Tuesday, December 26, 2017

ක්‍රිස්ටීන් ස්පීට්ල් විල්සන්


දොස්තර ආර්.එල් ස්පීට්ල් මහත්මයව අපි කවුරුත් දන්නවනේ. එතුමාගේ මැකී ගිය දඩමං, වනගත ලංකා, ලක් බිමේ තවත් යුගයක්, සුදු වැද්දා, සුදු ගෝනා පොත් කියවලා නැති නම් පොත් කියවන එකෙනුත් වැඩක් නෑ. මම අද කියන්න යන්නේ එතුමාගේ දියනිය වන ක්‍රිස්ටීන් ස්පීට්ල් විල්සන් මහත්මිය ගැන. 
සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ලේකඛයෙක් වන රිචඩ් ලයනල් ස්පීට්ල් මහතාගේ සහ වෛද්‍ය ක්ලේරී ස්පීටිල් මහත්මියගේ වැඩිමහල් දි‍යණිය ලෙස ක්‍රිස්ටීන් ස්පීට්ල් 1913 කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේදී ජන්ම ලාභය ලබනවා. ඇයට බාල සහෝදරියක් සිටිය මුත් ඇය කුඩා කලදීම මිය යනවා. කොළඹ බිෂොප් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන කුඩා ක්‍රිස්ටීන් උසස් අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයේ බ්‍රයිටන්හි රෝඩන් විද්‍යාලයෙන්.
ක්‍රිස්ටීන් කුඩා අවදියේ සිටම ඇගේ පියා නිවාඩුවක් ලද විගස වනගත් පෙදෙස් වල සංචාරය කරනවා. ඔහු සහ වැද්දන් අතර අපූරු සභඳතාවක් තිබුනාලු. එවැනි ගමන් වලට ක්‍රිස්ටීන් සහ ඇගේ මවත් සහභාගී උනාලු. ක්‍රිස්ටීන්ගේ මව වෛද්‍යවරියක් උනත් ඇය වෘත්තියක් ලෙස වෛද්‍යවෘතිය තෝරාගෙන නැහැ. Christine a memory පොතේ කියන විදිහට ඇය ගෙදර දොරේ වැඩ කරගෙන උන්නලු. ඉන්පසු ස්පීට්ල් මහත්මයා අරම්භකල, ඔවුන්ගේ නිවස වන විචරිලියේම පවත්වාගෙන ගිය ශල්‍යාගාරයේ වැඩට ඇගෙන් විශාල සහයෝගයක් ලැබුනලු. දහඅට වන වියේදී අධ්‍යාපන කටයුතු හමාර කොට ලංකාවට පැමිනෙන ක්‍රිස්ටීන්ව දෙමාපියන් විසින් සමාජයට හඳුනවාදෙනු ලබනවා. ඒත් ඇයට එම උත්සව නිරස වූ බව ඇගේ පොතේ සටහන් කරලා තිබුනා.
1933 නොවැම්බර් 17 වැනිදා විසිවන වියේ පසුවූ ක්‍රිස්ටීන් රයන් නැමති තේ වැවිලි කරුවෙකු සමග විවාහ වෙනවා. එම විවාහයෙන් ඇයට ලැබෙන දියණිය ඈන් හැදී වැඩෙන්නේ ඇගේ ආච්චී හා සීයා ගාව. ක්‍රිස්ටීන් සහ රයන්ගේ විවාහය සාර්ථක වෙන්නෙ නෑ ඔහුගෙන් දික්කසාදවන ක්‍රිස්ටීන් දෙවනි වතාවට මේජර් ඇලිස්ටෙයාර් මැක්නේල් විල්සන් සමහ විවාහ වී දියණියත් සමග ලන්ඩනයේ පදිංචියට යනවා.එංගලතයේ ජීවත් වෙද්දි තමයි ක්‍රිස්ටීන් වැඩිපුර ලියන්න පටන් ගන්නෙ. එංගලන්තයෙන් පිටවී ලංකාවට එන ක්‍රිස්ටීන් සැමියා සමග ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන්ගේ විවේක කාලය ගෙවෙන්නෙ ඇගේ පියාමෙන්ම වනාන්තරවල සංචාරයටයි. ඒ තරම් පහසුකම් නොතිබුන ඒකාලේ ඒ ගමන් ගොඩක් සුන්දර වෙන්න ඇති.
ඇගේ Christine a memory පොතේ විල්පත්තුව ගැන විශේෂයෙන් සඳහන් කරලා තියනවා. විල්පත්තුවේ දිවියො ගොඩක් ජීවත් උනාලු. ඊලාම් යුද්ධෙත් එක්ක විල්පත්තුව විනාශ උන එක ගැන එයා ගොඩක් දුක්වෙන බව සටහන් කරලා තිබෙනවා. අද විල්පත්තුවට වෙලා තියන විනාශය දකින්න තරම් ඇය ජීවත් උනේ නැති එකත් වාසනාවක්.
1948 ලංකාවට නිදහස ලැබිලා බ්‍රිතාන්‍යයන් බහුතරයක් ලංකාවෙන් පිටවෙනවා. ක්‍රිස්ටීන්ගේ සැමියා බොහෝ කාලයක් සේවය කල කලම්බු කොමර්ෂල් සමාගමෙන් ඉවත් වෙලා ඇයට විදේශගත වෙන්න ආරාධනා කරනවා. ඔවුන් පදිංචි වෙන්නෙ කෙන්යාවේ. ඔවුන් අප්‍රිකාවේ වනාන්තර වල සංචාරය කරන්නෙ හරිම ආසාවෙන්. වසර විස්සකට පස්සේ ලංකාවේ පදිංචියට එන ක්‍රිස්ටීන් අවුරුදු 97 ආයු වලඳා 2010 දී අවසන් හුස්ම හෙලනවා.
ඇගේ පොත් අතරින් තිත්ත කෝපි, කඳුකර මාවත, වන වැදුණු දොස්තර, වීර දිවයින, අත්තටු මැවිලා යන පොත් ලංකාවේ පාඨකයන් අතර අදටත් ප්‍රසිද්ධයි. ක්‍රිස්ටීන් පොත් පහලවක් ලියා පල කරලා තියනවා.
ඇය ගැන වැඩි විස්තර දැනගන්න කැමති ඇය "ක්‍රිස්ටීන් ස්පීට්ල් මතක සටහන්" පොත අරන් කියවන්න
.





