Thursday, September 26, 2019



ලෝරා ඉංගල්ස් වයිල්ඩර් රචිත Little House කතා මාලාව අපේ රටේ බාල වැඩිහිටි කාගෙත් සිත් ගත් පොත් පෙළක්. ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය එම පොත් පෙළ සිංහලට පරිවර්තනය කළා.
මම අද කියන්න යන්නේ, ලෝරා වයිල්ඩර් ගේ දුව රෝස් වයිල්ඩර්ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කරගෙන රොජර් ලී මැක් බ්‍රයිඩ් රචිත, චිත්‍රා අමරසේකර මහත්මිය සිංහලයට පරිවර්තනය කරන ලද පොත් පෙළ ගැන. මෙය පොත් අටකින් සමන්විතයි.
1. කඳු මුදුනේ සොඳුරු නිවස
Little House on Rocky Ridge
2. අස්වනු සමයේ පුරහඳ
Little farm in the Ozarks
3. ඇපල් සුවඳ මුසුවූ ගොවි බිම
In the land of the Big Red Apple
4. දොළ ඉවුරෙන් සිදාදියට
On the other side of the hill
5. තැනිතලා රෝස මල
Little town on the Ozaks
6. අරුණැල්ල
New Dawn on Rocky Ridge
7. නවෝදය
On the Bank of Bayou
8. නිවසින් බැහැර දෙවසරක්
Bachelor girl
කුඩා ගැහැණු දරුවෙක් වන රෝස් යුවතියක වන තුරුම ඇගේ ජීවිතයේ වූ සිදුවීම් ඇතුලත් මෙම පොත් පෙළ දරුවන්ට මෙන්ව වැඩිහිටියන්ටද කියවා රසවිඳිය හැකි පොත් පෙළක්. රෝස් සිය මාපියන් සහ ඔවුන්ගේ මිතුරු කුලී පවුල සමග වඩා යහපත් අනාගතයක් ලබා ගැනීමේ අරමුණෙන් ඩැකෝටාවේ සිට මිසූරියට පැමින රොකී රිජ් ගොවිපොළ මිලට ගෙන පදිංචි වූ පසු ඔවුන්ගේ ජීවිතය ගලාගෙන ගිය ආකාරය මෙම පොත් පෙළෙහි සටහන්වී තිබෙනවා.
මෙම පොත් ටික කියවන ගමන් මමත් රෝස් එක්ක රොකී රිජ් ගොවිපොළේ දහසකුත් එකක් වැඩ කරමින් තැනිතලාවේ දුවමින් පාසැලට, නගරයට යමින් ජීවත් උනා. ගැමි දැරියකවූ රෝස්ට නගරයේ පොහොසත් දැරියන්ට මෙන් ලස්සන ඇඳුම් සපත්තු තිබුනේ නෑ. සිය දෙමාපියන්ට ඒවාට වියදම් කළ නොහැකි නිසා ඇයට ඇතිවූ සිත් පීඩාවන් මමත් ඇයත් සමග වීඳ ගත්තා.
රෝස් බොහෝ දේවල් දරාගත්ත දිරිය දැරියක්. වර්තමානයේ දරුවන්ට කල නොහැකි බොහෝ අසීරු දේවල් කරමින් සිය මවට හා පියාට ගොවිපොළ දියුණු කරගන්නට ඇය බොහෝ වෙහෙසවී උදව් කරනවා.
2019 වන විට ඇමරිකාව අද පවතින තත්තවයත් රෝස් ගේ බාලවියේ, ඒ කියන්නේ 1900 දී ඇමරිකාව තිබූ තත්ත්වයත් සලකා බලනකොට දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියන අපි ගැන කණගාටුවක් නොදැනුනාම නෙමේ. සත්‍ය කතාවක් නිසා ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගේන්න මිනිස්සු පුදුමාකාර ලෙස වෙහෙසවී වැඩකර තිබුණු බව වැටහුනා.
අටවන පොතෙන් (නිවසෙන් බැහැර දෙවසරක්) චිත්‍රා අමරසේකර මහත්මිය පවසන ආකාරයට වර්ෂ 1886 දෙසැම්බර් පස්වෙනි දින උපත ලද රෝස් වයිල්ඩර් 1968 ඔක්තෝම්බර් තිස්වෙනිදා මෙළොවින් සමුගන්නවා.
රෝස් වයිල්ඩර් ගිලට් ලේන් නැමැත්තා සමග විවාහ වෙනවා. 1910 දී ඇය මවක් කරමින් ඉපදෙන පුංචි පුතා ලදරු වියේදීම මිය යනවා. 1918 දී සැමියාගෙන් දික්කසාද වන රෝස් නව කතා, කෙටි කතා, තීරු ලිපි ආදිය ලියමින් ලේඛන් කලාවට පිවිසෙනවා. ඇය බොහෝ රටවල් වල සංචාරය කරනවා. ඇයට 1965 දී හමුවන රොජර් ලී මැක් බ්‍රයිඩ් ට ඇගේ දේපළ මෙන්ම ඇගේ කතාව පොතක් ලෙසේ පළ කිරීමේ අයිතියද ලැබෙනවා.
කියවා නැති අය කියවලා බලන්න. ගොඩක් ලස්සන පොත් පෙළක් . සමයවර්ධන ප්‍රකාශනයක්.



