Friday, May 5, 2017

දානය

වැරැන්ඩාවේ හාන්සි පුටුවේ දීගා වී පත්තරය කියවන ගමන් පේමසිරි ඉස්කෝලේ මහත්තයා වරින් වර ඉස්සී ගේට්ටුව දෙස බලයි. දියනියට කුලුඳුල් දරුවා ලැබුනු පසු ඇගේ අත් උදව්වට කොළඹ ගිය සිය බිරින්දෑ අද ගෙදර එන බව දන්වා ඇත.

"අපේ මහත්තයාට...පුටුවෙම නින්ද ගිහින්නේ..."

මල්ලිකා එනකන් මග බලන් උන් ඉස්කෝලේ මහත්තයාට ඒ ටිකට නින්ද ගොහින්..

"මල්ලිකා එනකන් මග බලන් උන්නේ..ඒ ටිකට ඇහැ පිය උනානේ..."

"හම්මෝ අර කාෂ්ඨකේ ඉඳලා ගමට ආවම තමා සැනසිල්ලක් දැනෙන්නේ..ඔක්කෝටම කලින් වතුර වීදුරුවක් බීලා ඉන්න ඕනේ ..ක්ලෝරීන් වතුර බීලම එපා වෙලා උන්නේ....."

"දරුවා එක්ක ගෙදර එන්න කියලා කිව්වම කෝ කවුරුත් කණකට ගත්තද? අලුත උපන් දරුවෙකුට මේ වගේ පළාත් තමයි හොඳ..දුවට උනත් හොඳ පිරිසිදු එළවළු පළතුරු ටිකක් කන්නත් තිබ්බානේ.."

"මොනවා කරන්නද අපේ මහත්තයා අර ළමයට තනියම තේ කෝප්පයක් වත් හදාගන්න බැරි කොට..එහේ තනියම දාලා දුවට මෙහේ ඇවිත් ඉන්න බෑනේ..."

"එහෙනම් ඔයා ටිකක් විවේක ගන්නකො මම මම වී මෝල පැත්තේ ගිහින් එන්නම්"

              දියනියගේ නිවසේ සිට මල්ලිකා හදිස්සියේම ගෙදර ආවේ දරුවා ඉපදෙන්නට පෙර කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්නට පත්තිනි මෑණියන්ට වූ බාරය ඉෂ්ඨ කරන්නට අවශ්‍ය කටයුතු පිලියෙල කරන්නටය. සිය බිරිඳ පැමිනෙන්නට පෙරම පේමසිරි පොල් කැඩෙව්වේය. ඔහු විසින්ම සිටවූ කෙසෙල් ගසක ඇඹුල් කෙසෙල් කැනක් පැහී තිබුනි.හවසට ඒක කපලා බිම් කරන්න ඔහු හිතාගෙන සිටියේය. වී වේලා කැකුලෙන් කොටන්නට මෝලට ගෙනිහින් දැම්මේ ඊයේ හවසය.මේ ගමන්ම  සුමනක්කලාගේ ගෙදර ගොස් දානය ගැන කිව යුතුය. ගමේ කිරි දානයක් දෙනවානම් ඇගේ සහය නොඅඩුව ලැබේ...දිනය පවසන සැනින් කලමනා ලෑස්ති කරන්නකෝ කියන ඇය තවත් අසල්වැසි කාන්තාවන් දෙතුන් දෙනෙක් සමග පැමිනෙන්නීය.
එය මුදලට කරනා දේවල් නොවේ.

පේමසිරි සුමනක්කාට  පණිවිඩය කියූ සැනින්
"මම හවස්වරුවේ ඒ පැත්තේ එන්නම්කො මල්ලියේ නංගී එක්ක කතා කරගන්න.."

යැයි පැවසුවේය.

එහෙනම් ඒ වැඩෙත් හරි..තව පොඩ්ඩෙන් මට හිඳින්න දුන්න තෙල් ටික ගේන්න අමතක වෙනවා..මේ ගමන් ඒකත් අරගෙනම යන්න ඔනේ. කැවිලි හදන ඒවා අපේ මල්ලිකා බලාගනියිනේ..පැදුරු ආනෙන් පැදුරු ටික අරන් වේලලා...පිටි ටික කොටලා ගෙනත් දීලා කෙසෙල් කැන ඉදෙව්වාම මගෙ වැඩ ටික අහවරයි..

"ඔන්න මල්ලිකා තෙල් ටිකයි හාල් ටිකයි ගෙනාවා...හවස් වරුවේ කෙසෙල් කැන කපන්න බැරියෑ..."

"දුවලා අනිද්දා එනවා කිව්වා...මට කියන්නත් බැරි උනා පුතාට පුහුණුවකට රට යන්න වෙයි කියලත් ආරංචියක් තියනවා..එහෙම උනොත් දුව දරුවා එක්ක ඇවිත් මාස කීපයක් අපිත් එක්ක ඉඳී.."

