Sunday, June 11, 2017

කියවීම

                                           
                                       
                                     මෑත දවසක හවස කෝච්චියෙදී මම බකල් නිලන් වාඩිවෙලා යද්දී මට එහා පැත්තේ උන්න ගැහැණු ළමයා ඇහුවා අද කියවන්න පොතක් නැතිද කියලා. ඇත්තටම එදා මට කියවන්න පොතක් තිබුනෙ නෑ. ඉතින් මම කිව්වා අද නම් නෑ කියලා. මාව අඳුනන්නේ නැති උනත් මගේ පොත් කියවිම හවස කෝච්චියේ මාව දකින අයටත් හුරුවෙලාද කොහෙද?
                                            ඔහොම කියවන්න කම්මැලි නැතිද කියලා අහන අයත් ඉන්නවා. සල්ලි වියදම් කරලා පොත් ගන්න එක අපරාදයක් නෙ කියන අයත් ඉන්නවා. නෑ මට පොත් කියවන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ ඒ වගේම  සල්ලි දීලා පොත් ගන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ. කියවන එක ලියන එක මගේ විනෝදාංශය. ඒ දෙකෙන්ම මටවත් අන් අයටවත් හානියක් නෑ.

                                                 කියවීම මම පටන් ගත්තේ මොන්ටිසෝරි යන කාලේ "සුරතලා" පත්තරෙන්. යන්තන් අකුරු කියවන්න පටන් ගත්තට පස්සේ මට මතකයි මම අපේ සීයා,මාමා, පුංචි ගෙදරට ගේන පත්තරත් කියෙව්වා. මටත්" බිංදු, හඳ මාමා, මිහිර, විජය" පත්තර අරන් දුන්නා." සිළුමිණ පත්තරේ, තරුණි පත්තරේ, ඒ කාලේ තිබ්බා යොවුන් ජනතා කියලා පත්තරේකුත්, ඊට අමතරව අපේ මාමා චිත්‍ර කතා පත්තරත් ගෙනාවා. ළමයින්ට  නිසුදුසුයි කියලා  කවුරුත් මට ඒවා කියවන්න එපා කිව්වෙත් නෑ..තේරුනා නැතා මම කියෙව්වා. ඒ අතරේ අපේ අම්මා මට කතන්දර පොත් ගෙනත් දුන්නා. සෝවියට් රුසියන් ළමා කතා.ඔය විදිහට තමයි මම පොත් කියවන්න පටන් ගත්තේ.
                                         
    
                                    ඉස්කෝලේ ඉහල පංති වලදී "මල්" පත්තරත් කියෙව්වා. "කුමරි,අරලිය,සුවඳ" වගේ ඒවා. ඒ අතරේ මල් නව කථාත් කියෙව්වා." තරුණී, සිරිකත, නවලිය" කාන්තා පත්තරත් කියෙව්වා. දැන් නම් මගේ පොත් කියවීම ටිකක් වෙනස් වෙලා. නව කථා පොත් වෙනුවට මම දැන් "පරිවර්තන" වලට හුරු වෙලා. නව කථා කියවනනේ නැතුවත් නෙමේ. ඔය අතරේ අන්තර් ජාලයෙන් ඉංග්‍රීසි පොත් download කරගෙනත් කියවනවා. 

                                                                             මම මට පුලුවන් කාලයක් පොත් කියවයි. පොත් කියෙව්වා කියලා මම මගේ ජීවිතේ අනිත් වැඩ අතපසු කරගෙනත් නෑ. රැකියාවට යනවා. ගෙදර දොරේ වැඩ කරනවා. ඔය අතරේ කියවීමටත් වෙලාව හදාගන්නවා.
                                                     ඇත්තටම පොතක් පත්තරයක් කියවනවා කියන්නේ මට නම් මානසික සුවයක්. අනික කොච්චර දේවල් දැනගන්න පුලුවන්ද. මම කැමතියි මම වගේ අනිත් අයත් කිය්වන්න හුරු වෙනවා නම්. ඒත් ගොඩක් අය කියවන්න කම්මැලියි.

.දරුවන්ටත් ළදරු වියේදීම පොත් කියවන්න හුරු කලොත් ලොකු වෙද්දී එයාලා බලකිරීමකින් තොරව කියවන්න හුරු වේවි.



3 comments:

  1. ඔන්න අපිත් මේ පැත්තට ගොඩ වුනා...

    මටත් ඉතින් පොතක් තියෙනවා නම් කියවලා ඉවර කරගන්නකන් ඉස්පාසුවක් නෑ..

    ReplyDelete
  2. මොකක් හරි කමක් නෑ කියවන්ට තියෙනවා නම් ආයේ ඉතින් එච්චරයි මට නම්...
    පොඩි කාලයේ ඉඳන්මයි මටත් කියවීමේ පිස්සුව තියෙන්නේ...
    මොන පුරුද්දක්ද කියලා හිතෙනවා එක වෙලාවක...

    ReplyDelete
  3. ඇත්තෙන්ම ඔව් සෙව්වන්දි...අද ගොඩක් අය කියවන්න කම්මැලි වෙලා...එක අනාගත පරපුර හුරුවෙන්නෙම නැති වෙයි

    ReplyDelete