Tuesday, May 23, 2017

ඉසුරු


ජීවිතය තණ අග පිපුන
පිණි බිංදුවක් වගේ
ඩෙංගු මදුරුවෙකුට 
උනත් පුලුවන්
අපේ ජීවිතය 
අරන් යන්න...
හැමදේම හීනයක් 
වෙනවා නම් මොනතරම්
හොඳඳ...
ඉස්සර වගේ
විහිලුවක් කරලා 
මාව අවුස්සන්න 
ඔයා ආයේ එන්නෙ නෑ..
මම ඔයාට 
නිවන් සුව පතන්නේ නෑ
අපේම කෙනෙක් 
වෙලා ආයේ එන්න 
ඉසුරු
අපි මග බලන් ඉන්නවා..



Monday, May 15, 2017

අපෙ අතැඟිලී













තිබුන මුත් 
බොහොමයක් 
සෙනෙහෙ සිතුවිලී........
අප අතර 
නොගැලපීම් 
ඊටත් වැඩී ........
ඒකයි 
ගිලිහුනේ
අපෙ අතැඟිලී...








Sunday, May 14, 2017

දුරස්ව යන නුඹට


මා නිසා ඔබ
වෙහෙසුනාට කම් නැතී
සිතුවාට මා
වැරදිත් ඇතී..
නොබලන්න යලි
ආපසු හැරී
යන නුඹටත් වඩා
නැවතුන මට
දුක කොහොමත්
වැඩී....

Monday, May 8, 2017

වෙසක්






                  තිලෝගුරු බුදු පියානන් වහන්සෙගේ තෙමගුල සිහි කරන වෙසක් පෝය හෙටයි. ගියපාර හදවා ගත්ත තරු වෙසක් කූඩු දෙක පරිස්සම් කරලා තියාගත්තේ, මේ පාරත් ගන්න හිතාගෙන. මගේම වාසනාවට උණ බට කූඩු උනාට කිසිම හානියක් නොවී තියනවා අවුරුද්දක් ගත වෙලා ගියත්. ඉස්සර වගේ සති ගානකට කලින් කොල අලවලා වෙසක් කූඩු හැඩ කරන්න කාලයක් අපට දැන් නෑ. රැකියාවත් ගෙදර දොරේ වැඩත් එක්ක පුදුම තරමට අපි කාර්යබහුල වෙලා. අද නිදිමරාගෙන වෙසක් කූඩු දෙක අලවන්න වෙන බව දන්නවා. ඒත් තමුන්ගේ අතින්ම කොල අලවලා හැඩ උන වෙසක් කූඩුවක් එල්ලලා තියනවා දකිනකොට හිතට නිරාමිස සතුටක් දැනෙනවා. කඩෙන් වෙසක් කූඩුවක් අරන් ගිහින් එල්ලලා බල්බ් එකක් දැම්මට ඒ සතුට ගන්න බෑ.
             
  මම පුංචි කාලේ අපේ තාත්තා අපට හදලා දෙන්නේ ලොකු නෙළුම් මලක්, ප්ලේන් එකක්,දහ අට පට්ටමක්..ඔයවගේ දෙයක්. ගෙදර හැමෝම එකතු වෙලා කොල අලවලා උඩකින් එල්ලලා පාට බල්බ් එකක් දාල වෙසක් කූඩුව දිහා දුර ඉඳන් බලන් ඉන්දි හිතට දැනෙන සතුට නිම කරන්න බෑ...
    කාලය ගත වෙලා..අපේ ජීවිත වෙනස් වෙලා ඒත් වෙසක් උත්සවය සමරනකොට ඒ ඉමිහිරි මතකයි හිතට ගේන්නේ පුදුමාකාර සතුටක්.

Friday, May 5, 2017

දානය

වැරැන්ඩාවේ හාන්සි පුටුවේ දීගා වී පත්තරය කියවන ගමන් පේමසිරි ඉස්කෝලේ මහත්තයා වරින් වර ඉස්සී ගේට්ටුව දෙස බලයි. දියනියට කුලුඳුල් දරුවා ලැබුනු පසු ඇගේ අත් උදව්වට කොළඹ ගිය සිය බිරින්දෑ අද ගෙදර එන බව දන්වා ඇත.

