Wednesday, July 12, 2017

සැඟවුන අනතුරු

කෝච්චියක් එනකන් ස්ටේෂන් එකේ බංකුවක වාඩි වෙලා ඉන්දි මට එහා පැත්තෙන් වාඩි වෙලා උන්න කාන්තාවක් තවත් කෙනෙක් එක්ක බර කතාවක්. අනිත් අයටත් ඇහෙන්නම  කරපු කතාවක් නිසා මාත් අහගෙන උන්නා.
        ඩෙංගු උවදුර නිසා එයාලගේ අහල පහල තිබුන කැලේ වැවුන හිස් ඉඩමක් සුද්ද කරලා. ඒ ඉඩමට අල්ලපු ගෙදර ඉන්න පොඩි දරුවෙක් ඉඩමේ තිබිලා ටයර් එකක් අහුලගෙන ඒක කරේ දාගෙන ගෙදර අරන් යද්දී ටයර් එක අස්සෙන් සතෙක් ඔලුව එලියට දාලා. ළමයා ටයර් එක විසික් කරලා තාත්තාට කතා කරලා. තාත්තා ඇවිත් බලනකොට  ටයර් එක ඇතුලේ ලොකු පොලඟෙක් ඉඳලා. ළමයාගේ වාසනාවට පොලඟා දෂ්ඨ කරලා නෑ.
         පොඩි දරුවන්ට තේරෙන්නේ නෑනෙ. වැඩිහිටියෝ කියලා දෙන්න ඕනේ එළියේ තියල තියෙන ඔය වගේ දේවල් ගන්න කලින් පොඩ්ඩක් බලන්න කියලා. මම පොඩි කාලේ සෙල්ලම් ගෙයක් හදලා ඒකේ උයන්න භාජන වෙනුවට ගන්න පොල්කටු හොයන්න දරමැස්සට ගියා. මුලින්ම අතට ගත්ත  පොල් කට්ටෙ සර්පයෙක් ගුලිවෙලා හිටියා. මම පොල් කට්ට විසික් කරලා කෑගැහුවා. අපේ ආච්චී ඇවිත් කිව්වා පොල් කටුවේ උන්නේ කුණුකටුවෙක් බව. එදා මට උපදෙස් දුන්නා ඔය වගේ දේවල ගන්නකොට දිග කෝටුවකින් ඈත ඉඳන් පෙරලලා බලලා ගන්න කියලා. අදටත් මම ඒ අවවාදය පිලිපදිනවා. ඒදා මම වගේම මේ පොඩි දරුවත් වාසනාවන්තයි. සර්පයෝ දෂ්ඨ කලානම් මේ කතාව මෙයිට වෙනස් වෙන්න ඉඩ තිබුනා. අපි එදිනෙදා පාවිච්චි කරන සපත්තු තොප්පි පාවිච්ච් කරන්න කලින් ගසලා බලලා පාවිච්චියට ගන්න එක තමා වඩාත් සුදුසු .
          මේ කතාවේ අපට හිතන්න යමක් තියනවා. පුංචි කාරණාවක් උනත් දරුවෝ දැනුවත් කරලා තිබුනම ලොකු අනතුරක් වලක්වාගන්න පුලුවන්

1 comment:

  1. මමත් ඔය පාඩම ඉගනගත්තා, හැබැයි සපත්තුව ඇතුලේ ඉඳලා තඩි ගෝනුස්සෙක් කකුලට වැඩේ දුන්නට පස්සේ.

    ReplyDelete