Thursday, February 22, 2018

මොහොතක් ඉවසුවානම්


ඊයෙ හවස අපි ගෙදර යන්න නැගපු කෝච්චියට දාරළුවත් ගම්පහත් අතරෙදි නතර කලා. කෝච්චියේ උන්න පිරිමි උදවිය කෝච්චියට කවුරු හරි පැන්නා කියලා , කෝච්චියෙන් බැහැලා දිව්වා. අවුරුදු 19-20 පිරිමි ළමයෙක් හෙල්මට් එකකුත් දාගෙන පොතකුත් අතින් අරන් කෝච්චියට බෙල්ල තියලා. ඒ ළමයගේ මිනිය ට්‍රොලියෙ තියාගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට බාර දෙන්න අරන් යනවා දකිනකොට මට පව් කියලා හිතුනෙ ඒ ළමයා ගැන නෙමේ, ඒ ළමයව ඔය තත්වෙට උස් මහත් කරන්න දුක් විඳපු අම්මා තාත්තා ගැන.
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
" මිය යන්න සූදානම් පැරදුම දරන්
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
පැරදුනාම මැරෙනවාට වඩා හොඳයි නේද දිනන්න උත්සාහ කලානම්. ප්‍රේම සම්භන්දයක් වේවා විවාහයකින් වෙන් උනා හෝ වේවා එතනින් ජීවිතය නතර වෙන්නෙ නෑනෙ. හැම පැරදුමක්ම දිනුමක් කරගන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
"ඒ දරුවා තව මොහොතක් ඉවසුවානම් තාමත් ජීවතුන් අතර"

Monday, February 19, 2018

ඩෙනිමේ ඉතිහාසය

         
                                                                       ඩෙනිම් ජීන්ස් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඇඟලුම් පැළඳීමට අපේ රටේ බාල,තරුණ, වැඩිහිටි කවුරුත් කැමතියි. සෝදා හෝ නොසෝදා පට්ට ගහන්න පුලුවන් කියලනෙ කතාවටත් කියන්නෙ. කාලාන්තරයක් තිස්සේ ඩෙනිම් ඇන්දට ඩෙනිමේ ඉතිහාසය ගැන ගැන අපි දැනගෙන උන්නෙ නෑනේ. ඩෙනිමටත් අවුරුදු එකසිය පනහක පමන ඉතිහාසයක් තියනවා. 


                
                                  ඩෙනිම් ජින්ස් වර්තමානයේ දී විලාසිතා ලෝකයේ පෙරළි කරන ඇඳුමක් උනාට ඩෙනිම් මුලින්ම ඇඳලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ  වල තිබුන රන් පතල් වල සේවය කරපු පතල් කම්කරුවන්. ඔවුන්ගේ වැඩ බිම් වල වැඩට අඳින ඇඳුමක් විදිහට තමයි ඩෙනිම් භාවිතා කරලා තියෙන්නේ.



                                    ලෙවි ස්ට්‍රවුස් නම් තරුණයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත එන්නේ රන් ඉල්ලම් මතුකරගැනීමේ පරමාර්ථයෙන් උනත් ඔහුට පතල් කර්මාන්තය ගැලපෙන්නෙ නෑ. ඒ නිසා ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තොග හා සිල්ලර වෙළඳ සැලක් පටන් ගන්නවා. එවකට 24 වෙනි වියේ සිටි ලෙවිගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වසර 20 තුල ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙනවා. ලෙවී ධනවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා.

