Sunday, December 16, 2018

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෝමල්....


                       ඇය කෝමල් ගුප්තා. ඉන්දියාවේ දිල්ලියේ ජීවත් වෙන තරුණියක්. වෘත්තියෙන් ඉවන් කාගෝ ආයතනයේ භාණ්ඩ බෙදාහැරීමේ නිලධාරිනියක්. ඉන්දියාවේ වගේම ලංකාවෙත් තවම ඩිලිවරි සර්විස් වල සේවය කරන්නේ පුරුෂ පාර්ශවය විතරයි. කාන්තාවන්ට සුදුසු ආරක්ෂාකාරී රැකියාවක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය සලකන්නේ නැහැ.
           ඉන්දියාවේ තියෙන්නේ පුරුෂ මූලික සමාජයක්, විවිධ ජාතින්, ගෝත්‍ර, ආගම් හා සංස්කෘතික වශයෙන් ගතානු ගතික අදහස් දරන, කාන්තාවන්ගෙන් බහුතරය ගෘහස්ත වැඩ කටයුතුවලට පමනක් සීමාකල කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවදානයක් නොදෙන රටක්. එවන් රටක ගැහැණු ළමයෙක් කාගෝ ආයතනයක සේවය කරන ගමන් බයිසිකලයක ගිහින් භාණ්ඩ බෙදාහරින එක කොහොමත් ඔවුන්ගේ සමාජය අනුමත කරන්නෙ නෑ.
         නමුත් ඒ සාම්ප්‍රදායික බැම්ම බිඳලා එම වෘත්තීයේ යෙදෙන්න කෝමල් පටන් අරන්. කෝමල් සමග තවත් තරුණියන් 19 දෙනෙක් මෙම ආයතනයේ රැකියාව කරනවා. "ඉවන් කාගෝ" නව දිල්ලියේ තිබෙන කාගෝ ආයතනයක්. ඉන්දියාවේ තිබෙන කාන්තාවන් පමනක් භාණ්ඩ බෙදාහැරීමේ නිරතවන එකම කාගෝ ආයතනය. 
         කෝමල් ගුප්තාට වයස 22 යි. නව දිල්ලියේ ජීවත්වෙන ඇගේ නිවසේ සිටින්නේ බාල සහෝදරයාත් මවත් පමනයි. ඇගේ වැඩිමහල් සහෝදරියෝ තිදෙනාම විවාහකයි. පියා මිය ගිහින්. පියාගේ මරණයත් සමග ඇගේ පවුලේ නඩත්තුව සඳහා කෝමල්ට රැකියාවක් අවශ්‍ය වෙනවා. ඇය ඉවන් කාගෝ ආයතනයාට එකතු වෙනවා.
        "  මම ඉන්ජිනේරුවරියක් වෙන්න හීන මැව්වා. ඒත් පියාගේ මරණයත් එක්ක ඒක හීනයක්ම උනා."
 "මීට වසර හතරකට පෙර මම දොලොස් වන ශ්‍රේණියෙන් පාසැල් ගමන අවසන් කලා. ඉන් පසු අම්මාට සහයක් වෙන්න මේ රැකියාව තෝරගත්තා. "
"මගේ අම්මා මට කැමති රැකියාවක් තෝරාගන්න නිදහස දුන්නා."
" මම දිනකට පාර්සල් තිහ හතලිහක් බෙදාහරිනවා. මට $ 250 ක වැටුපක් ලැබෙනවා."
" මගේ වියදමට ටිකක් තියාගන වැඩි ප්‍රමාණයක් මම අම්මාට දෙනවා." "මම කැමතියි ස්කූටරය පදින්න."
මම දිල්ලියේ ජීවත් උනත් ගිහින් තිබුනේ නගරයේ සීමිත ප්‍රදේශයකට විතරයි. මේ රැකියාවත් සමග මට දිල්ලියේ නොගිය ස්ථාන බොහොමයක් දැක බලාගන්න ලැබුනා."
" දැන් මට ඕන මේ රැකියාව කරන ගමන් වැඩිදුරටත් ඉගන ගන්න. මෙයිට වඩා හොඳ රැකියාවක් කරන්න."
                 ඉවන් කාගෝ නිර්මාතෘ  යෝගේෂ් කුමාර් එය ආරම්භ කරන්නේ 2016 වසරේ මැයි මාසයෙදීයි.  මෙවන් රැකියාවක් කරද්දී විවිධ ස්ථාන වලට පාර්සල් අරන් යන්න වෙනවා. ගැහැණු ළමයින්ට යම් කිසි කරදරයක් වෙන්නත් ඉඩ තිබෙනවා. එනිසා රැකියාව ආරම්භ කිරීමට පෙර ඔවුන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලැබෙනවා.  ඔවුන් සේවයේ යොදවන්නේ දහවල් වරුවේ පමණයි. ඒ වගේම ඔවුන්ට හුරු   තෝරාගත් නියමිත මාර්ග වල පමනයි. ඉවන් කාගෝ ආයතනය ඉදිරියේදී තරුණියන් දෙදහසකට රැකියා දෙන්න ඒ කියන්නේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම එය පහසු කාර්යයක් නෙමෙයි. ඒත් සාම්ප්‍රදායික බැමි බිඳින්න ඔවුන් සූදානම්.
             2017 මාර්තු මාසයේ එළි දක්වපු ලෝක බැංකු වාර්තාවන්ට අනුව ඉන්දියානු රජයේ ලබාගත් තොරතුරු වලට අනුකූලව 2004 වසරේ සිට 2012 වර්ෂය තෙක් රැකියාවලින් නෙරපපු ඉන්දීය කාන්තාවන් ප්‍රමාණය මිලියන 19.6ක්. උගත්කම හා හැකියාව මනා ශරීර සෞඛ්‍යයක් තිබුනත් රැකියාවල් ලබාගැනීමේදී කාන්තාවක් වීම ඉන්දියාවේදී විශාල බාධකයක් වෙනවා. එනිසා ඔවුන්ට පිරිමින් යටතේ ලැබෙන දෙයකින් ජීවත් වෙන්න සිදුවෙනවා. ඉදිරියේදී මෙම බැමි බිඳී යාවී. රැකියා වෙළඳ පොළේ තරුණියන් සඳහා සීමා මායිම් පුළුල් වේවි.

"We are trying to bring the change, but it will take some time"

1 comment: