Monday, October 14, 2019

ඈත දුර ඈත


පසුගිය වසරේ දැසැම්බරයේ සිට ගන්නට පෙරුමු පිරූ, මා යන එකම අවස්ථාවකදීවත් පොත් සාප්පුව නොතිබූ "ඈත දුර ඈත" පොත් ප්රදර්ශනයේදී හමුවුනි.
ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මියගේ "සුවඳ තොටු පොළ" හරහා දෙතුන් වතාවක්ම හොං කොං දේශය පුරා සංචාරය කල මට "ඈත දුර ඈත" හරහා හොංකොං ජීවිත වලට එබෙන්නට ඉඩ ලැබුනි.
වසර එකොළහක් පුරා එකට ජීවත් වූ පෙම්වතා වංචාවෙන් වෙනත් කාන්තාවක් හා ගිය පසු ඇතිවන මානසික අපහසුතාවය කොතරම්දැයි නමක් සඳහන් නොවන කතා නායිකාව හරහා අත්විඳින්නට ලැබුනි. මිනිසුන් කාර්යබහුල වන්නට වන්නට ඔවුන්ගේ ජීවිත පීඩනයට ලක්වන අතර සිය පවුල හිතවතුන් සමග හිතවත් කම් පවත්වා ගනිමින් ජීවිතය ගෙනයාම පහසු නැත. එයින් මිදීමට සංගීතය, සමාජ ශාලා මෙන්ම තාවකාලික සම්භන්දතාද බොහෝ දෙනා ඉවහල් කරගනී. එම සංස්කෘතිය ලංකාවට තවමත් නුහුරු වුවද නැතුවාද නොවේ.
ඇය බොහෝ ශක්තිමත්ය. ඇගේ රැකියාවේ උපරිමයටම ගොස් ඇත. ආර්ථිකව ශක්තිමත්ය. සැබවින්ම ඇය ශක්තිමත් ගැහැණියකි. එහෙත් පෙම්වතා හැරයාමෙන් පසු පිරිමින් සමග ස්ථිර සබඳතාවයකට යන්නට ඇයට හිත් නොදෙන්නේ ඔවුන්ගේ ගතිගුණ නිසාම විය යුතුය. ඇයව වර්ණනා කිරීමෙන් හෝ ඇයට වඩාත් ලංවීමට උත්සාහ කිරීමෙන් හෝ ඇයට ගොඩක් ආදරය කරනවග සමීප වග පැවසීමෙන් හෝ ඇගේ හිත දිනාගත නොහැක. එය බහුතරයක් ගැහැණුන්ගේ ස්වභාවයයි. ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පිරිමින් වටහා ගන්නේ නැත.
අපේක්ෂා නොකළ අවසානයකට ප්රීතිමත් අවසානයකට ඇය අපව ගෙනයයි. ඒ වගේම මෙහි Food Imagery සිංහල වචනය ආහාර නිරූපණයට (හරිද මන්දා) මා බොහෝ කැමැත්තෙමි. බොහොමයක් ආහාර අපට ආගන්තුක නිසා ගූගල් සහය යොදා සොයා බලන්නට සිත්විය. බොහෝ කැමැත්තෙන් කියවූ පොතක් බව නොකියාම බැරිය.🥰🥰🥰

රත් වරලැති ලිය

                              

         තුර්කියේ ප්‍රේමය හා පළිගැනීම පිළිබඳ සමකාලීන කතන්දරයක් මුල් බැසගෙන ඇත්තේ පැට්‍රිසයිඩ් හා මිනීමැරීම් පිළිබඳ පුරාණ මිථ්‍යා මතවලිනි. නොබෙල් ත්‍යාගලාභී ඔර්හාන් පමුක් සිය 10 වන  නවකතාව වන රත් වරලැති ළිය තුළ ඒත්තු ගන්වන්නට උත්සාහ ගන්නේ ඒ පිළිබඳව විය යුතුය. ආධිපත්‍යය සහ තරඟකාරී මිථ්‍යාවන් දෙක පැමිණෙන්නේ පුරාණ ග්‍රීසියෙන් සහ පර්සියාවෙන් ය. (අද ග්‍රීසිය සහ ඉරානය තුර්කියේ බටහිර හා නැගෙනහිර අසල්වැසි රටවල් ය) පුතා නොදැනුවත්වම පියා මරා දමන සොෆොක්ලීස්ගේ ඊඩිපස් රෙක්ස් හි ඊඩිපල් මිථ්‍යාව සහ ෆර්ඩොව්සිගේ ෂහ්නාමේහි රොස්ටම් සහ සොහ්රාබ්ගේ පුරාවෘත්තය , පියා නොදැනුවත්වම පුතා මරා දමයි.                                             සම්ප්‍රදාය හා නූතනත්වය, නැගෙනහිර / බටහිර ගැටුම, ඉස්ලාම් සහ ලෞකිකවාදය සහ සමාජවාදය හා ධනවාදය පිළිබඳ පරම්පරාගත උපමා ලෙස මිථ්‍යාවන් කියවිය හැකිය.නමුත් රත් වරලැති ලිය, එය පියා සහ පුතු අතර ගැටුමක පැටලී සිටියද, කාන්තාවකගේ කතාවක් යැයි මට සිතේ.
                 ඊඩිපස් වැනි චරිත  “පියවරුන්ට” එරෙහිව අරගල කරයි, පමුක් ඔවුන් පරාජය කර  සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරයි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික (ඔටෝමාන්-ඉස්ලාමීය) පියාගේ අවතාරය ලෞකික නූතන පුත්‍රයා සහ ප්‍රධාන චරිතය අතර හොල්මන් කරයි.
            රත් වරලැති ලිය කොටස් තුනකට වෙන් කර ඇත. ඉස්ලාමීය පියා (මහමුට් / පළමු කොටස), ලෞකික පුත්‍රයා (ජෙම් / දෙවන කොටස) සහ ස්ත්‍රීවාදී කාන්තාව (ගොල්චිහාන් / තුන්වන කොටස).
                     පළමුවන කොටස 1980 දශකයේ දී නව යොවුන් වියේ ප්‍රධාන චරිතයක් වන ජෙම් ගේ අත්දැකීම් විස්තර කරයි. ඔහු අන්ගරෙන් නගරයේ ළිං කැණීම් කරන්නෙකුගේ සහයකයෙකු ලෙස කටයුතු කරයි. ළිං කණින්නා මහමුට්, ජෙම් ට පියෙකු ලෙස කටයුතු කරයි. මහන්සි වී වැඩ කොට විවේක ගන්නා විට කුරානයේ කතා කියා දෙයි. මේ අතර රතු වර්ණයෙන් කෙස් වර්ණ ගැන්වූ කාන්තාවක් ජෙම් ගේ සිත පැහැරගනී. රතු හිසකෙස් ඇති කාන්තාව  සංචාරක නාට්‍ය කණ්ඩායමක ලිබර්ටයින් සාමාජිකාවක් වන අතර, ඔහුට වඩා වැඩිමහල් ඇය සමග ජෙම් යහන්ගත වෙයි. 
                ළිඳ කැනීමේදී වැරදීමකින් බාල්දිය ළිඳට වැටීමෙන් ළිඳ තුල සිටි මහමුට් බාස්සුන්නැහේ මිය ගියා යැයි සිතා ජෙම් පැන යයි. එම සිදුවීම සහ රතු කෙස් ඇති කාන්තාව ඔහුගේ ඉදිරි ජීවිතයේ වරදකාරී හැඟීම් ඇති කරයි.