"ඒක හොඳයි..දරුවාව දේවාලෙට පන්සලට එක්ක ගියෙත් නෑනේ.."

"දැන් ඉතින් ආවම යන්න බැරියෑ..."අපේ මහත්තයා දැන්ම බත් කනවා නම් කෑවහැකි මම ආපුගමන්ම ඉව්වා..."

"දවල් වෙලා කමු...පහුගිය ටිකේ මට කෑමෙන් නම් අඩුවක් උනේ නෑ..අපේ අක්කයි නංගීයි මාරුවෙන් මාරුවට කෑම ගේන එකනම් වැරැද්දුවේ නෑ..මම ඒත් කිව්වා මට ඔය මොනවා හරි උයාගන්න පුලුවන් .කියලා..කොහමත් කෑම හදන එකනේ  කියලා දෙන්නම කිව්වානේ...මාත් ඉතින් කරබාගෙන උන්නා..."

"මාත් හවස ඒ පැත්තේ යන්නයි උන්නේ.. දානේ විස්තර නම් අපේ මහත්තයා කියන්න ඇතිනේ.."

මල්ලිකා සිය සොහොයුරියන්ගේ නිවෙස් කරා ගිය පසු පේමසිරි කෙසෙල් කැන බිම් කරන්නට වලක් කැපුවේය. එය වසන්නට ලෑලි සහ ඉටි කොලයක් ද සූදානම් කලේය. පොල් කටුවක්ද ගෙනවිත් තැබුවේය..වේලන්නට දැමූ පොල් මුඩු ටික දරමැස්සෙන් තබද්දී මල්ලිකා ආපසු පැමිනියාය.

"අපේ මහත්තයා හරියට මහන්සි වෙනවනේ..හිටින්ට නංගී හැලප වගයක් දුන්නා මම තේ ටිකක් හදන්නම්..."

"කෙහෙල් කැන කපන් ඇවිත්ම බොමු...මන්නෙත් අරන් එන්නකො එහෙනම් මට තනියම බෑ...කෙහෙල් කැන බිම වැටුනොත් තැලෙනවා..."

කෙහෙල් කැන කැපීමට පිහියත් ගෝනියකුත් අරන් මල්ලිකා පේමසිරි පසු පසින් වත්ත පහලට ගියාය.

"අපොයි මල්ලිකෝ අන්න කෙහෙල් ගහ කඩා වැටිලා කැන ටිකක් ලොකුයි බරට වෙන්න ඇති.."

ඔවුන් දෙදෙනා කෙසෙල් පඳුර අසලට ගොස් බලන විට එතන තිබුනේ කෙසෙල් කඳ පමනි..කෙසෙල් කැන අතුරුදහන් ය..

"හොරු කපලා... "

පේමසිරිට කියවිනි..

"අපොයි දෙයියනේ....අපේ මහත්තයා මම උදේ එද්දී වෙලේ කඩේ බිත්තියට හේත්තු කරල තියනවා දැක්කා හොඳ ඇඹුලක් එකත් එකටම අපේ කෙහෙල් කැන වෙන්න ඕනෑ.."

"යන්කො මල්ලිකා ගෙදර..."

"අනේ අපේ මහත්තයා මිනිස්සු එක්ක රණ්ඩුවට යනවා හෙම නෙමේ"

"කෙනෙක් දනෙනේ නැතුව කාට දොස් කියන්නද මල්ලිකෝ.. මම වෙලේ කඩේ පැත්තේ ගිහින් එන්නම්.."

පේමසිරි ආපහු එනතෙක් මල්ලිකා ගේට්ටුව ළඟින් හෙල්ලුනේ නැත..කෙසෙල් කැනත් බැඳගෙන පේමසිරිගේ තැපැල් නයින්ටිය ගේට්ටුව අසල නතර වෙද්දී ඇයට සැනසීමක් දැනුනි.

"අපේ කෙසෙල් කැන තමා මල්ලිකෝ...මම කෝකටත් කියලා මුදලාලිට විස්තරේ කිව්වා..මුදලාලි කිව්වා අරන් යන්න මහත්තයෝ මම තාම මේකට සල්ලි දුන්නේ නෑ...විකුනන්න ආපු මිනිහා කෙසෙල් ගහක් තියා තණ කොළ ගහක් වත් හිටවන එකෙක් නෙමේ...හිතේ සැකේටම මම සල්ලි ගන්න හවස එන්න කිව්වා..මිනිහා තාම ආවෙ නෑ..මහත්තයා අරන් යන්න මිනිහා ආවම මම කියන්නම්කො අයිතිකාරයා කෙහෙල් කැන අරන් ගියා කියලා..."

"අපේ මහත්තයා ඇහුවෙ නැද්ද කවුද ගෙනාවේ කියලා...."

"කවුරු උනහම මොකෝ අපේ කෙහෙල් කැන ලැබුනනේ..."

එතනින් එහාට කතා කර පලක් නැතිබව වටහාගත් මල්ලිකා කරබාගත්තාය





No comments:

Post a Comment