Friday, August 11, 2017

අප්‍රිකාණු කොන්ඩා ගෙතීමේ කලාව

                    අප්‍රිකානු සහ ඇමරිකානු කලු ජාතිකයින් සැරසෙන කොණ්ඩා මෝස්තර ගැනයි මම කියන්න යන්නේ. මෙම කොණ්ඩා මොස්තර ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක්. මේ කොණ්ඩා ගෙතුම් කලාවට ක්‍රි.පූ 3500 තරම් දිගු ඉතිහාසයක් තියනවා. අප්‍රිකාණු කලාපයේ විවිධ ජන කොටස් වලට ආවේණික අලංකාර කොණ්ඩා මෝස්තර රටාවල් තියනවා.බොහෝ බටහිර අප්රිකානු රටවල කොණ්ඩා මෝස්තර , ඔවුන්ගේ සමාජ තත්ත්වය, වයස් සීමාව,හා ඔවුන් ජීවත් වන ප්‍රදේශය පෙන්නුම් කරන කැඩපතක් වගේලු.විවාහ හා වෙනත් උත්සව සඳහා පමනක් දමන කොණ්ඩා මෝස්තරත් ඔවුන් අතර තියනවා. ඉහත ඡායාරූපයේ මෙන් ගෙතූ කොණ්ඩා මෝස්තරය කාන්තාවන්ට ආවේණික මෝස්තරයක් උනාට සමහර ප්‍රදේශවල පිරිමින් සඳහාද මෙම මෝස්තරය යොදා ගන්නවා.
 ඉතා කුඩා වියේ සිටම ගම් වල ජීවත් වන  ගැහැණු ළමයින්ගේ   කොණ්ඩය, ඔවුන්ගේ මව්වරුන්, සොයුරියන්,ආච්චී, නැන්දා හෝ වැඩිහිටි කාන්තාවන් විසින් කැරලි වලට ගොතනු ලබනවා. එම අවස්ථාවේදී එම කුඩා ළමයින්ද කොණ්ඩ කැරලි ගොතන්න ඉගන ගන්නවා.නුපුහුණු අයට සිය  කොන්ඩය ගොතන්න වැඩිහිටි කාන්තාවන් ඉඩ නොදෙන නිසා  තමන්ට වඩා බාල හෝ සම වයස් දැරියන්ගේ කොණ්ඩ කැරලි ගොතමින් ඔවුන්ට මෙම මොස්තර පුරුදු වෙන්න සිදුවෙනවා.
.බොහෝවිට මෙම කොණ්ඩා කැරලි ගොතන්න දිනක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවෙනවා. 

තමන්ගේ කොණ්ඩය ගොතාදෙන කාන්තාවගේ කොණ්ඩය ගොතාදීම පරිණත ගෙතුම් ශිල්පිනියන්ගේ සිරිතක්. එහෙත් ගම්බද කාන්තාවන්ට මෙම ගෙතුම් ඉගනීමට අවස්ථාව ලැබෙන්නේ එදිනෙදා වැඩ කටයුතු වලින් විවේකයක් ලැබුනොත් පමනයි. ජනයා නාගරීකරණය වීම හා කාර්මිකකරණය වීමෙන් පසු මෙම කොණ්ඩා ගෙතීමේ කලාව වර්තමානයේ වෘතියක් බවට පත්වෙලා. වඩාත් සංකීර්ණ ගේතුම් රටාවල් තවමත් ගම්බද පෙදෙස්වල දකින්න ලැබුනත් අප්‍රිකාවේ නාගරික ප්‍රදේශවල ඇති සැලුන් වලින් සරල කොණ්ඩ කැරළි රටාවන් පමනක් ගොතනු ලබනවා. පසුගිය දශක දෙක තුලදී ඇමරිකාව පුරාද මෙම සැලූන් වි‍යාප්තවී තිබෙනවා. මෙම කොණ්ඩා මෝස්තර සඳහා දිගු කාලයක් ගතවෙන නිසා, එම කාලය තුලදී කාන්තාවන් ඉතා සතුටෙන් සුහදව කතාබස් කරමින්, රූපවාහීනී නරඹමින්, එකිනෙකා හඳුනා ගනිමින් ගොඩක් සතුටු වෙනවලු.
 එක් එක මාදිලියේ කොණ්ඩා මොස්තර පහත ඡායාරූප වලින් දකින්න පුලුවන්. 


