Tuesday, April 25, 2017

දෝංකාරය

Echoes -Danielle Steel
 දෝංකාරය - පරිවර්තනය- සුගතදාස වියතුංග

                                 මම කියවපු තවත් සංවේදී පොතක්. පොහොසත් යුදෙව් ජාතික පවුලක බීටා නැමති වැඩිමහල් දියණිය, ප්‍රංශයේ වංශවත් පවුලක රෝමාණු කතෝලික තරුණයෙක් වන ඇන්ටොයින් සමග ප්‍රේම සම්භන්දයක් ඇතිකර ගන්නවා. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේම දෙමාපියෝ මෙම් සම්භන්දයට විරුද්ධ වෙනවා. දෙමාපියන්ගේ විරෝධය නොතකා විවාහ වන ඔවුන්ට, කලින් ගතකල සුඛෝපභෝගී ජීවිතය වෙනුවට දුක් කම්කටොලු වලින් පිරුණ ජීවිතයක් ගත කරන්න සිදුවෙනවා. දියනියන් දෙදෙනෙක් ලැබුනු පසු බීටාගේ සැමියා මිය යනවා. දියනියන් දෙදෙනා උස්මහත් කරන බීටා ට කවදාවත් ඇගේ පියා සහ සහෝදරයන්ගෙන් සමාව ලැබෙන්නේ නෑ. ඇගේ ම්ව පමනක් ඇයව බලන්න පැමිනෙනවා. බීටාගේ දියණිය අමාදි කන්‍යා සොහොයුරියක් වීමට කන්‍යාරාමයක්ට ඇතුල් වෙනවා. ඒ කාලයේදී තමයි හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කරන්න පටන් ගන්නේ.යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලු දෙනා පිටුවහල් කරනු ලබනවා. බීටා සහ බාල දියනියත් කඳවුරකට යවනු ලබනවා. අවසානයට අමාදිත් කන්‍යාරාමයෙන් පිට වෙලා පියාගේ හිතවතෙකුගේ නිවසේ සැඟවී සිට වෙනත් ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කරද්දී නාසීන්ට හසුවෙනවා. එහිදී ඇයව යවන කඳවුරේ දුක්කිත ජීවිතයක් ගත කරන අමාදි ඉන් පැන යනවා. ඉන්පසු රට බේරා ගැනීමේ සටනේ විමුක්තිකාමීන්ට එකතු වෙලා රට බේරා ගැනීමේ රහස් කටයුත් වලට උදව් වෙනවා. අවසානයට අමාදි විමුක්තිකාමි සටනෙදි හමුවන් තරුණයෙක් සමග විවාහ වෙනවා.
                                                  කතාවේ මැද කොටස දුක්බර උනත් අවසානය සුබ දායකයි. මම කොහොමත් කැමති සුබදායක අවසානයක් තියන පොත්වලට. මේ පොතත් මම ගොඩක් ආසාවෙන් කියෙව්වා..    


Friday, April 21, 2017

කුණු ගැටලුවට විසඳුමක්

කුණු කන්ද නාය යාමත් සමග කුණු බැහැර කිරීම පිලිබඳ ගැටලු වලට විසඳුම් සහ පිලියම් බොහොමයක්  පහුගිය දවස් වල යෝජනා උනා. මමත් නිවාඩු පාඩුවේ කල්පනා කරලා බැලුවා පරිසරයට අප ද්‍රව්‍ය, විශේෂයෙන්ම නොදිරන ද්‍රව්‍ය එකතු වෙන එක සුළුවෙන් හෝ වලක්වන්න මටත් පුළුවන් නේද කියලා.
මම හැමදාම වැඩට යනකොට උදේට දවල්ට කෑම පාර්සල් දෙකක් අරන් යනවා. ඒ කියන්නේ මම දවසකට lunch sheet දෙකක් පරිසරයට මුදා හරිනවා. මාසෙකට 50ක්.  අවුරුද්දකට 600 ක් 
උදේ හවස බස්, කෝච්චි වල අරන් යන්න අපහසු උනත් කෑම පෙට්ට් 2ක් ගත්තා නම් පරිසරයට lunch sheet  මුදාහරින එක මට නතර කරන්න පුලුවන්.
පිරිසිදුවට කෑම ටික අරන් යන්නත් පුලුවන්.
ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන දේවල් කඩෙන් ගත්තම දාල දෙන්නේත් පොලිතින් බෑග් වල. සිල්ලට බඩු කඩෙන්, එළවළු කඩෙන්, මස්,මාළු කඩෙන්,වෙනත් කෙට් කෑම දාලා දෙන්නෙත් පොලිතීන් බෑග් වලට.
                                                                                    