Tuesday, December 19, 2017

රිවස්ටන්


මම පහුගිය ඉරිදා රිවස්ටන් ගිය නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. ගිය අයත් ඇති, නොගිය අයත් ඇති. මාතලේ නකල්ස් ආශ්‍රිතව තමයි රිවස්ටන් පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ඒ ගමනෙදි පුංචි ලෝකාන්තය බලාගන්න පුලුවන්. චාරිකාව යද්දී හොඳ තත්වයේ වාහනයක යනවා නම් වඩාත් හොඳයි. කඳු හෙල් වංගු බහුල පටු පාරක් නිසා බ්‍රේක් හොඳට වැඩ කරන වාහනයක යන එක හොඳයි.
මාතලේ පහුවෙලා උඩට යනකොට රබර් වතු, එනසාල් වතු, තේ වතු වගේම හෙල් මලු ක්‍රමයට හදපු කුඹුරු, ෆයිනස් වගාවන්, ස්වභාවික වනාන්තර දැක බලාගන්න පුලුවන්. මේ දවස් වල මීදුම ටිකක් තදයි. විටින් විට ළඟ ඉන්න කෙනාව පේන්නෙ නැති වෙන්නම මීදුම අපිව වසාගන්නවා. ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි. වාතය හරිම පිරිසිදුයි. බස්නාහිර පලාතේ ඉන්න අපට එහෙට ගිහින් හුස්ම ගන්නකොට ඒ වෙනස හොඳට දැනෙනවා. දූව්ලි නැති දුමාරය නැති විනාශ නොවූ පරිසරය ඇත්තටම මගේ හිත පුදුම විදිහට සන්සුන් කලා. රිවස්ටන් ගොඩක් වැදගත් වෙන්නේ සුළං කපොල්ල නිසයි.
රිවස්ටන් වලින් කිලෝමීටර් හතක් පමන දුර ගිහාම පිටවල පතන හමුවෙනවා. කොළ පාට තැනිතලවක්. පායන කාලෙටනම් දුඹුරු පාට වෙනවලු. පාරේ ඉඳන් පතනේ කිලෝමිටරයකට ආසන්න දුරක් ගිහාම පුංචි ලෝකාන්තය දැක ගන්න පුලුවන්. එතනට යන්න නියමිත පාරක් හදලා නෑ. පතනෙ මැද්දෙන් හොයාගන්න පුලුවන් වෙන්න ගල් වල සුදු පාට සලකුණු යොදලා තියනවා. පුංචි ලෝකාන්තය බලන්න ගිහාම ආරක්ෂාව පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂක වැටක් සවි කරලා නෑ. සුළං තදයි. අපිව ආපස්සට තල්ලු කරන තරමට වෙලාවකට සුළං හමනවා. එතන ඉඳන් පහල බැලුවම කොල පාටට අවට පේනවා. කඳු පංතියත් ලස්සනට බලාගන්න පුලුවන්. පුංචි ලෝකාන්තෙට හැරෙන පාර ගාව ඉඳන් ටික දුරක් ගිහාම තෙල්ගමුව ඔයේ සීතල වතුර නාගන්නත් පුලුවන්. හැබැයි කල්පනාවෙන්. වතුර වැඩිවෙන්වලු හිටපු ගමන්.
මෝටර් බයික් වල යන පිරිමි ළමයි දැක්කා. පරිස්සමෙන් ගියොත් වාහනේක යනවට වඩා අපූරුවට වට පිටාව බලන්න පුලුවන් කියලා මට හිතුනා.
අවාසනාවට හොඳ වර්ගයේ කැමරාවක් මාගාව නෑ. කෝල් ගන්නයි ජීපීඑස් ඕන් කරන් ගිය නිසා ෆෝන් එකේ බැට්‍රි භාගෙකටත් වඩා අඩුවෙන් තිබුනෙ. ඒක නිසා මට හොඳ ෆොටෝ ටිකක් ගන්න තිබුන අවස්ථාව මහ ඇරුනා.
තව එකක් වැහි කාලේ ගිහාම අපිව සාදරයෙන් පිළිගන්න කට්ටියක් බලන් ඉන්නවා. කූඩැල්ලෝ. 😁😁😁😁😁😁😁😁😁
තව ඉල්ලීමක් ඔයාලා එහෙ ගිහාම ටොපි කොළයක් තරම් දෙයක්වත් පරිසරයට එකතු නොකරන්න වගබලා ගන්න. වාසනාවට තාමත් ඒ පරිසරය පවිත්‍රයි. කවුරුවත් ශොපින් බෑග් එකක්වත් දාලා ගිහින් තිබුනෙ නෑ.








Monday, December 18, 2017

රාජකීය විවාහය

එංගලන්තයේ රජ පවුල කාලයෙන් කාලයට ලෝකයේම අවධානය යොමුවෙන විදිහේ පුවත් මවනවා. පහුගිය දවස් වල කාගේත් අවධානයට ලක්වෙලා තිබුනේ හැරී කුමරුගේ විවාහ ගිවිස ගැනීම. මමත්එං ගලන්ත රජ පවුලේ ඕපාදූප ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න නිසා මේ ටික ලියන්න හිතුනා. 
හැරී කුමරු එක්ක විවාහ ගිවිසගත්ත කාන්තාව මේගන් මාකල්. ඇගේ මව අප්‍රිකාණු සම්භවයක් ඇති කාන්තාවක්. මේගන් ඇමරිකාණු ජාතික කතෝලික තරුණියක්. ඇය ටෙලි නාට්‍ය හා චිත්‍රපටි නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. චිත්‍ර පට නිෂ්පාදකයෙක් සහ නළුවෙක්

වන ට්‍රෙවෝ එංගල්සන් සමග විවාහ වී වසර දෙකකට පසුව ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා.
හැරීට මේගන් මුණ ගැසෙන්නේ දකුණු අප්‍රිකාවෙදී. එහිදී දැන හඳුනා ගන්නා ඔවුන් ප්‍රේමයෙන් බැඳෙනවා. ඉන්පසු ඔවුන් බොහෝ තැන් වල සංචාරය කරනවා. ඔය අතරේ තමයි රජ පවුල ගැන නිරන්තර අවධානෙන් ඉන්න පැපරාසීන්ට ඔවුන් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉන් පසු ඔවුන්ගේ සම්භන්දය ලොවම සහ රජ පවුලේ සාමාජිකයින් දැනගන්නවා.
පුදුමය කියන්නේ ,හැරීට වඩා අවුරුදු තුනක් පමන වැඩිමහල් දික්කසාද වූ අප්‍රිකාණු සම්භවයක් තියන කතෝලික මේගන්ව විවාහ කරගන්න හැරීට එලිසබෙත් රැජිනගෙන් කැමැත්ත ලැබෙනවා. ඔවුන්ගේ විවාහ උත්සවය ලබන වසරේ මහ ඉහළින් පවත්වන්න දින නියම කරගෙන.
මෙගන් , එංගලන්තයේ රජ කිරුළට උරුමකම් කියන සාමාජිකයෙක් සමග විවාහ වෙන්න හීනෙන්වත් නොසිතන්න ඇති. ආදරයට ජාති ආගම් කුල භේද නෑ කියනවනේ. ගැහැණුන්ගේ පින කුණු මුල්ලේ කියනවානේ .මේගන් ගේ දෛවය ඇයව කුමරියක් එහෙම නැත්නම් ආදිපාදවරියක් කරා අරන් ගිහින්. ඇයට හිමිවෙන තානාන්තරය තවම තීරණය වී නැහැ.රජ කිරුලට උරුමකම් කියන්න හැරීට පෙර තව සාමාජිකයින් හතර දෙනෙක් ඉන්න නිසාත් තවත් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් නුදුරේදී එක්වන්න බලන් ඉන්න නිසාත් මේගන්ගේ වතගොත රැජින ට ලොකු ගැටළුවක් නොවෙන්න ඇති.
එංගලන්ත වැසියන් නම් මේගන්ව දැනටමත් "කළු කුමරිය" (Black princes) ලෙස හඳුන්වන්න පටන් අරන්.කොහොම උනත් රජ පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ, ඔවුන්ගේ ආදරය වෙනුවෙන් සහ රජ පවුලේ නීති රීති නිසා මේගන්ට වර්තමාන ඇගේ ජීවිතයේ බොහෝදේ කැපකරන්න සිදුවේවි. එංගලන්ත වැසියන්ට සොඳුරු මංගල්ලයක් දැකගන්න ලැබේවි. පැපරාසියොත් ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉඳීවි.


Thursday, November 30, 2017

දෙසැම්බර්


දෙසැම්බර් කියන්නේ අවුරුද්දේ මම කැමතිම මාසය. මම කතෝලිකයෙක් නොවුනත් දෙසැම්බර් පටන් ගන්නවත් එක්කම රේඩියෝ එකේ රූපවාහිනියෙන් ඇහෙන ජින්ගල් බෙල්ස් music එකට මම හරි කැමතියි. බටහිර සහ අග්නිදිග ආසියාවේ රටවල් වලට හිම වැටෙන්න පටන් අරගෙනත් ඇති. මම පොඩි කාලේ නම් හිතුවා අනේ අපටත් හිම වැටෙනවානම් කියලා, අදටත් මට හිතෙනවා අපටත් හිම වැටෙනවනම් කියලා.සීතල හිම එකතු කරලා ස්නෝ මෑන් කෙනෙක් හදන්න, හිම උඩ ලිස්සලා යන්න ෆොටෝ ටිකක් ගන්න, තිබුනා කියලා හිතෙනවා. ඒත් ඒ රටවල අය නම් කියන්නේ හිම වැටුනම ලස්සන උනාට සීතලත් එක්ක ඒක කරදරයක් කියලයි. අපට ඒ අත්දැකීම නැති නිසා වෙන්න ඇති මම හිම වලට කැමති. දෙසැම්බර් අපටත් ඉතින් ටිකක් ටිකක් සීතලයිනේ. අදත් ටිකක් සීතල වැහිබර  දවසක්. එහෙම වෙලාවට කෝපි කෝප්පයක් බොන ගමන් කැමතිම පොතක් කියවන්න තිබ්බ නම් කියලා හිතෙනවා. එහෙම කරන්න බෑනෙ ඉතින් උදේ පාන්දර සීතලේම නැගිටලා කෑම හදලා ගෙදර වැඩ කරලා වැඩට යන්නත් තියෙනවනේ. මම ඒවට කියන්නේ දෙසැම්බර් හීන කියලා. 
බෞද්ධයන් වෙන අපට උඳුවප් මාසය වැදගත් වෙන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් නිසයි. ඒ වගේම සිරිපා සමය ආරම්භ වෙන්නෙත් උඳුවප් පෝයෙන්.
දෙසැම්බර් මාසයට නම හැදිලා තියෙන්නේ ලතින් වචනයක් වන"ඩ්සෙම්"( රෝමන් කැලැන්ඩරයට මේ ඔවුන්ගේ දහ වෙනි මාසය .ඩිසෙම් කියන්නේ දහය කියන එක ) කියනව වචනයෙන් කියලයි කියන්නෙ.