                                      ජේකොබ් ඩේව්ස් කියන්නේ වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක්. ඔහු ලෙවි ගේ පාරිභෝගිකයෙක්. ජේකොබ් ඇඳුම් මසන්න අවශ්‍ය රෙදි මිලට ගන්නේ ලෙවී ගේ වෙළඳ සැලෙන්. දිනක් ජේකොබ් වෙත පැමිනෙන පතල් කම්කරුවෙකුගේ බිරිඳක්, සිය සැමියාට වැඩට අඳින්නට කලිසමක් මසා දෙන ලෙස දැනුම් දෙන්නේ කලිසම ඇඟලූ  පසු එල්ලා නොවැටෙන ලෙස මසා දෙන මෙන් ඉල්ලීමක්ද කරමින්. කලිසම ශක්තිමත්ව මසන්නේ කොහොමද කියලා කල්පනා කරන ජේකොබ් කලිසමේ පහසුවෙන් ඉරෙන සාක්කු කෙලවරවල් වැනි තැන්වල ලෝහ රිවට් සවි කරනවා.
                                      මෙම රිවට් ඇල්ලූ කලිසම පතලේ සෙසු කම්කරුවන් අතරද සීග්‍ර ලෙස ප්‍රසිද්ධ වන්නට පටන් ගන්නවා. මෙම කලිසමට දිනෙන් දින ඉල්ලුම වැඩිවෙනකොට ජේකොබ්ට කලිසමෙහි පේටන්ට් බල පත්‍රය ලබා ගන්නට උවමනා වෙනවා. එහෙත් ඒ සඳහා ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට ව්‍යාපාරිකයෙකුගේ උදව්ව අවශ්‍ය වෙනවා. සුදුසු හවුල්කරුවෙකු ගැන සිතද්දී ඔහුට රෙදි මිලට ගන්නා වෙළඳ සැලෙහි හිමිකරුව සිහියට එනවා. ජේකොබ් ලිපියක් මගින් ඔහුගේ අවශ්‍යතාවය ලෙවීට දැනුම් දෙනවා. දක්ෂ ව්‍යාපාරිකයෙක් වන ලෙවී කලිසමට ඇති ඉල්ලුම පිළිබඳ සොයා බලා ජේකොබ් සමග හවුල් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔවුන් 1873 මැයි 20 වෙනිදා පේටන්ට් අංක 139,121 යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගන්නවා.



                        මුල් කාලයේදී මෙය හඳුන්වලා තියෙන්නේ "වේස්ට් ඕවරෝල්" යන නමින්. බොහොම ඉක්මනට මෙම ඇඟලුම පතල් කම්කරුවන්, ගොපල්ලන් හා අනෙකුත් වැඩ බිම් වල කම්කරුවන් අතර ප්‍රසිද්ධ වෙනවා. ඉන්පසු ඩෙනිම් වල කුණු තැවරුණු විට පෙනෙන නිසා එය නොපෙනෙන්නට නිල් පැහැයෙන් වර්ණ ගන්වන්නට පටන් ගන්නවා. 




          ඩෙනිම් ජින්ස් ලොව පුරා ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 1930 න් පසුව ඇමරිකාවේ නිෂ්පාදනය වෙන කව් බෝයි චිත්‍රපට වල ගොපල්ලන් ඩෙනිම් ජීන්ස් ඇඳ රඟපාන්නට පටන් ගැනීමත් සමගයි. 

          1970 පමන වනතුරු ඩෙනිම් ජින්ස් වලට සමාජ පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ. ඩෙනිම සලකන්නේ කම්කරුවන්ගේ , ගොපල්ලන්ගේ වැඩට අඳින ඇඳුමක් විදිහට පමනයි. ඩෙනිම් ජින්ස් ඇඳගෙන පැමිනෙන අයට වැදගත් මහත්වරුන්ගේ උත්සව වලට හෝටල් වලට ඇතුල් වෙන්න වත් අවසර ලැබෙනෙ නෑ.
වර්තමානයේ ඩෙනිම් ජීන්ස් සහ ඩෙනිම් රෙදි ආශ්‍රිතව නිෂ්පාදනය වෙන ඇඟලුම් විලාසිතා ලෝකයට නැතුවම බැරි අංගයක් වෙලා. විවිධ වර්ණයෙන් විවිධ මෝස්තරයෙන් ඝනකම්, තුනී මෙන්ම ඇදෙන සුළු රෙදි වලින්ද වර්තමානයේ ඩෙනිම් නිර්මාණය වෙනවා. 1873 සිටම කාලයේ තාලයට අලුත් වෙමිනි වෙමින් පැමිනි ඩෙනිම් ජින්ස් වලට ඇති ඉල්ලුම හා කැමැත්ත තව බොහෝ කාලයක් තිබේවි

