Thursday, September 27, 2018

සමුද්ද යාතිකාව



                 පහුගිය ඉරිදා පොත් ප්‍රදර්ශනයට ගිහින් ගෙනාපු පොත් වලින් කියවපු මුල්ම පොත. සමුද්ද යාතිකාව. කාලීඩ් හුසෙයිනි  මහතා ගේ Sea Prayers  පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තිකාව ගංගා සුදුවැලිකන්ද මහත්මිය.
                 කාලීඩ් හුසෙයිනි මහතා විසින් රචිත අළෙවි වාර්තා තැබූ පොත් තුන ගොඩක් අය කියවලා ඇති. The kite Runner ( සරුංගල් ලුහු බඳින්නා), The thousand splendid suns (මනරම් හිරු දවසක්), And the mountains echoed (කඳුකරය දෝංකාර දුනි) නව කථා ත්‍රිත්වය හරහා ඔහු ලස්සන රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය හා එහි ජනතාව යුද්ධයත් සමග විනාශ වූ ආකාරය පිළිබඳ සිය පාඨකයන්ගේ හිත් වල සංවේගයක් උපදවන්න සමත් උනා. 
            යුද්ධය මොනතරම් බියකරුද කියලා යුද්ධයක් පැවති රටක, කොයි වෙලේ කොහේ පුපුරණ බෝම්බයකට අපිවත් අහුවෙයිද කියලා බයෙන් උන්න අපි හොඳටම දන්නවා. ලංකාවේ යුද්ධය අවසන් උනත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, යුක්‍රේනයේ, යේමනයේ, තවමත් යුද ගැටුම් පවතිනවා. කොයි මොහොතේ බෝම්බයක් පුපුරයිද, කොයි මොහෝතේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙයිද, කොයි මොහොතේ ගුවනින් බෝම්බ හෙලයිද, ඒවගේ දේකින් තමන්ගේ පවුලේ අයෙක් හෝ සමීපතමයෙක් නැතිවෙයිද කියන බයෙන් ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල අනන්තවත් ඉන්නවා. 
            උපන් රටේ තමන්ට ආරක්ෂාව නැතිවෙනකොට කෑම බීම නැති වෙනකොට වෙඩි හඬ නෑසෙන බෝම්බ පුපුරන්නෙ නැති වඩා සුරක්ෂිත රටකට ජීවිතාරක්ෂාව පතා පළා යන්නට අහිංසක මිනිස්සු උත්සාහ කරනවා. ඒ සිය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරදීමේ අරමුණත් ඇතුව.රටකින් තවත් රටකට පළා යාම පහසු කාර්යක් නෙමේ. ගුවනින් කොහොමත්ම යන්න බෑ. ගොඩ බිම හරහා හෝ මුහුදෙන් අනාරක්ෂිත බෝට්ටුවක යන එක තමයි විකල්පය වෙන්නෙ.



                        2015 සැප්තැම්බර් 02 වෙනිදා තුර්කියේ සිට ග්‍රීසිය බලා  සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් සිටි අනාරක්ෂිත  බෝට්ටුවක් පෙරළී ජීවිතක්ෂයට පත්ව තුර්කි වෙරළටම ගසාගෙන විත් වෙරළේ වැතිර සිටි  සිව් හැවිරිදි ඇලන් කුර්දි නම් කුඩා දරුවාගේ ලොවක් සංවේදී කල ඡායාරූපය අප කාටත් තාමත් මතක ඇති. සමුද්ද යාතිකාව ,එම සිදුවීම පදනම් කරගෙන අනාරක්ෂිත බෝට්ටු ගමනක යෙදෙන්න සූදානමෙන් ඉන්න පියෙක් ලිපියක් ආකාරයෙන් සිය පුතු මර්වාන්ට ලියන සංවේදී සටහනක් සහ පිංතූර සහිත ලොකු කතාවක් කියන පුංචි පොතක්. මෙම පොතෙන් කාලීඩ් හුසෙයිනි මහතා ලබන කතෘ භාගය ඒක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වෙත පරිත්‍යාග කරනවාලු.



  "මගේ ආදරණිය මර්වාන්,
මේ හඳ එළියේ මම ඔයාගේ මූණෙ
පැතිකඩ දිහා බලනවා, මගෙ පුතේ 
අහිංසක නින්දකින් වැහිලා තියන ඔයාගේ
ඇහිපිහාටු හරියට හැඩේට ඇඳපු අකුරු
මෝස්තරයක් වගෙයි.."

"මගේ අත අල්ලගන්න. කිසිම 
වෙන්නෙ නෑ." කියලා මම ඔයාට කියනවා



1 comment: