Thursday, September 27, 2018

සමුද්ද යාතිකාව



                 පහුගිය ඉරිදා පොත් ප්‍රදර්ශනයට ගිහින් ගෙනාපු පොත් වලින් කියවපු මුල්ම පොත. සමුද්ද යාතිකාව. කාලීඩ් හුසෙයිනි  මහතා ගේ Sea Prayers  පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තිකාව ගංගා සුදුවැලිකන්ද මහත්මිය.
                 කාලීඩ් හුසෙයිනි මහතා විසින් රචිත අළෙවි වාර්තා තැබූ පොත් තුන ගොඩක් අය කියවලා ඇති. The kite Runner ( සරුංගල් ලුහු බඳින්නා), The thousand splendid suns (මනරම් හිරු දවසක්), And the mountains echoed (කඳුකරය දෝංකාර දුනි) නව කථා ත්‍රිත්වය හරහා ඔහු ලස්සන රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව යුද්ධයත් සමග විනාශ වූ ආකාරය පිළිබඳ සිය පාඨකයන්ගේ හිත් වල සංවේගයක් උපදවන්න සමත් උනා. 
            යුද්ධය මොනතරම් බියකරුද කියලා යුද්ධයක් පැවති රටක, කොයි වෙලේ කොහේ පුපුරණ බෝම්බයකට අපිවත් අහුවෙයිද කියලා බයෙන් උන්න අපි හොඳටම දන්නවා. ලංකාවේ යුද්ධය අවසන් උනත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යුක්‍රේනයේ, යේමනයේ, තවමත් යුද ගැටුම් පවතිනවා. කොයි මොහොතේ බෝම්බයක් පුපුරයිද, කොයි මොහෝතේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයිද, කොයි මොහොතේ ගුවනින් බෝම්බ හෙලයිද, ඒවගේ දේකින් තමන්ගේ පවුලේ අයෙක් හෝ සමීපතමයෙක් නැතිවෙයිද කියන බයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල අනන්තවත් ඉන්නවා. 
            උපන් රටේ තමන්ට ආරක්ෂාව නැතිවෙනකොට කෑම බීම නැති වෙනකොට වෙඩි හඬ නෑසෙන බෝම්බ පුපුරන්නෙ නැති වඩා සුරක්ෂිත රටකට ජීවිතාරක්ෂාව පතා පළා යන්නට අහිංසක මිනිස්සු උත්සාහ කරනවා. ඒ සිය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරදීමේ අරමුණත් ඇතුව.රටකින් තවත් රටකට පළා යාම පහසු කාර්යක් නෙමේ. ගුවනින් කොහොමත්ම යන්න බෑ. ගොඩ බිම හරහා හෝ මුහුදෙන් අනාරක්ෂිත බෝට්ටුවක යන එක තමයි විකල්පය වෙන්නෙ.



                        2015 සැප්තැම්බර් 02 වෙනිදා තුර්කියේ සිට ග්‍රීසිය බලා  සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් සිටි අනාරක්ෂිත  බෝට්ටුවක් පෙරළී ජීවිතක්ෂයට පත්ව තුර්කි වෙරළටම ගසාගෙන විත් වෙරළේ වැතිර සිටි  සිව් හැවිරිදි ඇලන් කුර්දි නම් කුඩා දරුවාගේ ලොවක් සංවේදී කල ඡායාරූපය අප කාටත් තාමත් මතක ඇති. සමුද්ද යාතිකාව ,එම සිදුවීම පදනම් කරගෙන අනාරක්ෂිත බෝට්ටු ගමනක යෙදෙන්න සූදානමෙන් ඉන්න පියෙක් ලිපියක් ආකාරයෙන් සිය පුතු මර්වාන්ට ලියන සංවේදී සටහනක් සහ පිංතූර සහිත ලොකු කතාවක් කියන පුංචි පොතක්. මෙම පොතෙන් කාලීඩ් හුසෙයිනි මහතා ලබන කතෘ භාගය ඒක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වෙත පරිත්‍යාග කරනවාලු.



  "මගේ ආදරණිය මර්වාන්,
මේ හඳ එළියේ මම ඔයාගේ මූණෙ
පැතිකඩ දිහා බලනවා, මගෙ පුතේ 
අහිංසක නින්දකින් වැහිලා තියන ඔයාගේ
ඇහිපිහාටු හරියට හැඩේට ඇඳපු අකුරු
මෝස්තරයක් වගෙයි.."

"මගේ අත අල්ලගන්න. කිසිම 
වෙන්නෙ නෑ." කියලා මම ඔයාට කියනවා



Tuesday, September 18, 2018

අන්තර්ජාලයේ කාගේත් අවධානය දිනාගත් රෙක්සි

         
                        මේ ඉන්නේ රෙක්සි. රෙකිසි ගොඩක් ජනප්‍රියයි විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් එකේ. රෙකිසිගේ විවිධාකාරයේ ඡායාරූප වලින් අන්තර් ජාලය පිරිලා. රෙක්සිගේ ඡායාරූපයක් දකින ඕන කෙනෙක් අනේ කියුට් බෝලගෙඩි කිටියෙක් කියලනම් අනිවාර්යෙන්ම කියනවා. පූසෙක් උනත් රෙකිසිට මුළු ලෝවේම ආකර්ෂණය වගේම ආදරය දිනාගන්න හැකිවෙලා තිබෙනවා. 
              

