Monday, July 24, 2017


පීනන්නට හිතන්
අපි මුහුදට
පැන්නා
රැල්ලට අසුවී
දියඹට 
ගහගෙන යන්නා
දෙවියන් ලෙසට
නාවිකයින් පැමිනෙන්නා
අපි බේරන්
ගොඩ බිම වෙත
ගෙන යන්නා
යළිත් වරක්
මෙහි එන්නට
නොහිතන්නා
යමු අයියේ
හනි හනිකට
අපි දෙන්නා...
(ඡායාරූපය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සිහින


Friday, July 21, 2017

කවුළුවෙන් එබී බලා



උදේට වැඩට එද්දි බස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින නිසා මට වාඩි වෙලා යන්න පුලුවන්. ජනේලයක් අයිනේ සීට් එකක වාඩි උනාම මම බහින තැන එනකන්ම කරන්නේ වට පිටාව නරඹන එක. අවුරුදු ගාණක්ම යන්නෙ එන්නේ එකම පාරේ නිසා එකම පරිසරය තමයි දකින්න තියෙන්නේ. ඒත් මට හැමදාම ඒ පරිසරය නැවුම්. ගහකොළ සත්තු ගොඩනැගිලි වගේම මිනිස්සුත් මගේ නෙත ගැටෙනවා. උදේ හවස විවිධ මිනිස් ක්‍රියාකාරම් දකින්න ලැබෙනවා. සීට් එකට වඩා නිදිකිරා වැටෙනවට වඩා වට පිටාව නරඹන එක හිතට සතුටක් ගේනවා. රැකියාවක් කරන ගෘහනියක් වෙන මට විශේෂයෙන් කියලා ඇවිදින්න යන්න කාලයක් නැති තරම්.  ඉතින් පරිසරය රසවිඳින්න ලැබෙන්නෙත් උදේ හවස වැඩට යද්දී ආපහු එද්දී තමයි.
   
       
ඒ වගේම හවස කෝච්චියේ යද්දීත් ගම්පහා ඉඳන් මීරීගමටම යනකන් වැඩිපුර තියෙන්නේ වෙල් යායවල්. ගම්පහ ඉඳන් මගලෙගොඩට යනකන් හම්බ වෙන වෙල්යාය තමයි මටනම් සුන්දරම. හවස අහසත් ගොඩක් ලස්සනයි. පාට පාට වළාකුළු ලස්සන රටා මවනවා. ඉර බැහැගෙන යනවා. හැම තැනම කොළ පාටයි. ඒත් ඒ වෙල් යායේ සුන්දරත්වය තව ටික කලෙකින් මැකිලා යාවි. කොළඹ නුවර අධිවේගී මාර්ගය හැදෙන්නේ මේ වෙල් යාය හරහා රේල් පාරත් එක්කමයි. තව අවුරුදු කීපයකින් පොළවෙන් ඉහළට ඉස්සුන කොන්ක්‍රීට් කණු එක්ක තියන පාරක් දිහා තමයි බලන් යන්න වෙන්නේ. එහම හිතෙනකොට කොච්චර පහසු උනත් අධිවේගී මාර්ගය හදන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා.ඒත් අධිවේගී මාර්ගය පාවිච්චි කරන අයට නම් හරිම සුන්දර දසුන් නෙත ගැටේවි. මාතෘකාවෙන් ටිකක් පිටට ගියා.
                    මට කියන්න ඕන උනේ පරිසරය විඳින්න, සතා සිවුපාවා දිහා බලන්න, විවිධාකාර මිනිසුන්ගේ ක්‍රියාකාරම් නරඹන්න වෙනම වෙලාවක් ඕනේ නෑ. බස් එකේ කෝච්චියේ වැඩට යන එන ගමන් උනත් පුලුවන්. ඒකට ඕනේ අපේ ලස්සන හිතයි ඇස් දෙකයි විතරයි.

