Tuesday, May 14, 2019

නොපෙනෙන ගුණ

                                                                       අරමුණක් ඉලක්කයක් නැතුව අඩුපාඩු ගොඩක් මැද්දේ ගෙවෙන ජීවිතේ ගැන හිත හිතා තිලිනි වත්ත පුරා ඇවිද්දේ හිත ටිකක් නිදහස් වෙයි කියලා හිතාගෙන. තිලිනි පස්සෙන් ආපු, රොකීව දැකලා බය උන ලේන්නු තරඟෙට කෑ ගහනවා. ඒ මැද්දට දෙමලිච්චෝ රංචුවකුත් එකතුවෙලා එකම කරච්චලයක්. මදැයි හිත නිදහස් කරගන්න කියලා ආවා මෙයාලගේ කරච්චලේ මගෙ ඔලුව තවත් අවුල් කරනවා. රොකී ගහක් උඩ ඉන්න ලේනෙකුට කුරුමානම. අල්ලයි මාව කියනා බැල්මෙන් ලේනා රොකී දිහා බලාගෙන කෑ ගහනවා. රොකියට ඕන එකක් කරගන්න කියලා ටිකක් ඉස්සරහට යද්දී එක පෙළට තියන බෙලි ගස් තුන වටේටම බෙලි වැටිලා. ගොඩක් ගහ යටම නරක් වෙන්නත් ඇවිත්. 

                              "බෙලිගෙඩියක් හොයාගන්න විඳපු දුකක්. මේ ගෙඩියත් ගත්තේ රු 200/= කට.  රෝහල් ගත වෙලා ඉන්න තාත්තාට එහා ඇඳේ ඉඳපු රෝගියා බලන්න ආව කාන්තාවක් කියපු කතාවක් තිලිනිට මතක් නා."

"අපරාදේ"

             තිලිනි වැටිලා තිබුන බෙලි ගෙඩි ටික අහුලලා ගොඩක් ගැහුවා. හොඳ තත්වෙ බෙලි ගෙඩි  දහ අටක් තිබුනා. මේ ටික පළතුරු කඩේට දුන්නා නම් සල්ලි ගන්න තිබුනා. ගෙදරින් කූඩයක් අරන් ඇවිත් තිලිනි බෙලි ගෙඩි ටිකත් අරන් ගෙදර ගියේ හවස තාත්තා බලන්න රෝහලට යනකොට පළතුරු කඩේට දීලා මුදල් ගන්න ඕන කියලා හිතාගෙන.
හෙට තාත්තාට අරන් යන්න බෙලි ගෙඩියක් අරන් තියලා තිලිනි ඉතිරි ගෙඩි ටික කවරෙකට දැම්මා.

"කාටද ළමයෝ මෙච්චර බෙලි?"

"විකුනන්න. "

"ලැජ්ජ නැද්ද ළමයෝ මේවා උස්සන් ගිහින් විකුණන්න"

"මොකට ලැජ්ජා වෙනවද අම්මා තාත්තටම වියදම් කරලා අතේ සතේ නැතුව ඉන්නකොට මේ ටික දීලා කීයක් හරි ගන්න එකත් වටිනවනේ. අම්මා ඉන්නකො මමනෙ අරන් යන්නේ."


" අනේ ඉතින් මට මොකද ඔයාට හොඳ නම්"

            තිලිනිට පළතුරු කඩෙන් බෙලි වලට රුපියල් අටසීයක් ලැබුනා. තිලිනි ඒ තරම් මුදලක් බලාපොරොත්තු උනෙත් නැහැ. තිලිනි ගේ ගණු දෙණුව අවසන් වෙනකන් බලාගෙන හිටපු අංකල් කෙනෙක් බෙලි ගෙඩි දෙක තුනක් තෝරගන්න ගමන් බෙලි ගැන ලොකු විස්තරයෙකුත් කලා.

  බෙලි වල ඇති ඖෂධීය ගුණය ඉතාමත් ඉහලයි.


  •  ඉදුනු බෙලි ගෙඩිය පළතුරක් ලෙසට මෙන්ම ගසේ පංචාගයම ඖෂධ වශයෙන් ගනී. 
  • ඉදුනු බෙලි මදය සුරා ගෙන කෑමටද, පානයක් වශයෙන්ද සකස්කරගත හැක. 
  • අමු බෙලි තම්බා ආහාරයට ගත හැකිය.
  •  බෙලි මල් මෙන්ම බෙලි කටු ද, බෙලි ගැට ද වියලා, තම්බා පානයක් ලෙස ගනී. මේ දෙකම අතිශය ගුණ දායකය. 
  • සෙම් ගතිය, නහයේ බර ගතිය දුරු කිරීමට දුම් ඇල්ලීම සඳහා බෙලි කොළ භාවිත කරයි. 
  • බෙලි  ආහාර මාර්ගයේ රෝගී  තත්ත්ව වලට ගුණදායකයි.
  • බඩ පිපුම පාලනය කරයි.
  • මල බද්ධය දුරු කරයි.
  • අර්ශස් රෝගය සඳහා ගුණදායකයි.
  • ශරීරය සිසිල් කරන පානයක් නිසා නිතර බෙලි මල් පානයෙන් ශරීර සුන්දරත්වයද වැඩි වන බවද කියනවා.
මේ තරම් ගුණ තියන පළතුරක්නේ අපි ඔහේ ඉදිලා වැටිලා යන්න දීලා බලන් ඉන්නේ. අපට අගයක් නෑ.. කියලා හිතන ගමන්  තිලිනි රෝහලට ගියා.
තාත්තා ට ෆාමසියෙන් ගෙනත් දෙන්න කියලා නර්ස් කෙනෙක් දුන්න බෙහෙත් වර්ගයක් ලියලා දුන්නා. ඒකට බෙලි විකුණලා ගත්තු මුදල් සෑහුනා. මේ විදිහට මුදල් කරගන්න පුලුවන් අපතේ යන කොච්චර දේවල් අපේ ඉඩමේ තියනවද කියලා තිලිනිට හිතුනා.




Tuesday, April 23, 2019

මිනිසා කොයිබටද

                                                    
         
                                  අඳුරු ඉරිදාවෙන් පස්සේ වේදනාකාරී මූසල දවස් කීපයක් ගෙවිලා ගියා. නිදාගන්න ගියත් කන්න බොන්න ගියත් වෙච්ච විනාශය මතක් වෙලා හිත කීරි ගැහෙනවා. සිද්ද උනේ ආයේ කවමදාවත් සිදු නොවෙයි කියලා හිතපු දෙයක්. අවුරුදු දහයක් නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් උන අපට මේ අත්දැකීම නුහුරුයි වගේ. බස් එකේ කෝච්චියේ යනකොට සෙවිල්ලෙන් ඉන්න එක මග තොටේදී දකින දකින කෙනා දිහා සැකෙන් බලන්න වෙන එක මොනතරම් අසීරුද. හිතට හරිම වේදනාවක්. අපිට ආයෙමත් වැරදුනේ කොතනද කියලා හිතෙනවා.
                                      අපි හැමවෙලේම අනිත් මිනිස්සුන්ට සාමය සංහිඳියාවේ දෑත දිගු කරනකොට ඔවුන්ගෙන් කොටසක් අපිට  බෝම්බ දික් කරයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. ත්‍රස්තවාදය, අන්තවාදය, ආගමට මුවා වෙලා කරන විනාශය බරපතලයි. මේ අන්තවාදය නිසා සමහර රටවල් අන්ත අසරණ වෙලා. මිනිස්සු මරලා මිනිස්සු අසරණ කරලා ලබාගන්න තියන විමුක්තිය මොකක්ද කියලා මටනම් තේරෙන්නෙ නෑ.
                                  මනුෂ්‍ය ආත්මයක් ලබපු අපි මේ ලෝකෙට දෙන්න ඕන හොඳ විතරයි. මිනිස්සුන්ට, පරිසරයට, සොබාදහමට යහපත කරලා හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපේ යුතුකම වියයුත්තේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද?
                                  ආගමක් නිසා මිනිස්සු හික්මීම ලබනවා. කිසිම ආගමක සඳහන් වෙලා නෑ ඔවුන්ගේ ආගම හැර අනිත් ආගම් අදහන්න එපා කියලා. එහෙනම් ඇයි මේ ආගමික අන්තවාදයක්. තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගම විතරක් මෙලොව රැඳෙන්න ඕනා කියන හැඟීමක්. මේවාට ඔවුන් ළඟ පිළිතුරු නෑ. මනුෂ්‍ය ශරීරයක් ලැබුවාට හිතන්න මොළයක් වත් හොඳ හදවතක්වත් දීලා නෑ. 

