Monday, June 11, 2018

Thumhari Sulu (තුම්හාරී සුලූ )


                                                        ඊයේ අහම්බෙන් වගේ සිරස නාලිකාවේ විකාශනය උන තුම්හාරී සුලූ චිත්‍ර පටිය නරඹන්න ලැබුනා. ආදර කතා සටන් වලින් වෙනස් උන කතාවක් වගේ පෙනුන නිසා මම සේරම වැඩ පැත්ත්කට කරලා සුලූ බැලුවා. ඇත්තටම ලස්සන චිත්‍ර පටයක්.
                  "තුම්හාරී සුලූ" ඉන්දියාවේ තිරගත වෙන්නේ 2017 වර්ෂයේ. සුරේෂ් ත්‍රිවානී ගේ අධ්‍යක්ෂනයක්. විද්‍යා බාලන්,ආර්.ජේ මලික්ෂා, නේහා දුප්තා, මානව් කාවුල් ප්‍රධාන චරිත රඟපානවා. මෙහෙ ප්‍රධාන චරිතය වෙන්නේ සුලෝචනා (විද්‍යා බාලන්) මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක්, මවක්, බිරිඳක්. නිවසේ වැඩ කටයුතු කරන ගමන් සැමියා සහ පුතා සමග සතුටෙන් ජීවත් වෙන ගැහැණියක්. විද්‍යා බාලන් සුලෝචනා හෙවත් සුලූගේ චරිතය හරිම ආකර්ෂණීය ලෙස රඟපානවා. ඒ නිසා චිත්‍ර පටය නරඹන්න කම්මැලිකමක් දැන්නෙ නැහැ.



                           
  සුලෝචනා ගොඩක් සතුටෙන් ඉන්න කාන්තාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි උනත් ඇ‍ය විවිධ දේ අත්හදා බලන්න කැමතියි. සූලූ හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාමේ තරඟයකින් දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඔවුන් පදිංචි නිවාස සංකීර්ණයේ පැවති හොඳම අම්මා තේරීමේ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. රේඩියෝ චැනල් එකකින් තිබ්බ රැෆල් ඩ්‍රෝ එකකින් සුලූ ට ෆ්‍රෙෂර් කුකර් එකක් ලැබෙනවා. කුකර් එක ගන්න චැනල් එකට යාමත් සමග සුලූගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ එම චැනල් එකෙට නිවේදකයින් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දකින සුලූට එයට ඉල්ලුම් කරන්න හිතෙනවා. එතන පිළිගැනීමේ නිලධාරිනිය එක්ක වාද කරලා කොහොම හරි සුලූ ඒ අවස්ථාව උදා කරගන්නවා. විද්‍යා බාලන් කට හඬ පරීක්ෂණයේදී සහභාගී වෙන අවස්ථාව තමයි චිත්‍ර පටියේ මම කැමතිම කොටස උනේ. සුලූ කොයි වෙලෙත් හිනා වෙනවා. දඟකාර අපූරු චරිතයක්.

                                               
  සුලූ චැනල් එකේ නිවේදිකාවක් වෙනවා. ගෙදර වැඩ කටයුතු කරන ගමන් ඇය නිවේදිකාවක් ලෙස රාත්‍රී කාලයේ සේවය කරනවා. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳින් ලැබෙනවා. ඇයගේ වෘත්තියට සහයක් උන සතුටින් උදව් කල සැමියාට ඔහුගේ සේවා ස්ථානයෙන් ලැබෙන පීඩනය හේතුවෙන් බොහොම ඉක්මනට කේන්ති යන්න පටන් ගන්නවා. ඔය අතරේ සුලූගේ පුතාව පාසැලෙන් නෙරපනවා. සුලූගේ රැකියාව නිසා දුරුවාත් පවුලත් ගැන තියන වගකීම් පැහැර හැරිය නිසා පුතා හිතුවක්කාර උන බවට සුලූට ඇගේ නිවුන් සොහොයුරියන් ඇතුළු පවුලේ අය චෝදනා කරනවා.ඔහුගේ වරදට අම්මාට දොස් කියන්න එපායැයි ඉල්ලා ලියුම්ක් ලියලා තබමින් පුතා නිවසින් හොර රහසේ පැනලා යනවා. පුතාව හොයන්න සුලූ සැමියා එක්ක ගොඩක් වෙහෙසෙනවා. පස්සේ පුතාව හොයාගත්තම සුලූ එයා ආසාවෙන් කරපු නිවේදිකා වෘත්තියෙන් ඉවත් වෙනවා.


සුලූ කොයි තරම් ආසාවෙන් කැමැත්තෙන් කරපු රැකියාව උනත් ඉන් ඉවත් වෙන්නේ සුපුරුදු හිනාවෙන්මයි. ඇය ඇගේ සතුට නිවස වෙනුවෙන් කැප කරන්නෙත් ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ මම නම් බලපු ලස්සන චිත්‍ර පටියක්. නොබලපු අය බලන්න. ගොඩක් ලස්සනයි. විද්‍යා බාලන්ගේ රඟපෑම නම් හරිම ඉහළින් තිබුනා.