Wednesday, February 7, 2018

ජේ.කේ රෝලින් ගැන ඔබ නොදත් දේ

                                                 

                             
                                     මම මේ දවස් වල නැවත වතාවක් හැරී පොටර් පොත් ටික කියවනවා. චිත්‍ර පටි නරඹනවාට වඩා පොත කියවද්දී මැවෙන චිත්ත රූප වලට මම ගොඩක් කැමතියි. හැරී පොටර් කියවන්න ඉතින් වයස් සිමාවක් නෑ කියලා දන්නවනෙ. මම කොහොමත් මින් පෙර කියවලා නැති ළමා කතන්දර පොතක් හම්බුනොත් ඒකත් කියවන ජාතියේ කෙනෙක්. 
                                                  හැරී පොටර් කියවන් යද්දී පොත ලියපු ජේ.කේ රෝලින් මහත්මිය අරුම පුදුම කාන්තාවක් කියලා මට හිතෙනවා. ඒ මොකද මේ විදිහේ පොත් මාලාවක් ලියාගෙන යද්දී එක එක චරිත එක්ක එක එක සිද්ධි මාලාවන් එයාගේ හිතේ කොහොම මැවුනද කියන එක මට නම් තාම ගැටළුවක්. පොත පැත්තක තියලා  ජේ.කේ රෝලින්  ගැන කල්පනාවට ආව නිසා මට හිතුනා එයාගැන තොරතුරු ටිකක් හොයන්න. 
                                 ජේ.කේ රෝලින් කියන්නේ අති සාර්ථක ලේඛිකාවක් වගේම  සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය බිලියන පතිනියක්. ඇගේ හැරී පොටර් කතා මාලාව භාෂා හැත්තෑ හතරකට පරිවර්තනය වී තිබෙනවා. පොත් මිලියන හාරසිය පනහක් පමන අලෙවි වී තිබෙනවා. හැරී පොටර් හරහා චිත්‍රපට මාලාවක්ද හැදුනා. මම මේ ලියන්න යන්නේ ඇය ගැන අපි නොදත් කරුණු කීපයක්.

1.ඇගේ දෙමාපියන් උපාධිධාරීන් නොවේ.



ඇයගේ පියා රොල්ස් රොයිස් හි සහයක ගුවන් යානා ඉංජිනේරුවෙකි. ඇගේ මව උසස් පාසැලක විද්‍යා තාක්ෂණික ශිල්පිනියකි. 

2. ඇයට වයස අවුරුදු 25 දී ඇගේ මව මියයයි.



                       ජේ.කේ රෝලින් ගේ තරුණ අවධියේදීම ඇගේ මව වන ඈන් රෝලීන් අසනීප වෙනවා. ඇගේ ජීවිත කාලයම ගෙවෙන්නේ එම රෝගී තත්ත්වයත් එක්කමයි. ජේ.කේ රෝලින් ගේ "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන්" පොත නිකුත් වෙන්නත් කලින් ඇය මිය යනවා. සිය දියණියගේ සාර්ථකත්වය දකින්න ඇය ජීවත් උනේ නෑ. පසුව ඇය මව වෙනුවෙන්, ඇය  පෙලුන රෝගය පිළිබඳ අධ්‍යනය කරන එඩින්බරෝ විශ්ව විද්යාලයේ, ඈන් රෝලින්ග්ගේ පුනරුත්ථාපන ස්නායු රෝග සායනය ආරම්භ කරන්න ඩොලර් මිලියන දාසයක මුල්‍යමය පරිත්‍යාගයක් කරනවා.  