Wednesday, July 19, 2017

දොළොස් මහ


ශාන්ති දිසානායක මහත්මියගේ පොත් කියවලා තිබුනෙම නෑ මම. කියවපු පළවෙනි පොත තමයි දොළොස් මහ. කාන්තාවන් මුහුණදෙනන වෙන දුක් කම් කටොළු, කරදර බලපෑම් සහ ඔවුන් එයට මුහුණ දෙන ආකාරය ගැන කතාකරන කතාවක් තමයි දොළොස් මහ කියන්නේ.  
මෙහි ප්‍රධාන චරිතය වන බියුලා. ලස්සන කාන්තාවක්. බිරිඳක්, මවක්, ඇගේ මව වයලට් නපුරු කොයිවෙලෙත් කාටත් දොස් කියන කාගේවත් හොඳක් නොදකින එහෙත් සිය මවට හා වැඩිමල් සහෝදරියට ආදරේ කරන සහ හොඳින් උවටැන් කර රැක බලාගන්නා කාන්තාවක්. එහෙත් ඇය බියුලාට ඇගේ සැමියාට සහ දරුවන්ට නම් සෙනෙහසක් අනුකම්පාවක් දක්වන්නේ නෑ. බියුලාගේ පියා අම්මාගේ ගතිගුණ නිසාම ජීවිතය කලකිරී පැවිදිවෙලා. බියුලාගේ වයස්ගත මිත්තනිය එක තැන්වෙලා. ලොකු අම්මා උපතින්ම ආබාධිත කාන්තාවක්. මේ සේරගෙම ජීවන බර පැටවිලා තියෙන්නේ බියුලගේ සැමියා වන මයිකල්ට. ඒ අතරේ බියුලාත් රැකියාවක් කරනවා. සිරිල් කියන්නේ බියුලා සේවයක් කරන සාප්පුවේ අයිතිකරු. සල්ලාලයෙක්. තමන්ගේ හිත ගත්ත ගැහැණු පොළඹවා ගන්න ඕනෑම දෙයක් සිය ධන බලයෙන් කරන පුද්ගලයෙක්. කාන්තාවක් අසරණ උනහම ඉන් ප්‍රයෝජන ගන්න බලන නිමල් වගේ අයත් අපේ සමාජේ නැතුවම නෙමේ.
 සිය පවුල හා පතිවත රැකගෙන ජීවත් වෙන්න උත්සාහ කරන බියුලා වගේ ගැහැණු වගේම ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන පිරිමිත් අපේ සමජයේ ඉන්නවා. මයිකලුත් අවසානෙදි බියුලාට  ද්‍රෝහී  වෙනවා. කවදත් කොතැනත් තැලෙන්නේ කාන්තාවන්. අපේ සමාජයේ තවත් පැතිකඩක් විවිධ ගතිගුණ ඇති මෙම කාන්තාවන් පුරුෂයින් හරහා  කතුවරිය මේ පොතෙන් අපට පෙන්වා දෙනවා. 

Thursday, July 13, 2017

පරිසරය නසන අපි

                                                       
                                                           
                        අපේ සේවාස්ථානය ඉස්සරහා තියනවා කාණුවක්. කාණුවක් කිව්වට පොඩි ඇලක් වගේ. මෙයිට අවුරුද් 4-5 කලින් මේ ප්‍රදේශය ඒ තරම්ම ජනාකීර්ණ වෙලා තිබුනෙ නෑ. ඒක නිසා මේ කාණුවේ තිබුනේ පිරිසිදු ජලය.මාලු හිටියා ගොඩක්. පොකුරු පිටින්. සමහර කාලෙට ළමයි ඇවිත් අල්ලනවා පොඩි දැල් දාලා. එහෙම දවස් වලට මම ගිහින් බලනවා. ලස්සන මාලු. එයාල වතුර බාස්කට් වල දාලා අරන් යනවා ගෙවල් වල තියන පොකුණු වලට දාන්න. බත් ඇට ටිකක් කාණුවට දැම්මම බලන්න ආසයි ඒවා කන්න රංචු පිටින් පොරකන හැටි. අවාසනාවට කොළඹ මීගමු මාර්ගයේ යන වාහනවල මගීන්, එයාල කන බොන දේවල් වල බෝතල්, කවර, හැමදේම යන ගමන් මේ කාණුවට විසි කරන්න පටන් ගත්තා. ඒ වගේම පාර අයීනේ නතර කරලා කෑම කාල කුණු ටික ඔක්කොම කාණුවට දැම්මා. ටිකෙන් ටික මේ ප්‍රදේශය ජනාකීර්ණ උනා. ගොඩනැගිලි හැදුනා. ව්‍යාපාරික ස්ථාන විවෘත උනා. කාණුව ට උඩින් කොන්ක්‍රීට් කොට ඇල්ලුවා. ඒක අඳුරු උනා. ආයතනවල අපතේ යන ජල නල කාණුවට දැම්මා. දැන් කාණුව විනාශ වෙලා. මාලු නෑ. දැන් කාණුව දකින කෙනෙක් කවදාවත් හිතන්නෙ නෑ මාලු රංචු ගනන් හිටපු තැනක් කියලා. දැන් කාණුවෙන් එන්නේ දුඟදක් විතරයි. එබිලා බැලුවොත් පාට පාට ප්ලාස්ටික්, වීදුරු බෝතල්. ඉටි කවර, යෝගට් කෝප්ප පිරිලා. සුද්ද කරන්න කෙනෙකුත් නෑ. නගරසභාවෙන් උනත් බලන්නෙ නෑ..
                                         ඉහත ඡායා රූපය දැක්කම මට මතක් උනේ අපේ ඉස්සරහා කාණුව. අපේ මිනිස්සු අපේ තියන දේවල් විනාශ කරගන්නවා ඉක්මනටම. ඊට පස්සේ එන වසංගත රෝග වලට පවතින ආණ්ඩුවට බනිනවා. කල්පනාකරලා බලනකොට මේ වසංගත පතුරවන්න  අපි හැමෝම සහයෝගය දක්වලා.
                                              අපි පරිසරය රැක්කොත් පරිසරය අපිවත් රකිනවා. මොනතරම් කිව්වත් මොනතරම් දැනුවත් කලත් මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නෑ. තදබල නීති දාලා දඬුවම් කරලා මිසක අපේ රටේ පරිසර විනාශය නතර කරන්න  බෑ .

