා දන්නවනෙ. මම කොහොමත් මින් පෙර කියවලා නැති ළමා කතන්දර පොතක් හම්බුනොත් ඒකත් කියවන ජාතියේ කෙනෙක්.
හැරී පොටර් කියවන් යද්දී පොත ලියපු ජේ.කේ රෝලින් මහත්මිය අරුම පුදුම කාන්තාවක් කියලා මට හිතෙනවා. ඒ මොකද මේ විදිහේ පොත් මාලාවක් ලියාගෙන යද්දී එක එක චරිත එක්ක එක එක සිද්ධි මාලාවන් එයාගේ හිතේ කොහොම මැවුනද කියන එක මට නම් තාම ගැටළුවක්. පොත පැත්තක තියලා ජේ.කේ රෝලින් ගැන කල්පනාවට ආව නිසා මට හිතුනා එයාගැන තොරතුරු ටිකක් හොයන්න.
ජේ.කේ රෝලින් කියන්නේ අති සාර්ථක ලේඛිකාවක් වගේම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය බිලියන පතිනියක්. ඇගේ හැරී පොටර් කතා මාලාව භාෂා හැත්තෑ හතරකට පරිවර්තනය වී තිබෙනවා. පොත් මිලියන හාරසිය පනහක් පමන අලෙවි වී තිබෙනවා. හැරී පොටර් හරහා චිත්‍රපට මාලාවක්ද හැදුනා. මම මේ ලියන්න යන්නේ ඇය ගැන අපි නොදත් කරුණු කීපයක්.
1.ඇගේ දෙමාපියන් උපාධිධාරීන් නොවේ.
ඇයගේ පියා රොල්ස් රොයිස් හි සහයක ගුවන් යානා ඉංජිනේරුවෙකි. ඇගේ මව උසස් පාසැලක විද්‍යා තාක්ෂණික ශිල්පිනියකි.
2. ඇයට වයස අවුරුදු 25 දී ඇගේ මව මියයයි.
ජේ.කේ රෝලින් ගේ තරුණ අවධියේදීම ඇගේ මව වන ඈන් රෝලීන් අසනීප වෙනවා. ඇගේ ජීවිත කාලයම ගෙවෙන්නේ එම රෝගී තත්ත්වයත් එක්කමයි. ජේ.කේ රෝලින් ගේ "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන්" පොත නිකුත් වෙන්නත් කලින් ඇය මිය යනවා. සිය දියණියගේ සාර්ථකත්වය දකින්න ඇය ජීවත් උනේ නෑ. පසුව ඇය මව වෙනුවෙන්, ඇය පෙලුන රෝගය පිළිබඳ අධ්‍යනය කරන එඩින්බරෝ විශ්ව විද්යාලයේ, ඈන් රෝලින්ග්ගේ පුනරුත්ථාපන ස්නායු රෝග සායනය ආරම්භ කරන්න ඩොලර් මිලියන දාසයක මුල්‍යමය පරිත්‍යාගයක් කරනවා.
3. ඇගේ දියණියට, ඇගේ ප්‍රියතම ලේඛිකාවගේ නම තබනවා
 |
| ජෙසිකා මිට්ෆෝඩ් 1979 දී |
ජේ.කේ රෝලින්ගේ ප්‍රියතම ලේඛිකාව වෙන්නේ ජෙසිකා මිට්ෆෝඩ්. රෝලින්ට වයස අවුරුදු දාහතරේදී, ඇගේ නැන්දනිය විසින් ජෙසිකා මිට්ෆෝඩ් ගේ ""Hons and Rebels" පොත ගෙනවිත් දෙනවා. ඉන්පසු එය රෝලීන්ගේ ප්‍රියතම පොත් ගොන්නට එක් වෙනවා . පසුව ඇගේ ප්‍රියතම ලේඛිකාවට කරන ගෞරවයක් වශයෙන් ඇගේ දියණියට ජේසිකා යන නම තබනවා.