(ඡායාරූප හා තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )




Tuesday, August 8, 2017

ශිෂ්‍යත්වේ


පෙරේදා අපේ හස්බන්ඩ් ගේ අක්කා ආවා අපේ ගෙදර පුතාලා දෙන්නත් එක්ක. ලොකු පුතා මේ පාර ශිෂ්‍යත්වෙ ලියන නිසා කොල්ලට මොකුත් කරන්න දෙන්නෙ නෑ.අරක කරන්න එපා මේක කරන්න එපා, විභාගේ ඉවර වෙනකන් තුවාල කරගන්නෙ නැතුව පරිස්සම් වෙන්නලු. 20 පස්සේ ඕන දෙයක් කරන්නලු ඉතින් කොල්ලා පුපුර පුපුර ඉන්නවා. අම්මා බනිනවා අක්කලට විභාගයක් නිසා ළමයින්ගේ නිදහස නැති කරලා කියලා.(මම බ්ලොග් ලියන වග ගෙදර අය දන්නේ නෑ. දැනගත්තත් බලන්නෙ නෑ එක නිසා බය නැතුව ලියනවා) අම්මා දොස් කියද්දී අයියයි අක්කයි අනිත් ළමයි ගැන කිව්වා විස්තරයක්. ඒක අහලා උසස් පෙළ විභාගේ ලියන ළමයින්වත් මෙහෙම මරවන්නේ නැතුව ඇති කියලා මට හිතුනා.

* එක අම්මා කෙනෙක් දරුවාව ඇහැරවන්නේ පාන්දර 4.30 ටලු. ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් හෝ දෙකක් කරවනවලු ඉස්කෝලේ යන්න කලින්. ඒ ළමයාට දවසට ප්‍රශ්න පත්තර 5 කරවනවලු .
අපේ අක්කා කිව්වලු අපේ ළමයා නැගිටින්නේ 6 ට කියලා. අපෝ එහෙම බෑ ලකුණු ගන්න. අපේ එක්කෙනත් නැගිටින්නෙ නෑ වේ වැල අරන් කිව්වලු වැඩ කරවන්නේ. ඒ ළමයට ලකුණු 90 ට වඩා තියනවලු ප්‍රශ්ණ පත්තර වලට.

* අනිත් ළමයා 5ට ඇහැරවලා ප්‍රශ්ණ පත්තරයක් කරවනවලු. වැරදුනාම ගුටිත් කනවලු.

*තව ළමයෙක් උදේ 5.30 ගෙදරින් ඇවිත් හවස පංති ඉඳලා ගෙදර යද්දී රෑ 8 විතර වෙනවලු.

ඉතින් අක්කයි අයියයි දෙන්නම බනිනවා ළමයට, මෙයාලට අපි ශිෂ්‍යත්ව බරක් දීලා නෑ, ඒ ළමයි ඉස්කෝලේ යන්නෙ එන්නේ බස් වල වෑන් වල තෙරපිලා ,මෙයාලව ගෙදර වාහනේ ම ගිහින් දානවා, ඇති තරම් ටීවී බලනවා, සෙල්ලම් කරනවා , අපි පොතක් පාඩම් කරන්න කිව්වම මෙයාලට බඩගිනි වෙනවා, එක්කෝ ඔලුව රිදෙනවා ,බඩ රිදෙනවා. කොල්ලා සද්ද නැතුව අහගෙන ඉන්නවා.

අන්තිමටම අහගෙන ඉඳලා කොල්ලා කියනවා,
" ඔයාලගේ නම්බුව බේරලා දුන්නම ඉවරනේ ඉතින් මම 150 ට වඩා ගන්නම් කියලා. "


සේරම අහන් ඉඳලා අනේ මට හිතුනා කලින් ඉපදුනත් අපි මොනතරම් වාසනාවන්තද කියලා.


Sunday, August 6, 2017

මනාළිය පැහැරගෙන යන ගෝත්‍රිකයෝ

ලෝකයේ රට රට වල ජීවත් වෙන මිනිසුන් සංකෘතින් හා සම්ප්‍රදායන් එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම අප්‍රිකාණු කලාපයේ රටවල ජීවත් වෙන ගෝත්‍රික ජනතාව අතර අපට පුදුම හිතෙන සම්ප්‍රදායන් තියෙනවා. මම මේ කියන්න යන්නේ දකුණු සුඩානයේ ලටුකා (Latuka) ගෝත්‍රිකයන්ගේ එක සම්ප්‍රදායක් ගැන.