"අපේ මහත්තයාට...පුටුවෙම නින්ද ගිහින්නේ..."

මල්ලිකා එනකන් මග බලන් උන් ඉස්කෝලේ මහත්තයාට ඒ ටිකට නින්ද ගොහින්..

"මල්ලිකා එනකන් මග බලන් උන්නේ..ඒ ටිකට ඇහැ පිය උනානේ..."

"හම්මෝ අර කාෂ්ඨකේ ඉඳලා ගමට ආවම තමා සැනසිල්ලක් දැනෙන්නේ..ඔක්කෝටම කලින් වතුර වීදුරුවක් බීලා ඉන්න ඕනේ ..ක්ලෝරීන් වතුර බීලම එපා වෙලා උන්නේ....."

"දරුවා එක්ක ගෙදර එන්න කියලා කිව්වම කෝ කවුරුත් කණකට ගත්තද? අලුත උපන් දරුවෙකුට මේ වගේ පළාත් තමයි හොඳ..දුවට උනත් හොඳ පිරිසිදු එළවළු පළතුරු ටිකක් කන්නත් තිබ්බානේ.."

"මොනවා කරන්නද අපේ මහත්තයා අර ළමයට තනියම තේ කෝප්පයක් වත් හදාගන්න බැරි කොට..එහේ තනියම දාලා දුවට මෙහේ ඇවිත් ඉන්න බෑනේ..."

"එහෙනම් ඔයා ටිකක් විවේක ගන්නකො මම මම වී මෝල පැත්තේ ගිහින් එන්නම්"

              දියනියගේ නිවසේ සිට මල්ලිකා හදිස්සියේම ගෙදර ආවේ දරුවා ඉපදෙන්නට පෙර කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්නට පත්තිනි මෑණියන්ට වූ බාරය ඉෂ්ඨ කරන්නට අවශ්‍ය කටයුතු පිලියෙල කරන්නටය. සිය බිරිඳ පැමිනෙන්නට පෙරම පේමසිරි පොල් කැඩෙව්වේය. ඔහු විසින්ම සිටවූ කෙසෙල් ගසක ඇඹුල් කෙසෙල් කැනක් පැහී තිබුනි.හවසට ඒක කපලා බිම් කරන්න ඔහු හිතාගෙන සිටියේය. වී වේලා කැකුලෙන් කොටන්නට මෝලට ගෙනිහින් දැම්මේ ඊයේ හවසය.මේ ගමන්ම  සුමනක්කලාගේ ගෙදර ගොස් දානය ගැන කිව යුතුය. ගමේ කිරි දානයක් දෙනවානම් ඇගේ සහය නොඅඩුව ලැබේ...දිනය පවසන සැනින් කලමනා ලෑස්ති කරන්නකෝ කියන ඇය තවත් අසල්වැසි කාන්තාවන් දෙතුන් දෙනෙක් සමග පැමිනෙන්නීය.
එය මුදලට කරනා දේවල් නොවේ.

පේමසිරි සුමනක්කාට  පණිවිඩය කියූ සැනින්
"මම හවස්වරුවේ ඒ පැත්තේ එන්නම්කො මල්ලියේ නංගී එක්ක කතා කරගන්න.."

යැයි පැවසුවේය.

එහෙනම් ඒ වැඩෙත් හරි..තව පොඩ්ඩෙන් මට හිඳින්න දුන්න තෙල් ටික ගේන්න අමතක වෙනවා..මේ ගමන් ඒකත් අරගෙනම යන්න ඔනේ. කැවිලි හදන ඒවා අපේ මල්ලිකා බලාගනියිනේ..පැදුරු ආනෙන් පැදුරු ටික අරන් වේලලා...පිටි ටික කොටලා ගෙනත් දීලා කෙසෙල් කැන ඉදෙව්වාම මගෙ වැඩ ටික අහවරයි..

"ඔන්න මල්ලිකා තෙල් ටිකයි හාල් ටිකයි ගෙනාවා...හවස් වරුවේ කෙසෙල් කැන කපන්න බැරියෑ..."

"දුවලා අනිද්දා එනවා කිව්වා...මට කියන්නත් බැරි උනා පුතාට පුහුණුවකට රට යන්න වෙයි කියලත් ආරංචියක් තියනවා..එහෙම උනොත් දුව දරුවා එක්ක ඇවිත් මාස කීපයක් අපිත් එක්ක ඉඳී.."

"ඒක හොඳයි..දරුවාව දේවාලෙට පන්සලට එක්ක ගියෙත් නෑනේ.."

"දැන් ඉතින් ආවම යන්න බැරියෑ..."අපේ මහත්තයා දැන්ම බත් කනවා නම් කෑවහැකි මම ආපුගමන්ම ඉව්වා..."

"දවල් වෙලා කමු...පහුගිය ටිකේ මට කෑමෙන් නම් අඩුවක් උනේ නෑ..අපේ අක්කයි නංගීයි මාරුවෙන් මාරුවට කෑම ගේන එකනම් වැරැද්දුවේ නෑ..මම ඒත් කිව්වා මට ඔය මොනවා හරි උයාගන්න පුලුවන් .කියලා..කොහමත් කෑම හදන එකනේ  කියලා දෙන්නම කිව්වානේ...මාත් ඉතින් කරබාගෙන උන්නා..."

"මාත් හවස ඒ පැත්තේ යන්නයි උන්නේ.. දානේ විස්තර නම් අපේ මහත්තයා කියන්න ඇතිනේ.."

මල්ලිකා සිය සොහොයුරියන්ගේ නිවෙස් කරා ගිය පසු පේමසිරි කෙසෙල් කැන බිම් කරන්නට වලක් කැපුවේය. එය වසන්නට ලෑලි සහ ඉටි කොලයක් ද සූදානම් කලේය. පොල් කටුවක්ද ගෙනවිත් තැබුවේය..වේලන්නට දැමූ පොල් මුඩු ටික දරමැස්සෙන් තබද්දී මල්ලිකා ආපසු පැමිනියාය.

"අපේ මහත්තයා හරියට මහන්සි වෙනවනේ..හිටින්ට නංගී හැලප වගයක් දුන්නා මම තේ ටිකක් හදන්නම්..."

"කෙහෙල් කැන කපන් ඇවිත්ම බොමු...මන්නෙත් අරන් එන්නකො එහෙනම් මට තනියම බෑ...කෙහෙල් කැන බිම වැටුනොත් තැලෙනවා..."

කෙහෙල් කැන කැපීමට පිහියත් ගෝනියකුත් අරන් මල්ලිකා පේමසිරි පසු පසින් වත්ත පහලට ගියාය.

"අපොයි මල්ලිකෝ අන්න කෙහෙල් ගහ කඩා වැටිලා කැන ටිකක් ලොකුයි බරට වෙන්න ඇති.."

ඔවුන් දෙදෙනා කෙසෙල් පඳුර අසලට ගොස් බලන විට එතන තිබුනේ කෙසෙල් කඳ පමනි..කෙසෙල් කැන අතුරුදහන් ය..

"හොරු කපලා... "

පේමසිරිට කියවිනි..

"අපොයි දෙයියනේ....අපේ මහත්තයා මම උදේ එද්දී වෙලේ කඩේ බිත්තියට හේත්තු කරල තියනවා දැක්කා හොඳ ඇඹුලක් එකත් එකටම අපේ කෙහෙල් කැන වෙන්න ඕනෑ.."

"යන්කො මල්ලිකා ගෙදර..."

"අනේ අපේ මහත්තයා මිනිස්සු එක්ක රණ්ඩුවට යනවා හෙම නෙමේ"

"කෙනෙක් දනෙනේ නැතුව කාට දොස් කියන්නද මල්ලිකෝ.. මම වෙලේ කඩේ පැත්තේ ගිහින් එන්නම්.."

පේමසිරි ආපහු එනතෙක් මල්ලිකා ගේට්ටුව ළඟින් හෙල්ලුනේ නැත..කෙසෙල් කැනත් බැඳගෙන පේමසිරිගේ තැපැල් නයින්ටිය ගේට්ටුව අසල නතර වෙද්දී ඇයට සැනසීමක් දැනුනි.