ඒ වෙනුවට මට පුලුවන් රෙදි බෑග් එකක් අරන් යන්න. පහසුවෙන් නමලා හෑන්ඩ් බෑග් එකේ නිතර දාගෙන යන්න පුළුවන් එකක්. මස්, මාළු ගනිද්දීනම් කරන්න දෙයක් නෑ. අනිත් දේවල් ගනිද්දී කඩෙන් දෙන පොලිතීන් බෑග් ප්‍රතික්ශේප කරලා රෙදි බෑග් එකක් පාවිච්චි කරනවා නම් මම ගෙදරට අරන් යන පොලිතීන් බෑග් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන් වෙයි.
අපේ මුතුන් මිත්තන් අපට රැකලා දුන්න මවුබිම, පරිසරය ඒ වගේ ලස්සනට අපේ මතු පරම්පරාවට උරුම කර දීම අපේ යුතුකම.මම හැදුනොත් ගෙදර අනික් සාමාජිකයොත් ටික ටික හුරුවෙයි.

Thursday, April 6, 2017

කැවුම් කොකිස් මුං අලුවා සහ ආච්චී

සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. කැවිලි පෙවිළි ගැන කතාබහ පුවත් පත් වල යන වට්ටෝරු ඇහෙද්දි දකිද්දී මට මතක් වෙන්නේ අපේ ආච්චීව(තාත්තාගේ අම්මා). අපේ ආච්චි ගෙ නම රොස්ලින් ජයකොඩි උනාට ගොඩක් අය ආච්චිව ඇමතුවේ රෝසා නැන්දා රෝසා ආච්චි යන නමෙන්. ආච්චී තරම් රසට ලස්සනට කැවිලි හදන්න පුලුවන් කෙනෙක් අපේ ගමේ හිටීයෙ නෑ.ඒක නිසා මගුලට,දානෙට,අවුරුද්දට ආච්චීගේ උදව් නැතුවම බැරි උනා.


                 මම පුංචි කාලේ, ආච්චි කොන්ඩ කැවුම් උයද්දී, ලිප ළඟ බංකුවක් තියාගේන කැවුම් උයන හැට් බලන් ඉන්න මම ගොඩක් ප්‍රිය කලා. ටිකෙන් ටික කූර කරකවමින් කොන්ඩ කැවුමේ කොන්ඩේ ගන්න හැටි මට තාමත් මැවිලා පේනවා.

        
              අතිරස හදද්දී නම් මගේ උදව් ආච්චීට ලැබුනා. පොල් තෙල් ගාපු කෙසෙල් කොල උඩ අතිරස මිශ්‍රණයෙන් බෝල හදලා ඒවා පැතලියට වඩලා වට්ටියකින් තියන්නේ මම හරි ආසාවෙන්. ඒවා අච්චී සීරුවට තෙලේ බැදලා මැටි මුට්ටි වල අහුරනවාත් මට මතකයි.
කොකිස් බද්දී නම් පිටි මිශ්‍රනයේ අන්තිම ටිකෙන් කොකිස් බදින්න මට ඉඩ ලැබුනා. ටිකෙන් ටික වයසින් වැඩෙනකොට ආච්චි කලේ කොකිස් මිශ්‍රනය ඒදලා දෙන එක විතරයි. කොකිස් බදින්න නම් මම එක්ස්පර්ට්.☺☺☺