Friday, June 1, 2018

අනාත කඳවුරකින් මෝස්තර නිරූපන ලෝකයට



ඇය නාකීම් ගැට්වේ. අන්තර් ජාලයෙන් මෙන්ම මුහුණු පොතෙන්ද ගොඩක් අය ඇයව නිතර දකින්නට ලැබෙනවා.ඇය කාගේත් කතා බහට ලක්වෙන්නේ ඇගේ කලු වර්ණ සම හේතුවෙන්. ඔව් ඇය කලුම කලු තරුණියක්. ඇයට වයස අවුරුදු 14 වෙද්දී ඇය සිටියේ අනාත කඳවුරක. ඊට වසර දහයකට පසු ඇය අති සාර්ථක නිරූපිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධ Calvin Klein, Fashion Nova, Aldo, සහ Cosmopolitan, වැනි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන් සඳහා මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන්නට තරම් වාසනාවන්ත වෙනවා. මෝස්තර නිරූපන ලෝකයේ "Queen of the dark"ලෙස හඳුන්වන ඇගේ ළමා කාලයනම් බොහොම කටුක එකක්.
"මාව ඉපදෙන්න ඉන්නකොට අම්මට සුඩානයේ සිට ඉතියෝපියාවට යන්න සිද්දවෙනවා ඇ‍ය වගේම සරණාගතයින් රැසක් සමග. ඇය ඒ ගමන යන්නේ සැමියෙකුගේ, පවුලේ පිරිමියෙකුගේ ආරක්ෂාව රැකවරණය නොමැතිව තනිවයි. ඉතියෝපියානු සරණාගත කඳවුරකදී මම ඉපදෙනවා. එහිදී මගේ සොහොයුරා රෝගී වීම හේතුවෙන් වකුගඩු අක්‍රීයවී මිය යනවා. මගේ අම්මාට අපිව සරණාගතයින් ලෙස ඇමරිකාවට අරන් යන්න උවමනා උනත් එයට ඉතියොපියාවේ සිට අවස්ථාවක් නොලැබෙන නිසා අපි කෙන්යාවට යනවා. එහේ ඉන්නකොට තමයි 2007 දී අපට ඇමරිකාවට යන්න ලැබෙන්නේ.
"ඇමරිකාවට ගිහාම මගේ ඥාති සොයුරු සොයුරියන් සමග යළි එක්වන්නට ලැබීම ගැන ගොඩක් සතුටු උනා. මට පාසැල් යන්න ලැබුන එක ඊටත් වඩා සතුටට කාරණාවක් උනා. ඒත් මගේ කලු වර්ණ සම නිසා මම ගොඩක් ප්‍රතික්ෂෙප කිරීම් වලට මුහුණ දුන්න. ගොඩක් අයට මගේ සමේ පැහැය ගැටළුවක් උනා. එයාලා පුදුම උනා මගේ පැහැය ගැන.එක අවස්ථාවක මම පාසැලේ කෑම ශාලාවට යද්දී කෑම මේසේ හිටපු ළමයි සේරම නැගිටලා යන්න ගියා. මම මගේ සොයුරියගෙන් ඇහුවා බීලීචින් ක්‍රීම් පාවිච්චි කරන්නද කියලා. ඇය කිව්වා කාලයක් යද්දී එය මට කරදරයක් වෙයි කියලා. ඊට පස්සේ මම මගේ සමට ආදරේ කරන්න පටන් ගත්තා.
"මගේ සම ලස්සනයි..එය දීප්තිමත්. සුමුදුයි...මම මගේ සම ආයුධයක් කරගන්නවා ලොවට පණිවිඩයක් දෙන්න, කෙනෙකුගේ පෙනුම අන් අයගෙන් වෙනස් වෙනවා කියන්නේ ඔහු හෝ ඇය ලස්සනයි කියන එක. මම අනිත් අයට කියන්න කැමතියි ඔබ ඔබම වෙන්න ඔබගේ පෙනුමට ඔබට ආදරේ කරන්න. අනිත් අයට වඩා ඔබ වෙනස් උනාට එය වරදක් නෙමේ..
යැයි නාකිම් පවසනවා.
ලංකාවේ අපිත් අපේ සමේ පැහැය ගැන ගොඩක් හිතනවා. පැහැපත් සමක් වෙනුවෙන් නොකරන දෙයක් නෑනෙ. ඒත් නාකීම් ඇගේ නිරූපණ ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කරගන්න ඇගේ කලු සම ආශිර්වාදයක් කරගන්න ගමන් ලොවට පණිවිඩයක් දෙනවා අපි හැමෝම ලස්සනයි අපි හැමෝම සුවිශේෂයි කියලා.
.