"අපේ කෙසෙල් කැන තමා මල්ලිකෝ...මම කෝකටත් කියලා මුදලාලිට විස්තරේ කිව්වා..මුදලාලි කිව්වා අරන් යන්න මහත්තයෝ මම තාම මේකට සල්ලි දුන්නේ නෑ...විකුනන්න ආපු මිනිහා කෙසෙල් ගහක් තියා තණ කොළ ගහක් වත් හිටවන එකෙක් නෙමේ...හිතේ සැකේටම මම සල්ලි ගන්න හවස එන්න කිව්වා..මිනිහා තාම ආවෙ නෑ..මහත්තයා අරන් යන්න මිනිහා ආවම මම කියන්නම්කො අයිතිකාරයා කෙහෙල් කැන අරන් ගියා කියලා..."

"අපේ මහත්තයා ඇහුවෙ නැද්ද කවුද ගෙනාවේ කියලා...."

"කවුරු උනහම මොකෝ අපේ කෙහෙල් කැන ලැබුනනේ..."

එතනින් එහාට කතා කර පලක් නැතිබව වටහාගත් මල්ලිකා කරබාගත්තාය





Wednesday, May 3, 2017

දන්සැල්





වෙසක් මස උදාවීමත් සමග වෙසක් උත්සවය නිමිත්තෙන් පවත්වන දන් සැල් පිලිබඳ දැන්වීම් තැන් තැන් වල දක්නට ලැබේ. අපේ රටේ විවිධාකාර දන් සැල් පවත්වනු ලැබේ. අපිත් පෝය හා පසු දින  වාහනයේ නැගී පාරවල් දිගේ යන්නේ කුසගින්න නිසා නොව විනෝදාස්වාදය උදෙසා දන්සැල් වැඳීමේ අරමුණෙනි.
         දන් සැල් අවසානයේ විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යනු මම දැක ඇත්තෙමි.මහා පරිමාන බත් දන්සැල් දෙනවාට වඩා එම මුදලින් වෙනත් සමාජ සත්කාරයක් කරන්නට හැකිනම් වඩාත් යහපත් බව මගේ හැඟීමයි. දිළිඳු පවුලකට මසක් පමන ප්‍රයෝජනයට ගන්නට වියලි ආහාර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආධාර, රෝහලකට අවැසි උපකරණ පරිත්‍යාගයක් වැනි ප්‍රයෝජනවත් යමක් කල හැකිය. පාරේ යන උදවියට බලෙන් ආහාර ගිල්ලනවාට වඩා, පසුවදා විශාල ආහාර ප්‍රමාණයක් ඉවත දමනවාට වඩා එය වෙනත් පුන්‍ය කටයුත්තකට යෙදවීම සුදුසුය.
(ඡායාරූප අන්තර්ජාලයෙනි. හිමිකම ඔවුන් සතුය)

Tuesday, May 2, 2017

නිලි වැස්ස




පුස්තකාලෙට ගිහින් පොත් තෝර තෝර ඉන්නකොට අලුත් පොත් තියනවා කියලා පුස්තකාලාධිපති තුමා පොත් ගොඩක් මේසය උඩින් තිබ්බා. "නිලි වැස්ස" මුහුණු පොතේ "පොත් කියවන අය" ගෲප් ඒකේ සාමාජිකයෝ මේ පොත ඉහලින්ම වර්ණනා කරල තිබුන නිසා මේ පොත කියවීමේ ආශාවක් මගේ හිතෙත් තිබුනා.ඒක නිසා මම ඒ පොත ගෙදර ගෙනාවා

             ඉරිදා නිදහසේ කියවන්න ගත්තා. "නිලි වැස්ස " කතෘ කත්‍යානා අමරසිංහ . මේ පොතේ ප්‍රධාන චරිතය රන් මැණිකා ව අපට හමුවෙන්නේ 17 වැනි සියවසේ අග භාගයේදී 2 දෙවැනි රාජසිංහ රජතුමාගේ පාලන කාලයේදී. පරංගි ලංකාව ආක්‍රමණය කරලා ලන්දේසිත් ලංකාවට ආපු කාලේ.