Tuesday, November 14, 2017

දළුකානා වැවෙන් ඉල්ලීමක්

අපි ගිය සතියේ විනෝද චාරිකාවක් ගියා. දිඹුලාගල පන්සලටත් ගියා. දිඹුලාගල පන්සලේ වාහන නැවතුම්පොළේ කඩේකින්, කෑම කන්න සුදුසු තැනක් තියනවාද ඇහුවම එතන ඉඳන් කිලෝ මීටර් 3 විතර ගිහාම වැවක් තියනවා, ඒ වැව් බැම්මේ ඉඳන් කෑම කන්න පුලුවන් කිව්වා. ඔන්න ඉතින් අපි එතෙන්ට ගියා. ඇත්තටම ඒ වැව සහ අවට පරිසරය පුදුමාකාර ලස්සනයි. දළුකානා වැව. ප්‍රසිද්ධ වැවක් නොවුනට  ගොඩක් නිස්කලංක පරිසරයක්. එක පැත්තකින් කොළ පාටින් බබලන කන්දක්. එතන කවුරුත් නාන්නෙ නම් නැතුව ඇති ගස් වල කොළ වැටිලා තියන විදිහෙන් අපි එහෙම අනුමාන කලා. වැව් ඉවුරේ ආරක්ෂාවට ලොකු කලු ගල් කුට්ටි අතුරල තිබුනා. ඉවුර දිගටම කුඹුක් ගස් වැවිලා හරිම සිසිලයි. වැව් බන්ට් එක කෙලවර උනේ ලොකු ගල් තලාවකින්. 
      අපි ගල්තලාවේ වාඩි වෙලා කෑම කමු කියලා කතාවෙලා ගල් තලාවට ගියා. ඔයාලා පුදුම වෙයි, ගල් තලාව පුරාවටම බෝතල් කටු තිබුනා. ගහක් යට අරක්කු බෝතල් තිබුනා. තැන තැන බයිට් පැකට්, එක එක වර්ගේ ප්ලාස්ටික් බෝතල්  , ෂොපින් බෑග් , ලන්ච් ෂීට් විසිරිලා. එතන නිස්කලංක නිසා විනෝද චාරිකා යන අය එතනට එනවා ඇති. එහෙම ඇවිත් බීලා බෝතල් ගල් තලාවෙම බිඳලා කටු එතනම දාලා ගිහින්. මේතරම් ලස්සන පරිසරයක් මේ විදිහට විනාශ කරන්නේ මොන හිතකින්ද මන්දා. බිව්වානම් බෝතල් ටික ගහක් යටින් තියලා යන්න තිබුනා. කෑම කාපු කොල ටික අරන් ගිහින් පුච්චලා දාන්න තිබුනා. ඒත් මේ මිනිස්සු කරලා තිබුනේ තමුන්ගේ වැඩේ කරගෙන තව කෙනෙක්ට එතන පාවිච්චි කරන්න බැරි වෙන්න විනාශ කරලා දාපු එක. මෙහෙම පරිසරය විනාශ කරන මිනිස්සු ඉන්නෙ අපේ රටේ විතරමද කොහෙද. ගිය තැන විනාශයි. 
මම මෙහෙම ලිව්වේ ඔයාලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරන්න. මේ වගේ ස්ථානයකට ගිහාම ටොෆී කොලයක් වත් නොදා ඉන්න උත්සාහ කරන්න. එහෙම කලොත් අපේ අනාගත පරපුරටත් මේ සුන්දර පරිසරය විඳින්න ඉතුරු වෙයි. නැත්නම් මතුදාක අපේ දරුවොම අපට ශාප කරයි.

     

Monday, October 30, 2017

කොස් ඇට මුල්ල

       
    කොස් ඇටත් කඩෙන් ගන්න වෙලා කියලා යාලුවෙක් කිව්වා. ඒ කතාව දුර දිග ගිහින් මට අපේ ආච්චී වගේම කොස් ඇට මුල්ලත් මතක් උනා. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අය කල්පනා කරන්න පුලුවන් මොකක්ද මේ කොස් ඇට මුල්ල කියන්න කියන්නේ කියලා.
 ඉස්සර ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න  එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.
    මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. ඊට පස්සේ  ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා. ඊට උඩින් වැලි ටිකක් දානවා.ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලයි.
               
කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමානයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා. 
              අපේ ගෙදර උනත් කොස් වාරෙට බොහොමයක් කොස් වගේම කොස් ඇටත් නාස්ති වෙලා යනවා. ඉස්සර අපේ ආච්චී නම් බංකුවක් තියාගෙන ඉඳගෙන එක ඇටයක්වත් අහක නොදා එකතු කරගන්නවා. ඉස්සර අපි කියනවත් එක්ක "අපේ ආච්චි ට කන්න නෑ වගේ මේවා එකතු කරනවා "කියලා. ඒත් වැඩිහිටියො උනාට පස්සේ, අද කල්පනා කරද්දී තමයි තේරෙන්නේ එයාලා හැම දෙයක්ම මොනතරම් අපූරුවට පිරිමහගත්තද කළමනාකරණය කරගත්තද කියලා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් නොසලකා හැරියට මෙහෙම කල් තබා ගැනීම ආර්ථිකමය වාසියක් වගේම අවාරෙට කන්නත් ලැබෙනවා. කල්පනා කරලා බලද්දී අපි අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන ගොඩක් හොඳ දේවල් ඉවතට දාලා.

Friday, October 27, 2017

ආදරය සහ විවාහය


කුඩා ළමයින්ට එක එක ගැටළු මතුවෙනවනේ ඉස්කෝලෙදි ටීචර් ගෙන් අහන්න. එක දවසක් ටීචර් පංතියට ආවම දරුවෙක් ටීචර් ගෙන් ඇහුවළු

"ඇයි ටීචර් මිනිස්සු එයා ආදරේ කරන කෙනාව අතහැරලා වෙනත් අය එක්ක විවාහ වෙන්නේ?

ටීචර් කිව්වළු,

"හරි, මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා පොඩි වැඩක් කරන්න ඕනේ. එහා පැත්තේ තියන තිරිඟු යායට ගිහින් ,එතනින් හොඳම තිරිඟු කරල කඩාගෙන එන්න ඕනේ. හැබැයි ඔයා තිරිඟු කරල් තෝරද්දී ඉස්සරහටම යනවා මිසක ආපස්සට එන්න බෑ.. "

ඔන්න ළමයා තිරිඟු යායට ගිහින් තිරිඟු තෝරනවලු. එයාට හිත ගිය තිරිඟු කරලක් හම්බ උනාලු. එයාට ආයේ හිතුනලු තව ඉස්සරහට ගිහින් බලනවා මෙයිට වඩා ලොකු කරල් ඇති කියලා. තව ටිකක් ඉස්සරහට යද්දී තව කරලක් හම්බ උනාලු. ඒක කඩනවා කියලා හිතද්දී යටි හිත කිව්වලු තව ඉස්සරහට ගිහින් බලන්න මෙයිට වඩා හොඳ කරල ඉස්සරහා ඇති කියලා. ඔහොම තිරිඟු යායේ අඩක් විතර ගිහාම ළමයා තේරුම් ගත්තලු එයාට ඉස්සෙල්ලාම හම්බ උන තිරිඟු කරල තරම් ඉස්සරහට යද්දී හම්බෙන කරල් විශාල නැතිබව.

ඊට පස්සේ මේ ළමයට පසුතැවීමක් ඇති උනාලු අපරාදේ හම්බුන හොඳම තිරිඟු කරල අත ඇරියනේ කියලා. ටීචර් ගේ කොන්දේසියේ හැටියට ආපහු ගිහින් ඒ කරල කඩන්නත් බෑනේ. ඒක නිසා ළමයා හිස් අතින්ම පංති කාමරයට ගියාලු.

ටිචර්ට විස්තරේ කිව්වම ටීචර් කිව්වලු

"ඔයා ඔයාට හම්බුන හොඳ කරල අත හැරලා හොඳම කරල හොයන්න ඉස්සරහට ගියායින් ඔයාට හම්බවෙන්න තිබ්බ හොඳම කරල මගහැරුනා. දැන් ඔයාට ආපහු හැරෙන්නත් බෑ. අන්න ඒ විදිහට තමයි බොහොමයක් මිනිස්සුත්, ආදරෙන් බැඳුනට, වඩා හොඳ කෙනෙක් හොයන්න ගිහින් තමුන්ට ලැබුනු හොඳම පුද්ගලයාව අහිමි කරගන්නේ."

"එහෙනම් ටීචර් අපි කා එක්කවත් ආදරෙන් බැඳෙන්න හොඳ නෑ නේද?" "නෑ දරුවෝ, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ආදරේ නොකර ඉන්න ඕනෙ කියලා, අපිට හොඳයි කියලා හිතෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙන්න පුලුවන්. ඔයා කාත් එක්ක හරි අවංක ආදරෙකින් බැඳුනම ඔයාගේ අරමුණු, ඉලක්ක,සහ අනිත් අයගේ සම්බන්ධතා එක්ක සසඳලා ඔයාගේ ආදරේ අහිමි කරගන්න එපා. "

"එතකොට ටීචර් එයාල වෙන කෙනෙක් තෝරගන්නේ කොහොමද හොඳම කෙනාව ම හැරුනම?"

"ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔයා ආයෙමත් තිරිඟු කරලක් කඩාගෙන එන්න ඕනේ කලින් කොන්දේසිය ඒ විදිහමයි ආපහු හැරෙන්න බෑ."
ළමයා ආයේ තිරිඟු යායට ගියාළු. කලින් කරපු වරද ආයේ කරන්නෙ නෑ කියලා හිතාගෙන තිරිඟු යාය මැද්දටම ගිහින් එයාට හොඳයි කියලා හිතෙන කරලක් කඩාගෙන පංති කාමරයට ගිහින් ටීචර්ට එයා කරල තෝරගත්තු විදිහ විස්තර කලාළු. "මේ වතාවේ ඔයා හිස් අතින් නෑවිත් ඔයාට හොඳයි, මේ කරල තමයි ඔයාට ගැලපෙන්නේ කියලා හිතෙන කරල තෝරගෙන අරන් ආවා. විවාහයේදීත් අවසානෙට සුදුසු කෙනා තෝරගන්නේ ඔය විදිහට තමයි."

එතකොට ටීචර් ආදරේ කරලා විවාහ වෙන එකද සුදුසු විවාහ වෙලා ආදරේ කරන එකද?

ඒක තීරණය කලයුත්තේ ඔබයි. ඔබේ හදවතයි. 

"ජීවිතයත් හරියට පළතුරු කූඩයක් වගෙයි. එයින් ඔබ කැමතිම පළතුර තෝරගෙන අනුභව කරන්න පුලුවන්. නැත්නම් පළතුරු වලින් පෝෂ්‍යදායකම පළතුර තෝරගෙන අනුභව කරන්නත් පුලුවන්. අවශ්‍ය දේ ඥානවන්තව තෝරාගන්න ඕනේ . නැතිනම් ජීවිතේපුරාම පසුතැවෙන්න වෙයි ඔබේ තේරීම ගැන. ඔබ ඔබට අවංකනම්, ඔබට ඔබව විශ්වාසනම් ඔබ නිවැරදි දේ තෝරා ගනීවි.

Thursday, October 26, 2017

පරිත්‍යාගයත් සමග ලැබෙන සතුට


උදෑසන කාර්යාලයට යන්න සූදානම් වෙමින් උන්න කන්නා මහතා අමතන බිරිඳ, කාර්යාලයට යන ගමන් ඇඳුම් කීපයක් ලොන්ඩ්‍රියට දෙන ලෙස ඉල්ලීමක් කරනවා.

ඇයි මේවා ලොන්ඩ්‍රි දාන්නේ?

අපේ සේවිකාව අද එයාගේ මිනිබිරියගේ ගෙදර යනවා. උදෙන්ම බස් එක ගන්න ඕන නිසා එයාට අද රෙදි හෝදන්න කාලයක් නෑ. එයා ආපහු එන්නේ තව දවස් දෙකකින්.එයාගේ මිනිබිරීගේ උපන්දිනේ හෙටලු. ඉතින් එයා උපන්දිනය සමරන්නත් එක්ක තමා එහෙ යන්නේ.

"කමක් නෑ මම මේක ලොන්ඩ්‍රියට දීගෙන යන්නම්"

"ආ..මම ඔයාගෙන් අහන්න ආවේ, මම අපේ සේවිකාවට රු 500 ක  බෝනස් එකක් දුන්නට කමක් නෑ නේද?

"ඇයි ඔයා එයාට නත්තලට බෝනස් එකක් දුන්නා නේද?"

"ඔව්, ඒත් එයා ජීවත් වෙන්නේ අමාරුවෙන්, බස් ගාස්තුවත් වැඩිනෙ එහෙට යන්න. එකයි මම එයාට වැටුපට අමතරව රු 500 දෙන්න හිතුවේ."

"ඔයා සංවේදී වැඩියි නෝනා..ඕනවට වඩා හිතනවා"

"නෑ එහෙම නෑ. අපි අද රෑට එළියට ගිහින් පීසා කන්නනෙ උන්නේ. අපි ඒ ගමන නොගිහින් ඒ සල්ලි අපේ සේවිකාවට දෙමු."

"ඔයා හදන්නේ මගේ පීසා කෑල්ලත් උදුර ගන්න. කමක් නෑ අපි ඔය පීසා කෑලි 6 අමතක කරමු. ඔයා හිතපු විදිහට කරන්නකො"

දින කීපයකට පස්සේ කන්නා මහතා සාලයේ පුටුවකට වෙලා පත්තරේ බලනවා. ඒ වෙලාවේ සේවිකාව සාලය මොබ් කරන්න පැමිනෙනවා.

"කොහොමද ගීතා, මිනිබිරීගේ ගෙදර ගිහින් විනෝද උනාද? ඒ ගොල්ලෝ ගොඩක් සතුටු වෙන්න ඇති නේද ඔයාව දැකලා."

ඔව් සර්, මම ගොඩක් විනෝද උනා, නෝනා දුන්න රු 500/- ම වියදම් කලා. රු 150/- දීලා මගෙ මිනිබිරීට ඇඳුමක් ගත්තා, බස් ටිකට් වලට රු 100/- ක් වියදම් උනා, මගේ දුවට රු 50/- කට වළලු ගත්තා. මගේ බෑනට රු 50/- කට බෙල්ට් එකක් ගත්තා. ඉතුරු රු 50/- මිනිබිරීට දුන්නා ඉස්කෝලෙට ඕන කරන පැන්සල් , පොත් ගන්න ."

කන්නා මහතාට පුදුම හිතුනා. පීසා කෑලි 6ක් ගන්න මුදලින් සේවිකාව ඇගේ පවුලේ සියලු දෙනාටම තෑගිත් අරන්, එයාලව බලන්න ගිහින් එයාල එක්ක ගොඩක් සතුටෙන් කාලය ගත කරලා, මිනිබිරීගේ උපන්දිනෙත් සතුටින් සමරලා. ඒ ඔක්කොටම වැය උනේ අපි පීසා එකක් කන්න යන මුදල. 
     