      දෙවන කොටස 1986 සිට 2000 දශකයේ මැද භාගය දක්වා ඉස්තාන්බුල්හිදී ලේඛකයෙකු වීමට ප්‍රථමයෙන් අපේක්ෂා කරන  ජෙම් ඔහු භූ විද්‍යා ඉංජිනේරුවෙකු හා කොන්ත්‍රාත්කරුවෙකු මෙන්ම නූතනත්වයේ සාර්ථක, ව්‍යාපාරිකයෙකු බවට පත්වේ. ඔහුට හා බිරිඳට දරුවන් නොලැබේ. ඔවුන් එක්ව රොස්ටම් / සොහ්රාබ් සහ ඊඩිපස්ගේ නැගෙනහිර හා බටහිර මිථ්‍යාවන් කෙරෙහි අනවශ්‍ය ලෙස උනන්දු වෙති. ඔවුන්ගේ ඒකාබද්ධ ඉදිකිරීම් සමාගම සොහ්රාබ් ලෙස නම් කරන තරමට මෙම උනන්දුව දුර යයි.
              විප්ලවීය රතු හිසකෙස් නිළිය විසින් ඔහුට පුතෙකු සිටින බව නීතීඥයෙකු මාර්ගයෙන් දැනුම් දෙයි. ඩි.එන්.ඒ පරීක්ෂණයකින් එය සනාථ වේ. සමාගම ඇන්ගර්හි දේපළ මිලදී ගැනීමකට සූදානම් වේ. එම අවස්ථාවේ රතු කෙස් ඇති කාන්තාව පිය පුතු හා කතා කරන්නට අවස්ථාවක් සලසා දේ. පියා සහ පුතා ඉන් වසර තිහකට පෙර හාරන ලද ළිං ගැට්ටේ සිට පොරබදයි. 
       රතු හිසකෙස් ඇති කාන්තාව වන ගොල්චිහාන් තුන්වන කොටස විස්තර කරයි.පෙනෙන විදිහට, මෙය පියාගේ පුතුගේ තේමාවන් ගවේෂණය කරන නවකතාවකි. නඩු විභාගය විභාග වෙමින් පවතින එන්වර් (පුතා) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිර්දෝෂීභාවයට සාක්ෂියක් ලෙස අප කියවන නවකතාව ලිවීමට ගොල්චිහාන් ඔහුව දිරිමත් කරයි.
රතු හිසකෙස් ඇති කාන්තාව තුළ නිරූපණය කරන්නේ කුමන ආකාරයේ කාන්තා නියෝජනයක්ද? ගොල්චිහාන් මුලින්ම  නව යොවුන් වියේ ආශාව හා පසුව ශෝකයට පත්වන මවක් වශයෙන් හඳුන්වා දේ.  එමෙන්ම ඇය ජෙම්ගේ පියාගේ පැරණි පෙම්වතියද වේ. ඒ අනුව ඇයද පියා සහ පුතු සමග දැන දැනම යහන්ගත වේ. වේදිකාවේ ඇයගේ නිරූපණයන් ඊඩිපස්ගේ මව ජොකාස්ටා වේවා, රොස්ටාම්ගේ බිරිඳ ටහ්මිනේගේ වේවා, හෝ සාමාන්‍ය තුර්කි ගෘහණියක් වේවා. නවකතාව තුළ රතු හිසකෙස් ඇති කාන්තාවක්  බලවේගයක් ලෙස ඉස්මතු කරයි. ජෙම්ගේ පියා, මාස්ටර් මහමුට් සහ සෙම් ඇතුළු පිරිමින් සියල්ලන්ම මියයතත්, ප්‍රධාන කාන්තා චරිත දෙක (අයේශ් සහ ගොල්චිහාන්) පිළිවෙලින් විවාහය සහ මාතෘත්වය යන බැඳීම් හරහා සොහ්රාබ් සමාගමේ හිමිකාරිත්වය උරුම කර ගනී. මේ අනුව රතු හිසකෙස් ඇති කාන්තාව තුර්කියේ කාන්තාවන්ගේ දුක්ඛිත තත්වය නිරූපනය කරයි.
                 මෙම නව කතාව කියවා අවසානයේ මම වටහා ගත් අයුරින් මෙම  සමාලෝචනය ලියු අතර  සංකීර්ණ පොතක් හෙයින් කියවූ අනෙකුත් අය මෙය කෙසේ වැළඳ ගත්තාදැයි නොදනිමි. කියවා අවසන බොහෝ දේ සිතන්නට සහ තුර්කි පෞරාණික කතා ගැන වැඩි දුරටත් හොයන්නට මා පෙළඹවූ පොතකි. සංකීර්ණ නිසා ඇතමෙකුට නිරස විය හැක. එහෙත් මම නම් රස වින්දෙමි. 