4. හැම්බර්ගර්, පීසා, සහ කොකා කෝලා
2010 වර්ෂයේදී යුනිවර්සල් ස්ටූඩියෝ හි "The Wizarding World of Harry Potter" විවෘත කළා. එය නිර්මාණය කිරීමට වසර ගණනාවක්ම ගත උනා. එහි නිර්මාණ කටයුතු වලදී රෝලීන් දැඩි පාලනයකින් යුතුව එහි නිර්මාණ කටයුතු සඳහා දායක උනා. සාමාන්‍ය තේමා උද්‍යානයක ආහාර ලෙස ලබා ගත හැකි හැම්බර්ගර්, පීසා සහ කොකා කෝලා අළෙවි කරන්නට යුනිවර්සල් ස්ටූඩියෝ වට උවමනා උනත් රෝලින් එයට විරුද්ධ උනා. ඇය එහි ආහාර ලෙස බටර්බියර්, ෂෙපර්ඩ් පයි, මාළු සහ චිප්ස් තෝරාගත්තා.
5. පොත් ප්‍රකාශන සමාගමෙන් ඉවත් වීම.
ඕනෑම ක්ෂේත්‍රයක හිනි පෙත්තට නගින විට මුලදී ඔවුන් සමග සිටි උදව් කල අයව අත්හරින්න වෙන අවස්ථාවන් උදාවෙනවා. ජේ.කේ රෝලින් හැරී පොටර් පළමු පොත ප්‍රකාශයට පත් කරන්න ඉල්ලීම් කලද ගොඩක් පොත් ප්‍රකාශකයින් ප්‍රතික්ශේප කරනවා. එවකට එතරම් ප්‍රසිද්ධියක් උහුලපු නැති පොත් ප්‍රකාශන සමාගමක් වන "ක්‍රිස්ටෝපර් ලිට්ල්" සමාගම, පොත ප්‍රකාශයට පත් කරන්න එකඟ වෙනවා. ඒ අනුව "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර් ස්ටෝන්" පොත 1995 දී ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. එම පොත ජන්ප්‍රිය වීමත් සමග රෝලින් මෙන්ම ලිටිල් සමාගමද මිලියනපතියන් බවට පත්වෙනවා. ඔහු ඇයට, බ්‍රිතාන්‍යයේ දී පොත් අළෙවියෙන් ලැබෙන ආදායමෙන් 15% ක් ද සිය වෙළඳ ආදායමෙන් 20% ද ලබා දෙනවා. එය පොත් අළෙවි ඉතිහාසයේ හොඳම වෙළඳ සබඳතාවය ලෙසත් සැලකෙනවා.
එහෙත් 2011 දී රෝලින් ක්‍රිස්ටෝපර් ලිටිල් සමාගමේ හිටපු හවුල් කරුවෙකු වන නීල් බ්ලෙයාර් ගේ පොත් ප්‍රකාශන සමාගමටද ප්‍රකාශන අයිතිය ලබාදෙනවා. එමෙන්ම පොටර්මෝ හරහා ඊ බුක් අළෙවිය සිදු කරනවා. එයට එරෙහිව "ලිට්ල් " සමාගම නීතිමය පියවර ගන්නවා. අවසානයේදී රෝලින් එම ප්‍රකාශන සමාගමෙන් ඉවත් වෙනවා.
6. 2003 දී ඇගේ පියා සමග අමනාප වෙනවා.
ඇගේ පියා වන පීටර් රෝලින් පිළිබඳ ජේ.කේ රෝලින් දැරුවේ නිහඬ පිළිවෙතක්. ඒ පිළිබඳ ඇය 2013 දී නිව් යෝකර් පුවත් පතට මෙසේ ප්‍රකාශ කර තිබුනා.