අපට අපි අමාරුවෙන් උපයාගන්නා මුදල අපට උවමනා විදිහට වියදම් කරන්න පුලුවන්. ප්‍රයෝජනවත් දේකට වගේම තාවකාලික සතුටක් වෙනුවෙන්.පීසා වැනි මිල වැඩි කෑමකට උනත්. ඒ වගේම අපට පුලුවන් ඒ වගේ අනවශ්‍ය වියදමක් නතර කරලා ඒ මුදලින් කාට හරි උපකාරයක් කරන්න. අපි මොහොතක සතුටට නාස්ති කරන ඒ මුදල, තවත් කෙනෙක් අත්‍යවශ්‍ය දේකට යොදවලා සතුටුවෙනවා බලන්න.

You may not be obligated to do so, but your little goodwill can light up someone’s life in many ways.

(අන්තර්ජාලයෙන් උපුටාගෙන පරිවර්තනය කරන ලද්දකි.)

Thursday, October 19, 2017

හැලොවින් , Halloween


හැලොවින් යනු ඔක්තෝම්බර් මස 31 වෙනිදා රාත්‍රියේ ඇමරිකාව ඇතුලු ලෝකයේ බටහීර රටවල් වල පවත්වන උත්සවයකි.මෙහි මූලාරම්භය 16 වන සියවස තෙක් දිවයයි. . All-Hallows-Even  යන ස්කොට්ලන්ත වචනයෙන් බිඳී ගොස් Halloween  නම් වචනය සෑදී ඇත.
 දකුණු ආසියාතික රටවල් වල මෙම දිනය සමරනු නොලැබුවත් ඇමරිකාව, එංගලන්තය,කැනඩාව, අයර්ලන්තය,ඕස්ට්‍රේලියාව වැනි රටවල ජනතාව මහා ඉහළින්මෙම දිනය සමරති. එමෙන්ම ඔකොතොම්බර් 31 වෙනිදා එම රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස වෙන්කර ඇත.හැලොවින් වල අරමුණ ලෙස සඳහන් වෙන්නේ  ඔවුන් එදිනට යක්ෂයා, භූතාත්ම,මළ අයගේ ආත්ම,මායාකාරියන්, සුරංගනාවියන් යන අයගේ ආත්ම සමග සම්භන්ද වීමයි.

හැලොවින් යනු කුඩා දරුවන්ටත් ඉතා සුවිශේෂී දිනකි. කුඩා දරුවෝ විවිධා කාරයේ විකට රූපී සහ කාටූන් චරිත මෙන් නිර්මානය වූ ඇඳුම් වලින් සැරසී එදින රාත්‍රියේ කණ්ඩායම් ලෙස් වීදී සංචාරය කරති. වීදියේ පිහිටි නිවාස වලට යන ඔවුන් එම නිවාස වල ඉදිරි දොරටුවට තට්ටු කොට එම නිවැසියන්ට Trick or treet යැයි පවසති. එවිට එම නිවැසියෝ කුඩා දරුවන්ට ටොෆී, චොක්ලට් වැනි පැණි රස කෑම වර්ග බෙදා දෙති. ඒවා එකතු කිරීමට දරුවෝ කුඩා මල්ලක් හෝ වට්ටක්කා හැඩයේ කූඩයක් රැගෙන යති.
එමෙන්ම වැඩිහිටියෝ විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි ගෙනවිත් එහි මදය හාරා ඉවත් කොට වට්ටක්කා ගෙඩියේ පිටත ඇස් දෙකක් නහයක් කපා එහි මධ්‍යයේ ඉටි පන්දමක් දල්වා එය සිය නිවසේ ඉදිරිපස දොරටුව අසලින් තබති. අතීතයේ දී එමගින් අශුද්ධ ආත්ම පලවාහැරිය හැකි බවට විශ්වාසයක් තිබුනි.
හැලොවින් උත්සවය හා සබැඳුනු ඇදහිලි විශ්වාස, කතාන්දර බොහොමයක් ඇත. වර්තමානයේදී නම් හැලොවීන් උත්සවය විනොදාස්වාදය සඳහා සහ ව්‍යාපාරික අරමුණු සඳහා පවත්වන උත්සවයක් බවට පත්වී ඇත.
(ඡායාරූප සහ තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )

Monday, October 16, 2017

සැමෝවරය

සැමෝවරය/Samovar

රුසියන් පොත් කියවද්දී මට ලොකූ ගැටලුවක් තිබුනා සැමෝවරය ගැන. ගොඩක් පොත් වල තියනවා තේ හදන්න සැමෝවරය රත් කරන්න සේවිකාවට කිව්වා. හැමෝටම සැමෝවරයෙන් තේ හැදුවා. කුතුහලයක තිබුනට ඒ මොකක්ද කියලා හොයන්න බැරි උනා. ඊයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හොයලා බැලුවා ඒ ගැන. මේන්න මේ වගේ එකක් තමයි සැමෝවරයක කියන්නේ.
සැමෝවරය කියන්නේ රුසියාව සහ අවට රටවල් වල ජලය උණු කිරීමටසාම්ප්‍රදායිකව භාවිත කරන ලෝහ බඳුනක්. මේ රත්වූ වතුර හදාගන්න පාවිච්චි කරනවා.මේවා යකඩ, තඹ, ඔප දැමූ පිත්තල, ලෝකඩරිදී, රත්රන්, ටින් හෝ නිකල් වැනි නිමැවුම්වලින් සාදාගත හැක. සාමාන්‍ය සැමෝවරයක එහි බඳ,මේසයක් මත තැබීමට පාදයක්,චිමිනි, වාෂ්ප විදිනයක්,අල්ලා ගැනීමට අඬුවක්,වතුර ගැනීමට හා වැසීමට හැකි ටැප් එකක්,සහ තේ පොච්චිය යන කොටස් අඬංගු වෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන්   විවිධ ධාරිතාවයන්ගෙන් යුත් සැමෝවර් තියනවා.තේ හදා ගන්න අවශ්‍ය වෙලාවට එයට වතුර පුරවනවා. ඉන් පසු ඒ කාලයේ නම් ගල් අඟුරු දල්වලා එය රත් කරනවාලු. වර්තමානයේ විදුලි බලය යොදා ගන්නවලු. ඉන් පසු එහි තිබෙන තේ කොල දමන් කොටසට තේ කොල දානවා. වතුර රත් උනාම කරාමය ඇරලා කෝප්ප වලට තේ වක්කර ගන්නවා.