3. ඇගේ දියණියට, ඇගේ ප්‍රියතම ලේඛිකාවගේ නම තබනවා


ජෙසිකා මිට්ෆෝඩ් 1979 දී
ජේ.කේ රෝලින්ගේ ප්‍රියතම ලේඛිකාව වෙන්නේ ජෙසිකා මිට්ෆෝඩ්. රෝලින්ට වයස අවුරුදු දාහතරේදී, ඇගේ නැන්දනිය විසින්  ජෙසිකා මිට්ෆෝඩ් ගේ ""Hons and Rebels" පොත ගෙනවිත් දෙනවා. ඉන්පසු  එය රෝලීන්ගේ ප්‍රියතම පොත් ගොන්නට එක් වෙනවා . පසුව ඇගේ ප්‍රියතම ලේඛිකාවට කරන ගෞරවයක් වශයෙන් ඇගේ දියණියට ජේසිකා යන නම තබනවා.

4. හැම්බර්ගර්, පීසා, සහ කොකා කෝලා



                          2010 වර්ෂයේදී යුනිවර්සල් ස්ටූඩියෝ හි  "The Wizarding World of Harry Potter" විවෘත කළා. එය නිර්මාණය කිරීමට වසර ගණනාවක්ම ගත උනා. එහි නිර්මාණ කටයුතු වලදී රෝලීන් දැඩි පාලනයකින් යුතුව එහි නිර්මාණ කටයුතු සඳහා දායක උනා. සාමාන්‍ය තේමා උද්‍යානයක ආහාර ලෙස ලබා ගත හැකි හැම්බර්ගර්, පීසා සහ කොකා කෝලා  අළෙවි කරන්නට යුනිවර්සල් ස්ටූඩියෝ වට උවමනා උනත් රෝලින් එයට විරුද්ධ උනා. ඇය එහි ආහාර ලෙස බටර්බියර්, ෂෙපර්ඩ් පයි, මාළු සහ චිප්ස් තෝරාගත්තා.

5. පොත් ප්‍රකාශන සමාගමෙන් ඉවත් වීම.




ඕනෑම ක්ෂේත්‍රයක හිනි පෙත්තට නගින විට මුලදී ඔවුන් සමග සිටි උදව් කල අයව අත්හරින්න වෙන අවස්ථාවන් උදාවෙනවා. ජේ.කේ රෝලින්  හැරී පොටර් පළමු පොත ප්‍රකාශයට පත් කරන්න ඉල්ලීම් කලද ගොඩක් පොත් ප්‍රකාශකයින් ප්‍රතික්ශේප කරනවා. එවකට එතරම් ප්‍රසිද්ධියක් උහුලපු නැති පොත් ප්‍රකාශන සමාගමක් වන "ක්‍රිස්ටෝපර් ලිට්ල්" සමාගම, පොත ප්‍රකාශයට පත් කරන්න එකඟ වෙනවා. ඒ අනුව "හැරී පොටර් ඇන්ඩ් ෆිලෝසොෆර් ස්ටෝන්" පොත 1995 දී ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. එම පොත ජන්ප්‍රිය වීමත් සමග රෝලින් මෙන්ම ලිටිල් සමාගමද මිලියනපතියන් බවට පත්වෙනවා. ඔහු ඇයට, බ්‍රිතාන්‍යයේ දී පොත් අළෙවියෙන් ලැබෙන ආදායමෙන් 15% ක් ද සිය වෙළඳ ආදායමෙන් 20% ද ලබා දෙනවා. එය පොත් ළෙවි ඉතිහාසයේ හොඳම වෙළඳ සබඳතාවය ලෙසත් සැලකෙනවා.
                            එහෙත් 2011 දී රෝලින් ක්‍රිස්ටෝපර් ලිටිල් සමාගමේ හිටපු හවුල් කරුවෙකු වන නීල් බ්ලෙයාර් ගේ පොත් ප්‍රකාශන සමාගමටද ප්‍රකාශන අයිතිය ලබාදෙනවා. එමෙන්ම පොටර්මෝ හරහා ඊ බුක් අළෙවිය සිදු කරනවා. එයට එරෙහිව "ලිට්ල් " සමාගම නීතිමය පියවර ගන්නවා. අවසානයේදී රෝලින් එම ප්‍රකාශන සමාගමෙන් ඉවත් වෙනවා.

