Monday, August 21, 2017

"වියරුව"

මම කියවපු අලුත්ම පොත ආනන්ද ලියනගේ මහතා විසින් රචිත The Vengeance පොතේ සිංහල පරිවර්තනය "වියරුව". සිංහලට පරිවර්තනය කරන්නේ අනුලා ද සිල්වා මහත්මිය. පොත ගැන කියනවනම් අපේ ඉතිහාස තොරතුරු,අපේ රටේ තිබූ යුද්ධයට සම්භන්ද සිදුවීම් එකට ගලපලා ලියපු රහස් පරීක්ෂක ගනයට එක් කරන්න පුලුවන් පොතක්. ඒ වගේම බොහෝ රටවල තොරතුරුත් විස්තර සහිතව තියනවා.මට මුලදී ටිකක් කියවන්න කම්මැලිකමක් දැනුනත් , අවසානයට යද්දී පුදුමාකාර කුතුහලයකින් කියෙව්වා. ඒ වගේම ඉන්දියාව ,එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල තොරතුරුත් අපේ ඉතිහාසය සම්බන්ධ මා නොදැන සිටි තොරතුරුත් දැනගත්තා. පොත ලියන්න කලින් ආනන්ද මහතා මේ දේවල් පිළිබඳ අධ්‍යනය කරන්න ඇති කියලා හිතුනා. 
ආනන්ද් මහතා විසින් රචිත The Legacy නම් පොත "රාජ උරුමය" නමින්ද The Deception නම් පොත "මායාව"
නමින්ද අනුලා ද සිල්වා මහත්මිය විසින්ම පරිවර්තනය කර ඇති නමුත් මම තවම ඒ පොත් දෙකම කියවලා නෑ.
                                       (   ඡායාරූපය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)

Monday, August 14, 2017

ආරක්ෂිත ප්‍රවාහනය



අද උදේ මම බස් එක ගන්න බස් ස්ටෑන්ඩ් එකට යන්න පාර පනින්න ඉන්නකොට පාරේ පොඩි ට්‍රැෆික් එකක් තිබුනා. මගේ ඉස්සරහින්ම වගේ තිබ්බ කාර් එකේ පොඩි බබෙක් හිටියා එයාගේ තාත්තා එක්ක.ඒ බබාට යන්තමට අවුරුදු 1 1/2 -2 ඇති. ඒ බබා හිටියේ ඉස්සරහා සීට් එකේ හිටගෙන. කාර් එකේ වෙන වැඩිහිටියෙක් හිටියෙත්  නෑ. ඒ බබා එක්කන් ගියේ හරිම අනාරක්ෂිතව. උදේට මිනිස්සු යන්නේ බොහොම කලබලෙන්. මෝටර් සයිකල්, ත්‍රීවීල් බලන්නේ වාහන අස්සෙන් අස්සෙන් දාගෙන ඉස්සර වෙන්න. මේවගේ වෙලාවක වාහනේ බ්‍රෙක් කරන්න උනොත් සීට් එකට හේත්තු වෙලා යන බබා වැටෙනවා. ඉස්සරහට විසික් උනොත් දරුවව ඩෑෂ් බෝඩ් එකේ වදින්නත් පුලුවන්. 
පොඩි දරුවො එක්ක තනියම වාහනයක යද්දී එයාලගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනේ. බබාලට නිෂ්පාදනය කරපු කාර් සීට් එකක් වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බබාව වාඩි කරලා සීට් බෙල්ට් එකවත් දාන්න ඕනේ. නැත්නම් බබා යන්න ඕනේ පිටිපස්සේ සීට් එකේ. "අවදානමට පෙර සූදානම " කියලා කියනවනේ. 

          බොහොමයක් දියුණු හා බටහිර රටවල, කුඩා දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත ආසන අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම බොහෝ රටවල දරුවන් ඉදිරිපස ආසනයේ රැගෙන යාමත් තහනම්. අවුරුද්දට අඩු දරුවන්ගේ ආරක්ෂිත ආසනයේ දරුවා රඳවන්නට පවා නීති රෙගුලාසි තියනවා. 

අපේ රටේ මම දන්නා තරමින් එවැනි නීති රෙගුලාසි නෑ. මෝටර් බයිසිකල් වල තෙල් ටැංකිය මත දරුවා ඉන්දවාගෙන එක අතකින් බයිසිකලේ පදින ගමන් අනිත් අතින් දරුවාව අල්ලගෙන යන තාත්තලා ඕන තරම් මග තොටේදී දකින්න පුලුවන්.

අඩුම තරමේ ආරක්ෂිත හෙල්මට් එකක් දාන්න පුලුවන් වයසකත් නෙමේ දරුවා ඉන්නේ. කොයි මොහොතේ අනතුරක් වෙයිද කියලා අපට කියන්න බෑ. වැඩිහිටියෝ විදිහට මේ ගැන දෙවරක් සිතිය යුතුයි.

අම්මලා දරුවන්ව ස්කූටියේ පිටිපස්සේ තියාගෙන ඉස්කෝලේ යනවා පංති අරන් යනවා. පොඩි දරුවන්ට හුළං වදිනකොට බොහොම ඉක්මනට නිදිමත වෙනවා.එහෙම යද්දී නින්ද ගියොත් කියන අවදානම තියනවා.
දරුවන් එක්ක ගමන් බිමන් යද්දී ඔවුන්ගේ ආරක්ෂාවට මුල් තැන දීම වැඩිහිටියෝ වන අපගේ වගකීම. දරුවෙකුට අනතුරක් උනාට පස්සේ පසුතැවිලි වෙනවාට වඩා අනතුර වෙන්න කලින් වලක්වා ගැනීම තමයි අප කලයුත්තේ.
(ඡායාරූප අන්තර් ජාලයෙනි)

Friday, August 11, 2017

අප්‍රිකාණු කොන්ඩා ගෙතීමේ කලාව

                    අප්‍රිකානු සහ ඇමරිකානු කලු ජාතිකයින් සැරසෙන කොණ්ඩා මෝස්තර ගැනයි මම කියන්න යන්නේ. මෙම කොණ්ඩා මොස්තර ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක්. මේ කොණ්ඩා ගෙතුම් කලාවට ක්‍රි.පූ 3500 තරම් දිගු ඉතිහාසයක් තියනවා. අප්‍රිකාණු කලාපයේ විවිධ ජන කොටස් වලට ආවේණික අලංකාර කොණ්ඩා මෝස්තර රටාවල් තියනවා.බොහෝ බටහිර අප්රිකානු රටවල කොණ්ඩා මෝස්තර , ඔවුන්ගේ සමාජ තත්ත්වය, වයස් සීමාව,හා ඔවුන් ජීවත් වන ප්‍රදේශය පෙන්නුම් කරන කැඩපතක් වගේලු.විවාහ හා වෙනත් උත්සව සඳහා පමනක් දමන කොණ්ඩා මෝස්තරත් ඔවුන් අතර තියනවා. ඉහත ඡායාරූපයේ මෙන් ගෙතූ කොණ්ඩා මෝස්තරය කාන්තාවන්ට ආවේණික මෝස්තරයක් උනාට සමහර ප්‍රදේශවල පිරිමින් සඳහාද මෙම මෝස්තරය යොදා ගන්නවා.
 ඉතා කුඩා වියේ සිටම ගම් වල ජීවත් වන  ගැහැණු ළමයින්ගේ   කොණ්ඩය, ඔවුන්ගේ මව්වරුන්, සොයුරියන්,ආච්චී, නැන්දා හෝ වැඩිහිටි කාන්තාවන් විසින් කැරලි වලට ගොතනු ලබනවා. එම අවස්ථාවේදී එම කුඩා ළමයින්ද කොණ්ඩ කැරලි ගොතන්න ඉගන ගන්නවා.නුපුහුණු අයට සිය  කොන්ඩය ගොතන්න වැඩිහිටි කාන්තාවන් ඉඩ නොදෙන නිසා  තමන්ට වඩා බාල හෝ සම වයස් දැරියන්ගේ කොණ්ඩ කැරලි ගොතමින් ඔවුන්ට මෙම මොස්තර පුරුදු වෙන්න සිදුවෙනවා.
.බොහෝවිට මෙම කොණ්ඩා කැරලි ගොතන්න දිනක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවෙනවා. 

තමන්ගේ කොණ්ඩය ගොතාදෙන කාන්තාවගේ කොණ්ඩය ගොතාදීම පරිණත ගෙතුම් ශිල්පිනියන්ගේ සිරිතක්. එහෙත් ගම්බද කාන්තාවන්ට මෙම ගෙතුම් ඉගනීමට අවස්ථාව ලැබෙන්නේ එදිනෙදා වැඩ කටයුතු වලින් විවේකයක් ලැබුනොත් පමනයි. ජනයා නාගරීකරණය වීම හා කාර්මිකකරණය වීමෙන් පසු මෙම කොණ්ඩා ගෙතීමේ කලාව වර්තමානයේ වෘතියක් බවට පත්වෙලා. වඩාත් සංකීර්ණ ගේතුම් රටාවල් තවමත් ගම්බද පෙදෙස්වල දකින්න ලැබුනත් අප්‍රිකාවේ නාගරික ප්‍රදේශවල ඇති සැලුන් වලින් සරල කොණ්ඩ කැරළි රටාවන් පමනක් ගොතනු ලබනවා. පසුගිය දශක දෙක තුලදී ඇමරිකාව පුරාද මෙම සැලූන් වි‍යාප්තවී තිබෙනවා. මෙම කොණ්ඩා මෝස්තර සඳහා දිගු කාලයක් ගතවෙන නිසා, එම කාලය තුලදී කාන්තාවන් ඉතා සතුටෙන් සුහදව කතාබස් කරමින්, රූපවාහීනී නරඹමින්, එකිනෙකා හඳුනා ගනිමින් ගොඩක් සතුටු වෙනවලු.
 එක් එක මාදිලියේ කොණ්ඩා මොස්තර පහත ඡායාරූප වලින් දකින්න පුලුවන්. 


(ඡායාරූප හා තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )




Tuesday, August 8, 2017

ශිෂ්‍යත්වේ


පෙරේදා අපේ හස්බන්ඩ් ගේ අක්කා ආවා අපේ ගෙදර පුතාලා දෙන්නත් එක්ක. ලොකු පුතා මේ පාර ශිෂ්‍යත්වෙ ලියන නිසා කොල්ලට මොකුත් කරන්න දෙන්නෙ නෑ.අරක කරන්න එපා මේක කරන්න එපා, විභාගේ ඉවර වෙනකන් තුවාල කරගන්නෙ නැතුව පරිස්සම් වෙන්නලු. 20 පස්සේ ඕන දෙයක් කරන්නලු ඉතින් කොල්ලා පුපුර පුපුර ඉන්නවා. අම්මා බනිනවා අක්කලට විභාගයක් නිසා ළමයින්ගේ නිදහස නැති කරලා කියලා.(මම බ්ලොග් ලියන වග ගෙදර අය දන්නේ නෑ. දැනගත්තත් බලන්නෙ නෑ එක නිසා බය නැතුව ලියනවා) අම්මා දොස් කියද්දී අයියයි අක්කයි අනිත් ළමයි ගැන කිව්වා විස්තරයක්. ඒක අහලා උසස් පෙළ විභාගේ ලියන ළමයින්වත් මෙහෙම මරවන්නේ නැතුව ඇති කියලා මට හිතුනා.

* එක අම්මා කෙනෙක් දරුවාව ඇහැරවන්නේ පාන්දර 4.30 ටලු. ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් හෝ දෙකක් කරවනවලු ඉස්කෝලේ යන්න කලින්. ඒ ළමයාට දවසට ප්‍රශ්න පත්තර 5 කරවනවලු .
අපේ අක්කා කිව්වලු අපේ ළමයා නැගිටින්නේ 6 ට කියලා. අපෝ එහෙම බෑ ලකුණු ගන්න. අපේ එක්කෙනත් නැගිටින්නෙ නෑ වේ වැල අරන් කිව්වලු වැඩ කරවන්නේ. ඒ ළමයට ලකුණු 90 ට වඩා තියනවලු ප්‍රශ්ණ පත්තර වලට.

* අනිත් ළමයා 5ට ඇහැරවලා ප්‍රශ්ණ පත්තරයක් කරවනවලු. වැරදුනාම ගුටිත් කනවලු.

*තව ළමයෙක් උදේ 5.30 ගෙදරින් ඇවිත් හවස පංති ඉඳලා ගෙදර යද්දී රෑ 8 විතර වෙනවලු.

ඉතින් අක්කයි අයියයි දෙන්නම බනිනවා ළමයට, මෙයාලට අපි ශිෂ්‍යත්ව බරක් දීලා නෑ, ඒ ළමයි ඉස්කෝලේ යන්නෙ එන්නේ බස් වල වෑන් වල තෙරපිලා ,මෙයාලව ගෙදර වාහනේ ම ගිහින් දානවා, ඇති තරම් ටීවී බලනවා, සෙල්ලම් කරනවා , අපි පොතක් පාඩම් කරන්න කිව්වම මෙයාලට බඩගිනි වෙනවා, එක්කෝ ඔලුව රිදෙනවා ,බඩ රිදෙනවා. කොල්ලා සද්ද නැතුව අහගෙන ඉන්නවා.

අන්තිමටම අහගෙන ඉඳලා කොල්ලා කියනවා,
" ඔයාලගේ නම්බුව බේරලා දුන්නම ඉවරනේ ඉතින් මම 150 ට වඩා ගන්නම් කියලා. "


සේරම අහන් ඉඳලා අනේ මට හිතුනා කලින් ඉපදුනත් අපි මොනතරම් වාසනාවන්තද කියලා.