ආස්මී හදනකොට දවල් කුරුඳු කොළ වලින් නානු හදාගන්න හැටි ඒකට පිටි මිශ්‍රකරලා පදමට අනාගන්න හැටි හිල් තියන පොල්කටු හැන්දෙන් තෙලට දාලා නියමිත වෙලාවට දෙකට නමාගන්න හැටි පියවරෙන් පියවට මට ආච්චි කියලා දුන්නා.
ආච්චී මම පොඩි කාලේ ඒ දේවල් කියලා දුන්නේ මම ඒවා ඉගන ගනීවි කියන පරමාර්තයෙන්. එයා වයසට යද්දී මම ටිකෙන් ටික ලොකු වෙද්දී මම මැරෙන්න කලින් මේවා ඉගනගන්න කියලා ආච්චී කියපු වාර අනන්තයි. ඒත් අධ්‍යාපනය පමනක් මගේ අරමුණ වෙලා තිබුන නිසා ඒවා ප්‍රායෝගිකව ඉගන ගන්න උවමනාවක් මට තිබුනෙ නෑ.අද ඒ උවමනාව තිබුනත් අහලා දැනගන්න ආච්චී ජීවතුන් අතර නෑ. දැන්නම් ඒ ගැන ලොකු පසුතැවිල්ලක් වගේම මම වගේ මෝඩයෙක් කියලා හිතෙන වාර අනන්තයි.

ආච්චී අපෙන් සමු අරන් වසර 13ක් ගත වෙලා. එතුමියට නිවන්සුව!

Wednesday, April 5, 2017


සොරාගත් ජීවිත

Stolen lives(Twenty years in a desert jail)  
Malika Oufkir & Michele Fitoussi

සොරාගත් ජීවිත           පරිවර්තනය - ආරියරත්න චන්ද්‍රවංශ


                       1972 අගෝස්තු 16 වැනිදා අසාර්ථක වූ මොරොක්කෝවේ, II හසන් රජු මැරීමට ගත් උත්සාහයට මලීකා ඈවුෆකර් ගේ පියාට මරණ දඬුවම දෙනු ලබයි. මලීකා,මව හා කුඩා සහෝදර සහෝදරියන් කාන්තාරයේ සිර කඳවුරක සිර කරනු ලබයි. වසර 15 ක සිරගත ජීවිතයෙන් වසර දහයක්ම වෙන් වෙන්ව සිර කූඩු වල ට වී ඔවුන් බොහෝ දුක් පීඩාවන්ට මුහුණ දෙමින් යන්තම් දිවි බේරාගෙන ජීවත් වෙයි. අවසානයේ ඔවුන් දෑතින් උමගක් හාරා සිරකඳවුරෙන් පලා යයි. ජනමාධ්‍යන්ගේ උදව්වෙන් මුළු ලෝකයේම හා ප්‍රංශ ජනාධිපතිගේ අවදානය ලබාගන්නා ඔවුන් නැවත අත් අඩංගුවට පත්වී වසර 5ක් ම නිවාස අඩස්සියේ ජීවත් වෙයි.අවසානයේ සම්පූර්ණ නිදහස ලබාගෙන මලිකා හා සොයුරු සොයුරියෝ කීප දෙනෙක් මොරොක්කෝවෙන් පිටවෙති.

මම කියවපු තවත් හද සසල කරවන කතාවක්. සත්‍ය කතාවක් උනත් ඔවුන් මේ තරම් දුක්බර ජීවිතයක් ගතකලේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ. 

"අවුරුදු විස්සක් මිනිත්තු පහකින් මකාලිය නොහැක"

එය සදාකාලිකවම නොමැකී පවතිනු ඇත.