" මාත් තාත්තාත් අතර ඒ තරම් සමීප සබඳතාවයක් තිබුනෙ නැහැ. ඇත්තටම එය ඉතා අසීරු කාරණාවක්." එක්තරා සිදුවීමක් නිසා අපි අතර තිබූ සියලු සබඳතාවයන් නතරවුනා. 2000 වර්ෂයේ දී පියවරුන්ගේ දිනයට, ඇය විසින් ඇගේ " හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ෆයර්" පොතේ මුල් පිටපතක් ඇගේ අත්සන යොදා " ඔබගේ කුළුඳුල් දරුවාගෙන් ආදරෙන්" ලෙස සටහන් කොට ඇගේ පියාට තෑගි කරනු ලබනවා. ඔහු එම පොත ඩොලර් 48000 අළෙවි කල නිසා ඇය ඔහු සමඟ තිබූ සබඳතා අත්හරිනවා. 2003 පසු ඇය සිය පියා සමග කතාබස් කොට නැති බව පැවසෙනවා.
7. ඇය තනි මාපියන්ට සහාය දෙන සංවිධානයක සභාපතිවරියයි.
ඇගේ පළමු සැමියාත් සමග තිබූ කෙටි විවාහයෙන් වෙන්වීමෙන් පසු ඇය තනිව දියණියව හදාවඩා ගන්නවා. තනිව දරුවෙකුත් සමග ජීවත් වීමේ අසීරුතාවය දන්නා ඇය තනි දෙමාපියන්ට ඒ කියන්නේ මව හෝ පියා පමනක් දරුවන්ට සිටින සංවිධානයක සභාපතිනිය වී ඔවුනට උදව් කරනවා.
8. ජේ.කේ රෝලින් මානසික අවපීඩනය ට ලක්වූ තැනැත්තියක්.
ඇය කීපවතාවක්ම මානසික අවපීඩනයට ප්‍රතිකාර ලබාගත් බව සන්ඩේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබුනා. "සොසර් ස්ටෝන්" පොත ලියද්දී සහ ඇගේ දියණිය කුඩා අවධියේදී මුහුණ දෙන්නට සිදුවූ අසීරුතා හමුවේ ඇය මානසික අවපීඩනයෙන් පෙළුන බවත්, විසිවන වියේ මැද භාගයේදී තිබූ ආර්ථික අපහසුතා නිසා ඇයට සිය ජීවිතය එපා වූ බවත් ඇය පවසා තිබුනා.
9.කේ අකුර ඇගේ නමේ කොටසක් නෙමෙයි
සාහිත්‍ය ලෝකයේ ඇයව ජේ.කේ රෝලින් යන නමින් හැඳින්නුවට ඇගේ නම ජොඈන් රෝලින්. කේ අකුරෙන් පටන් ගන්න නමක් ඇයට නැහැ. එහෙත් ඇය ඇගේ මිත්තනියගේ නම "කැත්ලින්". මිත්තනියගේ නමින් කේ අකුර අරන් තමයි ඇය සාහිත්‍ය ලෝකයට ජේ.කේ රෝලින් යන නමින් පොත් ලියන්න පටන් ගන්නෙ.
ශීත සෘතුවේදී ලොව විවිධ රටවල් වල විවිධාකාරයේ උත්සව පවත්වනවා. එම උත්සව අතුරෙන් චීනයේ පවත්වන ජාත්‍යන්තර හාර්බින් අයිස් හා හිම මූර්ති උත්සවය ප්‍රධාන තැනක් ගන්නවා. මෙම උත්සවයට තෙමාවන් තුනක් යටතේ උද්‍යාන තුනක් නිර්මාණය කෙරෙනවා. Sun Island International Snow Sculpture Art Expo උද්‍යානයේ හිම මූර්ති ඉදිකෙරෙනවා. Zhanglin Park අයිස් වලින් නිර්මාණය කල ලන්තෑරුම් වලට වෙන් වෙනවා. Harbin Ice and Snow World උද්‍යානයේ අයිස් හා හිම මූර්ති, ප්‍රදර්ශන, විදුලියෙන් ආලෝකමත් කල අයිස් වලින් නිර්මාණය කල ගොඩනැගිලි සහ විවිධ ක්‍රීඩා පැවැත්වෙනවා.