ආදරය විවාහය කියන්නේ හැම සංකෘතියකම ප්‍රධාන අංගයක්.ඉතින් මේ ගොත්‍රයේ තරුණයෙකුට එම ගෝත්‍රයේ තරුණියක් විවාහ කරගන්න උවමනා උනාම ඔහු ඇයව පැහැරගෙන යනවලු. ඊට පස්සේ ඔහු සහ ඔහුගේ ඥාතීන් වන වැඩිහිටි පිරිමින් එම තරුණියගේ නිවසට ගිහින් ඇගේ පියාගෙන් විවාහයට කැමැත්ත ඉල්ලනවාලු. ඇගේ පියා කැමැත්ත ප්‍රකාශ කලොත් ඔහු ඇයව විවාහ කරගන්නවාලු. ඒ වගේම එම අවස්තාවේ පියා කැමැත්ත ප්‍රකාශ කරනේ එම තරුණයාට හොඳටෝම ගුටි ඇණලලු. ඇගේ පියා අකමැති බව කිව්වොත් තරුණයා එම තරුණියව ආපසු ඇගේ පියාට බාර දෙනවලු. ඒත් ඔහු ගැහැණු ළමයාට බල කරනවලු ඔහු හා විවාහ වෙන්න කියලා. කොහොමහරි මේ පැහැර ගැනීම කෙලවර වෙන්නේ විවාහයෙන්ලු.

Friday, August 4, 2017

කිරිගරුඬ අහස යට


ටජ් මහලත් එක්ක බැඳෙන සාජෙහාන්,මුම්ටාස් ප්‍රේමය ගැන ලෝකේ නොදන්න කෙනෙක් නෑ. ටජ් මහල් බලන්න යන්න තියනවනම් කියලා මටත් හිතිලා තියෙනවා. සාජෙහාන් රජතුමා දරු ප්‍රසූතියකදී මිය ගිය තමා වැඩිපුරම ආදරය කළ බිරිඳ මුම්ටාස් මහල් දේවිය සිහිවීමට තමයි ටජ් මහල් තැනුවා කියන්නේ. ටජ් මහල් පිළිබඳ තවත් විවිධ කතා තිබුනත් ටජ් මහල් කියන්නේ අග්‍රගන්‍ය නිර්මාණයක් කියන එක අවිවාධිතයි.

මම කියවපු මේ පොතත් ටජ් මහල හා බැඳුනු නිර්මාණයක්. John Shor ගේ Beneath a Marble Sky කියන පොත තමයි ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා "කිරිගරුඬ අහස යට" නමින් සිංහලයට පරිවර්තනය කරන්නේ. ටජ් මහල සහ මෝගල් අධිරාජ්‍ය ගැන කරපු අධ්‍යනයකින් පසුව මෙම කතුවරයා ටජ් මහල සහ මෝගල් රාජ්‍ය හා බැඳුනු කතාවක් ගොතනවා. මේ කතාව ඇතුලේ ලස්සන ආදර කතාවක්, බිහිසුනු යුද්ධ, එකිනෙකාට පාවා දීම්. සහෝදරයින් අතර සිහසුනේ උරුමය සඳහා කරන කා කොටා ගැනීම් වගේම ටජ් මහල ගොඩ නැගුන හැටි සඳහන් වෙනවා. මේ පොතෙන් කතුවර්යා ටජ් මහල හා බැඳුන ප්‍රෙම වෘතාන්තය වෙනස් කරනවා.
සාජෙහාන් රජතුමා ටජ් මහල ගොඩනගන්න බාර දෙන්නේ "ඉසා" නම් ගෘහ නිර්මාණ ශිල්පියාට. එහි වැඩ කටයුතු අධීක්ෂණයට බාර දෙන්නේ සාජෙහාන් මුම්ටාස් ගේ දියණියක වන "ජහනාරා" කුමරියට. එවකට විවාහක කාන්තාවක් වන (ඇයට වඩා ගොඩක් වැඩිමහල් නපුරු, කුරිරු, ලෝබ මනුස්සයෙක්ට ඇයව විවාහ කර දෙනවා) ඇය "ඉසා" සමඟ අසම්මත් ප්‍රේමයක් ගොඩනැගෙනවා. ඒ නිසා "ඉසා" ටජ් මහල ගොඩ නගන්නේ "මුම්ටාස් මහල්" ගේ රුව වෙනුවට "ජහනාරාගේ" රුව සිහිකරමින්. 
ඔය අතර තුර ජහනාරාගේ එක සොහොයුරෙක් බලයට කෑදර කමින් රාජ්‍ය පැහරගෙන සාජෙහාන්, ජහනාරා හිරගත කර කිරුල හිමි කුමරාව මරා දමනවා. සිය පියාගේ අවසන් මොහොත දක්වාම පියා සමග සිරගතව සිටින ජහනාරා අවසානයට සිය පෙම්වතා සහ ඔහුට දාව ඇය ලද දියනිය වෙත පලා යනවා.
මම කියවපු තවත් ලස්සන පොතක්. කියවලා නැති අය කියවන්න. 

