Friday, June 30, 2017

කවිකඳුර


කවිකඳුර පොත මුද්‍රණය කරලා අවුරුදු හතක් විතර ගතවෙලා තිබුනත්, ගොඩක් ලස්සන පොතක් කියලා බොහොමයක් දෙනා වර්ණනා කලාට පහුගිය කාලේ පරිවර්තන කෘතිම කියවන්න ඇබ්බැහිවෙලා උන්න නිසාද කොහෙදෝ මට මේ පොත කියවන එක මගහැරුනා.පුස්තකාලේ ගිහාම මට හිතුනා පරිවර්තන නැතුව සිංහල පොත් දෙකක් තෝරගත්තානම් හොඳයි කියලා. ඉතින් මම කවිකඳුර අරන් ආවා.
        මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා ගලාගෙන යන කතාවක් විදිහට තමයි කවිකඳුර ලියලා තියෙන්නේ. ලංකාව යටත් විජිතයක් වෙන්න කලින් මෙහි විසූ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් සරලයි. සුන්දරයි. මහනුවර රාජධානියේ අවසන් කාලය  කියන්නේ ලංකාවේ ලොකූ වෙනස්කම් රැසක් සිදූවූ යුගයක්. දේශපාලනික,සමාජීය,සංස්කෘතික වෙනස්කම් වගේම රජකම පවා වෙනත් ජාතිකයෙකුට ගිය යුගයක්.බලයට කෑදරකමේ සිදුවන පාවාදීම්, එකිනෙකාට විරුද්ධව කේලාම් කීම් වගේම කුල ක්‍රමය නිසා ඇතිවන ගැටළු සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව ගැන යම්කිසි කතිකාවක් ඇතිකරන්න කතුවරිය උත්සාහ කරලා තියනවා.
           මේ කාලේ වෙනකොට බුදු දහම පිරිහිලා. බුදු දහම මේතාක් දුරට හරි රැකගෙන එන්නේ ගනින්නාන්සේලා නමින් හැඳින්වුනු ගිහි ජීවිතයක් ගත කරන ගමන් සාමනේර ශීලය පමනක් රැකගෙන කුඩා පන්සල් කීපයක් සහ ඒවායේ තිබූ ධර්ම් ග්‍රන්ථ සහ ධාතූන් වහන්සේලා රැකගන්න උත්සාහ දරපු කොටසක ගෙන්. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ඉල්ලීමට සියම් දේශයේ රජතුමාගෙන් ඉල්ලීමක් කර උපාලි ස්වාමින්  වහන්සේ ඇතුළු උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසි නමක් ලක්දිවට වැඩම කරවා උපසම්පදාකර්මය සිදුකරනු ලබනවා.
            පෘතුග්‍රීසි, ලන්දේසි වගේම ඉංග්‍රීසි ජාතිකයන්ගේ ගති සිරිත් වගේම විවිධ ජාතීන අතර අවාහ විවාහ සිද්දවෙන්න පටන් ගන්නෙත් මේ කාලෙදි. බුදු දහමෙන් ඉවත්වෙලා අනෙකුත් ආගම් අදහන්න ජනතාව හුරුවෙන්නෙත් මේ යුගයේ.
            ලංකාවේ සමාජීය සංකෘතික මෙන්ම දේශපාලනික පරිවර්තනයන් සිදුවෙමිනි පවතින කාල වකවානුවක පිංචි අම්මා,මරියම්මා,සුවඳි,ටිකිරි මැණිකේ,උක්කුවා,නිලමේ,
අංකුට්ටා,බ්ලෙක්,හීංඑකා,වික්ටර්,අයිවන්, වැනි චරිත රාශියක් එක්කාසු කරන් යම්කිසි කතාවක් ගොඩනගාගන්න කරපු උත්සාහයක් තමයි කවිකඳුර කියන්නේ. 
                           සාමාන්‍ය නවකතාවක කතාව ගලාගෙන යන ආකාරයට වඩා වෙනස් ආකාරයකට තමා මේ පොත ලියලා තියෙන්නේ. කතාකරන භාෂාවෙන් ලියපු නිසාත් මට මේ පොත වෙනස් පොතක් උනා.
                       2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නෙත් කවිකඳුර.
 

Tuesday, June 27, 2017

සීට්ටු

අහපන් නයනක්කේ,
හම්බවෙන සොච්චමෙන්
භාගයක් ගෙදරට ,
ඉතිරියෙන් කොටසක්
දෙනවා බෝඩිමට,
උදේ දවල් කෑම
ශේප් වෙනවා වැඩපොලෙන්
රෑට ඔය පොඩි දෙයක්
හොඳටෝම ඇති
බඩගින්න නැතිවෙන්න
කොහොමද බං මම ගන්නෙ
අසාවට චේන් පොටක්
නෑනේ කිසි ඉතුරුවක්....