මෙම උත්සවයේ කේන්ද්‍රස්ථානය වන්නේ Ice and snow
උද්‍යානයයි. එය වර්ග මීටර 600,000 ප්‍රමාණයකින් යුතු ලොව විශාලතම අයිස් හා හිම විනෝදාත්මක උද්‍යානයයි. එහි ඉතාමත් අලංකාර අයිස් හා හිම මූර්ති දක්නට ලැබෙනවා. මෙහි විවිධ මූර්ති දෙදාහක් පමණ ප්‍රදර්ශණයට තබා තිබෙනවා. හවස්වන විට මෙම මූර්ති විවිධ වර්ණයෙන් ආලෝක මත් කෙරෙනවා. එවිට විවිධ පැහැයෙන් අලංකෘත වූ විශාල අයිස් නිර්මාණයන් වන මාළිගා, බලකොටු, කුළුණු ආදිය දක්නට ලැබෙනවා. සමහරක් නිර්මාණ තට්ටු කීපයකින් සමන්විත වෙනවා. මෙම නිර්මාණකරුවන් අයිස් යොදාගෙන මෙවන් නිර්මාණ කොහොම කලාද කියලා නරඹන්නන්ට කුහුලක් ඇතිවෙනවලු.
මෙම උත්සවය ආරම්භවෙලා තියෙන්නේ 1985 දී. දෙසැම්බර් මස 24-25 ආරම්භවෙන මෙම උත්සවය පෙබරවාරි මස අන්තිම වනතුරු පැවැත්වෙනවා. නමුත් මෙහි නිල විවෘත කීරීමේ උත්සවය සෑම මසකම ජනවාරි මස පස්වෙනිදා පැවැත්වෙනවා. අයිස් හා හිම සැනකෙළිය, ජාත්‍යන්තර අයිස් මූර්ති නිර්මාණ තරඟාවලිය, අයිස් ලන්තෑරුම් ප්‍රදර්ශනය, හිම මත ලිස්සායාම, හිමයාන, අයිස් හොකී, අයිස් පාපන්දු තරඟ, ස්කේටින් තරඟ, හිම සපත්තු දමා ඇවිදීමේ තරඟ, පිහිනීමේ සහ මාලු බෑමේ තරඟ, චිත්‍ර ප්‍රදර්ශන, ඡායාරූප ප්‍රදර්ශන, නැටුම් සහ ගීත ගායනා තරඟ, වැනි ආකර්ශනීය අංග විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා.
මෙම උත්සවය නරඹන්නට දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිනෙනවා. එමෙන්ම මෙම නිර්මාණ වල ඡායාරූප ගැනීම සඳහා ලොව ප්‍රකට ඡායාරූප ශිල්පීන් විශාල ප්‍රමාණයක්ද පැමිනෙනවා.
මටත් මේ උත්සවය බලන්න යන්න තිබුනා නම් කියල හිතුනා.
අද උදේ, වැඩට එන්න බස් එකට නැගලා ටික දුරක් යද්දී ඩ්‍රයිවර් මහත්තයා බස් එක එලවන ගමන්ම කලබලේ සීඩී ගොඩක් අවුස්සලා අවුස්සලා එකක් තෝරගෙන ප්ලේයර් එකකට දැම්මා. එකත් එකටම මියුසිකල් ශෝ එකක හරි අඬන වැලපෙන සිංදු ටිකක් කියලා හිතුනා. නෑ කවි බණක්.