6. 2003 දී ඇගේ පියා සමග අමනාප වෙනවා.

                     ඇගේ පියා වන පීටර් රෝලින් පිළිබඳ ජේ.කේ රෝලින් දැරුවේ නිහඬ පිළිවෙතක්. ඒ පිළිබඳ ඇය 2013 දී නිව් යෝකර් පුවත් පතට මෙසේ ප්‍රකාශ කර තිබුනා.

" මාත් තාත්තාත් අතර ඒ තරම් සමීප සබඳතාවයක් තිබුනෙ නැහැ. ඇත්තටම එය ඉතා අසීරු කාරණාවක්."  එක්තරා සිදුවීමක් නිසා අපි අතර තිබූ සියලු  සබඳතාවයන් නතරවුනා. 2000 වර්ෂයේ දී පියවරුන්ගේ දිනයට, ඇය විසින් ඇගේ " හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ෆයර්" පොතේ මුල් පිටපතක්  ඇගේ අත්සන යොදා " ඔබගේ කුළුඳුල් දරුවාගෙන් ආදරෙන්" ලෙස සටහන් කොට ඇගේ පියාට තෑගි කරනු ලබනවා. ඔහු එම පොත ඩොලර් 48000 අළෙවි කල නිසා ඇය ඔහු සමඟ තිබූ සබඳතා අත්හරිනවා. 2003 පසු ඇය සිය පියා සමග කතාබස් කොට නැති බව පැවසෙනවා. 


7. ඇය තනි මාපියන්ට සහාය දෙන සංවිධානයක සභාපතිවරියයි.



          ඇගේ පළමු සැමියාත් සමග තිබූ කෙටි විවාහයෙන් වෙන්වීමෙන් පසු ඇය තනිව දියණියව හදාවඩා ගන්නවා. තනිව දරුවෙකුත් සමග ජීවත් වීමේ අසීරුතාවය දන්නා ඇය තනි දෙමාපියන්ට ඒ කියන්නේ මව හෝ පියා පමනක් දරුවන්ට සිටින සංවිධානයක සභාපතිනිය වී ඔවුනට උදව් කරනවා.

8. ජේ.කේ රෝලින් මානසික අවපීඩනය ට ලක්වූ තැනැත්තියක්.




                                     ඇය කීපවතාවක්ම මානසික අවපීඩනයට ප්‍රතිකාර ලබාගත් බව සන්ඩේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබුනා. "සොසර් ස්ටෝන්" පොත ලියද්දී සහ ඇගේ දියණිය කුඩා  අවධියේදී මුහුණ දෙන්නට සිදුවූ  අසීරුතා හමුවේ ඇය මානසික අවපීඩනයෙන් පෙළුන බවත්, විසිවන වියේ මැද භාගයේදී තිබූ ආර්ථික අපහසුතා නිසා ඇයට සිය ජීවිතය එපා වූ බවත් ඇය පවසා තිබුනා.

9.කේ අකුර ඇගේ නමේ කොටසක් නෙමෙයි



සාහිත්‍ය ලෝකයේ ඇයව ජේ.කේ රෝලින් යන නමින් හැඳින්නුවට ඇගේ නම ජොඈන් රෝලින්. කේ අකුරෙන් පටන් ගන්න නමක් ඇයට නැහැ. එහෙත් ඇය ඇගේ මිත්තනියගේ නම "කැත්ලින්". මිත්තනියගේ නමින් කේ අකුර අරන් තමයි ඇය සාහිත්‍ය ලෝකයට ජේ.කේ රෝලින් යන නමින් පොත් ලියන්න පටන් ගන්නෙ.

Friday, February 2, 2018

ශීත සෘතුවේ අයිස් මංගල්‍යය.

                       ශීත සෘතුවේදී ලොව විවිධ රටවල් වල විවිධාකාරයේ උත්සව පවත්වනවා. එම උත්සව අතුරෙන් චීනයේ පවත්වන ජාත්‍යන්තර හාර්බින් අයිස් හා හිම මූර්ති උත්සවය ප්‍රධාන තැනක් ගන්නවා. මෙම උත්සවයට තෙමාවන් තුනක් යටතේ උද්‍යාන තුනක් නිර්මාණය කෙරෙනවා.  Sun Island International Snow Sculpture Art Expo උද්‍යානයේ හිම මූර්ති ඉදිකෙරෙනවා. Zhanglin Park   අයිස් වලින් නිර්මාණය කල ලන්තෑරුම් වලට වෙන් වෙනවා. Harbin Ice and Snow World උද්‍යානයේ අයිස් හා හිම මූර්ති, ප්‍රදර්ශන, විදුලියෙන් ආලෝකමත් කල අයිස් වලින් නිර්මාණය කල ගොඩනැගිලි සහ විවිධ ක්‍රීඩා පැවැත්වෙනවා. 
     මෙම උත්සවයේ කේන්ද්‍රස්ථානය වන්නේ Ice and snow 
 උද්‍යානයයි. එය වර්ග මීටර 600,000 ප්‍රමාණයකින් යුතු   ලොව විශාලතම අයිස් හා හිම විනෝදාත්මක උද්‍යානයයි. එහි ඉතාමත් අලංකාර අයිස් හා හිම මූර්ති   දක්නට ලැබෙනවා. මෙහි විවිධ මූර්ති දෙදාහක් පමණ ප්‍රදර්ශණයට තබා තිබෙනවා. හවස්වන විට මෙම මූර්ති විවිධ වර්ණයෙන් ආලෝක මත් කෙරෙනවා. එවිට විවිධ පැහැයෙන් අලංකෘත වූ  විශාල අයිස් නිර්මාණයන් වන මාළිගා, බලකොටු, කුළුණු ආදිය දක්නට ලැබෙනවා. සමහරක් නිර්මාණ තට්ටු කීපයකින් සමන්විත වෙනවා. මෙම නිර්මාණකරුවන් අයිස් යොදාගෙන මෙවන් නිර්මාණ කොහොම කලාද කියලා නරඹන්නන්ට කුහුලක් ඇතිවෙනවලු. 
              මෙම උත්සවය ආරම්භවෙලා තියෙන්නේ 1985 දී. දෙසැම්බර් මස 24-25 ආරම්භවෙන මෙම උත්සවය පෙබරවාරි මස අන්තිම වනතුරු පැවැත්වෙනවා. නමුත් මෙහි නිල විවෘත කීරීමේ උත්සවය සෑම මසකම  ජනවාරි මස පස්වෙනිදා පැවැත්වෙනවා. අයිස් හා හිම සැනකෙළිය, ජාත්‍යන්තර අයිස් මූර්ති නිර්මාණ තරඟාවලිය, අයිස් ලන්තෑරුම් ප්‍රදර්ශනය, හිම මත ලිස්සායාම, හිමයාන, අයිස් හොකී, අයිස් පාපන්දු තරඟ, ස්කේටින් තරඟ, හිම සපත්තු දමා ඇවිදීමේ තරඟ, පිහිනීමේ සහ මාලු බෑමේ තරඟ, චිත්‍ර ප්‍රදර්ශන, ඡායාරූප ප්‍රදර්ශන, නැටුම් සහ ගීත ගායනා තරඟ, වැනි ආකර්ශනීය අංග විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා. 
         මෙම උත්සවය නරඹන්නට දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිනෙනවා. එමෙන්ම මෙම නිර්මාණ වල ඡායාරූප ගැනීම සඳහා ලොව ප්‍රකට ඡායාරූප ශිල්පීන් විශාල ප්‍රමාණයක්ද පැමිනෙනවා. 
මටත් මේ උත්සවය බලන්න යන්න තිබුනා නම් කියල හිතුනා.