අල්ලපන් සීට්ටුවක්
මම එහෙමයි
මගේ වැඩ කරගත්තෙ
සල්ලි වගේම
දැම්මා නොයෙකුත් සීට්ටු
උඹටත් පුළුවන් නංගියේ
ඒ විදිහට එකතු කරගන්න
සල්ලි වගේම දෑවැද්දට බඩුත්..


ලේසියෙන් සල්ලිනම්
හොයතහැකි ඇති තරම්
ඒත් බං නංගියේ
රැක ගනින් උඹේ නම
අවුරුදු පහක් වත්
වැඩ කලොත් උඹ මෙතන
හොඳට කල්පනා කර
ගැලපුවොත් උඹේ පඩිය
උඹට බැරි නෑ
මං වගේ ගොඩ යන්න...

ලැබුනා උපදෙසක්
රන් හා  වටින
උඹට පින් නයනක්කේ

මට කියලා දුන්නාට...

අනේ උඹේ පින්
මට එපා උඹ ගනින්
මම වගේම උඹත්
කෙල්ලෙක්නෙ බං
මෙහෙ ඇවිත් දුක්
විඳින...




Friday, June 23, 2017

සෙනසුරාදා

අද උදේ ඇහැරිලා බලද්දී ලයිට් ඩිම් වෙලා. මෙලෝ වැඩක් කර්ගන්න බෑ කළුවරේ. ඒ මදිවට මොරසූරන වැස්ස. කැම්මැලි උනත් වැඩට නොයා බෑනෙ ලෑස්ති වෙලා පාරට ගිහාම හංදියෙ කඩේ මාමා කිව්වා අද සීටීබී බස් එක නෑ කියලා. අනිත් පාරේ යන වෑන් එක එයිනෙ කියලා හිතාගෙන පාරෙන් එහා පැත්තට ගියා විතරයි මෙන්න එනවා බස් එක. ආයේ පාර පැනලා දුවන් ඇවිත් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටිකට් කඩන ගමන් කියනවා ඔයා බස් එක ඇතුල තෙමුවා කියලා. බස් එකනම් මොකද අනේ මේ මාත් හොඳටම තෙමිලා කියලා මම ගිහින් වාඩි උනා. බස් එකෙන් බැහැලා ස්ටේෂන් එකට ගිහාම කියපි කෝච්චිය විනාඩි 25 ක් පරක්කුයි කියලා. කොහොමහරි කෝච්චිය කියපු වෙලාවට ආවා. ගම්පහින් බැහැලා මීගමු බස් එකට නැග්ගා. ඒක කාන්සියට මීගමු යන බස් එකක්. හෙමින් හෙමින් ඔහේ යනවා. මිනිස්සුත් තම තමන්ගේ ලෝක වල හුදකලා වෙලා ගාටනව කියලා වගේ වගක් නැතුව ඔහේ ඉන්නවා.  අද මම වැඩට ආවේ විනාඩි 25ක් පරක්කු වෙලා.අදනම් කිසි කමකට නැති දවසක් උනා.

Thursday, June 22, 2017

අරගලය


අනේ මහත්තයා මේක 
ආයේ මහන්න බෑ 
අලුත් එකක් ගන්න
සපත්තු මහන්නා 
එහෙම කිව්වම 
මාව සීතල වෙලා ගියා..
අලුත් සපත්තු ජෝඩුවක් 
රුපියල් දෙදහක් විතර
කොල්ලාට කැම්පස් යන්න බෑ
පෙරේතය වගේ
දොස්තර මහත්තයෙක් 
වෙන්නනෙ ඉගන ගන්නේ
ඉතින් අරන් දුන්නා 
මේ මාසෙ පඩියෙන් 
අලුත් සපත්තු 
ජෝඩු දෙකක්ම
අත්තිකාරමක් වත් දමා
ගන්නවා හවසට 
අඩු ගනන් සපත්තු ජෝඩුවක්
එහෙම හිතාගෙන 
ඔෆීසියට ඇවිත් 
පටන් ගත්තා වැඩ
අන්න අරුන්
මෙඩ්ඩෝ රිංගලලු
අමාත්‍යාංශයට
ගහලලු ඔක්කොටම 
තුවාලළු ළමයින්ට
ඔෆීසියේ කතාවක්
මාත් බය උනා හොඳටම
අපේ එකත් ඇති ඔය අතර
එතකොටම මට
කෝල් එකක්
අන්කල් "මියුරු ඉස්පිරිතාලේ"
ඔලුව පැලිලා 
දමා කෙටි නිවාඩුවක්
දිව්වා රෝහලට
දොස්තර කෙනෙක් වෙන්න
ඉගන ගන්න ගිය
මගෙ කොල්ලා 
වට කරන් බෙහෙත් දානව
දොස්තරලා
මගෙ පුතේ මේ අහපන්
අපට බෑ රට හදන්න
අනේ මට දුක් නොදී 
උඹවත් හැදියන්
රට ගියදෙන් යකාට
එහෙම කියන්න 
හිතට ආ සිතුවිල්ල
හිතෙම තද කරන්
කිට්ටු උනා 
කොල්ලා ලඟට
"තාත්තේ" 
උන් අපට ගැස්සුවා
අසාධාරණයට 
විරුද්ධව අරගල කරපු
වරදට
කඳුලු පිරිච්ච
කොල්ලගේ ඇස් 
කිව්වා එහෙම කතාවක්...