Sunday, October 1, 2017

කැලේ ගස


කැලේ ගස
ජයකොඩි සෙනෙවිරත්න

 ජයකොඩි සෙනෙවිරත්න මහතා ගේ පොත් වලට මම කැමති වෙන්න විශේෂතම හේතුව තමයි එතුමා ගොඩක් ලියන්නේ ගැමි ජීවිත පදනම් කරගත්තු නව කතා වීම.
"කැලේ ගස" පොතත් ගමක එක පවුලක සහෝදරයෝ සහ ඔවුන් ගේ දරුවන් වටා ගෙතුණු කතාවක්. " පොඩි මහත්තයා, පොඩි හාමිනේ, ගැලිසන්, මොරිසන්, චූටි මැණිකේ,අප්පුහාමි,කැතරිනා,උක්කුං,සුද්දී, ගුණපාල එම පවුලේ සාමාජිකයෝ.
         කුඩා කාලයේ එකට සහෝදර බැම්මෙන් උන්නත් විවාහ වෙලා දරුවෝ ලබද්දී සහෝදරයෝ උනත් වෙනස් වෙනවා. ඊට පස්සේ ගොඩක් දෙනා උත්සාහ කරන්නේ තමුන් ගේ කොටස වැඩි කරගන්න. දේපල ඉඩ කඩම් නිසා සහෝදරයෝ විරසක වෙනවා. දේපල වෙනුවෙන් සහෝදරකම් නෑදෑකම් උනත් අත හරින්න සූදානම් වෙනවා.කතුවරයා මේ පොතෙන් කතා කරන්නේ ඒ පිළිබඳව.    
     අනිත් දේ තමයි ජාදි බේදය හා කුල බේදය. දරුවෙක් වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් කුලයක කෙනෙක් සමග විවාහ උනාම දෙමව්පියෝ සහා නෑ පරපුරම එම දරුවාව තමන්ගේ පරම් පරා නම්බුවට අවමන් කලා කියලා පවුලෙන් අයින් කරනවා. ඔවුන් ට උරුම දේවල් දෙන්නෙත් නෑ. ඒ අතුරින් කොටසක් වෙහෙස මහන්සියෙන් තමන් ගේ ජීවිත ගොඩ නගා ගන්නවා. කොටසක් උරුමය බලාපොරොත්තු වෙනවා. ඉල්ලලා රණ්ඩු වෙනවා. දියුණු වෙලා ඉන්න සහෝදරයන්ට ඊර්ෂා කරනවා.
   මේ පොතෙන් කියන්නේ එහෙම කතාවක්.අනුන් විනාශ කරන්න ගිහාම තමනුත් විනාශ වෙන බව කතාව අවසානෙන් අපට පාඩමක් උගන්නනවා. මොරිසන්, ජයනෙත්ති ගේ කඩේ ගිණි තියලා යද්දී ඇලට වැටිලා මැරෙන්නේ කල කම් පලදීමක් විදිහටයි.
      ඒ වගේම නොගැලපෙන සම්බන්දතා හදාගෙන විවාහයට පෙර සම්බන්දතා දුර දිග අරන්  ගිහාම සුද්දී ට වගේ ජීවිතේ නාස්ති කරගෙන නමට කැලලක් එකතු කරගන්න සිද්ද වෙනවා.
      මේ පොත ලියලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ලංකාවේ පරිසරය පදනම් කරගෙන උනත් මේ පොතේ එන චරිත වල ගති ලක්ෂණ වල අද ජීවත් වෙන  මිනිසුන්ගේ ගති ලක්ෂණ වලත් වෙනසක් නෑ කියලා මට හිතුනා. 
       ඒ වගේම එදා තිබුනු ස්වයංපෝෂිත ආර්ථික රටාව ගැන ලියලා තිබුන ආකාරයත් මගේ හිතට දැනුනා. කුඹුරෙන් වී ටික, ගෙවත්තෙන් ගොටු කොළ, කොස් දෙල් ඇතුලු අනෙකුත් එළවලු ටික ලැබුනම මහා ලොකුවට මුදල් නැතත්  මිනිස්සුන් ට හොඳට කාලා බීලා සතුටෙන් ඉන්න ප්‍රමාණවත් දේවල් ඔවුන් ගේ ළඟම  තිබුනා. 
        ජාති,ආගම්,කුල බේදය කියන්නේ සමාජයට පිලිලය ක්. ඉන් අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ. අද ලෝකය දිහා බැලුවමත් ජාති,ආගම් බේදය නිසා විශාල ගැටළු ඇතිවෙමින් තියනවා. 
  මේ හැම දේකින්ම ලැබෙන විපාක තමයි මේ පොත කියවලා අන්තිමට පොත ගැන හිතලා බලද්දී අපට දැනෙන්නේ. එක දිගට කම්මැලි කමක් නැතිව කියවාගෙන යන්න පුලුවන් පොතක්. කියවලා නැති අය කියවලා බලන්න.

ඔබ යළිත් එනවානම්


Thursday, September 21, 2017

සයුරු තෙරෙහි ගම්මානය


සයුරු තෙරෙහි ගම්මානය
The Village By the sea
Author - Anita Desai
පරිවර්තනය: සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

මේ පොත නම් ගොඩක් දෙනෙක් කියවලා ඇති. ගොඩක් ඉන්දියානු පොත් වල ඒ රටේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය ගැන කියවෙනවා. ඇත්ත ඉන්දියාව කියන්නේ දුප්පතුන් බහුලව ජීවත් වෙන රටක්.මේ පොතේ කතාව ගෙතෙන්නෙත්  දුප්පත් පවුලක් වටා. රා බීමට ඇබ්බැහි උන පියාත් ලෙඩ ඇඳට වැටුන මවත් සමග ජීවිතයට මුහුණ දෙන දරුවන් හතර දෙනෙක් අභියෝග වලට මුහුණ දෙන අයුරු මේ පොතෙන් කතා වෙනවා.
  මේ පොත කියවද්දී මගේ හිත ගොඩක්ම ආකර්ෂණය කරගත්තේ පරිසර වර්ණනාව. සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතාගේ පරිවර්තන භාෂා ශෛලියත් නිසා ඒ කොටස් කියවද්දී ඒ පරිසරය හිතේ ඇඳගන්න පුලුවන් ලස්සනට.

සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා පොතේ හැඳින්වීමෙදි මෙහෙම කියනවා.
පවුලේ අන් අයත්, ගැමියනුත් තම බේබදු පියා දෙස කලකිරීමෙන් බැළුවත්, ලීලා තුළ ඔහු කෙරෙහි ඇත්තේ දයානුකම්පාවකි. ගෙදරත්, ගමත් කෙරෙහි කලකිරී පැනගිය, තම පවුලේ එකම ශක්තිය බවට පත්ව සිටි තම සොහොයුරා නොමැතිව වුවද, බාල සොයුරියන් දෙදෙනා පාසැල් යවමින්, අසනීපව සිටි අම්මාවත් ගොඩනැගීමට ඇය සමත්වූ ආකාරය මනස්කාන්ත ලෙස මෙහි විස්තර වෙයි. මුළු කතාව පුරාම ලෙඩ ඇදේ පසුවන ගැහැනියක් හැටියට දැක්වුවද, කතාව ආරම්භයේත්, අවසානයේත් මුහුදේ දේවාලය හා සම්භන්ධ කර ඇයව දැක්වීම මගින්, අම්මා පවුල කෙරෙහි කෙතරම් භක්තියකින් සිටියාද යන්න පෙන්නුම් කිරීම තුළින්, පොත පුරා පැතිර ඇති නිශ්ශබ්ද චරිතයක වටිනාකම වගන්ති දෙකකින් දැක්වීමට අනිතා ගෙන ඇති ප්‍රයත්නය අගේ කළ යුතුය. 
කියවලා නැති අය පොත හොයන් කියවන්න . කියවලා තියන අය අදහස් කියන්න.

Wednesday, September 20, 2017

වටිනාකම


ආයතනයක සේවකයින් සඳහා දේශනයක් පැවත්වූ අතර, ඒ සඳහා අයතනයේ සේවකයින් දෙසිය දෙනෙක් සහභාගී විය. එම දේශනය පැවැත්වීමට පැමිණි කථිකයා ඩොලර් 20 ක නෝට්ටුවක් රැගෙන වේදිකාවට ගොඩ විය. 

"මගේ අතේ තියන ඩොලර් 20 ට කැමති අය අත උස්සන්න" යැයි ඔහු පැවසූ විට දේශනයට සහභාගී වූ සියලු දෙනාම අත් එසවීය.

හොඳයි මම මේ ඩොලර් 20 ඔයාලගෙන් එක්කෙනෙකුට දෙනවා. ඊට කලින් මම මේකට යමක් කරන්න ඕනේ යැයි පැවසූ දේශකයා ඩොලර් නෝට්ටුව පොඩි කළේය.
දැන් මේ නෝට්ටුව කාටද ඕනේ යැයි විමසූ විටදීත් සියලු දෙනාම අත් එසවීය.

ඉන්පසු දේශකයා නොට්ටුව බිමට දමා ඔහුගේ කකුලෙන් එය පාගා යලි අතට ගත්තේය, හොඳයි දැන් කාටද මේ නෝට්ටුව ඕනේ යැයි විමසීය.
එවරද සියලු දෙනාම අත් ඔසවා නෝට්ටුව   අවශ්‍ය බව පැවසීය.