Wednesday, October 9, 2019

ලෝක මානසික සෞඛ්‍ය දිනය


අද ඔක්තෝම්බර් දහය "ලෝක මානසික සෞඛ්‍ය දිනය".
මෙවර තේමාව වනුයේ සිය දිවි නසාගැනීම් වැළැක්වීමයි.සියදිවි නසාගැනීමේ හැසිරීම මානව ඉතිහාසය පුරාම පැවතුනද, සංකීර්ණ සාධක කිහිපයක් හේතුවෙන් එය ලෝකයේ සෑම ප්‍රදේශයකම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර පසුගිය දශක කිහිපය තුළ භයානක සංඛ්‍යානමය මට්ටම් කරා ළඟා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය වසර ගණනාවක් තිස්සේ සියදිවි නසාගැනීම් ප්‍රමුඛතා ප්‍රශ්නයක් බවට පත් කර ඇති අතර, එය දශක ගණනාවක් තිස්සේ බොහෝ අධ්‍යයන ක්ෂේත්‍රයන්ගේ උනන්දුව ආකර්ෂණය කර ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වසරකට පුද්ගලයන් 800,000 කට වඩා සියදිවි නසාගැනීම් නිසා මිය යන අතර ඉන් බහුතරය අවුරුදු පහළොවක් හෝ විසි නවයක් වයසැති පුද්ගලයින් බව තහවුරු කරගෙන ඇත.
සියදිවි නසාගැනීමේ හැසිරීම් ප්‍රදර්ශනය කරන්නේ වැඩිහිටියන් පමණක් බව බොහෝ විට විශ්වාස කෙරෙන නමුත් ප්‍රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය, හිරිහැර කිරීම සහ සයිබර් හිරිහැර කිරීම් හේතුවෙන් බොහෝ ළමයින් හා තරුණයින් මෙවැනි හැසිරීම් දක්වන බව සොයාගෙන ඇත.
සියදිවි නසා ගැනීම යනු ගෝලීය මහජන සෞඛ්‍ය ගැටළුවක් වන අතර සියදිවි නසාගැනීම් වැළැක්වීම සහ මහජනතාවගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ග ස්ථාපිත කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති හා නියමයන් සැකසීම පිළිබඳ ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුය.
සියදිවි නසා ගැනීමකට හේතු වන සංකීර්ණ සාධක ගණනාවක් ඇත.
සියදිවි නසා ගැනීම වැළැක්විය හැකි අතර එබැවින් එය වළක්වා ගත හැකිය. බොහෝ විට, මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා සහභාගී වීමට අවස්ථා විරලය හෝ ඔවුන් සහ පවුලේ උදවිය ඔවුන් මානසික රෝගයකින් පෙළෙන බවට වටහාගෙන නැත.
බොහෝ සියදිවි නසා ගන්නා පුද්ගලයින් ඔවුන්ගේ අභිප්‍රායන් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා ලබා දේ. සියදිවි නසාගැනීම් වලක්වා ගත හැකි හොඳම ක්‍රමය නම් මෙම අනතුරු ඇඟවීමේ සංඥා හඳුනාගෙන ඒවා හඳුනාගතහොත් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැන ගැනීමයි. මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සියදිවි නසා ගැනීමක් යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, විකල්ප පෙන්වා දීම, ඔබ සැලකිලිමත් බව පෙන්වීම සහ වෛද්‍යවරයකු හෝ මනෝ විද්‍යාඥයෙකු සම්බන්ධ කර ගැනීමෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ කාර්යභාරයක් ඉටු කළ හැකිය.
සියදිවි නසා ගැනීම සඳහා ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා අතරට තමාව මරා දැමීම හෝ හානියක් කිරීම, මරණය හෝ මරණය ගැන බොහෝ දේ ලිවීම හෝ ලිවීම සහ සියදිවි නසාගැනීමේ උත්සාහයකදී භාවිතා කළ හැකි ආයුධ සහ මත්ද්‍රව්‍ය වැනි දේ ළඟ තබා ගැනීම ආදිය වේ. පුද්ගලයාට මානසික අවපීඩනය හෝ බයිපෝල අක්‍රමිකතාව වැනි මානසික ආබාධයක් තිබේ නම්, මත්පැන් මත යැපීමෙන් පීඩා විඳින්නේ නම්, මීට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ නම් හෝ සියදිවි නසාගැනීමේ පවුල් ඉතිහාසයක් තිබේ නම් මෙම සංඥා ඊටත් වඩා භයානක ය.
සිය දිවි නසා ගැනීමේ සිතුවිලි සහ හැඟීම් ගැන මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ කතා කිරීම ඕනෑම කෙනෙකුට අතිශයින් දුෂ්කර විය හැකිය. යමෙකු සියදිවි නසා ගන්නේ දැයි ඔබට විශ්වාස නැත්නම්, සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමය විමසීමයි. ඔබ සැලකිලිමත් බව පෙන්වීමෙන් ඔබට පුද්ගලයෙකු සියදිවි නසා ගත නොහැක. ඇත්ත වශයෙන්ම, සියදිවි නසා ගන්නා පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ හැඟීම් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීමෙන් තනිකමෙන් සහ නිෂේධාත්මක හැඟීම්වලින් සහනයක් ලබා ගත හැකි අතර සියදිවි නසාගැනීමේ උත්සාහයක් වළක්වා ගත හැකිය.
තොරතුරු සහ මූලාශ්‍ර අන්තර්ජාලයෙනි

