Friday, September 15, 2017

බස් කතාවක්


ඊයේ හවස ගම්පහ මීගමු පාරේ බස් අඩුයි. ඉඳලා ඉඳලා ආපු බස් එකෙත් පොල් පටෝලා වගේ සෙනග. මමත් වදෙන් පොරෙන් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටින් එකකට සැමන් අහුරනවා වගේ කට්ටියව ගානට පැක් කලා. අතක් ඉස්සුවොත් පාතට දාන්න බෑ. හිටගෙන ඉන්න තැනින් කකුල පොඩ්ඩක් එහාට මෙහාට කලොත් තනි කකුලෙන් ඉන්න වෙන්නේ. බස් හෝල්ට් වලින් බහින අයට ඉඩ දෙන්න තව හත් අට දෙනෙකුත් බිමට බහින්න ඕනේ. ඔය අතරේ පොඩි පොඩි වචන හුවමාරු ත් තිබුනා. 

ඔය අතරේ බස් එකේ කොනේ සීට් එකක ඉඳගත්තු මනුස්සයෙක් ඔලුව ජනේලෙන් එළියට දාගෙන සිංදු කියනවා. අනිත් මිනිස්සු තරහෙන් ඔරව ඔරව ඉන්දි මේ මනුස්සයා හරිම විනෝදෙන්. 
මොකක්ද දන්නවද කියපු සින්දුව.

😁
"මාගේ පැලෙ අඳුර නසන්න
හිතෙනව මනාළියෙක් ගේන්න
අඹුදරු දරු රැකගන්න අපට
මාලු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න..."

සිංදු කීපයක් ගලපලා එක සිංදුවක් හදලා කියනවා. ඔය විදිහට ඉතින් ගම්පහ කිට්ටුවට ආවා. ගුවන් පාලම කිට්ටුව ලොකු ට්‍රැෆික් එකක්.

"ට්‍රැෆික් මහත්තුරු ට්‍රැෆික් හදනවා. එයාල නැත්නම් මිනිස්සු අගේට
යනවා"
කියලා ඔන්න කට්ටිය බනිනවා.

අර මනුස්සයට වගේ වගක් නෑ. හිනාවෙවී ඉන්නවා.

"අනිත් උදවිය අයියෝ හොඳටම පරක්කු උනා. කෝච්චියත් ගිහින් ඇති. කඩත් වහලා ඇති කියලා"
මූණවල් හතරැස් කරගෙන බහිද්දී අර මනුස්සයා විතරක්

"ඇති යන්තන් ගම්පහට ආවා..මම ෆුල් ජොලියේ ආවා. "
කියලා බස් එකෙන් බැහැලා ගියා.

පොඩි මානසික ආබාධයක් තියනවා උනත් ඒ මනුස්සයා අනිත් උදවියට වඩා සතුටින් ඉන්නවා කියලා මට හිතුනා.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

3 comments:

  1. lolz

    ඇත්තටම සතුටෙන් ඉන්න මනුස්සයෙක් දැක්කහම අපිට හිතෙන්නේ ඌට මානසික ආබාධයක් තියෙනවා කියල. මමත් ඔහොම සිටුවේෂන් එකකදී මුල විනාඩි දෙක කලකිරෙනවා. ඊට පස්සේ මිනිත්තුවේ ඉඳල හිත ඇතුලෙන් අර මනුස්සයා වගේ සින්දු කියනවා. පිටට ඇහෙන්න කියන්න බැහැනේ...

    තව එකක්.. අපේ පැත්තේ තැපැල් නයින්ටියකින් අඹ විකුණන ඉතාම තරුණ, හොඳ පෙනුමක් තියෙන කොල්ලෙකු එනවා. ඔහු එන්නෙම මහා සද්දෙන් සින්දු කියාගෙන. සමහර දවස් වලට අඹ ගැන සඳහන්වෙන සින්දුවක් කියනවා. ( මී අඹ වනයේ ගී හඬ පතුරා....) තරුණ වයසේ ඉන්න නිසා පුදුම හිතෙනවා ඔහු ඒ කරන වැඩේට. හැබැයි කොයි වෙලෙත් ඉන්නේ හිනාවෙලා. පෙට්ටිය වටේට අඹ අතුත් එල්ලලා. වටේම මිනිස්සු හිනාවෙවී යනවා. කොල්ලාත් හිනාවෙවී අඹ විකුනන්නේ. කවදාවත් 'අඹ ලාබායි' කියල කියන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. හුටා.. මගේ ලෙඩේ අහු උනාද කොහෙද :O

      Delete
    2. ඒ සැහැල්ලුව දකිද්දී ඊර්ෂා හිතෙනවා.

      Delete