Thursday, February 22, 2018

මොහොතක් ඉවසුවානම්


ඊයෙ හවස අපි ගෙදර යන්න නැගපු කෝච්චියට දාරළුවත් ගම්පහත් අතරෙදි නතර කලා. කෝච්චියේ උන්න පිරිමි උදවිය කෝච්චියට කවුරු හරි පැන්නා කියලා , කෝච්චියෙන් බැහැලා දිව්වා. අවුරුදු 19-20 පිරිමි ළමයෙක් හෙල්මට් එකකුත් දාගෙන පොතකුත් අතින් අරන් කෝච්චියට බෙල්ල තියලා. ඒ ළමයගේ මිනිය ට්‍රොලියෙ තියාගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට බාර දෙන්න අරන් යනවා දකිනකොට මට පව් කියලා හිතුනෙ ඒ ළමයා ගැන නෙමේ, ඒ ළමයව ඔය තත්වෙට උස් මහත් කරන්න දුක් විඳපු අම්මා තාත්තා ගැන.
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
" මිය යන්න සූදානම් පැරදුම දරන්
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
පැරදුනාම මැරෙනවාට වඩා හොඳයි නේද දිනන්න උත්සාහ කලානම්. ප්‍රේම සම්භන්දයක් වේවා විවාහයකින් වෙන් උනා හෝ වේවා එතනින් ජීවිතය නතර වෙන්නෙ නෑනෙ. හැම පැරදුමක්ම දිනුමක් කරගන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
"ඒ දරුවා තව මොහොතක් ඉවසුවානම් තාමත් ජීවතුන් අතර"

2 comments:

  1. කිසිවෙකු උපදින්නේ මැරෙන්න බලාගෙන නෙවෙයි!
    ඒත් කිසිවෙකුට තම ජීවිතයේ වටිනාකමක් නොදැනෙන්නේ යැයි වටහුනු විට බොහොවිට තමා ; තමා පිළිබඳව තක්සේරුවක යෙදෙනවා. තමාටත් තමාගේ වටිනාකමක් නොදැනෙන වෙලාවට තමන්ට හිතෙනවා තමා කෙරෙන් පලායන්න!
    මේ සඳහා එක් එක් අය විවිධවූ ක්‍රමෝපායන් උපයෝගී කරණවා!
    සිය දිවි හානි කර ගැනීම මින් එකක්!
    කොහොමත් මා දකින ලෙසට මරණය බොහෝ සුන්දර දෙයක් වියයුතුය! Live and Let Dive අපි ඉස්කෝලෙ යන කාලෙ බැලුවෙ! මතක නෑ සැවොයි ද මැජෙස්ටික් ද දැම්මේ කියලා.
    Roger Moorතමයි මේ 007 බොන්ඩ් ෆිල්ම් එකේ ඇට් කලේ!

    ReplyDelete
  2. පුරුද්ද්ට කටට ආවටම කියන එක ලියන එක නෙමේ හරි දේ.. අම්මා තාත්තා ගැන දුක හිතන එක නෙමේ.. මේ ළමය ඒ තත්වයට එනකම් අම්මා තාත්තා මොකද කලේ කියන එකයි හොයලා බලන්න ඕන, ළමයි හදලා විතරක් වැඩක් නැහැ..

    ළමයි වගකිව යුතු මිනිස්සු කරන්නේ කොහොමද කියන එක මුලින්ම ඉගෙන ගන්න ඕන දෙමාපියන්.. ඉන් පස්සෙයි ලමයි හදන්න හිතන්න ඕන.. වෙන්නේ ඒක නෙමේනේ. කසාඳ බැන්ඳා ළමයි හැදුවා.. සමහර අයට ළමයින්ට කන්න බොන්න දෙන්න විදිහකවත් වැහැ.. ඒත් හදනවා..වැඩිහිටි අවබෝධය නැති තැන අනවබෝධය හොඳක් කරන්නේ නැහැ..

    ReplyDelete