Friday, April 5, 2019

මුදල් පසුම්බිය නැති උනොත්


ඊයේ හවස ගෙදර යන්න මම නැගපු බස් එකේ වැඩි සෙනගක් හිටියේ නැහැ. මටත් බස් එකට නැගලා බස් හෝල්ට් දෙකක් විතර පහු වෙනකොට වාඩි වෙන්න ලැබුනා. මේ දවස් වල තියන අධික උණුසුමයි, විදුලි කප්පාදුවයි, සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට ඇතිවෙන කලබලයයි එක්ක බස් එකේ මිනිස්සු උන්නෙත් හේබාල ගිහින්. බස් එක රද්දොළුගම ස්කීම් එකේ බස්ටෑන්ඩ් එකේ නතර කර්ලා ටික වෙලාවක් තිබුනා. එතකොට තමයි පිරිමි ළමයෙක් බස් එකේ ඉස්සරහා දොරෙන් නැගලා කඩාගෙන බිඳගෙන පිටිපස්සට දිව්වේ. ඒ වෙද්දී සීට් ගණනටවත් සෙනග උන්නෙ නැහැ. කොන්දොස්තරත් ඒත් එක්කම පිටිපස්සට දිව්වා. ඒ ළමයගේ පර්ස් එක නැතිවෙලා. ඉතින් ඔක්කොම එකතුවෙලා පර්ස් එක හෙව්වට තිබුනෙ නෑ.
               දුකම හිතෙන වැඩේ ඒ ළමයට කතාකරන්න බැහැ. ඉතින් එයා අංග චලනයෙන් තමයි එයාගේ දුක කිව්වේ. කොහොමහරි පර්ස් එක තිබුනෙ නැහැ. කොන්දොස්තර නම් කිව්වා පර්ස් එක ඇදලා එයාට සල්ලි දුන්න වග මතක බව. එතනින් එහාට ඉතින් එයා මගීන් ගැන හොයලා බලන්නෙ නැති බව. ඒ ළමයා බැස්සට පස්සේ කීප දෙනෙක් නැග්ගා බැස්සනෙ.
            පව්. සාමාන්‍ය මනුස්සයෙකුට වගේත් නෙමේ ඒ වගේ කෙනෙකුගේ පර්ස් එකක් නැති උනාම කරදරයි. ඒක ඇතුලේ එයාගේ මොන මොනවා තිබුනද දන්නෙ නෑනෙ. හැඳුනුම් පත් , බැංකු කාඩ් ආයෙ හදන්න ගිහාම සෑහෙන කට්ටක් කන්න වෙනවා.
          උත්සව සමය නිසා පික් පොකට් කාරයෝ වැඩියි. කාරයෝ විතරක් නෙමේ කාරියොත් ඉන්නවනේ. මේ දවස් වල බෝනස් දෙනවා, අවුරුද්දට බඩු ගන්න හෙම ඕන නිසා පසුම්බි වල වැඩිපුර මුදල් තිබෙන බවත් ඔවුන් දන්නවා. ඒක නිසා මේ ලියන මමත් කියවන ඔබත් මෙ දවස් වල මුදල් පසුම්බි පරිස්සම් කරගන්න වගබලා ගන්න මතක තියාගන්න ඕන. අතේ තියන සතේම පසුම්බියේ දාගෙන යන්න එපා. බෑග් එකක් පාවිච්චි කරනවා නම් ආරක්ෂිතව දෙතුන් තැනක තියාගන්න.
              මෑතකදී මගේ මිතුරියකගේ මුදල් පසුම්බිය නැති උනා. ඒත් බස් එකේදි. ඇයගේ වටිනා කියන සබ්බ සකලමනාවම තිබිලා තියෙන්නේ ඒ පසුම්බියේ. හැඳුනුම් පත්, බැංකු කාඩ්, පාස් පොත් ඔය වගේ ගොඩක් දේවල් එක්ක මුදලින් වටිනාකම මනින්න බැරි අම්මා අරන් දීපු කොන්තෙකුත් තිබිලා. එයාට ඒවා ආයේ අලුතෙන් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න උනා. පසුම්බියක් ඇහුලුවත් අදාල පුද්ගලයා හොයලා බාර දෙන්නේ එහෙමත් කෙනෙක්. අඩුම තරමේ ඒකේ තිබුන දේවල් ටික කවරෙකට දාලා (මුදල් ඕන නෑ කියමුකො ) තැපැල් පෙට්ටියකට වත් දාන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. ඒ නිසා නැති උනොත් ඒවා අපට ලැබෙන්න තිබෙන ප්‍රතිශතය 0.1% වඩා අඩුයි. ඔන්න ඒ වෙලාවේ තමයි මමත් වටිනා කියන දේවල් සේරම පහසුවට පසුම්බීයේ දාගත්තට ඒවා නැති උනොත් වෙන පාඩුව හා අලුතෙන් ගන්න ගතවෙන කාලය ගැන හිතුවේ..ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.