           රෙක්සි කොයිතරම් ලස්සන බෝල කිටියෙක් උනත් දුක්බර කතාවකුත් තියනවා. රෙක්සිගේ පිටුපස ගාත් දෙකම අක්‍රීයයි. අනතුරක් නිසා රෙකිසිගේ කොඳු ඇට පෙළට හානි වෙලා. ඒ නිසා පිටුපස ගාත් වැඩ කරන්නෙ නෑ. ඒ උනාට රෙක්සිට ඒක ගැටළුවක් නෙමේ. එයා ඒකට හැඩගැසිලා සාමාන්‍ය පූසෙක් වගේ සක්‍රීයව ජීවත් වෙනවා. රෙක්සිට වයස අවුරුදු තුනයි.



           
              රෙක්සි ගේ දෙපා අකර්මන්‍ය උනාට පස්සේ රෙකිසිගේ හාම් පුතා රෙක්සිටඩ් නොසලකා හැරලා.ඊට පස්සේ රෙක්සිව බලාගන්න ගත්තු  ඩාෂා රෙක්සිව තරුවක් කරලා. ඩාෂා කියන විදිහට රෙක්සිගේ හැසිරීම් සාමාන්‍ය පූසෙක් වගේමයි. එයාගේ ආබාධිත තත්ත්වය ගැන එයාට හැඟීමක්වත් නෑ. අනිත් පූසෝ කරන හැම දේම එයාට කරන්නත් පුලුවන්. රෙක්සිට එයාගේ කන් කසාගන්න වැසිකිලියට යන්න නම් බෑ..ඒකට එයාට ගෙදර අයගෙන් උදව් ලැබෙනවා.



          ඩාෂා රෙක්සිව බාරගත්තට පස්සේ රෙකිසිට ඇවිදින්න පහසු වෙන්න රෝද කරත්තයක් අරන් දෙනවා. ඒත් කරත්තයට වඩා පහසුවෙන් රෙකිස් එයාගේ ක්‍රමයට ඉදිරිපස ගාත් වල උදව්වේන් ඇවිදිනවා කියලා ඩාෂා පවසනවා.



                 

Wednesday, September 12, 2018

"නන්දිතය"



                                 
                    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් වලින් මම කියවලා තියෙන්නේ කීපයක් විතරයි. එතුමියගේ පොත් වල භාෂා විලාසයට මම බොහොම කැමතියි. පොත කියවද්දී ඇගේ ලිඛිත විලාශයත් එක්ක මගේ මනසේ, මනරම් සිත්තම් මැවෙනවා. ඒ මැවෙන සිත්තම් වලට මම බොහොම කැමතියි. "නන්දිතය" කියවලා ඉවර කලා. සටහනක් ලියන්න හිතුනා.
       චීනයත් එක්ක අපේ කොයිතරම් සබඳතා තියනවද? ඒත් මට චිනය ගැන තියෙන්නේ සුළු දැනුමක්. චීන මහා ප්‍රාකාරය, චීනයේ නිෂ්පාදිත භාණ්ඩ, ලෝකයටම අභියෝගයක් වීගෙන එන චීන ආර්ථිකය ඔයවගේ දේවල් ටිකක් විතරයි මම දැනගෙන උන්නේ. නන්දිතයේ චරිත හරහා සුනේත්‍රා මහත්මිය මාව චීනය ගැන යමක් හොයන්න පෙළඹෙව්වා. 
        චීනයේ වෙසෙන ජාතීන් කීපයකට අයත් පුද්ගලයින් කීපදෙනක් වටා ගෙතෙන නන්දිතය එකිනෙකාගේ දෘෂ්ඨි කෝණ වලින් ලියලා තිබෙනවා. ලංකාවේ නන්දිත, තායිලන්තයේ බුන්සිරි, ඉතාලියේ ග්‍රාබියෙලා, තමිල්නාඩුවේ බාල සුබ්‍රමනියම්, බෙයිජිනයේ ශන්-ග, ඉන්දියාවේ කිරන්, ඇමරිකාවෙන් ආව ලිලියානා, විවිධ සංස්කෘතීන් විවිධ සිතුවිලි එක්ක නන්දිතය හරහා අපිව හමුවෙනවා. මනුෂ්‍ය මනසක ස්වරූපය එකිනෙකාගෙන් අපට දැනෙන්න ගන්නවා.
      පොතේ තවත් විශේෂයක් තමයි තැනින් තැන සටහන් වන කියමන්. වෙනම සටහන් කරලා තියාගන්න තරම් වටිනා කියමන් මට මේ පොතෙන් ලැබුනා..
         ඒවගේම නන්දිත ඇතුළු මේ පොතේ චරිත කළු සුදු හොඳ නරක කියලා වෙන් කරන්න බෑ. ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අත් දැකීම් සහ එකිනෙකා තේරුම් ගන්නා ආකරය අනුව ඔවුන් තුල තිබෙන හොඳ නරක වෙනස් වෙනවා. නන්දිතය හරහා කතුවරිය ශ්‍රී ලංකාවේ අපි අදහන බුදු දහම සහ චීනයේ අදහන බුදු දහමේ වෙනස සරලව පැහැදිලි කරනවා. පොත අවසාන වන්නේ කිරන් ගුවන්-යින් කියන බුද්ධ ප්‍රතිමාවත් සමග කථා කරන පරිච්ඡේදයකින්.

 "ඔය ළමයා දැන් තමන්ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුෂ්‍ය ජීවිතේක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජීවිතේ දිහා බලන්න ගන්න."

       ඇත්තටම එහෙම බලන්න පුළුවන්නම් අපි දැවෙන අපි විඳවන ගැටළු හැම එකකටම විසඳුම එතන තියනවා නේද?