Monday, December 18, 2017

රාජකීය විවාහය

එංගලන්තයේ රජ පවුල කාලයෙන් කාලයට ලෝකයේම අවධානය යොමුවෙන විදිහේ පුවත් මවනවා. පහුගිය දවස් වල කාගේත් අවධානයට ලක්වෙලා තිබුනේ හැරී කුමරුගේ විවාහ ගිවිස ගැනීම. මමත්එං ගලන්ත රජ පවුලේ ඕපාදූප ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න නිසා මේ ටික ලියන්න හිතුනා. 
හැරී කුමරු එක්ක විවාහ ගිවිසගත්ත කාන්තාව මේගන් මාකල්. ඇගේ මව අප්‍රිකාණු සම්භවයක් ඇති කාන්තාවක්. මේගන් ඇමරිකාණු ජාතික කතෝලික තරුණියක්. ඇය ටෙලි නාට්‍ය හා චිත්‍රපටි නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. චිත්‍ර පට නිෂ්පාදකයෙක් සහ නළුවෙක්

වන ට්‍රෙවෝ එංගල්සන් සමග විවාහ වී වසර දෙකකට පසුව ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා.
හැරීට මේගන් මුණ ගැසෙන්නේ දකුණු අප්‍රිකාවෙදී. එහිදී දැන හඳුනා ගන්නා ඔවුන් ප්‍රේමයෙන් බැඳෙනවා. ඉන්පසු ඔවුන් බොහෝ තැන් වල සංචාරය කරනවා. ඔය අතරේ තමයි රජ පවුල ගැන නිරන්තර අවධානෙන් ඉන්න පැපරාසීන්ට ඔවුන් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉන් පසු ඔවුන්ගේ සම්භන්දය ලොවම සහ රජ පවුලේ සාමාජිකයින් දැනගන්නවා.
පුදුමය කියන්නේ ,හැරීට වඩා අවුරුදු තුනක් පමන වැඩිමහල් දික්කසාද වූ අප්‍රිකාණු සම්භවයක් තියන කතෝලික මේගන්ව විවාහ කරගන්න හැරීට එලිසබෙත් රැජිනගෙන් කැමැත්ත ලැබෙනවා. ඔවුන්ගේ විවාහ උත්සවය ලබන වසරේ මහ ඉහළින් පවත්වන්න දින නියම කරගෙන.
මෙගන් , එංගලන්තයේ රජ කිරුළට උරුමකම් කියන සාමාජිකයෙක් සමග විවාහ වෙන්න හීනෙන්වත් නොසිතන්න ඇති. ආදරයට ජාති ආගම් කුල භේද නෑ කියනවනේ. ගැහැණුන්ගේ පින කුණු මුල්ලේ කියනවානේ .මේගන් ගේ දෛවය ඇයව කුමරියක් එහෙම නැත්නම් ආදිපාදවරියක් කරා අරන් ගිහින්. ඇයට හිමිවෙන තානාන්තරය තවම තීරණය වී නැහැ.රජ කිරුලට උරුමකම් කියන්න හැරීට පෙර තව සාමාජිකයින් හතර දෙනෙක් ඉන්න නිසාත් තවත් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් නුදුරේදී එක්වන්න බලන් ඉන්න නිසාත් මේගන්ගේ වතගොත රැජින ට ලොකු ගැටළුවක් නොවෙන්න ඇති.
එංගලන්ත වැසියන් නම් මේගන්ව දැනටමත් "කළු කුමරිය" (Black princes) ලෙස හඳුන්වන්න පටන් අරන්.කොහොම උනත් රජ පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ, ඔවුන්ගේ ආදරය වෙනුවෙන් සහ රජ පවුලේ නීති රීති නිසා මේගන්ට වර්තමාන ඇගේ ජීවිතයේ බොහෝදේ කැපකරන්න සිදුවේවි. එංගලන්ත වැසියන්ට සොඳුරු මංගල්ලයක් දැකගන්න ලැබේවි. පැපරාසියොත් ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉඳීවි.