මගේ මිත්‍රවරුනි, මම දැන් ඔබට වටිනා පාඩමක් ඉගැන්නුවා.මම මේ මුදල් නෝට්ටුව මොනදේ කලත් එහි වටිනාකම අඩු උනේ නෑ. ඒ නිසා ඔබලා එය ලබා ගන්න කැමැති උනා. අපේ ජීවිතේ අපිට දුක්බර මෙන්ම ඉතාම අසීරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වෙලාවට අපි නරක තීරණ ගන්නවා මෙන්ම බොහොම අපහසුතාවයෙන් ඒවාට මුහුණ දෙනවා. අපි හිතනවා අපිට කිසිම වටිනාකමක් නෑ අපෙන් කාටවත් වැඩක් නෑ කියලා. මොන්දේ සිදුවුනත් ,ඉදිරියේදී සිදුවෙන්න තිබුනත් ඔබගේ වටිනාකම අඩු කරගන්න එපා. ඔබ විශේෂයි . කවමදාවත් එය අමතක කරන්න එපා.

Tuesday, September 19, 2017

Good luck Bad Luck Who Knows?


ඔන්න එකෝමත් එක කාලෙක චීනයේ උන්නලු වයසක ගොවියෙක්.
එයාගේ ගොවි පොළේ උන්නලු වයසට ගිය අශ්වයෙක්.
දවසක් ඒ වයසක අශ්වයා ගොවි පොළෙන් පැනලා කඳුකරයට ගියාලු.
ඒක දැනගත්තු ගමේ මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගේ අවාසනාවට, හිටපු පරණ අශ්වයා පැනලා ගියා කියලා.
ඊට පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
දවසක් අර පැනලා ගිය අශ්වයා කැලෑ අශ්වයෝ කීප දෙනෙක් එක්ක ගොවි පොළට ආවලු.
ඒ වග දැනගත්ත මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගෙ වාසනාවට අර නාකි අශ්වයා තව අශ්වයොත් අරන් ආපහු ඇවිත් කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
මෙහෙම ආපු කැලෑ අශ්වයෙක් හීලෑ කරන්න හිතපු ගොවියාගේ පුතා අශ්වයගෙ පිටෙන් වැටිල කකුළක් කඩා ගත්තලු.
පුතාව බලන්න ගොවි පොළට ආපු මිනිස්සු කිව්වලු අනේ මේ වයසක ගොවියගෙ අවාසනාවට එකම පුතාගෙත් කකුලක් කැඩුනනෙ කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
එක දවසක් හමුදා කණ්ඩායමක් ගමට ඇවිත් හමුදාවට බඳවාගන්න කියලා ගමේ තරුණ ළමයි සේරම අරන් ගියාලු. කකුල කැඩුන ළමයා විතරක් දාලා ගියාලු.
ඒවෙලාවෙත් ගොවියා කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
අපට යම් විපතක් හෝ කරදරයක් සිදුවූ විට ඒ පිළිබඳ මැදහත් සිතින් බැලිය යුතුය. ඒ ඔස්සේ කල්පනා කර අපේ හිත දුර්වල කරගත් යුතු නැත. මේ දෙය සිදුවූයේ හොඳටදැයි නරකටදැයි අපි කවුරුර්ත් දන්නේ නැත.එනිසා හැම විටම අපි නොසැලී සියල්ලට මුහුණ දිය යුතුය.

Monday, September 18, 2017

ලෝකය වෙනස් කිරීමට නම්




තරුණ වියේදී මා විසින් ලෝකය වෙනස් කල යුතු යැයි සිතුවෙමි.

එහෙත් මට ලෝකය වෙනස් කිරීමට නොහැකි විය.

එනිසා මම මගේ ජාතිය වෙනස් කිරීමට උත්සාහ කළෙමි.

මට මගේ ජාතියද වෙනස් කිරීමට නොහැකි විය.

එනිසා මම මගේ අවදානය මගේ නගරයට යොමු කළෙමි.

නගරය වෙනස් කිරීමේ උත්සාහයද සාර්ථක නොවීය.

කාලය ගතවී මම මහලු වියට එළඹුනෙමි.

 මම මගේ පවුල වෙනස් කිරීමට සිතුවෙමි.

එයත් ව්‍යර්ථ විය.

මහලු පුද්ගලයෙක් ලෙස මට වෙනස් කිරීමට ඉතිරිව තිබුනේ මා පමනි.

අවසානයට මම වටහා ගතිමි. මම මගේ තරුණ කාලයේදී, මගේ  ජීවිතය  වෙනස් කර ගත්තා නම්, මට මගේ පවුලට බලපෑම් කිරීමට හැකියාව තිබුණි. මට සහ මගේ පවුලට නගරයට බලපෑම් කිරීමට හැකිය. නගරයේ බල පෑමෙන් ජාතිය වෙනස් කළ හැකිය.ඉන් පසු ලෝකයම වෙනස් කල හැකිය. මුලිම වෙනස් විය යුත්තේ මා ය

Friday, September 15, 2017

බස් කතාවක්


ඊයේ හවස ගම්පහ මීගමු පාරේ බස් අඩුයි. ඉඳලා ඉඳලා ආපු බස් එකෙත් පොල් පටෝලා වගේ සෙනග. මමත් වදෙන් පොරෙන් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටින් එකකට සැමන් අහුරනවා වගේ කට්ටියව ගානට පැක් කලා. අතක් ඉස්සුවොත් පාතට දාන්න බෑ. හිටගෙන ඉන්න තැනින් කකුල පොඩ්ඩක් එහාට මෙහාට කලොත් තනි කකුලෙන් ඉන්න වෙන්නේ. බස් හෝල්ට් වලින් බහින අයට ඉඩ දෙන්න තව හත් අට දෙනෙකුත් බිමට බහින්න ඕනේ. ඔය අතරේ පොඩි පොඩි වචන හුවමාරු ත් තිබුනා. 

ඔය අතරේ බස් එකේ කොනේ සීට් එකක ඉඳගත්තු මනුස්සයෙක් ඔලුව ජනේලෙන් එළියට දාගෙන සිංදු කියනවා. අනිත් මිනිස්සු තරහෙන් ඔරව ඔරව ඉන්දි මේ මනුස්සයා හරිම විනෝදෙන්. 
මොකක්ද දන්නවද කියපු සින්දුව.

😁
"මාගේ පැලෙ අඳුර නසන්න
හිතෙනව මනාළියෙක් ගේන්න
අඹුදරු දරු රැකගන්න අපට
මාලු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න..."

සිංදු කීපයක් ගලපලා එක සිංදුවක් හදලා කියනවා. ඔය විදිහට ඉතින් ගම්පහ කිට්ටුවට ආවා. ගුවන් පාලම කිට්ටුව ලොකු ට්‍රැෆික් එකක්.

"ට්‍රැෆික් මහත්තුරු ට්‍රැෆික් හදනවා. එයාල නැත්නම් මිනිස්සු අගේට
යනවා"
කියලා ඔන්න කට්ටිය බනිනවා.

අර මනුස්සයට වගේ වගක් නෑ. හිනාවෙවී ඉන්නවා.

"අනිත් උදවිය අයියෝ හොඳටම පරක්කු උනා. කෝච්චියත් ගිහින් ඇති. කඩත් වහලා ඇති කියලා"
මූණවල් හතරැස් කරගෙන බහිද්දී අර මනුස්සයා විතරක්

"ඇති යන්තන් ගම්පහට ආවා..මම ෆුල් ජොලියේ ආවා. "
කියලා බස් එකෙන් බැහැලා ගියා.