Friday, September 20, 2019

බීජින් ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ


චීනය..අපි ඉන්නේ ලංකාවෙද චීනෙද කියලත් වෙලාවකට හිතා ගන්න බැරිවෙන තරමට චීනය අපට සමීපයිනේ. චීනය අනුකරණයට වගේම නව නිපැයුම් වලටත් දක්ෂයි. මේ එයාලගේ අලුත්ම නිර්මාණය. නිර්මාණයක් කිව්වට ඒක ගුවන් තොටුපොළක්. සාමාන්‍ය ගුවන් තොටුපළකුත් නෙමේ. ලොව විශාලම පර්යන්තය සහිත ගුවන් තොටුපොළ. "බීජින් ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ" ඊයේ විවෘත කලා.
ඔවුන්ගේ පළමු වානිජ ගුවන් ගමන් මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි. ටියානන්මෙන් චතුරශ්‍රයේ සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් තොටුපළ බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.දැනට පවතින බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (PEK) හි ගුවන් තදබදයක්, එහෙම නැත්නම් ඒ හරහා ධාවනය කිරීමට හැකි උපරිමය දක්වා වන ගුවන් ගමන් ප්‍රමාණයක් ධාවනය වන අතර එමඟින් ගුවන් සමාගම්වලට තවත් ගුවන් ගමන් එකතු කිරීම කළ නොහැකි ය. 2018 දී පමණක් මිලියන 100 කට අධික සංචාරකයින් එහි පර්යන්ත හරහා ගමන් කර ඇති අතර, එක්සත් ජනපදයේ හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ඇට්ලන්ටා ගුවන් තොටුපළින් පසුව වැඩිම මගී තදබදයක් ඇති ගුවන් තොටුපොළ බවට බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වී ඇත.


එයාර් බස් ඒ 380 යානය මංගල ගුවන් යානය ලෙස යෙදවීමට සූදානම් වන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.මේ වසරේ ජුනි මාසයේදී එහි ඉදිකිරීම් අවසන් වූ අතර ගුවන් තොටුපල අවසන් පරීක්ෂණයෙන් සමත් වූයේ මේ මස මුලදී ය.
අභාවප්‍රාප්ත ගෘහ නිර්මාණ ශිල්පිනී සහා හාඩිඩ් සහ ඇගේ හවුල්කරුවන් විසින් නිර්මාණය කරන ලද මෙය වර්ග අඩි 700,00  දුරකට විහිදෙන අතර ධාවන පථ හතරක් ද, පාපන්දු පිට්ටනි 97 ක විශාලත්වයකින් යුත් පර්යන්තයක් මෙන්ම පාරිභෝගික සේවාවන් සඳහා රොබෝවරු ද වරකට මගීන් මිලියන 72 කට වැඩි පිරිසකට රැඳී සිටීමටද මෙහි පහසුකම් සලසා ඇත.

"ස්ටාර් ෆිෂ්" මාළුවෙකු මෙන් උඩුගුවනට දිස්වන ආකාරයට නිර්මාණය කර ඇති මෙම ගුවන් තොටුපොළට "ස්ටාර් ෆිෂ්" යන හුරතල් නාමයක්ද ජනතාව විසින් පටබැඳ ඇත. සී.එන්.එන් පුවත් වලට අනුව, ඩැක්සිං නිර්මාණය කර ඇත්තේ මගීන්ට පිටවීම් දොරටුව දක්වා මිනිත්තු අටකට වඩා ඇවිදීමට අවශ්‍ය නොවන පරිදි ය.
ලබන වසන්තය (මාර්තූ) වන විට  මෙම ගුවන් තොටුපල ලොව පුරා ගමනාන්ත 112 කට සේවා සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර, වාර්ෂිකව මගීන් මිලියන 100 ක් සහ භාණ්ඩ ටොන් මිලියන 4 ක් ප්‍රවාහනය කරනු ඇතැයි අනුමාන කෙරේ.
ඔන්න බීජිං යන අයට මේ ගුවන් තොටුපළ හරහාත් යන්න එන්න අවස්ථාව ඉදිරියේදී උදාවේවි.


තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි

Saturday, August 24, 2019

ටිකට්


                                   ඊයේ හවස මම ගිය ලංගම බස් එකට උඩුගම්පොළ හන්දියෙදී ටිකට් පරීක්ෂකයෝ ගොඩ උනා. නැගපු ගමන්ම ටිකට් ගන්න ටිකට් ගන්න....කියලා ටිකට් පරීක්ෂා කරන්න ගත්තා. මගේ ටිකට් එකත් රතු පෑනකින් මාක් කරලා දුන්නා. බස් එකේ ඉස්සරහම සීට් එකක වාඩි වෙලා උන්න යුවළක් ළඟ ටිකට් තිබුනෙ නෑ. ඔවුන් ටිකට් ගත් බව පැවසුවා. ඊට පස්සේ ඒ දෙන්නා බෑග් වල සාක්කුවල බිම හැම තැනම ටිකට් හෙව්වට තිබුනෙ නෑ. ඒ දෙන්න ටිකට් ගත්ත බව කොන්දොස්තර මහතාත් පුන පුනාම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතද්දී එක පරීක්ෂක ම්හත්මයෙක් මීගමුවෙන් ගම්පහට ටිකට් ගත්ත අය අත උස්සන්න කිව්වා. හය දෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ කොන්දොස්තර මහතාගේ ටිකට් මැෂින් එක අරන් මීගමුවෙන් ගම්පහට ටිකට් කීයක් අරන්ද බැලුවා. අටක් අරන් (ඒ මැෂින් එකෙන් ඔය තරම් දේවල් බලන්න පුලුවන් කියලා මම දැන ගත්තෙත් ඊයේ)
එතකොට ඉතින් අර දෙන්නාත් ටිකට් අරන් කියලා ඔප්පු උනා.
ඊට පස්සේ එයාලා කිව්වා ටිකට් අරන් නිසා දඩ මුදලක් ගන්නෙ නෑ, ඒ උනාට අනිත් හැමෝම ළඟ ටිකට් තිබුනා ඔයාලා ගාව විතරක් තිබුනෙ නෑ, ඔයාලට නිකන් යන්න දුන්නොත් එයාලට කරන අසාධාරණයක් ඒ නිසා මීගමු-ගම්පහ ටිකට් දෙකක් ආයෙ ගන්න කියලා. ඒ දෙන්නා ආයේ ටිකට් ගත්තා.
ටිකට් එකක් කියන්නේ පුංචි කොල කෑල්ලක්නේ. ඒක ඔය බෑග් එකේ හරි සාක්කුවක හරි දාගන්න පුලුවන්නේ. ගමනාන්තය වෙනකන් ටිකට් එක තියාගන්න බැරිකමකුත් නෑනෙ. මගෙ නම් ඉතින් බෑග් එකෙන් සතියකට කලින් ගිය ටිකට් උනත් හොයාගන්න තියනවා..😁😁😁ඒක වෙනම කතාවක්.
---------------------------------------------------------------------------------
                   ටිකට් එකක වටිනාකම තියෙන්නේ පරීක්ෂා කරනකොට පෙන්වන්න විතරක් නෙමේ නීතිමය තත්ත්වයකදී උසාවියට සාක්ෂියක් විදිහටත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා බස් එකේ උන්න දෙන්නෙක් කතා උනා. මම බෑග් එකේ ටිකට් එකතු කරන එකේ වරදක් නෑ නේද? 😉😉😉
මේවා පුංචි පුංචි කාරණා උනත් සිතන්න යමක් ඒවායේ තියන බව මාත් තේරුම් ගත්තා

Thursday, August 22, 2019

ඇමසන්

ගින්නෙන් දැවී යන සුන්දර ඇමසන්..වෘක්ෂලතා පමනක් නොව ඇසට පෙනෙන නොපෙනෙන ජීවීන් කොපමන ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී මිය යයිද? මිනිසා සිය සීමාවෙන් ඔබ්බට ගමන් කරමින් සිටී. ඒ සඳහා සුදුසු දඬුවම් ද සොබා දහමෙන්ම නුදුරේදී ලබා දෙනු ඇත. 


