Tuesday, May 2, 2017

නිලි වැස්ස




පුස්තකාලෙට ගිහින් පොත් තෝර තෝර ඉන්නකොට අලුත් පොත් තියනවා කියලා පුස්තකාලාධිපති තුමා පොත් ගොඩක් මේසය උඩින් තිබ්බා. "නිලි වැස්ස" මුහුණු පොතේ "පොත් කියවන අය" ගෲප් ඒකේ සාමාජිකයෝ මේ පොත ඉහලින්ම වර්ණනා කරල තිබුන නිසා මේ පොත කියවීමේ ආශාවක් මගේ හිතෙත් තිබුනා.ඒක නිසා මම ඒ පොත ගෙදර ගෙනාවා

             ඉරිදා නිදහසේ කියවන්න ගත්තා. "නිලි වැස්ස " කතෘ කත්‍යානා අමරසිංහ . මේ පොතේ ප්‍රධාන චරිතය රන් මැණිකා ව අපට හමුවෙන්නේ 17 වැනි සියවසේ අග භාගයේදී 2 දෙවැනි රාජසිංහ රජතුමාගේ පාලන කාලයේදී. පරංගි ලංකාව ආක්‍රමණය කරලා ලන්දේසිත් ලංකාවට ආපු කාලේ.

            රන් මැණිකා හිතුවක්කාර කෙල්ලෙක් කියනවාට වඩා නිදහස් ප්‍රියකරපු, හිතට එකඟව වැඩ කරපු නිදහස් චින්තනයෙන් යුක්ත කෙල්ලෙක් කියලා කියන්න මම කැමතියි. කේන්දරේ දෝෂ නිසා දෙමාපිය නෑ සනුහරෙන් දොස් අහන තරුණියෝ අදත් අපි අතර ඉන්නවා. රන් මැණිකාත් පිරිමි නැකතකින් උපන්න නිසා අනිත් අයගෙන් පීඩාවට පත් උන තරුණියක්. දෙමාපියන් යෝජනා කරන ඇගේ ඇවැස්ස මස්සිනා, සුදු බණ්ඩා ට ඇය අකමැති වෙන්නේ ඔහු ගැන හැඟීමක් ඇයට නැති නිසා.

          රන් මැණිකාට අහම්බෙන් මුනගැසුනු තරුණයා එක්ක අම්මාගේ දෙස් දෙවොල් මැද්දේ ගෙදරින් පිටවෙන්නේ, අම්මාගේ කන්කරච්චලයෙන් මිදිලා , ඒ තරුණයා එක්ක දරු පවුලක් හදාගෙන නිදසේ ජීවත් වෙන්න හීන මවාගෙන. ඒත් ඇයට සිද්දවෙන්නේ රජසිංහ රජතුමාගේ රහසිගත යකඩ දෝලියක් වෙන්න. රන් මැණිකා රජතුමාට ආදරය කලාද? මත හිතෙන්නේ ඒක ආකර්ෂණයක් විතරයි කියලා. රජ මාළිගයේ මොනතරම් සැප සම්පත් තිබුනත් දැසි දස්සන් හිටියත් රන් මැණිකාට ඕන උනේ නිදහස් සරල ජීවිතයක්

         රන් මැණිකා ආදරය කලේ එකම එක පාරක් මොහොතකට දැකපු නිල් පාට ඇස් තිබුනු විලියම් ලීවන්ස්ට. ඔහුගේ ජාතිය ජම්මය ඇයට වැදගත් උනේ නෑ. ඒකයි රජ තුමාට චපල වීමෙන් මොන විදිහේ දඬුවමක් ලැබුනත් කමක් නෑ කියලා ඇය ලීවන්ස් සමග ආදරෙන් බැඳෙන්නේ. ඇගේ ආදරේ තමාට නෙම් ලීවන්ස් ට කියලා රජතුමා තේරුම් ගන්නවා. රජ කෙනෙක් උනත් ඔහුත් සාමාන්‍ය සිතුම් පැතුම් තියන මනුස්සයෙක් බව කතුවරිය අපට වටහල දෙනවා. 
පරිවර්තන කෘති වලට ඇලුම් කරන මට "නිලි වැස්ස" හරහා අපේ රටේ කතුවරයන්ගේ පොත් කියවන්න කැමත්තක් ඇතිකලා.  එක හුස්මට එක පාරක් කියවලා ආයේ පාරක් කියෙව්වා. ඒ තරමට මේ පොත මගේ හිත පැහැර ගත්තා. 

හිතේ නැගුණු වියෝ වේදනා දුරු කර ගණු පිණිස ආකාසය දෙස බලන ඇයට වැහි පොදත් හිරු එළියත් එක් වූ තැන මැවුනු දෙදුන්නක් නෙත ගැටේ. ජාතියක් ජම්මයක් නොබලා බැඳුණු ඔවුන්ගේ ප්‍රේමයත් ඒ දේදුන්න වාගේ චමත්කාරජනක යයි ඈට සිතේ. දේදුන්නේ අලංකාරය ඇත්තේ එකිනෙකට වෙනස් පාට ගණනාවක් එකට කැටි වීම හන්දාය. එකම පාටක් උනා නම් එහි ඇති හැඩයක් නැත."

No comments:

Post a Comment