Wednesday, December 19, 2018

දරුවන් වෙනුවට ගස් වැවූ අත්තම්මා තිමක්කා


              සාලුම්මරඩා තිමක්කා පරිසරවේදිනියක්. කර්නාටක ප්‍රාන්තයේ වගේම ඉන්දියාවෙත් ජනප්‍රිය කාන්තාවක්. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර සම්මාන කීපයකම හිමිකාරියක්. ඒ අතරේ ඉන්දියානු ජාතික පුරවැසි සම්මානයත් තිබෙනවා (National Citizen's award ).
           බැංගලෝරයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හුලිකාල්හිදී උපත ලබන ඇයට "තිමක්කා" යැයි නම් තබනවා. ඇය කවමදාකවත් පාසැල් ගිහින් නෑ.  විධිමත් අධ්‍යාපනයක් ලබලත් නෑ. කුඩා කාලයේ සිටම ජීවිත සටනට උර දුන්නා මිසක අධ්‍යාපනයක් ගැන හිතලවත් නෑ. ඇය කුඩා කල සිටම ගල් කොරියක වැඩ කරනවා. ඔව්  ගෞරව සම්මාන ලැබුවට ඇය කුලී වැඩ කරන්නියක්. ඇය විවාහ වෙන්නේ චික්කයියා සමග. ඔහු ගොපල්ලෙක්. විවාහ වෙලා අවුරුදු විසි පහක් ගෙවිලා යනවා. ඒත් ඔවුන්ට දරුවන් ලැබෙන්නෙ නැහැ. ඔවුන් ඒ ගැන බොහෝ සිත්තැවුලෙන් ඉන්නවා. ඥාතීන්ගේ අපහාස නිසා තිමක්කා සිය දිවි හානි කරගන්න ත් හිතනවා. 
          ඔය අතරෙදි තමයි ඇගේ සැමියාගෙන් අමුතු යෝජනාවක් එන්නේ.. "අපි දරුවො වෙනුවට පැපැල  සිටවමු. ඒවාට දරුවන්ට වගේ සලකමු. ඒවා මහා වෘක්ෂ වෙනකන්  රැකබලාගම්මු." තිමක්කා ඒ අදහසට කැමති වෙනවා. 
          ඉන් පසුව ඔවුන්ට පැල සිටුවන්න ස්ථානයක් තෝරගන්න වෙනවා. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ඔවුන්ගේ ගමේ සිට අල්ලපු ගම තෙක් දිවෙන මාර්ගය. ගහක් කොලක් නැති නිසා දිවා කාලයේ ඒ මාර්ගයේ යන මිනිස්සු විඳින පීඩාව ඔවුන් දකිනවා. පැල  විදිහට ඔවුන් තෝරගන්නේ ඔවුන්ගේ ගමේ හොඳින් වැඩෙන නුග පැළ.
         මුල්ම වතාවට ඔවුන් මාර්ගය දෙපස පැල දහයක් සිටුවනවා. ඊ ළඟ වසරේදී පැල පහලොවක්. ඊ ළඟ වසරේදී පැල පහලවක්. ඔය විදිහට වසරින් වසර සිටුවන  පැල ප්‍රමාණ‍ය වැඩි කරනවා.
           උදේ නිවසින් පිටවෙලා රැකියාවට යන ඔවුන්ගේ සවස් කාලය ගෙවෙන්නේ පැල වෙනුවෙන්. වතුර බාල්දි හතරක් රැගෙන නිවසෙන් පිටවෙන ඔවුන් දෙදෙනා කිලෝ මීටර් හතරක් දුරට පාර දෙපස සිටුවා ඇති පැල වලත වතුර දානවා. මදි හරියට ආසන්නයේ තිබෙන ළිඳකින්, ඇලකින්, පොකුණකින් වතුර ගන්නවා. පැල හරකුන්ගෙන් ආරක්ෂා කරගන්න කටු ඉපල් වලින් ආවරණය කරනවා. 
         ඔය අන්දමට ඔවුන් නුග පැල 384 ක් ඔවුන්ගේ අත් වලින් රෝපණය වෙලා මහා වෘක්ෂ බවට පත්වෙනවා.එහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 1.5 කට අධිකයි. 1991 වසරේදී තිමක්කාගේ සැමියා මිය යනවා. එහෙත් තිමක්කා ඔවුන්ගේ අරමුණ අතහරින්නේ නෑ. ඇය දිගටම පැල සිටුවනවා. වර්තමානයේ කර්නාටක රජය  විසින් මෙම වෘක්ෂ රැක බලා ගන්නවා. ඇගේ වැඩිමහල් දරුවා (පළවෙනි නුග ගසටා වයස අවුරුදු හැට පහක් බව ඇය පවසනවා.
         තිමාක්කාගේ නම ඉදිරියට සාලුම්මරඩා කියන කොටස එකතු වෙන්නේ මේ මහා රුක් රෝපණයෙන් පසුවයි. සාලුම්මරඩා කියන්නේ රුක් ගොමුව කියන එක. අපම දුෂ්කරතා මැද එදා වේල හොයාගන්නා අතරතුර ඇය සොබා දම් මෑණියන්ට කල මෙහෙය වෙනුවෙන් මෙම ගෞරව නාමය ලබනවා.
         ඇය පරිසරවේදිනියක් වගේම සමාජ සේවිකාවක්. ඇගේ මූලිකත්වයෙන් වැසි ජලය රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ගමේ ජල ටැංකියල් ඉදිකෙරෙනවා. දැන් ඇගේ බලාපොරොත්තුව ඔවුන්ගේ ගමේ අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම.  එමගින් ඔවුන්ගේ ගමට මෙන්ම අහළ ගම් වලටත් විශාල සේවයක් වෙතැයි ඇය අපේක්ෂා කරනවා. 
          107 හැවිරිදි මෙම මිත්තනිය ආර්ථික අපහසුතා මැද ජීවත්වෙනවා. ඇයට රජයෙන් සුළු දීමනාවක් ලැබෙනවා. කොතරම් අග හිඟ කම් තිබුනත් ඇය ඇගෙන් සමාජයට සොබාදහමට සිදුවිය යුතු සේවය තවමත් ඉටු කරනවා. නුග ගස් වලට අමතරව තවත් ගස් බොහෝ සංඛ්‍යාවක් ඇය විසින් රෝපණය කොට තිබෙනවා.
        රටට සොබා දහමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්න අධ්‍යාපනයවත් මුදල් වත් අවශ්‍ය නොමැති බවට ඇය අපට හොඳම උදාහරණයක්.
         

1 comment: