Friday, October 18, 2019

තුර්කි යෝගට්


ඕනෑම සාම්ප්‍රදායික තුර්කි කෑම මේසයක යෝගට්  හෝ යෝගට් මිශ්‍රකර සාදන ලද ආහාරයක් අනිවාර්යෙන්ම ඇත. වසර දහස් ගණනක් තිස්සේ තුර්කි කෑම මේසයක යෝගට් අනිවාර්ය අංගයකි. යෝගට් අතුරුපසක්, සරල ආහාරයක් හෝ ආහාර රස ගැන්වීමට භාවිතයට ගනී. ජලය හෝ මිනරල් ජලය, යෝගට් හා ලුණු මිශ්‍ර කර සාදන තුර්කියේ ජනප්‍රිය පානයක් වන "අයිරාන්" මෙන්ම,  ඝනත්වය වැඩි කිරීමට යෝගට් මිශ්‍ර කර සාදන සුප්, රසකැවිලි වැනිදේ සඳහා යෝගට් බහුලව භාවිතා කරයි. එමෙන්ම යෝගට් වලට තුර්කි ජනයා ප්‍රිය කරන තවත් කාරණයක් වන්නේ "යෝගට්" යන වචනය පැරණි තුර්කි වචනයකින් බිඳී ආවක් නිසාය.


අයිරාන්
                       මීට වසර දහසකට පමණ පෙර යෝගට් සෑදූ මුල්ම ජන කොටස වන්නේද තුර්කි ජාතිකයින්ය. එකල තුර්කි ජාතිකයින් සංචාරක ජීවිතයක් ගත කළ අතර ඔවුන්ගේ දිගු ගමන් වලදී ආහාර සුරක්ෂිතභාවය ඉතාම වැදගත් කාරණාවක් විය. ඔවුන් ආහාර ආරක්ෂාකර ගැනීම සඳහා ක්‍රම රාශියක් සකස්කර තිබුණි. කිරි යෝගට් බවට පත් කිරීම ඉන් එක් ක්‍රමයකි.
                  හොඳම හා ගුණාත්මක යෝගට් නිෂ්පාදනය කරණු ලබන්නේ ගව හා බැටළු කිරි වලිනි. මෙම සතුන්ගෙන් සාදන කිරි නිෂ්පාදන තුර්කියේම නව නිපැයුම් වීම පුදුමයට කාරණයක් නොවන්නේ ගවයින් හා බැටළුවන් ඇතිකිරීමේ මූලාරම්භකයින් අතර තුර්කීන් ප්‍රධාන වන බැවිනි.
                          කිරි යෝගට් බවට පරිවර්තනය කිරීම ලැක්ටික් අම්ල නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ගේ කාර්යයකි. යෝගට් යනු මූලික වශයෙන් කැටි ගැසුණු කිරි වන අතර යෝගට් යීස්ට් වල බලපෑමෙන් කිරි ලැක්ටෝස් අර්ධ වශයෙන් ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය වේ. යෝගට් නිෂ්පාදනයේදී පළමුව යෝගට් උණු කරනු ලැබේ. උණු කල කිරි, ඇඟිල්ල දැමූ විට පිලිස්සේන්නේ නැති මට්ටමට ආ විට කලින් නිපදවූ යෝගට් හැඳි දෙකක් එකතු කරණු ලැබේ. ඉන් පසුව එය හොඳින් වසා කාමර උෂ්ණත්වයේ පැය 5-6 පමණ තැබීමෙන් යෝගට් සෑදේ.
           නිෂ්පාදන ක්‍රමය අනුව යෝගට් කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකිය. ඉහත දක්වා ඇති සාමාන්‍ය යෝගට් වලට අමතරව, සිලිවරි (silivri) යෝගට් සහ යොදය ඉවත් කල (strained) කළ යෝගට් ද ඇත.
          සිලිවිරි වර්ගයේ යෝගට් නිපදවනු ලබන්නේ බැටළු කිරි වලින් පමනි. මෙම යෝගට් රසවත් මෙන්ම ඝනකම් ක්‍රීම් ගතියෙන් යුක්තය. පළමුව බැටළු කිරි විශාල කටාරම් වල උණු කරණු ලැබේ. ඉන්පසු  බඳුන් වලට වක් කරණු ලැබේ. දැවෙන ගල් අඟුරු මත මෙම බඳුන් තබනු ලැබේ. ඉන්පසු ඒවා මිදී ක්‍රීම් බවට පත්වූ විට සිසිල් වීමට තබනු ලැබේ. ඉන්පසු සිලින්ජරයක් ආදාරයෙන් භාජනවලට යෝගට් යීස්ට් එන්නත් කරණු ලබයි. මේවා ඝනකමැති ලී පියන් වලින් ආවරණය කර පැය 5-6 තැබූ විට යෝගට් බවට පත්වේ.
 යොදය ඉවත් කල (strained) කරන ලද යෝගට් නිෂ්පාදනය කිරීම සඳහා එකම ආරම්භක ක්රියා පටිපාටි අනුගමනය කරනු ලැබේ. එහිදී උඩින් මිදෙන ක්‍රීම් ගතිය ඉවත් කොට ඉතුරු කොටස වියන ලද, තුනී බෑග් වලට දමා දිය බේරෙන්නට එල්ලා තබයි. ඉන්පසු ටින් කරනු ලැබේ. ඒවායේ විටමින් බී අඩංගු නොවේ.
ශීතකරණයක් තුළ යෝගට් නොමැති නිවසක් තුර්කියේ සොයාගත නොහැක. යෝගට් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මෙන්ම ඉන් විෂ නසන බවද තුර්කි ජාතිකයන් විශ්වාස කරයි. යෝගට් සිහිනෙන් දැකීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව ඔවුන් විශ්වාස කරයි.
පැරණි යෝගට් වෙළෙන්දෙක්

2 comments:

  1. තුර්කි සංචාරයකට බලාපොරොත්තුවෙන් පසුවන්නෙමි..😊

    ReplyDelete