Monday, August 14, 2017

ආරක්ෂිත ප්‍රවාහනය



අද උදේ මම බස් එක ගන්න බස් ස්ටෑන්ඩ් එකට යන්න පාර පනින්න ඉන්නකොට පාරේ පොඩි ට්‍රැෆික් එකක් තිබුනා. මගේ ඉස්සරහින්ම වගේ තිබ්බ කාර් එකේ පොඩි බබෙක් හිටියා එයාගේ තාත්තා එක්ක.ඒ බබාට යන්තමට අවුරුදු 1 1/2 -2 ඇති. ඒ බබා හිටියේ ඉස්සරහා සීට් එකේ හිටගෙන. කාර් එකේ වෙන වැඩිහිටියෙක් හිටියෙත්  නෑ. ඒ බබා එක්කන් ගියේ හරිම අනාරක්ෂිතව. උදේට මිනිස්සු යන්නේ බොහොම කලබලෙන්. මෝටර් සයිකල්, ත්‍රීවීල් බලන්නේ වාහන අස්සෙන් අස්සෙන් දාගෙන ඉස්සර වෙන්න. මේවගේ වෙලාවක වාහනේ බ්‍රෙක් කරන්න උනොත් සීට් එකට හේත්තු වෙලා යන බබා වැටෙනවා. ඉස්සරහට විසික් උනොත් දරුවව ඩෑෂ් බෝඩ් එකේ වදින්නත් පුලුවන්. 
පොඩි දරුවො එක්ක තනියම වාහනයක යද්දී එයාලගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනේ. බබාලට නිෂ්පාදනය කරපු කාර් සීට් එකක් වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බබාව වාඩි කරලා සීට් බෙල්ට් එකවත් දාන්න ඕනේ. නැත්නම් බබා යන්න ඕනේ පිටිපස්සේ සීට් එකේ. "අවදානමට පෙර සූදානම " කියලා කියනවනේ. 

          බොහොමයක් දියුණු හා බටහිර රටවල, කුඩා දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත ආසන අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම බොහෝ රටවල දරුවන් ඉදිරිපස ආසනයේ රැගෙන යාමත් තහනම්. අවුරුද්දට අඩු දරුවන්ගේ ආරක්ෂිත ආසනයේ දරුවා රඳවන්නට පවා නීති රෙගුලාසි තියනවා. 

අපේ රටේ මම දන්නා තරමින් එවැනි නීති රෙගුලාසි නෑ. මෝටර් බයිසිකල් වල තෙල් ටැංකිය මත දරුවා ඉන්දවාගෙන එක අතකින් බයිසිකලේ පදින ගමන් අනිත් අතින් දරුවාව අල්ලගෙන යන තාත්තලා ඕන තරම් මග තොටේදී දකින්න පුලුවන්.

අඩුම තරමේ ආරක්ෂිත හෙල්මට් එකක් දාන්න පුලුවන් වයසකත් නෙමේ දරුවා ඉන්නේ. කොයි මොහොතේ අනතුරක් වෙයිද කියලා අපට කියන්න බෑ. වැඩිහිටියෝ විදිහට මේ ගැන දෙවරක් සිතිය යුතුයි.

අම්මලා දරුවන්ව ස්කූටියේ පිටිපස්සේ තියාගෙන ඉස්කෝලේ යනවා පංති අරන් යනවා. පොඩි දරුවන්ට හුළං වදිනකොට බොහොම ඉක්මනට නිදිමත වෙනවා.එහෙම යද්දී නින්ද ගියොත් කියන අවදානම තියනවා.
දරුවන් එක්ක ගමන් බිමන් යද්දී ඔවුන්ගේ ආරක්ෂාවට මුල් තැන දීම වැඩිහිටියෝ වන අපගේ වගකීම. දරුවෙකුට අනතුරක් උනාට පස්සේ පසුතැවිලි වෙනවාට වඩා අනතුර වෙන්න කලින් වලක්වා ගැනීම තමයි අප කලයුත්තේ.
(ඡායාරූප අන්තර් ජාලයෙනි)

2 comments:

  1. so true

    මම අහලා තියෙන පවුලක අවුරුදු 10ක් විතර ළමයා අම්මත් එක්ක ස්කුටියේ ගිහින්. පිටිපස්සේ වාඩිවෙලා යද්දී නින්ද ගිහින් බිමට වැටිලා මියගියා. හම්මෝ මම එදා හරියට කම්පා උනා ඒක අහලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඔය වැරැද්ද කරනවා.

      Delete