     එමෙන්ම පසුගියදා මිනිස් ක්‍රියාකාරකම් සහ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් අයිස් ලන්තනයේ සංචාරක ආකර්ෂණය දිනූ සුන්දර ඕකේ ජකුල් ග්‍රැසියරයද සදාකාලික නින්දට පත්වී අවසන් කටයුතු සිදුකල බව බටහිර මාධ්‍ය සඳහන් කර තිබුනි. 


Friday, August 2, 2019

නිදහසේ අරුණළු දකිනා සෞදි කාන්තාවෝ.



පිරිමි "භාරකරුවෙකුගේ" අනුමැතියකින් තොරව කාන්තාවන්ට විදෙස් ගත වීමට සෞදි අරාබිය ඉඩ ලබා දෙන බව සෞදි රජය විසින් නිවේදනය කර ඇත. සෞදි කාන්තාවන්ට වාහන පැදවීමේ අවසරය පසුගිය වසරේ ලැබුන මුත් තනිව විදෙස්ගත වීම සඳහා අවසර තිබුනේ නැත. විදෙස් ගතවීමට නම් ඔවුන් භාරකරුවෙකුගේ එනම් පියා ,සැමියා ,සොහොයුරා හෝ පිරිමි ඥාතියෙකු යටතේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම්කල යුතුව තිබුනි.
මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළ හොත්, වැඩිහිටි කාන්තාවන් නීත්‍යානුකූල බාල වයස්කරුවන් බවට පත් කරන දිගු කලක් තිස්සේ පැවති භාරකාරත්ව ක්‍රමය අවසන් කරන අතර ඔවුන්ගේ භාරකරුවන්ට - ස්වාමිපුරුෂයාට, පියාට සහ අනෙකුත් පිරිමි ඥාතීන්ට ඔවුන් කෙරෙහි අත්තනෝමතික බලයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබේ.
වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සහ ඔවුන්ගේ භාරකරුගේ අවසරයකින් තොරව රට හැර යාමට මෙම රෙගුලාසිය මඟින් ඉඩ ලබා දී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
විවාහ වීමට, විදේශ ගමන් බලපත්‍ර අළුත් කිරීමට හෝ රටින් පිටවීමට සෞදි කාන්තාවන්ට ඔවුන්ගේ පිරිමි භාරකරුවන්ගෙන් දීර්‍රඝ කාලයක් තිස්සේ අවසර අවශ්‍ය වී තිබුනි. නුදුරේදීම ඔවුන්ට උපත් මරණ සහ දික්කසාද ලියාපදිංචි කිරීමටද අවසර ලැබීමට නියමිතයි.
මෙම ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවන්ට වැඩි ස්වයං පාලනයක් සහ සංචලනයක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය පවසන අතර ,මෙම තීරණය “සෞදි කාන්තාවන් ලැබූ එක් යෝධ පිම්මක්” ලෙස සඳහන් කර ඇත.

"කිසියම් හේතුවක් නිසා රට හැර යාමට නොහැකි වීම ... විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට, රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හෝ අවශ්‍ය නම් පලා යාමට පවා නොහැකි වීම නිසා සමහර කාන්තාවන්ගේ සිහින අහෝසි විය” යැයි සෞදි ව්‍යාපාරික කාන්තාවක් වන මුනා අබු සුලෙයිමාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුනි. මෙය කවදා සිට ක්‍රියාත්මක වන්නේදැයි සඳහන් කර නොමැති මුත් මෙමගින් සෞදි කාන්තාවන්ගේ ජීවිත බොහේ සෙයින් වෙනස්වනු ඇත.
       සෞදි අරාබියේ පළමු කාන්තා තානාපතිනිය වන එක්සත් ජනපදයේ කාන්තා තානාපතිනිය රීමා බන්ඩාර් අල්-සෞඩ් ද එම වාර්තාව සමාජ මාධ්‍ය සටහනකින් තහවුරු කර තිබේ.
"මෙම නව රෙගුලාසි සෑදීමේ ඉතිහාසයයි. ඔවුන් අපේ සමාජයේ කාන්තාවන් හා පිරිමින් සමානව සම්බන්ධ කර ගත යුතුයි" යැයි ඇය පවසා ඇත.
 ආගමික කාරණා හේතුවෙන් නිදහස තිබූ මුස්ලිම් කාන්තාවන්ටත් යම් යම් සීමා මායිම් වැටකඩොලු බැඳෙන යුගයක සෞදි අරාබිය මේ ගන්නා වෑයම සැබවින්ම පැසසුමට ලක්විය යුතුය.