Wednesday, April 3, 2019

ජීවිතය සහ රැකියාව


බස් එකේ යද්දී දුරකථන සංවාදයක් (අනිත් අයටත් ඇහෙන්න කතා කරපු නිසා) ඇසුනු නිසා ඒ ඔස්සේ ගෙතුන කතාවක්...හිතන්නට යමක් , යමක් නෙමේ බොහෝ දේවල් ඒ සංවාදය ඇතුලේ තිබුනා.
ඔහු යම්කිසි ආයතනයක අළෙවි කලමණාකරුවෙක්. සේවා කාලය වසර අටක්. ඔහුට අනුව එම සේවා කාලය තුල ඔහු යටතේ සේවය කල අනෙකුත් සේවකයින් සමග උපරිමයටම කැප වෙලා ආයතනයට වඩාත් හොඳ ආදායමක් ලබාදුන් අයෙක්. ඒත් පහුගිය වසර අගභාගය වෙනකොට රටේ පවතින ආර්ථික මට්ටමත් එක්ක බොහෝ ව්‍යාපාර වල අළෙවිය අඩුවෙනවා. මේ ආයතනයටත් එම කලදසාවම ලබලා. හොඳටම ලාබ ලබපු ආයතනයක ආදායම අඩු වෙනකොට ඒ ගැන හොයා බලපු ආයතනයේ කළමනාකාරීත්වය දෝෂාරෝපණය කරන්නේ අළෙවි අංශයට. රටේ ආර්ථික උද්දමනයත් එක්ක මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීම් සීමා කර ඇතිබව ආයතන ප්‍රධානීන් වටහා ගන්නේ නෑ වගේම මෙතෙක් කලක් ඔහුගෙන් ආයතනය ඉටුකල සේවාව ඔවුන්ට වැදගත් වෙන්නෙත් නෑ..ඔය හේතූන් නිසා ඇතිවූ කලකිරීමෙන් ඔහු සේවයෙන් ඉවත් වෙනවා.
මෙතනින්න් එහාට ඒ දුරකථන සංවාදය ඒ විදිහටම දාන්නම්
""මට දුක රස්සාව නැති උන එකට නෙමේ මචං..රස්සාව නිසා නැතිවෙලා තියන දේවල් වලට.."
"උදේට පුතාව නර්සරි යවන්න ලෑස්ති කරන්න හදනකොට තාත්තිට බෑ කියලා දුවන්නේ වයිෆ් ළඟට"
"දුවට හෝම් වර්ක් කියලා දෙන්න හදනකොට අම්මී වැඩ ඉවර කරලා ඇවිත් කියලා දෙයි කියනවා.. කොටින්ම කිව්වොත් අම්මා ට බෙහෙත් ගේන්න යන්නත් මට එන්න එපා වයිෆ් ව එක්කන් යන්නම් කිව්වනෙ"
"අපේ ගෙදර කිසිම කෙනෙක් කිසිම උදව්වක් මගෙන් ඉල්ලන්නෙ නෑ..අඩුම තරමේ ගෙදර ඉන්න බල්ලා පූසාවත් මගෙත් එක්ක එකතු නෑ..රස්සාව හින්දා මම මේ මිනිස්ස්න්ගෙන් කොච්චර නම් දුරස් වෙලාද?"
"උඹට කියන්න මචං..අපේ නංගිලගේ ගෙදර දානයක් තිබිලා එහේ ගියා. අපේ අක්කගේ මහත්තයා අනිත් නෑදෑයො බැහැලා වැඩ. අරක ගේන්න යමු ,මේක මෙහෙම කරමු..කියලා වැඩ. ඒ එක්කෙනෙක්ටවත් මම උන්නද කියලවත් ගානක් නෑ. ඒ මිනිස්සුන්ට මම අමුත්තෙක්. "
අපි අපේ සේවා ස්ථානයට අවංක වෙන්න ඕන. අපේ රාජකාරිය නිවැරදිව කැපවීමෙන් කරන්නත් ඕන. ඒත් රාජකාරිය ජීවිතේම කරගත්තම කවදාහරි අපෙන් ගිලිහෙන බැඳීම් දිහා බලාගෙන සුසුම් හෙලන්න වෙන බවත් මතක තියාගන්න ඕන.
මටත් මේ ටිකම වගේ සිද්දවේගෙන එනවා නේද කියලා හිතුනා.
ගොඩක් වෙලාවට ආයතනයකට අපේ වටිනාකම තියෙන්නේ ඔවුන්ට අපෙන් ලාභයක් තියනකන් විතරයි. ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙනවටත් වඩා අපෙන් ඔවුන්ට සේවයක් වෙනවානම් පමනයි. අපෙන් ඔවුන් ලද සේවාවේ ගුණාත්මක බව යම් හේතුවකින් අඩු උනොත් (අපේ වරදක් නොවී අපට පාලනය කරන්නට නොහැකි යම් කාරණාවකදී උනත්) අපි අපේ සේවා කාලය තුල පෙර කල දේවල් ඔවුන්ට ඒතනින් එහාට වැදගත් වෙන්නේ නෑ. අපි මෙහෙමයි කලේ' අපි කොච්චර මහන්සි වෙලා වැඩ කලාද, අපි අපි ගැනවත් නොහිතා මේකට නැහුනා, මහන්සියේ තරමට වැටුපක් වත් ගත්තේ නෑ, ඔය වගේ දේවල් ඔවුන්ට නිකම්නම් වචන පමනයි..
ඒ නිසා අපේ පෞද්ගලික ජීවිතයයි, අපිට සමීප අපේ කියන අයයි අමතක කරලා රැකියාව ජීවිතේ කරගත්තොත් අවසානයට ඉතුරු වෙන්නේ කලකිරීම් සහ සිත් රිදීම් පමනයි. ඒ නිසා රාජකාරී ජීවිතයි පෞද්ගලික ජීවිතයයි සමබර කරගෙන නොගියොත් මම කලින් කිව්ව පුද්ගලයට වගේ ගිලිහී ගිය බැඳීම් දිහා බලාගෙන දුක් වෙන්න පසුතැවෙන්න සිද්ද වෙයි.

