Tuesday, December 19, 2017

රිවස්ටන්


මම පහුගිය ඉරිදා රිවස්ටන් ගිය නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. ගිය අයත් ඇති, නොගිය අයත් ඇති. මාතලේ නකල්ස් ආශ්‍රිතව තමයි රිවස්ටන් පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ඒ ගමනෙදි පුංචි ලෝකාන්තය බලාගන්න පුලුවන්. චාරිකාව යද්දී හොඳ තත්වයේ වාහනයක යනවා නම් වඩාත් හොඳයි. කඳු හෙල් වංගු බහුල පටු පාරක් නිසා බ්‍රේක් හොඳට වැඩ කරන වාහනයක යන එක හොඳයි.
මාතලේ පහුවෙලා උඩට යනකොට රබර් වතු, එනසාල් වතු, තේ වතු වගේම හෙල් මලු ක්‍රමයට හදපු කුඹුරු, ෆයිනස් වගාවන්, ස්වභාවික වනාන්තර දැක බලාගන්න පුලුවන්. මේ දවස් වල මීදුම ටිකක් තදයි. විටින් විට ළඟ ඉන්න කෙනාව පේන්නෙ නැති වෙන්නම මීදුම අපිව වසාගන්නවා. ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි. වාතය හරිම පිරිසිදුයි. බස්නාහිර පලාතේ ඉන්න අපට එහෙට ගිහින් හුස්ම ගන්නකොට ඒ වෙනස හොඳට දැනෙනවා. දූව්ලි නැති දුමාරය නැති විනාශ නොවූ පරිසරය ඇත්තටම මගේ හිත පුදුම විදිහට සන්සුන් කලා. රිවස්ටන් ගොඩක් වැදගත් වෙන්නේ සුළං කපොල්ල නිසයි.
රිවස්ටන් වලින් කිලෝමීටර් හතක් පමන දුර ගිහාම පිටවල පතන හමුවෙනවා. කොළ පාට තැනිතලවක්. පායන කාලෙටනම් දුඹුරු පාට වෙනවලු. පාරේ ඉඳන් පතනේ කිලෝමිටරයකට ආසන්න දුරක් ගිහාම පුංචි ලෝකාන්තය දැක ගන්න පුලුවන්. එතනට යන්න නියමිත පාරක් හදලා නෑ. පතනෙ මැද්දෙන් හොයාගන්න පුලුවන් වෙන්න ගල් වල සුදු පාට සලකුණු යොදලා තියනවා. පුංචි ලෝකාන්තය බලන්න ගිහාම ආරක්ෂාව පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂක වැටක් සවි කරලා නෑ. සුළං තදයි. අපිව ආපස්සට තල්ලු කරන තරමට වෙලාවකට සුළං හමනවා. එතන ඉඳන් පහල බැලුවම කොල පාටට අවට පේනවා. කඳු පංතියත් ලස්සනට බලාගන්න පුලුවන්. පුංචි ලෝකාන්තෙට හැරෙන පාර ගාව ඉඳන් ටික දුරක් ගිහාම තෙල්ගමුව ඔයේ සීතල වතුර නාගන්නත් පුලුවන්. හැබැයි කල්පනාවෙන්. වතුර වැඩිවෙන්වලු හිටපු ගමන්.
මෝටර් බයික් වල යන පිරිමි ළමයි දැක්කා. පරිස්සමෙන් ගියොත් වාහනේක යනවට වඩා අපූරුවට වට පිටාව බලන්න පුලුවන් කියලා මට හිතුනා.
අවාසනාවට හොඳ වර්ගයේ කැමරාවක් මාගාව නෑ. කෝල් ගන්නයි ජීපීඑස් ඕන් කරන් ගිය නිසා ෆෝන් එකේ බැට්‍රි භාගෙකටත් වඩා අඩුවෙන් තිබුනෙ. ඒක නිසා මට හොඳ ෆොටෝ ටිකක් ගන්න තිබුන අවස්ථාව මහ ඇරුනා.
තව එකක් වැහි කාලේ ගිහාම අපිව සාදරයෙන් පිළිගන්න කට්ටියක් බලන් ඉන්නවා. කූඩැල්ලෝ. 😁😁😁😁😁😁😁😁😁
තව ඉල්ලීමක් ඔයාලා එහෙ ගිහාම ටොපි කොළයක් තරම් දෙයක්වත් පරිසරයට එකතු නොකරන්න වගබලා ගන්න. වාසනාවට තාමත් ඒ පරිසරය පවිත්‍රයි. කවුරුවත් ශොපින් බෑග් එකක්වත් දාලා ගිහින් තිබුනෙ නෑ.








1 comment:

  1. හරිම සුන්දර ප්‍රදේශයක්...පාසල් දරුවන් එක්ක දින තුනක චාරිකාවක් ගියා

    ReplyDelete