Wednesday, July 12, 2017

සැඟවුන අනතුරු

කෝච්චියක් එනකන් ස්ටේෂන් එකේ බංකුවක වාඩි වෙලා ඉන්දි මට එහා පැත්තෙන් වාඩි වෙලා උන්න කාන්තාවක් තවත් කෙනෙක් එක්ක බර කතාවක්. අනිත් අයටත් ඇහෙන්නම  කරපු කතාවක් නිසා මාත් අහගෙන උන්නා.
        ඩෙංගු උවදුර නිසා එයාලගේ අහල පහල තිබුන කැලේ වැවුන හිස් ඉඩමක් සුද්ද කරලා. ඒ ඉඩමට අල්ලපු ගෙදර ඉන්න පොඩි දරුවෙක් ඉඩමේ තිබිලා ටයර් එකක් අහුලගෙන ඒක කරේ දාගෙන ගෙදර අරන් යද්දී ටයර් එක අස්සෙන් සතෙක් ඔලුව එලියට දාලා. ළමයා ටයර් එක විසික් කරලා තාත්තාට කතා කරලා. තාත්තා ඇවිත් බලනකොට  ටයර් එක ඇතුලේ ලොකු පොලඟෙක් ඉඳලා. ළමයාගේ වාසනාවට පොලඟා දෂ්ඨ කරලා නෑ.
         පොඩි දරුවන්ට තේරෙන්නේ නෑනෙ. වැඩිහිටියෝ කියලා දෙන්න ඕනේ එළියේ තියල තියෙන ඔය වගේ දේවල් ගන්න කලින් පොඩ්ඩක් බලන්න කියලා. මම පොඩි කාලේ සෙල්ලම් ගෙයක් හදලා ඒකේ උයන්න භාජන වෙනුවට ගන්න පොල්කටු හොයන්න දරමැස්සට ගියා. මුලින්ම අතට ගත්ත  පොල් කට්ටෙ සර්පයෙක් ගුලිවෙලා හිටියා. මම පොල් කට්ට විසික් කරලා කෑගැහුවා. අපේ ආච්චී ඇවිත් කිව්වා පොල් කටුවේ උන්නේ කුණුකටුවෙක් බව. එදා මට උපදෙස් දුන්නා ඔය වගේ දේවල ගන්නකොට දිග කෝටුවකින් ඈත ඉඳන් පෙරලලා බලලා ගන්න කියලා. අදටත් මම ඒ අවවාදය පිලිපදිනවා. ඒදා මම වගේම මේ පොඩි දරුවත් වාසනාවන්තයි. සර්පයෝ දෂ්ඨ කලානම් මේ කතාව මෙයිට වෙනස් වෙන්න ඉඩ තිබුනා. අපි එදිනෙදා පාවිච්චි කරන සපත්තු තොප්පි පාවිච්ච් කරන්න කලින් ගසලා බලලා පාවිච්චියට ගන්න එක තමා වඩාත් සුදුසු .
          මේ කතාවේ අපට හිතන්න යමක් තියනවා. පුංචි කාරණාවක් උනත් දරුවෝ දැනුවත් කරලා තිබුනම ලොකු අනතුරක් වලක්වාගන්න පුලුවන්

Sunday, July 9, 2017

සරු පස


Growth of the Soil  දී නොබෙල් ත්‍යාගය දිනාගත්ත නව කතාව. 1959 දී කේ.සී පෙරේරා මහතා සිංහලට පරිවර්තනය කරනවා.  මම කියවපු පොත් අතරින් මේ පොත ගොඩක්ම ලස්සන මගේ හිත ඇදගත්තු පොතක්.                                                   මේ පොතේ කතා නායකයා වෙන්නේ අයිසැක් නම් නෝවේජියානු ශක්තිමත් ඒත් ඒ තරම් කඩවසම් නොවුන ගැමීයෙක්. අයිසැක් කියන්නේ ඉන්ගර් ගේ සැමියා වගේම එලීසස්, සිවට්,ලියොෆොල්ඩ් සහ රෙබෙකාගේ පියා. අකුරු ලියන්න කියවන්න ලොකු හැකියාවක් නොවුනත් ඔහු අවංක කාර්යශූර ශක්තිමත් උද්යෝගී පුද්ගලයෙක්. තනිවම වනාන්තරයට ඇවිත් වගා කරන්න සුදුසු බිම් කොටසක් තෝරගෙන එහි කුඩා නිවසක් තනාගෙන ගමෙන් එළුවන් තුන්දෙනෙක් ගෙනත් අර්තාපල් වගාවකුත් ආරම්භ කලාට පස්සේ ඔහුගේ ජීවිතේට ඉන්ගර් එකතු වෙනවා දරුවන් ලැබෙනවා. ඔවුන් සමග එකතු වී අයිසැක් ටිකින් ටික උතසාහයෙන් ගොවිතැන් වැඩ හා සත්ත්ව පාලනය කරමින් ගොවිපොලට අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ ටිකෙන් ටික එකතු කරගෙන විශාල ගොවිපොළක් නිර්මානය කරගන්නවා. ඔහු අනුගමනය කරමින් තවත් කීපදෙනෙක්ම ඒ අවට පදිංචි වෙනවා. මෙම පවුල හා ගමේ අනෙකුත් වැසියන් අතර ගෙතුන ලස්සන කතාවක් තමයි සරු බිම කියන්නේ.

මෙම පොත පාදක කරගෙන 1921 දී චිත්‍රපටියක් නිෂ්පාදනය කරලා තියනවා. මෙම පොත පාදක කරගෙන 1921 දී චිත්‍රපටියක් නිෂ්පාදනය කරලා තියනවා. ඉන් පසුවත් චිත්‍රපට නිෂ්පාදනය කලාද කියලා නම්  තොරතුරු හොයාගන්න බැරිඋනා.

Monday, July 3, 2017

කුරුලු හදවත


                                        කුරුලු හදවත කියවා හමාර කළෙමි. අපේ රටේ කුල භේදය තවමත් පවතී. සිංහල ජනයාටත් වඩා දෙමළ ජනයා කුල භේදය ඉහළින්ම සලකන බව පුවත්පතකින් දුටුවෙමි. 
                                        මෙම කතාව රේඩියෝවක් වටා ගෙතී ඇති නිසා පොත කිය්වද්දී මමත් නිරායාසයෙන්ම මගේ කුඩා කාලයට දිව ගියෙමි. මා කුඩා කාලයේදී අපේ මහ ගෙදර (අම්මාගේ මහ ගෙදර ) ත් තිබුනේ ගුවන් විදුලි යන්ත්‍රයක් පමනි. ප්‍රවෘත්ති, සිංදු, මුවන්පැලැස්ස අහනවා මට මතක තිබේ. ගුවන් විදුලියට ඇසීමට ඇබ්බැහිවී තිබුනේ අපේ පොඩි මාමා ය. මෙම නව කතාවේ ප්‍රධාන චරිතය දිනසිරිය. මගේ පොඩි මාමා ඥාණසිරි ය. එමනිසා මෙම කතාව මගේ හිතට සමීප එකක් බව දැනුනි. එහෙත් ඔවුන් දෙදෙනා හාත්පසින්ම වෙනස් චරිත දෙකකි. 
                                      දිනසිරි ගුවන් විදුලියට සවන් දෙන්නේ ආශාවටය. ගීත ඉල්ලීම් කරන්නේ ඔහුගේ නම කියනවාට ඇති කැමැත්ත නිසාය. ගමේ නම වෙනස් කරන්නට හිතන්නට ඇත්තේ කුලය හේතුවෙන් ඔවුන් අපහසුතාවයට ලක්වෙන නිසා විය යුතුය. දිනසිරිගේ ගුවන් විදුලියට තැපැල් පත් යැවීමේ ආශාව අවසානයේ ඇබ්බැහියක් බවටද පත්වේ. ඔහුට සියලු යස ඉසුරු මෙන්ම ජනප්‍රියත්වයද ලැබෙන්නේ මෙම ඇබ්බැහිය නිසාය. අලුත් නාලිකා අරම්භ වීමත් සමග ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයන අහන පිරිස සීමිත වී ගියේය. ඒවායේ පරමාර්ථය වූයේ මුදල් ඉපයීම පමනක් නිසා අපේ භාෂාවද සිංග්‍රීසි විය. 
                                                දිනසිරි ව එෆ් එම් චැනලය විසින් ඔහුටද නොතේරෙන්නට මිලට ගනී. දිනසිරි නොදැනීම මුදල් නිසා ඔවුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ගැමිකම ගම විකුනන්නට පටන් ගනී. මුදල් සමගම ඔහුගේ කුලයේ අඩුබව කෙමෙන් මැකී යයි. දිනසිරි කැදැල්ල තනන්නේ එම අඩුවත් මකා ගැනීමේ අරමුණෙන්. දිනසිරිගේ පෙම්වතිය වෙන්නේ උඩරට වලව් පවුලක ගැහැණු ළමයෙක්. දිනසිරි කැදැල්ලේ සංගීත කාමරයක් හදනවා. එහි තියන විශාල රූපය රන්දිමාගේ නූනත් ඔහු ඒ රන්දිමා කියලා හිතනවා. ඇත්තටම ඔහු ආදරේ කලේ රන්දිමාට. කුල භේදය නිසා ඔහුට ගොඩක් දුරින් උන්න රන්දිමාට. ඒත් අවසානයේ කතෘ කියනවා රන්දිමාගේ අම්මයි දිනසිරිගේ අම්මයි සහෝදරියෝ බව. එහෙම බැලුවොත් රන්දිමා දිනසිරිගේ සහෝදරියක්.
                                                     තමන් එෆ් එම් චැනලයේ ගොදුරක් බව දිනසිරි වටහා ගන්නේ සරත්ගෙන්. ඇත්තටම තමන්ගෙන් උනේ වරදක් බව දිනසිරිට වැටහෙනවා. දිනසිරි අවසන් දවස්වල ඉන්නේ කලකිරීමෙන්. දිනසිරි ඔරුවෙන් වැටුනාද ඔරුවෙන් පැන දිවි නසාගත්තාද කියන දෙක ගැලපුවාම මට හිතෙන්නේ දිනසිරි සිය දිවි හානි කරගත්තා කියලයි.
                                                        මුත්තු ආතා ගැන කතා නොකරම බැහැ. මුත්තු ආතා ට තමන්ගේ කුලය ආඩම්බරයක්. එහෙම අය අදත් අපේ සමාජයේ ඉන්නවා. සිරිමලී කරන්නෙත් ඒ ටිකමයි.
                 කුරුලු හදවත කියවලා ඒ ගැන කල්පනා කරද්දී මට මෙහෙම හිතුනා.   නව ගුවන් විදුලි නාලිකා. රූපවාහිනිය අපේ රටට එන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත හරි සරලයි, ඒ වගේම සතුටෙන් සැනසිල්ලෙන් ජීවත් උනා. තාක්ෂණික දියුණුවත් එක්ක අපි හැමෝම නොයෙකුත් ආයතන වල ගොදුරු බවට පත්වෙලා. ඔවුන් නොයෙකුත් නිෂ්පාදන කරනවා. මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කරලා මුදල් උපයනවා. මිනිස්සුන්ට අවශ්‍ය උනා හෝ නැතා මිනිස්සු ඒවා ගන්න ජීවිතේ සතුට සැනසීම කැපකරලා මුදල් උපයන්න වෙහෙසෙනවා. 
                     මම නම් පොත රසවින්දා. කුරුලු මැරෙන්නෙ නැතුව අවසානෙදි "දිනසිරි" වෙලා ගමට ගියානම් හොඳයි කියලා මට හිතුනා.

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)