Tuesday, October 29, 2019

සනීපාරක්ෂක තුවා සහ ලංකාවේ ජනතාව



පසුගිය වසරේ සිට ස්කොට්ලන්තයේ සියළුම පාසැල්, උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව ඔබ දැන සිටියාද? එලෙස සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ප්‍රථම රට ස්කොට්ලන්තයයි. එවැනි පොහොසත් රටක සනීපාරක්ෂක තුවා මිලට ගත නොහැකි අය ඉන්න පුලුවන්ද කියලා ඔබට ගැටළුවක් ඇතිවෙන්න පුළුවන්. ඔවුන් කල සමීක්ෂණයකට අනුව එරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලට ගත නොහැකි මූල්‍යමය අපහසුතාවලින් පෙළෙන බව හෙලිවී තිබෙනවා. ඒ අනුව මිලට ගත නොහැකි දරුවන් අපහසුතාවයට පත් නොකොට මිලදී ගත හැකි නොහැකි සියල්ලන්ටම එය ලබාදීමට ස්කොට්ලන්ත රජය වැඩ පිළිවෙලක් දියත් කරනවා. ඒ අනුව එක්සත් රාජධානියේ අනෙකුත් රටවල් වලත් මෙය යෝජනා වෙනවා.
                                  ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ පුණ්‍යායතනයක් කළ සමීක්ෂණයකට අනුව, බ්‍රිතාන්‍යය පුරා  තරුණියන් දහස් ගණනක් නිතිපතා පාසල අතපසු කරන්නේ ඔවුන්ගේ ඔසප් කාල පරිච්ඡේදය සඳහා නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වීම නිසා වන අතර ගැහැනු ළමයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා විකල්ප ක්‍රම භාවිතා කරන බව නිගමනය වෙනවා - උදාහරණයක් ලෙස පැරණි ඇඳුම් හෝ පුවත්පත් භාවිතා කිරීම.
                                  ඒ අනුව බ්‍රිතාන්‍ය රජයද , ස්කොට්ලන්තයේ නායකත්වය අනුගමනය කළ යුතු අතර සියලු පාසල් හා විද්‍යාල සඳහා නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දිය යුතුය යන යොජනාව කාන්තා සංගම් මගින්රජයට යෝජනා කෙරෙනවා. අත්‍ය අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගත නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන කාන්තාවන් සඳහාත් නොමිලේ ලබාදිය යුතුයැයි ඔවුන් තව දුරටත් යෝජනා කරනවා.
            කාන්තා පුණ්‍යායතන බ්‍රිතාන්‍යයේ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වන 5% බද්දෙන් සනීපාරක්ෂක තුවා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කලද ඒවා සනීපාරක්ෂක භාණ්ඩ “සුඛෝපභෝගී, අත්‍යවශ්‍ය නොවන” නිෂ්පාදන ලෙස වර්ග කළ යුතු බවට යුරෝපා සංගමයේ නීතිරීති නිසා බ්‍රිතාන්‍ය රජයට එය ඉවත් කරන්නට නොහැකිවෙනවා. සනීපාරක්ෂක නිෂ්පාදන අලෙවියෙන් උපයා ගන්නා ඩොලර් මිලියන 15 ක බදු මුදල් කාන්තාවන්ගේ පුණ්‍යායතන සඳහා වියදම් කරන බව 2015 දී එවකට බ්‍රිතාන්‍ය චාන්සලර් ලෙස කටයුතු කළ ජෝර්ජ් ඔස්බෝන් ප්‍රකාශ කර තිබුනා. 
සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සියයට 5 ක බද්ද ආවරණය කිරීමට ටෙස්කෝ වැනි සුපිරි වෙළඳසැල් දාමයන් පසුගිය වසරේදී තීරණය කළහ. අනෙකුත් සැපයුම්කරුවන් බදු අවලංගු කිරීම සඳහා නිෂ්පාදන සිය ගණනක මිල අඩු කළහ.මේ පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්කොට්ලන්ත සාමාජිකයෙකු වන ඩැනියෙල් රෝව්ලි, ජුනි මාසයේ දී පාර්ලිමේන්තුවේ විවාදයකට හිතාමතාම ප්‍රමාද වී පැමිණියාය. එයට සමාව අයැද සිටින ගමන් ඇගේ ඔසප් දින නිසා පමා වූ බවත් ඇයට ඒ සඳහා යුරෝ 25 ක් මසකට වැයවෙන බවත් පවසා තිබුනි.
         ඒත් එක්කම 2020 සිට සිසුන්ට එංගලන්තයේ සියලුම ප්‍රාථමික පාසල්වල නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගත හැකි වනු ඇතැයි රජය  නිවේදනය කරනවා. 
එය ඒසේ වද්දී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බවට කරන ප්‍රකාශයක් සමග අපේ රටේ කාන්තාවන් සහ පුරුෂයින් කොටසක් නැට්ට ගිනිගත් හනුමා මෙන් කලබල වී හැසිරෙමින් එය විහිළුවක් කොටගෙන සිටිනවා දැකීමත් දුකක්. 
   තමන්ගේ විරුද්ධ ලිංගිකයා මාසෙකට වරක් පෙළෙන අපහසුතාවය වටහාගන්නට නොහැකිව එයට හිනාවෙන සහ අපෝ මොන ලැජ්ජාවක්ද මේ කියලා  කියාගන්නා කාන්තාවන් කොටසකුත් සිටීම ඇත්තටම අපි  අපි ගැනම දුක්විය යුතු කාරණාවක්. කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් මේ තරම් ලැජ්ජාවක් උනේ කොහොමද? ඇයි මේ ගැන කතා කරන්න මේ තරම් බිය. කඩයකට ගිහින් තුවා පැකට්ටුවක් කට ඇරලා ඉල්ලන්න ලැජ්ජා වෙන කාන්තාවන් සහ හැමෝගෙන්ම එය සැඟවිය යුතු දෙයක් සේ සලකා පත්තර කොළ හොයමින් දුවන වෙළඳ සැල් හිමියන් ඉන්නා රටක මෙවගේ මාතෘකාවක් ප්‍රසිද්ධ වේදිකාවක කියද්දී මෙවැනි ප්‍රතිචාර ලැබීම පුදුමයකුත් නෙමේ.
   ආර්ථිකව සහ සමාජීය වශයෙන් දියුණු රටවල් හැම අතින්ම ඉදිරියට යද්දී සංස්කෘතියකට මුවා වී අපි තව තවත් ගෝත්‍රික යුගයකට යමු. 

3 comments:

  1. ගල් යුගයේ සිටින ගෝත්‍රික ලාංකික ජනතාවට යමක් පැහැදිලි කරන්න ගන්න උත්සාහය අගය කරමි.

    ReplyDelete
  2. සජිත් මොන අර්ථයෙන් මේ ප්‍රකාශය කලත් අවසානයේ සිද්ධ උනේ හොඳ බුද්ධිමය සංවාදයක් මේ නිසා රට තුල ඇතිවීමයි.ලංකාවේ පමණක් නොව විවිධ රටවල අත්දැකීම්,පර්යේෂණ දත්ත මේ සංවාද හරහා බෙදා හදා ගත්තා.මේ මොහොතෙත් එය සිදුවෙමින් පවතිනවා.කිසිවෙකු බලාපොරොත්තු නොවූ මෙම තත්වය නිසා දේශපාලන අවස්ථාවාදීන්ට සහ ගෝත්‍රික මානසිකත්වයෙන් පෙළෙනවුන්ට පලායාමට සිදු උනා.මෙය හොඳ ජයග්‍රහණයක්.

    ReplyDelete