දුප්පත් එක ඇහැක් අන්ධ් අම්මා කෙනෙක් සැමියා නැතුව පුතෙක් උස් මහත් කරනවා. ටික ටික ලොකු වෙද්දී අම්මා කැතයි කියලා පුතාට ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ අම්මාව එපා වෙනවා . ඉගනගෙන රට ගිහින් විවාහ වෙනවා. අම්මාව අත හරිනවා. අම්මා පුතා හොයන් ගිහාම හිඟන්නියක් කියලා එලව ගන්නවා. අවසානෙදි ගමේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමකට යන ගමන් ගෙදරට යනවා. ගෙදර කඩන් වැටිලා. අම්මා මිය ගිහින්. අසල් වැසියෙක් ලියුමක් ගෙනත් දෙනවා.අම්මා ගෙ එක ඇසක් අන්ධ වෙලා තියෙන්නෙ, පුතා ඉපදෙනකොට එක ඇහැක් අන්ධ වෙලා ඉපදුන නිසා අම්මා එක ඇහැක් පුතාට දීලා. ඔය කතාව මම කොහෙදි හරි කියෙව්වා වගේ මතකයි.
හොඳම වැඩෙ කියන්නේ ටිකක් දුර යද්දී බස් එකේ කට්ටිය මීයට පිම්බා වගේ සද්දයක් නැතුව අහන් ඉන්නවා. ඒ කවි හදවතටම දැනෙනවා. මගෙ ඇස් වලටත් කඳුළු පිරීගෙන එද්දී මම වෙන අතකට හිත යොමුකරන්න උත්සාහ කලාට හරි ගියෙම නෑ. වෙනදා සිංදු ඇහෙද්දී ඇහෙන්නෙ නෑ වගේ ඉන්න පුලුවන් උනාට අද එහෙම බෑ. කොහොම හරි උනපු කඳුළු කම්මුල් දිගේ පෙරලිලා ගියා. ඇත්තටම මට ලැජ්ජ හිතුනා. මම ළඟම හිටගෙන උන්නා ඇන්ටිලා දෙන්නෙක්. අර කවි ඇහිලා කඳුලුත් එනවා කියලා මාව පෙන්නලා ඒ දෙන්නා කතා උනා. මම බහිනකනුත් කවි ඉවර වෙලා තිබුනෙ නෑ. මම අනිත් වාඩි වෙලා උන්න අය දිහාත් බහින්න යද්දී හොරෙන් බැලුවා.ගොඩක් අයගේ ඇස් අග කඳුළු බිංදු එකතු වෙලා තිබුනා. වෙනදාට පුංචි දේටත් මගීන්ට කෑගහන කොන්දොස්තර ගෙන් සද්දයක් නෑ.
මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කතා කරන්න සමහර නිර්මාණ වලට පුළුවන් නේද කියලා මට හිතුනා.
දියුණු රටවල් වල මෙන්ම නොදියුනු රටවල් වලද, ප්‍රධාන නගර ආශ්‍රිතව පදිංචියට සුදුසු නිවසක් හොයාගන්න එක තරමක් දුෂ්කර කාර්යයක්. නිවාස තිබුනත් ඒවායේ බදු , කුලී මුදල් ගොඩක් අයට ඔරොත්තු දෙන්නෙ නෑ. මිලට ගන්න ගියත් ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නෙ. මධ්‍යම පාන්තිකයින්ට තමන්ගේම නිවහනක් ප්‍රධාන නගරයකින් මිලට ගැනීම හීනයක්. ලෝකයේ බොහෝ රටවල මෙයට පිළියම් වශයෙන් තට්ටු නිවාස ගොඩ නැගුනා. ඊට අමතරව අපේ රටේ නැතත් වෙන රටවල් වල මේ සඳහා විසඳුම් හොයන්න, අඩු වියදමකින් නිවාස නිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ උත්සාහ කරනවා. මම මේ කියන්න යන්නෙත් නිවාස ගැටළුවට විසඳුමක් ලෙස නිර්මාණය උන නිවාසයක් පිළිබඳව.