Thursday, November 30, 2017

දෙසැම්බර්


දෙසැම්බර් කියන්නේ අවුරුද්දේ මම කැමතිම මාසය. මම කතෝලිකයෙක් නොවුනත් දෙසැම්බර් පටන් ගන්නවත් එක්කම රේඩියෝ එකේ රූපවාහිනියෙන් ඇහෙන ජින්ගල් බෙල්ස් music එකට මම හරි කැමතියි. බටහිර සහ අග්නිදිග ආසියාවේ රටවල් වලට හිම වැටෙන්න පටන් අරගෙනත් ඇති. මම පොඩි කාලේ නම් හිතුවා අනේ අපටත් හිම වැටෙනවානම් කියලා, අදටත් මට හිතෙනවා අපටත් හිම වැටෙනවනම් කියලා.සීතල හිම එකතු කරලා ස්නෝ මෑන් කෙනෙක් හදන්න, හිම උඩ ලිස්සලා යන්න ෆොටෝ ටිකක් ගන්න, තිබුනා කියලා හිතෙනවා. ඒත් ඒ රටවල අය නම් කියන්නේ හිම වැටුනම ලස්සන උනාට සීතලත් එක්ක ඒක කරදරයක් කියලයි. අපට ඒ අත්දැකීම නැති නිසා වෙන්න ඇති මම හිම වලට කැමති. දෙසැම්බර් අපටත් ඉතින් ටිකක් ටිකක් සීතලයිනේ. අදත් ටිකක් සීතල වැහිබර  දවසක්. එහෙම වෙලාවට කෝපි කෝප්පයක් බොන ගමන් කැමතිම පොතක් කියවන්න තිබ්බ නම් කියලා හිතෙනවා. එහෙම කරන්න බෑනෙ ඉතින් උදේ පාන්දර සීතලේම නැගිටලා කෑම හදලා ගෙදර වැඩ කරලා වැඩට යන්නත් තියෙනවනේ. මම ඒවට කියන්නේ දෙසැම්බර් හීන කියලා. 
බෞද්ධයන් වෙන අපට උඳුවප් මාසය වැදගත් වෙන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් නිසයි. ඒ වගේම සිරිපා සමය ආරම්භ වෙන්නෙත් උඳුවප් පෝයෙන්.
දෙසැම්බර් මාසයට නම හැදිලා තියෙන්නේ ලතින් වචනයක් වන"ඩ්සෙම්"( රෝමන් කැලැන්ඩරයට මේ ඔවුන්ගේ දහ වෙනි මාසය .ඩිසෙම් කියන්නේ දහය කියන එක ) කියනව වචනයෙන් කියලයි කියන්නෙ.


Tuesday, November 14, 2017

දළුකානා වැවෙන් ඉල්ලීමක්

අපි ගිය සතියේ විනෝද චාරිකාවක් ගියා. දිඹුලාගල පන්සලටත් ගියා. දිඹුලාගල පන්සලේ වාහන නැවතුම්පොළේ කඩේකින්, කෑම කන්න සුදුසු තැනක් තියනවාද ඇහුවම එතන ඉඳන් කිලෝ මීටර් 3 විතර ගිහාම වැවක් තියනවා, ඒ වැව් බැම්මේ ඉඳන් කෑම කන්න පුලුවන් කිව්වා. ඔන්න ඉතින් අපි එතෙන්ට ගියා. ඇත්තටම ඒ වැව සහ අවට පරිසරය පුදුමාකාර ලස්සනයි. දළුකානා වැව. ප්‍රසිද්ධ වැවක් නොවුනට  ගොඩක් නිස්කලංක පරිසරයක්. එක පැත්තකින් කොළ පාටින් බබලන කන්දක්. එතන කවුරුත් නාන්නෙ නම් නැතුව ඇති ගස් වල කොළ වැටිලා තියන විදිහෙන් අපි එහෙම අනුමාන කලා. වැව් ඉවුරේ ආරක්ෂාවට ලොකු කලු ගල් කුට්ටි අතුරල තිබුනා. ඉවුර දිගටම කුඹුක් ගස් වැවිලා හරිම සිසිලයි. වැව් බන්ට් එක කෙලවර උනේ ලොකු ගල් තලාවකින්. 
      අපි ගල්තලාවේ වාඩි වෙලා කෑම කමු කියලා කතාවෙලා ගල් තලාවට ගියා. ඔයාලා පුදුම වෙයි, ගල් තලාව පුරාවටම බෝතල් කටු තිබුනා. ගහක් යට අරක්කු බෝතල් තිබුනා. තැන තැන බයිට් පැකට්, එක එක වර්ගේ ප්ලාස්ටික් බෝතල්  , ෂොපින් බෑග් , ලන්ච් ෂීට් විසිරිලා. එතන නිස්කලංක නිසා විනෝද චාරිකා යන අය එතනට එනවා ඇති. එහෙම ඇවිත් බීලා බෝතල් ගල් තලාවෙම බිඳලා කටු එතනම දාලා ගිහින්. මේතරම් ලස්සන පරිසරයක් මේ විදිහට විනාශ කරන්නේ මොන හිතකින්ද මන්දා. බිව්වානම් බෝතල් ටික ගහක් යටින් තියලා යන්න තිබුනා. කෑම කාපු කොල ටික අරන් ගිහින් පුච්චලා දාන්න තිබුනා. ඒත් මේ මිනිස්සු කරලා තිබුනේ තමුන්ගේ වැඩේ කරගෙන තව කෙනෙක්ට එතන පාවිච්චි කරන්න බැරි වෙන්න විනාශ කරලා දාපු එක. මෙහෙම පරිසරය විනාශ කරන මිනිස්සු ඉන්නෙ අපේ රටේ විතරමද කොහෙද. ගිය තැන විනාශයි. 
මම මෙහෙම ලිව්වේ ඔයාලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න. මේ වගේ ස්ථානයකට ගිහාම ටොෆී කොලයක් වත් නොදා ඉන්න උත්සාහ කරන්න. එහෙම කලොත් අපේ අනාගත පරපුරටත් මේ සුන්දර පරිසරය විඳින්න ඉතුරු වෙයි. නැත්නම් මතුදාක අපේ දරුවොම අපට ශාප කරයි.