Thursday, August 3, 2017

ජිරාෆ් ස්ත්‍රීන්


මේ ඡායාරූපයේ ඉන්නේ නැගෙනහිර මියන්මාරයේ(බුරුමයේ)වෙසෙන කායන් (Kayan)  ගෝත්‍රික කාන්තාවක්.

මෙම මෙම ගෝත්‍රයේ ගැහැණු දරුවන්ට වයස අවුරුදු පහේ සිටම සිය ගෙලේ දිගු පෙනුමක් ඇතිකිරීම සඳහා මේ වගේ කොයිල් එකක් ගෙල වටේ ඔතනු ලබනවා. ඔවුන් වයසින් වැඩෙද්දී කොයිල් ප්‍රමාණය වැඩි කරනවා.
ඇත්තටම මෙම කොයිල් වලට ඔවුන්ගේ ගෙල දිගු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මෙම කොයිල් වල බර හේතුවෙන් ඔවුන්ගේ අකු ඇටය  පහළට තල්ලු කරනු ලබනවා. එමගින් ගෙලට දිගු බවක් ලැබෙනවා.අවශ්‍යනම් මොවුන්ට මෙම කොයිල් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. දිගු කලක් මේවා ගෙලේ තබා ගැනීමට හුරුවී ඇති නිසා ඒවා ඉවත්කල පසු , ඔවුන් ඉන් අපහසුතාවයට පත්වෙන  නිසා මෙන්ම දිගු කලක් ඔවුන් මේවා පැළඳ සිටීමෙන් ඔවුන්ගේ සම දුර්වර්ණ වී ඇති නිසා ඔවුන් මේවා ඉවත් කිරීමට මැලිකමක් දක්වනවා.
මෙම කොයිල් සඳහා පිත්තල භාවිතයට ගැනෙනවා.  මේ පිත්තල වළලු ගලවා දැමුවිට ඔවුන්ට ඔවුන් නිරුවත්ව  සහ අනාරක්ෂිතව ඉන්නවා වගේ හැඟීමක් දැනෙන බව මේ කාන්තාවන්ගෙන් බහුතරයක් පවසනවා.


මෙම ගෝත්‍රයේ කාන්තාවන් මේවා පළඳින්නට හේතුව නිශ්චිතවම හොයාගෙන නැහැ. එහෙත් කොටින්ගේ ප්‍රහාර වලින් වැලකීමට ඔවුන් මෙවා භාවිතා කරන්න ඇතැයි අනුමාන කරනවා. එමෙන්ම ඔවුන්ව වහල්සේවයට රැගෙන යාම වලක්වා ගැනීම සඳහා ඔවුන්ගේ පෙනුම අවලස්සන කරගන්නට මේවා පළඳින්නට ඇතැයිද සමහර පිරිස් අනුමාන කරනවා.
එහෙත් වර්තමානයෙදී ඔවුන්ගේ සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් සහ අලංකාරය සඳහා මෙම කොයිල් පැළැඳීමට කාන්තාවන් යොමුවී සිටිනවා. සංචාරක ආකර්ෂණය ලබාගෙන එමගින්  ඔවුන්ගේ ප්‍රජාවට ආදායමක් ලබාගැනීමටත් වර්තමානයේ කාන්තාවන් මේවා පැළැඳීමට යොමුව සිටිනවා.
අපටනම් මේවගේ වළලු තොගයක් ගෙල වටා ඔතාගෙන සිටීම වදයක් උනත් ඔවුන්ට නම්, ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කිරීමට මෙම වළලු වලින් බාධාවක් නැතිලු.
බොහෝ විට වැඩිහිටි කාන්තාවන් පැළඳ සිටින මෙම පිත්තල වළලු වල බර කිලෝ 10 ක් පමණ වෙනවාලු. එයිට වඩා බරින් වැඩි වළලු පැළඳින අයත් ඉන්නවලු.


ඡායාරූප හා තොරතුරු http://www.dailymail.co.uk වෙබ් අඩවියෙනි.