Wednesday, October 2, 2019

වර්ජන


ඔයාලට කියන්න යාළුවනේ ස්ටේෂන් මාස්ටර් ලා එයාලගේ ඔෆීස් ඉබ්බො දාලා සීල් කරලා ගිහින්. රෑ උනාම ලයිට් දාන්න ක්රමයක් නැති නිසා ස්ටේෂන් එක අඳුරේ. හවසට කෝච්චි හතරක් යනවනේ ප්රධාන මාර්ගයේ. ඊයෙ ඉතින් මාත් ආසාවටත් එක්ක කෝච්චියෙ ගියා.😁😁(ආසාවට නෙමේ ඉතින් බස් 3-4 යන ගමනක් පහුගිය ටිකේ ගියේ) කාලෙකින් යන්නත් බැරි උනානේ. පල්ලෙවෙලින් බහින්න බලනකොට තමයි තරු පෙනුනේ. කරුවලට ෆ්ලැට් ෆෝම් එක පේන්නෙ නැහැ. මේ දවස් වල කෝච්චිවල යන අය එකිනෙකාට උදව් කරගන්න නිසා ඉතින් ෆෝන් වල ආලෝකයේ පිහිටෙන් රේල් පාරට නොවැටී බිමට බැහැ ගත්තා.
මොනවා උනත් ඔය වර්ජකයෝ අසමත්. මිනිස්සු දිනුම්. අමාරුවෙන් හරි මිනිස්සු ගෙවල් වල ඉන්නෙ නැතුව වැඩට ගියා. දුම්රිරිය දෙපාර්තමේන්තුවට පාඩුව දිනකට මිලියන 17ක් කියලා පත්තරේ තිබුනා.
ගොඩක් වෙලාවට පොඩි එවුන්ට අම්මා තාත්තා හවස ගේන රස කැවිල්ල නැතුව යන්න ඇති. ලෝක ළමා දිනේට තෑග්ගක් ලැබෙන්න නැතුව ඇති. කොහේවත් එක්කන් යන්නත් බැරිවෙයි. බස් ත්රීවීල් වලට වැඩිපුර වියදමක් යනවනේ. කමක් නෑ දුම්රිය දෙපාර්තුමේන්තුවේ වර්ජනය කරපු උදවිය එයාලගේ වැටුප් වැඩිකරගෙන එයාලගේ දරු පවුල් සතුටෙන් තියයිනෙ. අනුන්ට හෙන ගහලා ගියත් අපට මොකද? අපිට හරියනවා නම්. ඔහොම යන්...