     

Monday, October 30, 2017

කොස් ඇට මුල්ල

       
    කොස් ඇටත් කඩෙන් ගන්න වෙලා කියලා යාලුවෙක් කිව්වා. ඒ කතාව දුර දිග ගිහින් මට අපේ ආච්චී වගේම කොස් ඇට මුල්ලත් මතක් උනා. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අය කල්පනා කරන්න පුලුවන් මොකක්ද මේ කොස් ඇට මුල්ල කියන්න කියන්නේ කියලා.
 ඉස්සර ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න  එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.
    මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. ඊට පස්සේ  ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා. ඊට උඩින් වැලි ටිකක් දානවා.ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලයි.
               
කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමානයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා. 
              අපේ ගෙදර උනත් කොස් වාරෙට බොහොමයක් කොස් වගේම කොස් ඇටත් නාස්ති වෙලා යනවා. ඉස්සර අපේ ආච්චී නම් බංකුවක් තියාගෙන ඉඳගෙන එක ඇටයක්වත් අහක නොදා එකතු කරගන්නවා. ඉස්සර අපි කියනවත් එක්ක "අපේ ආච්චි ට කන්න නෑ වගේ මේවා එකතු කරනවා "කියලා. ඒත් වැඩිහිටියො උනාට පස්සේ, අද කල්පනා කරද්දී තමයි තේරෙන්නේ එයාලා හැම දෙයක්ම මොනතරම් අපූරුවට පිරිමහගත්තද කළමනාකරණය කරගත්තද කියලා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් නොසලකා හැරියට මෙහෙම කල් තබා ගැනීම ආර්ථිකමය වාසියක් වගේම අවාරෙට කන්නත් ලැබෙනවා. කල්පනා කරලා බලද්දී අපි අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන ගොඩක් හොඳ දේවල් ඉවතට දාලා.

Friday, October 27, 2017

ආදරය සහ විවාහය


කුඩා ළමයින්ට එක එක ගැටළු මතුවෙනවනේ ඉස්කෝලෙදි ටීචර් ගෙන් අහන්න. එක දවසක් ටීචර් පංතියට ආවම දරුවෙක් ටීචර් ගෙන් ඇහුවළු

"ඇයි ටීචර් මිනිස්සු එයා ආදරේ කරන කෙනාව අතහැරලා වෙනත් අය එක්ක විවාහ වෙන්නේ?

ටීචර් කිව්වළු,

"හරි, මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා පොඩි වැඩක් කරන්න ඕනේ. එහා පැත්තේ තියන තිරිඟු යායට ගිහින් ,එතනින් හොඳම තිරිඟු කරල කඩාගෙන එන්න ඕනේ. හැබැයි ඔයා තිරිඟු කරල් තෝරද්දී ඉස්සරහටම යනවා මිසක ආපස්සට එන්න බෑ.. "

ඔන්න ළමයා තිරිඟු යායට ගිහින් තිරිඟු තෝරනවලු. එයාට හිත ගිය තිරිඟු කරලක් හම්බ උනාලු. එයාට ආයේ හිතුනලු තව ඉස්සරහට ගිහින් බලනවා මෙයිට වඩා ලොකු කරල් ඇති කියලා. තව ටිකක් ඉස්සරහට යද්දී තව කරලක් හම්බ උනාලු. ඒක කඩනවා කියලා හිතද්දී යටි හිත කිව්වලු තව ඉස්සරහට ගිහින් බලන්න මෙයිට වඩා හොඳ කරල ඉස්සරහා ඇති කියලා. ඔහොම තිරිඟු යායේ අඩක් විතර ගිහාම ළමයා තේරුම් ගත්තලු එයාට ඉස්සෙල්ලාම හම්බ උන තිරිඟු කරල තරම් ඉස්සරහට යද්දී හම්බෙන කරල් විශාල නැතිබව.