Tuesday, March 12, 2019

පෝස්ටර් වසංගතය

යාළුවෙක් මට පිංතූර කීපයක් අරන් එව්වා. ඔයා ලියනවනේ මේ ගැනත් මොනවාහරි ලියන්න කියලා ඉල්ලීමක් කලා. 
         එයා කියන විදිහට මේ අම්මා පාර සුද්ද කරලා අතු ගාලා කුණු එකතු කරන ගමන් හැමදාම මේ තාප්පයේ අලවල තියන පෝස්ටර් ගලනවනවලු. පහුවදාට ආයෙමත් අලවලාලු. ඉතින්. ඉතින් ගිණි අවුවේ මේ පෝස්ටර් ගලවන එක එයාගේ දෛනික රාජකාරියේ කොටසක්.
      අපේ රටේ පෝස්ටර් කියන්නේ වසංගතයක්. රට පාලනට කරන දේශපාලකයන්ගේ ඉඳන් ටියුෂන් ගුරුවරයා දක්වා පෝස්ටර් අලවනවා. එකක් දෙකක් නෙමේ. එකම පෝස්ටර් එක තාප්පෙ පුරාම අලවනවා. මිනිස්සුන්ට සමී
ප වෙන්න ප්‍රචාරක මාධ්‍යක් විදිහට පෝස්ටර් භාවිතා කලාට මේ වගේ අසරණ මිනිස්සු ඒ නිසා මොනතරම් දුක් විඳිනවද. අනිත් එක පරිසරය මොනතරම් අවලස්සන වෙනවද. නගර සභාවෙන් කරන්න ඕනා දවස ගානේ මේ මිනිස්සු ලව්වා පෝස්ටර් ගලවන එක නෙමේ පොස්ටර් අලවන එක නතර කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න එක.