පොඩි මානසික ආබාධයක් තියනවා උනත් ඒ මනුස්සයා අනිත් උදවියට වඩා සතුටින් ඉන්නවා කියලා මට හිතුනා.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

Monday, August 28, 2017

සුදු ආප්ප




ඉස්සර මම පුංචි කාලේ (නමසිය අනූ ගනන් වල මුල් කාලේ) අපේ ආච්චී අපට කන්න ආප්ප උයා දෙනවා. සෙනසුරාදා දවසක් තමයි තෝරගන්නේ එදාට අපට ඉස්කොලෙත් නිවාඩුනේ. කලින් දවසේ කැකුලු හාල් පෙඟෙන්න දාලා වංගෙඩියේ දාලා කොටලා හලා ගන්නවා. ඊට පස්සේ රෑට, කොටා ගත්ත පිටි ලොකු මැටි මුට්ටියකට දාලා ඒකට යීස්ට්, ආප්ප සෝඩා දාලා පොල් වතුරෙන් අනලා වහල තියනවා. උදේම නැගිටලා පොල් ගාලා පොල් කිරි කලින් දවසේ හදපු පිටි මිශ්‍රනයට දාලා හොඳට කලවම් කරලා වහලා තියනවා. ඔන්න ඊට පස්සේ ලිප ලෑස්ති කරනවා පිරිසිදු පරණ ඇතිලි දෙකකට පොල් ලෙලි දාලා ඒවා පත්තු කරලා හදාගන්නවා. ඒවට කියන්නේ ගිණි කබල කියලා( දැන් ඉන්න පොඩි දරුවොනම් දැකලා නැතුව ඇතී. ආප්ප උයන ගන්නේ යකඩ තාච්චි. ඒවා හොඳට පදම් කරපුවා. මට මතකයි ආච්චී ඒවා වෙන කිසිම වැඩකට ගත්තෙ නෑ.ආප්ප උයන්න විතරක්ම වෙන් කරල තිබුනා. පිටි මුට්ටියත් ලිප ළඟට අරන් ලිප ගාව බංකුවක් තියලා ඉඳ ගන්නවා. තව එතන තියනවා පීරිසියක තියපු පොඩි පොට්ටනියක්. ඒක ඇතුලේ තියෙන්නේ තලපු කජුමද කීපයක් එක්ක පොල්තෙල්. ගින්දර හොඳින් ඇවිලෙනකොට තාච්චි දෙක ලිපේ තියලා රත් වෙද්දී අර පොඩි පොට්ටනියෙන් තාච්චිය පිහිදානවා. එහෙම කරන්නේ ආප්ප තාච්චියට ඇලෙන එක නතර කරන්න. ඔන්න තාච්චිය පදමට රත්වෙලා ආවම තාච්චිය අතට අරන් පොල් කටු හැන්දෙන් එකක් තාච්චියට දානවා දානකොට චෝස් ගාලා සද්දයක් එනවා. ඒක ලිප උඩින් තියලා ආයේ අරගෙන තාච්චිය කරකෝනවා. ඒකට එයාලා කිව්වේ ආප්පෙ අඳිනවා කියලා. ඊට පස්සේ ලිපේ තියලා අර හදාගත්තු ගිණි කබල තාච්චිය උඩින් තියනවා. එහෙම තාච්චි දෙකේම මාරුවෙන් මාරුවට ආප්ප උයනවා. ඉදෙන ආප්ප බිම තියන වට්ටියට දානවා. ඒවා ලා දුඹුරු පාටයි. වාටිය කර කර ගාල හැපෙනවා ඒ වගේම ගොඩක් රසයි.අපිත් ආච්චි වටේට බංකු තියාගෙන වාඩි වෙලා හදන උණු  උණු ආප්ප තරඟෙට කනවා. වර්තමානයේ ගිණි කබල් තියලා ආප්ප උයන්නෙ නෑ.දර ලිප පාවිච්චි කරන්නෙත් නෑ. ඉස්සර ආච්චී හදපු ආප්ප වගේ රස ආප්ප නම් කන්න ලැබුනෙ නෑ කොහෙන්වත්.

Thursday, August 24, 2017

හැංගි විහංගි

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

හැංගි විහංගී මගේ පොත් රාක්කෙට ඇවිත් ටික දවසක් උනාට කියවන්න එකත් ටික ටික පරක්කු උනා. මම චේතන් බගත් ගේ පොත් එක හුස්මට කියවලා ඉවර කරේ නැත්නම් ඒ පොතේ කතාව මට රස විඳින්න බැරි ගතියක් දැනෙනවා. රැකියාවත් ගෙදර  වැඩත් එක්ක එහෙම කාලයක් ලැබුනේ ඊයේ රෑ. චේතන්ගේ පොත් වලට මම ගොඩක් කැමතියි. එකක් සරල බස් වහර. ඉංග්‍රීසි පොත් උනත් සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙකුට උනත් කියවලා තේරුම් ගනන් පුලුවන්. ඒ වගේම ඔහුගේ පොත්වල අනුභූතිය සරලයි වගේම සංකීර්ණයි. මොකක්ද ඒ කතාව? මෙහෙමයි, එයා පොත්වලින් කතා කරන්නේ ඉන්දියාවේ තරුණ ගැටලු ගැන එක අතකින් ඒවා සරල ආදර ගැටලු. එහෙම නැත්නම් හැම තරුණ තරුණියක්ටම මුහුණ දෙන්න වෙන ගැටලු. ඒත් ඒ ගැටලු වලට එබුනම, සමස්ත තරුණ පරපුර දිහාම පොදුවේ බැලුවම ඒවා සංකිර්ණයි වගේම ඉන්දීය තරුණ තරුණියන්ට වගේම ලංකාවේ අපටත් පොදුයි. ඉන්දියාවේ වගේම අපේ තරුණ පරපුරේත් මූලික අරමුණු තමයි උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම, ඊට පස්සේ හොඳ වැටුපක් එක්ක ඉහළ පෙළේ ආයතනයක රැකියාවක්, නිවසක්, හොඳ බිරිඳක් හෝ සැමියෙක් ,  සහෝදර සහෝදරියන්ගේ වගකීම්, දෙමාපියන් රැක බලාගැනීම ඔයවගේ දේවල්. චේතන්ගේ පොත් වලත් තියෙන්නේ ඒ වගේ ගැටලු.
         හැංගි විහංගි (Half girl friend) පොත චේතන්ගේ අනිත් පොත් වලට වඩා ගොඩක් සරල ආදර කතාවක්. Half girl friend නමින්ම චිත්‍ර පටියකුත් මෑතකදී නිකුත් උනා . මට මතක විදිහට ප්‍රධාන චරිත රඟපෑවේ අර්ජුන් කපූර් සමග ශ්‍රද්ධා කපූර්. මට නම් තවම බලන්න බැරි උනා. පොතේ සාරාංශය කිව්වොත් කියවලා නැති අයට කියවද්දී තියන රසය නැතිවෙනවා. පොත කියවලම බලන්නකො.

Monday, August 21, 2017

මේ භවයේදි

සසරින් සසර පතමින් අප ඉප දෙන්නා මේ භවයේදිත් මේ විදිහට හමුවන්නා අපට උරුම කැළයත් අහිමිව යන්නා පරිස්සම් වෙන්න මැණිකේ උන් ගිනි බිඳලන්නා

"වියරුව"

මම කියවපු අලුත්ම පොත ආනන්ද ලියනගේ මහතා විසින් රචිත The Vengeance පොතේ සිංහල පරිවර්තනය "වියරුව". සිංහලට පරිවර්තනය කරන්නේ අනුලා ද සිල්වා මහත්මිය. පොත ගැන කියනවනම් අපේ ඉතිහාස තොරතුරු,අපේ රටේ තිබූ යුද්ධයට සම්භන්ද සිදුවීම් එකට ගලපලා ලියපු රහස් පරීක්ෂක ගනයට එක් කරන්න පුලුවන් පොතක්. ඒ වගේම බොහෝ රටවල තොරතුරුත් විස්තර සහිතව තියනවා.මට මුලදී ටිකක් කියවන්න කම්මැලිකමක් දැනුනත් , අවසානයට යද්දී පුදුමාකාර කුතුහලයකින් කියෙව්වා. ඒ වගේම ඉන්දියාව ,එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල තොරතුරුත් අපේ ඉතිහාසය සම්බන්ධ මා නොදැන සිටි තොරතුරුත් දැනගත්තා. පොත ලියන්න කලින් ආනන්ද මහතා මේ දේවල් පිළිබඳ අධ්‍යනය කරන්න ඇති කියලා හිතුනා. 
ආනන්ද් මහතා විසින් රචිත The Legacy නම් පොත "රාජ උරුමය" නමින්ද The Deception නම් පොත "මායාව"
නමින්ද අනුලා ද සිල්වා මහත්මිය විසින්ම පරිවර්තනය කර ඇති නමුත් මම තවම ඒ පොත් දෙකම කියවලා නෑ.
                                       (   ඡායාරූපය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)