Wednesday, June 21, 2017

ඩෙංගු


ඩෙංගු වසංගතයක් බවට පත්වෙලා. ලංකාවේ රෝහල් වලට රෝගීන බාරගන්න බැරි තරමටම රෝගීන් සංඛ්‍යාව ඉහල ගිහින්.එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්නවාලු.ඩෙංගු නිසා අහිමි වෙන ජීවිත ප්‍රමාණයත් ඉහළ ගිහින්. දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන්, සහෝදරයන්,හිතවතුන් ඩෙංගු මදුරුවෙක් නිසා අපෙන් වෙන් වෙද්දී හිතට වේදනාවක් එක්කම දැනෙන්නේ කේන්තියක්
                              ඇයි මේ රෝගය මැඩ පවත්වන්න රජය මැදිහත් නොවෙන්නේ.ඇයි රාජ්‍ය සේවයේ වගකිව යුත්තෝ අහක බලාගෙන ඉන්නේ.ඩෙංගු මදුරුවා එක එක විදිහට කාලය හා පරිසරයට අනුගත වෙලා වෙනස් වෙනවලු.රෝග ලක්ෂණ වගේම රෝගයෙන් වෙන හානියත් වෙනස් වෙනවලු
                               දැන්වීම් පත්‍රිකා, උපදෙස්, දඬුවම් මගින් මේවා මැඩලන්න පුලුවන්ද? දැන්වීම්, උපදෙස් අහනවා බලනවා දකිනවා විතරයි. දඩ මුදල් වලින් රජයට කීයක් හරි එකතුවෙයි. ඒත් රෝගය පැතිරීම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.
                                   මගෙත් ලඟම ඥාතියෙක් ඩෙංගු රෝගයෙන් මිය ගියා. රජයෙන් කලේ මොකක්ද අහළ පහළ ගෙවල් අවටට දුම් ගහලා අතපිහිදා ගත්තා. ඒකෙන් මදුරුවෝ බෝ වෙන එක නතර වෙයිද?මෙයට මෙයිට වඩා සාර්ථක පිළියමක් අවශ්‍යයි. ජනතාවගෙන් වගේම රජයේ මැදිහත් වීමත් අවශ්‍යයි.තමන්ගේ කුණු අනුන්ගේ නිවසක් ඉදිරිපිටට හෝඅ මහපාර අයිනට ගෙනිහින් දාන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක් මේක.

                        මෙයිට වඩා කාර්යක්ෂම හා සාර්ථක ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතුයි. මෙයිට වඩා අඩු පහසුකම් තියාගෙන මැලේරියාව සම්පූර්ණයෙන් මර්දනය කලා නම් ඇයි ඩෙංගු මර්ධනය කරගන්න අපට බැරි.
               
       
ජනතාවගේ උත්සාහයයි කැපවීමයි රජයේ මැදිහත්වීමයි තියනවා නම් මේ අභියෝගය ජයගන්න බැරි කමක් නෑ.තමනෙගේ කෙනෙක් අහිමි වෙන්න කලින් අපිත් හිතලා බලමු. අපේ ගෙවල් අවට පිරිසිදු කරන්න දවසකට පැයක් වෙන් කලානම් හොඳටම ඇති. පුලුවන්තර්ම් වතුර එකතු වෙන්න ඉඩ නොතියා තණ කොළ පඳුරු වැවෙන්න ඉඩ නොතියා අපිත් අපේ වගකීම ඉටු කරමු. අරයා මෙයා කරනකන් බලා නොසිට අපිත් අදම මේ මොහොතෙම අපේ යුතුකම ඉෂ්ඨ කරමු..