Thursday, September 26, 2019



ලෝරා ඉංගල්ස් වයිල්ඩර් රචිත Little House කතා මාලාව අපේ රටේ බාල වැඩිහිටි කාගෙත් සිත් ගත් පොත් පෙළක්. ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය එම පොත් පෙළ සිංහලට පරිවර්තනය කළා.
මම අද කියන්න යන්නේ, ලෝරා වයිල්ඩර් ගේ දුව රෝස් වයිල්ඩර්ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කරගෙන රොජර් ලී මැක් බ්‍රයිඩ් රචිත, චිත්‍රා අමරසේකර මහත්මිය සිංහලයට පරිවර්තනය කරන ලද පොත් පෙළ ගැන. මෙය පොත් අටකින් සමන්විතයි.
1. කඳු මුදුනේ සොඳුරු නිවස
Little House on Rocky Ridge
2. අස්වනු සමයේ පුරහඳ
Little farm in the Ozarks
3. ඇපල් සුවඳ මුසුවූ ගොවි බිම
In the land of the Big Red Apple
4. දොළ ඉවුරෙන් සිදාදියට
On the other side of the hill
5. තැනිතලා රෝස මල
Little town on the Ozaks
6. අරුණැල්ල
New Dawn on Rocky Ridge
7. නවෝදය
On the Bank of Bayou
8. නිවසින් බැහැර දෙවසරක්
Bachelor girl
කුඩා ගැහැණු දරුවෙක් වන රෝස් යුවතියක වන තුරුම ඇගේ ජීවිතයේ වූ සිදුවීම් ඇතුලත් මෙම පොත් පෙළ දරුවන්ට මෙන්ව වැඩිහිටියන්ටද කියවා රසවිඳිය හැකි පොත් පෙළක්. රෝස් සිය මාපියන් සහ ඔවුන්ගේ මිතුරු කුලී පවුල සමග වඩා යහපත් අනාගතයක් ලබා ගැනීමේ අරමුණෙන් ඩැකෝටාවේ සිට මිසූරියට පැමින රොකී රිජ් ගොවිපොළ මිලට ගෙන පදිංචි වූ පසු ඔවුන්ගේ ජීවිතය ගලාගෙන ගිය ආකාරය මෙම පොත් පෙළෙහි සටහන්වී තිබෙනවා.
මෙම පොත් ටික කියවන ගමන් මමත් රෝස් එක්ක රොකී රිජ් ගොවිපොළේ දහසකුත් එකක් වැඩ කරමින් තැනිතලාවේ දුවමින් පාසැලට, නගරයට යමින් ජීවත් උනා. ගැමි දැරියකවූ රෝස්ට නගරයේ පොහොසත් දැරියන්ට මෙන් ලස්සන ඇඳුම් සපත්තු තිබුනේ නෑ. සිය දෙමාපියන්ට ඒවාට වියදම් කළ නොහැකි නිසා ඇයට ඇතිවූ සිත් පීඩාවන් මමත් ඇයත් සමග වීඳ ගත්තා.
රෝස් බොහෝ දේවල් දරාගත්ත දිරිය දැරියක්. වර්තමානයේ දරුවන්ට කල නොහැකි බොහෝ අසීරු දේවල් කරමින් සිය මවට හා පියාට ගොවිපොළ දියුණු කරගන්නට ඇය බොහෝ වෙහෙසවී උදව් කරනවා.
2019 වන විට ඇමරිකාව අද පවතින තත්තවයත් රෝස් ගේ බාලවියේ, ඒ කියන්නේ 1900 දී ඇමරිකාව තිබූ තත්ත්වයත් සලකා බලනකොට දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියන අපි ගැන කණගාටුවක් නොදැනුනාම නෙමේ. සත්‍ය කතාවක් නිසා ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගේන්න මිනිස්සු පුදුමාකාර ලෙස වෙහෙසවී වැඩකර තිබුණු බව වැටහුනා.
අටවන පොතෙන් (නිවසෙන් බැහැර දෙවසරක්) චිත්‍රා අමරසේකර මහත්මිය පවසන ආකාරයට වර්ෂ 1886 දෙසැම්බර් පස්වෙනි දින උපත ලද රෝස් වයිල්ඩර් 1968 ඔක්තෝම්බර් තිස්වෙනිදා මෙළොවින් සමුගන්නවා.
රෝස් වයිල්ඩර් ගිලට් ලේන් නැමැත්තා සමග විවාහ වෙනවා. 1910 දී ඇය මවක් කරමින් ඉපදෙන පුංචි පුතා ලදරු වියේදීම මිය යනවා. 1918 දී සැමියාගෙන් දික්කසාද වන රෝස් නව කතා, කෙටි කතා, තීරු ලිපි ආදිය ලියමින් ලේඛන් කලාවට පිවිසෙනවා. ඇය බොහෝ රටවල් වල සංචාරය කරනවා. ඇයට 1965 දී හමුවන රොජර් ලී මැක් බ්‍රයිඩ් ට ඇගේ දේපළ මෙන්ම ඇගේ කතාව පොතක් ලෙසේ පළ කිරීමේ අයිතියද ලැබෙනවා.
කියවා නැති අය කියවලා බලන්න. ගොඩක් ලස්සන පොත් පෙළක් . සමයවර්ධන ප්‍රකාශනයක්.