හොංකොං කියන්නේ ගොඩක් ජනාකීර්ණ රටක්. හොංකොං වලින් පදිංචියට සුදුසු නිවසක් කුලියට ගන්න එක ඒතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. හොඳ තත්ත්වයේ එක නිදන කාමරයක් සහිත නිවසකත් මාසික කුළිය ඩොලර් 2100 පමන වෙනවා. මෙවැනි මුදලක් දරගන්න බැරි නිසා ගොඩක් මිනිස්සු ඉතා අඩු මුදලකට කුලියට ගන්න පුලුවන් කුඩා කාමර වල ජීවත් වෙනවා . මේවා කොෆීන් කියුබිකල් (Coffin Cubicle) නමින් හඳුන්වනවා.( ඒ ගැන විස්තරයක් මම පසුව ලියන්නම්.)
ජේම්ස් ලෝ සය්බටෙක්චර් (James Law Cybertecture) සමාගම නිවාස ගැටළුවට පිළියමක් විදිහට පහසුකම් සහිත කුඩා නිවාසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි Opod Tube House. කොන්ක්‍රීට් වතුර නලයක් පහසුකම් සහිත නිවසක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මෙම කුඩා නිවාස අනුරුව නිර්මාණය කොට තිබෙන්නේ. වර්ග අඩි දහසක විෂ්කම්භයකින් සහ අඩි අටක් පළලැති මේ නිවසේ අභ්‍යන්තරය තනි පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ජීවත් විය හැකි පහසුකම් වලින් සමන්විතයි. අවශ්‍ය විට දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් ලෙස දිග හරින්න පුලුවන් සෝෆාවක්, මයික්‍රොවේව් උඳුනක් සහ කුඩා ශීතකරණයක් මෙන්ම පහසුකම් සහිත නාන කාමරයකින් මෙම නිවස සමන්විතයි. ඇතුලත සුදු වර්ණය ආලේප කර ඇති නිසා ඉඩකඩ වැඩිපුර පෙන්වන බව මෙහි නිර්මාණකරුවෝ පවසනවා. අවශ්‍ය විටක ජනෙලයක් විදිහට කොටසක් විවෘත කරන්න පුලුවන් රවුම් වීදුරු දොර නිසා හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය මෙම නිවසට ලැබෙනවා. එමෙන්ම මෙම දොර ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයකින් අරින්න වහන්න පුලුවන් අන්දමට නිර්මාණය කොට තිබෙනවා.
මෙහි නිර්මාණ කරුවන් පවසන ආකාරයට මෙම කුඩා නිවාස, සාමාන්‍ය නිවාසයක කුලී මුදල දරාගන්න අපහසු තරුණ තරුණියන්ට මෙන්ම රැකියාවක් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිනෙන අයට ,වසරකට දෙකකට ජීවත් වීමට සුදුසුයි. මෙහි රවු හැඩය නිසා ගොඩනැගිල්ලක් ඉදිකරන්නට නොහැකි කුඩා ඉඩක උනත් ස්ථානගත කරන්න පුලුවන්. අවශ්‍යනම් වෙනත් තැනකට රැගෙන යන්නත් පුලුවන්. ටොන් විසිදෙකක් පමන බරැති මේ ටියුබ් නිවාස හිස් ඉඩක තැනපත් කරන්න යන වියදමත් ඉතා අඩුයි.
මෙහි නිෂ්පාදන වියදම ඩොලර් 15000 පමන වෙනවා. මෙම නිවසක් ඩොලර් 400 පමන මුදලකට කුලියට දෙන්න පුලුවන් බව නිර්මාණකරුවෝ පවසනවා.
මේවගේ නිවාස අපේ රටට උනත් ගැලපෙනවා. කර්මාන්තශාලා ආශ්‍රිතව, විශ්ව විද්‍යාල ආශ්‍රිතව අඩු පහසුකම් සහිත බෝඩිම් කාමර වල ඉන්න අයට උනත් හොඳ විකල්පයක්. මටත් ආසා හිතුනා මේවගේ ගෙදරකට. ඉන්න බෑ කියලා හිතුනොත් රෝල් කරගෙන කැමති දිහාකට යන එක විතරනෙ තියෙන්නෙ.