            රන් මැණිකා හිතුවක්කාර කෙල්ලෙක් කියනවාට වඩා නිදහස් ප්‍රියකරපු, හිතට එකඟව වැඩ කරපු නිදහස් චින්තනයෙන් යුක්ත කෙල්ලෙක් කියලා කියන්න මම කැමතියි. කේන්දරේ දෝෂ නිසා දෙමාපිය නෑ සනුහරෙන් දොස් අහන තරුණියෝ අදත් අපි අතර ඉන්නවා. රන් මැණිකාත් පිරිමි නැකතකින් උපන්න නිසා අනිත් අයගෙන් පීඩාවට පත් උන තරුණියක්. දෙමාපියන් යෝජනා කරන ඇගේ ඇවැස්ස මස්සිනා, සුදු බණ්ඩා ට ඇය අකමැති වෙන්නේ ඔහු ගැන හැඟීමක් ඇයට නැති නිසා.

          රන් මැණිකාට අහම්බෙන් මුනගැසුනු තරුණයා එක්ක අම්මාගේ දෙස් දෙවොල් මැද්දේ ගෙදරින් පිටවෙන්නේ, අම්මාගේ කන්කරච්චලයෙන් මිදිලා , ඒ තරුණයා එක්ක දරු පවුලක් හදාගෙන නිදසේ ජීවත් වෙන්න හීන මවාගෙන. ඒත් ඇයට සිද්දවෙන්නේ රජසිංහ රජතුමාගේ රහසිගත යකඩ දෝලියක් වෙන්න. රන් මැණිකා රජතුමාට ආදරය කලාද? මත හිතෙන්නේ ඒක ආකර්ෂණයක් විතරයි කියලා. රජ මාළිගයේ මොනතරම් සැප සම්පත් තිබුනත් දැසි දස්සන් හිටියත් රන් මැණිකාට ඕන උනේ නිදහස් සරල ජීවිතයක්

         රන් මැණිකා ආදරය කලේ එකම එක පාරක් මොහොතකට දැකපු නිල් පාට ඇස් තිබුනු විලියම් ලීවන්ස්ට. ඔහුගේ ජාතිය ජම්මය ඇයට වැදගත් උනේ නෑ. ඒකයි රජ තුමාට චපල වීමෙන් මොන විදිහේ දඬුවමක් ලැබුනත් කමක් නෑ කියලා ඇය ලීවන්ස් සමග ආදරෙන් බැඳෙන්නේ. ඇගේ ආදරේ තමාට නෙම් ලීවන්ස් ට කියලා රජතුමා තේරුම් ගන්නවා. රජ කෙනෙක් උනත් ඔහුත් සාමාන්‍ය සිතුම් පැතුම් තියන මනුස්සයෙක් බව කතුවරිය අපට වටහල දෙනවා. 
පරිවර්තන කෘති වලට ඇලුම් කරන මට "නිලි වැස්ස" හරහා අපේ රටේ කතුවරයන්ගේ පොත් කියවන්න කැමත්තක් ඇතිකලා.  එක හුස්මට එක පාරක් කියවලා ආයේ පාරක් කියෙව්වා. ඒ තරමට මේ පොත මගේ හිත පැහැර ගත්තා. 

හිතේ නැගුණු වියෝ වේදනා දුරු කර ගණු පිණිස ආකාසය දෙස බලන ඇයට වැහි පොදත් හිරු එළියත් එක් වූ තැන මැවුනු දෙදුන්නක් නෙත ගැටේ. ජාතියක් ජම්මයක් නොබලා බැඳුණු ඔවුන්ගේ ප්‍රේමයත් ඒ දේදුන්න වාගේ චමත්කාරජනක යයි ඈට සිතේ. දේදුන්නේ අලංකාරය ඇත්තේ එකිනෙකට වෙනස් පාට ගණනාවක් එකට කැටි වීම හන්දාය. එකම පාටක් උනා නම් එහි ඇති හැඩයක් නැත."