ඊට පස්සේ මේ ළමයට පසුතැවීමක් ඇති උනාලු අපරාදේ හම්බුන හොඳම තිරිඟු කරල අත ඇරියනේ කියලා. ටීචර් ගේ කොන්දේසියේ හැටියට ආපහු ගිහින් ඒ කරල කඩන්නත් බෑනේ. ඒක නිසා ළමයා හිස් අතින්ම පංති කාමරයට ගියාලු.

ටිචර්ට විස්තරේ කිව්වම ටීචර් කිව්වලු

"ඔයා ඔයාට හම්බුන හොඳ කරල අත හැරලා හොඳම කරල හොයන්න ඉස්සරහට ගියායින් ඔයාට හම්බවෙන්න තිබ්බ හොඳම කරල මගහැරුනා. දැන් ඔයාට ආපහු හැරෙන්නත් බෑ. අන්න ඒ විදිහට තමයි බොහොමයක් මිනිස්සුත්, ආදරෙන් බැඳුනට, වඩා හොඳ කෙනෙක් හොයන්න ගිහින් තමුන්ට ලැබුනු හොඳම පුද්ගලයාව අහිමි කරගන්නේ."

"එහෙනම් ටීචර් අපි කා එක්කවත් ආදරෙන් බැඳෙන්න හොඳ නෑ නේද?" "නෑ දරුවෝ, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ආදරේ නොකර ඉන්න ඕනෙ කියලා, අපිට හොඳයි කියලා හිතෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙන්න පුලුවන්. ඔයා කාත් එක්ක හරි අවංක ආදරෙකින් බැඳුනම ඔයාගේ අරමුණු, ඉලක්ක,සහ අනිත් අයගේ සම්බන්ධතා එක්ක සසඳලා ඔයාගේ ආදරේ අහිමි කරගන්න එපා. "

"එතකොට ටීචර් එයාල වෙන කෙනෙක් තෝරගන්නේ කොහොමද හොඳම කෙනාව ම හැරුනම?"

"ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා ආයෙමත් තිරිඟු කරලක් කඩාගෙන එන්න ඕනේ කලින් කොන්දේසිය ඒ විදිහමයි ආපහු හැරෙන්න බෑ."
ළමයා ආයේ තිරිඟු යායට ගියාළු. කලින් කරපු වරද ආයේ කරන්නෙ නෑ කියලා හිතාගෙන තිරිඟු යාය මැද්දටම ගිහින් එයාට හොඳයි කියලා හිතෙන කරලක් කඩාගෙන පංති කාමරයට ගිහින් ටීචර්ට එයා කරල තෝරගත්තු විදිහ විස්තර කලාළු. "මේ වතාවේ ඔයා හිස් අතින් නෑවිත් ඔයාට හොඳයි, මේ කරල තමයි ඔයාට ගැලපෙන්නේ කියලා හිතෙන කරල තෝරගෙන අරන් ආවා. විවාහයේදීත් අවසානෙට සුදුසු කෙනා තෝරගන්නේ ඔය විදිහට තමයි."

එතකොට ටීචර් ආදරේ කරලා විවාහ වෙන එකද සුදුසු විවාහ වෙලා ආදරේ කරන එකද?

ඒක තීරණය කලයුත්තේ ඔබයි. ඔබේ හදවතයි. 

"ජීවිතයත් හරියට පළතුරු කූඩයක් වගෙයි. එයින් ඔබ කැමතිම පළතුර තෝරගෙන අනුභව කරන්න පුලුවන්. නැත්නම් පළතුරු වලින් පෝෂ්‍යදායකම පළතුර තෝරගෙන අනුභව කරන්නත් පුලුවන්. අවශ්‍ය දේ ඥානවන්තව තෝරාගන්න ඕනේ . නැතිනම් ජීවිතේපුරාම පසුතැවෙන්න වෙයි ඔබේ තේරීම ගැන. ඔබ ඔබට අවංකනම්, ඔබට ඔබව විශ්වාසනම් ඔබ නිවැරදි දේ තෝරා ගනීවි.