පසුගිය වසරේ තිබුනු සමීක්ෂණයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලොව ධනවත් රටවල් අතුරෙන් නව වෙනි ස්ථානයට පත්වුනා. එමිර් රාජ්‍ය විටින් වීට අපූරු නිර්මාණ ලොවට දායාද කරනවා. ලොව උසම ගොඩනැගිල්ල වන බුර්ජු කලීෆා ගොඩනැගිල්ල,එහිම නිර්මාණය කර ඇති ලොව උසම කුළුණ වන ස්කයිස්ක්‍රේපර් , ලොව විශාලතම සුපිරි වෙළඳ සැල් සංකීර්ණය වන ඩුබායි මෝල්, රියදුරන් රහිතව ධාවනය වන ලොව දිගම මෙට්‍රෝ දුම්‍රිය පද්ධතියට එමීර් රාජ්‍ය හිමිකම් කියනවා. ඔවුන්ගේ අලුත්ම නිර්මාණය තමයි "ළොව විශාලතම පිංතූර රාමුව". එය ඩුබායි ෆ්‍රේම් ලෙස නම් කර තිබෙනවා.
මෙම රාමුව නිර්මාණයට ඩිරාම් මිලියන එකසිය හැටක් වැයවී තිබෙනවා. මෙය මෙක්සිකානු ජාතික ෆනැන්ඩෝ ඩෙනිස් නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්. මීටර් එකසිය පනහක උසින් යුත් කුළුණු දෙකක් මීටර් සීයක විෂ්කම්භය ඇති වීදුරු පාලමකින් යාකොට මෙම රාමුව නිර්මාණය කර තිබෙනවා. මෙය රන් පැහැති තහඩු වලින් ආවරණය කොට ඇති නිසා දිවා කාලයේ සූර්යාලෝකය ලැබුනු විට රන් පැහැයෙන් දිදුලමින් අලංකාර දසුනක් මවනවා, නැරඹුම් මැදිරියේ සිට ඩුබායි නගරය සම්පූර්ණයෙන් නරඹන්න පුලුවන්. මෙහි දකුණු පස සිට බලන විට ස්කයිස්ක්‍රේපර් ද අනෙක් පසින් පැරණි ඩුබායි නගරයද දර්ශණය වෙනවා. මෙහි බිම් මහලෙහි තිබෙන කෞතුකාගාරයෙන් ධීවර ගම්මානයක්ව තිබූ ඩුබායි නගරය වර්තමානයේ පවතින තත්වයට ක්‍රමයෙන් නිර්මාණය වූ අන්දම දැක ගන්න පුලුවන්. ඒ වගේම වසර 2050 වන විට ඩුබායි නගරය තිබෙන ආකාරයද වීඩියෝ දර්ශන මගින් දකින්නට අවස්ථාව ලැබෙනවා. මෙය 2020 දී පැවැත්වීමට නියමිත එක්ස්ෆෝ 2020 ව්‍යාපාරික සමුලුවේ ලෝගෝ එක ලෙස භාවිතා කරන්නට තීරණය කොට තිබෙනවා.
ඩුබායි නගරයේ සංචාරක ස්ථාන අතුරෙන් මෙම රාමුව, අනෙක්වාට වඩා ආකර්ෂණය දිනාගනු ඇතැයි අනුමාන කරනවා. රාත්‍රියේදී විවිධ වර්ණයේ නියෝන් එළි මගින් මෙය අලංකෘත වෙනවා. දැනටමත් දෙස් විදෙස් ආකර්ෂණය දිනා ඇති ඩුබායි ෆ්‍රේම් ඉදිරිපිටට වී විවිධ ඉරියව් වලින් ඡායාරූප ගන්න සංචාරකයෝ වැඩි කැමත්තක් දක්වන බව සඳහන්.