Friday, July 21, 2017

කවුළුවෙන් එබී බලා



උදේට වැඩට එද්දි බස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින නිසා මට වාඩි වෙලා යන්න පුලුවන්. ජනේලයක් අයිනේ සීට් එකක වාඩි උනාම මම බහින තැන එනකන්ම කරන්නේ වට පිටාව නරඹන එක. අවුරුදු ගාණක්ම යන්නෙ එන්නේ එකම පාරේ නිසා එකම පරිසරය තමයි දකින්න තියෙන්නේ. ඒත් මට හැමදාම ඒ පරිසරය නැවුම්. ගහකොළ සත්තු ගොඩනැගිලි වගේම මිනිස්සුත් මගේ නෙත ගැටෙනවා. උදේ හවස විවිධ මිනිස් ක්‍රියාකාරම් දකින්න ලැබෙනවා. සීට් එකට වඩා නිදිකිරා වැටෙනවට වඩා වට පිටාව නරඹන එක හිතට සතුටක් ගේනවා. රැකියාවක් කරන ගෘහනියක් වෙන මට විශේෂයෙන් කියලා ඇවිදින්න යන්න කාලයක් නැති තරම්.  ඉතින් පරිසරය රසවිඳින්න ලැබෙන්නෙත් උදේ හවස වැඩට යද්දී ආපහු එද්දී තමයි.
   
       
ඒ වගේම හවස කෝච්චියේ යද්දීත් ගම්පහා ඉඳන් මීරීගමටම යනකන් වැඩිපුර තියෙන්නේ වෙල් යායවල්. ගම්පහ ඉඳන් මගලෙගොඩට යනකන් හම්බ වෙන වෙල්යාය තමයි මටනම් සුන්දරම. හවස අහසත් ගොඩක් ලස්සනයි. පාට පාට වළාකුළු ලස්සන රටා මවනවා. ඉර බැහැගෙන යනවා. හැම තැනම කොළ පාටයි. ඒත් ඒ වෙල් යායේ සුන්දරත්වය තව ටික කලෙකින් මැකිලා යාවි. කොළඹ නුවර අධිවේගී මාර්ගය හැදෙන්නේ මේ වෙල් යාය හරහා රේල් පාරත් එක්කමයි. තව අවුරුදු කීපයකින් පොළවෙන් ඉහළට ඉස්සුන කොන්ක්‍රීට් කණු එක්ක තියන පාරක් දිහා තමයි බලන් යන්න වෙන්නේ. එහම හිතෙනකොට කොච්චර පහසු උනත් අධිවේගී මාර්ගය හදන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා.ඒත් අධිවේගී මාර්ගය පාවිච්චි කරන අයට නම් හරිම සුන්දර දසුන් නෙත ගැටේවි. මාතෘකාවෙන් ටිකක් පිටට ගියා.
                    මට කියන්න ඕන උනේ පරිසරය විඳින්න, සතා සිවුපාවා දිහා බලන්න, විවිධාකාර මිනිසුන්ගේ ක්‍රියාකාරම් නරඹන්න වෙනම වෙලාවක් ඕනේ නෑ. බස් එකේ කෝච්චියේ වැඩට යන එන ගමන් උනත් පුලුවන්. ඒකට ඕනේ අපේ ලස්සන හිතයි ඇස් දෙකයි විතරයි.

1 comment: