Tuesday, January 23, 2018

Tube House

             දියුණු රටවල් වල මෙන්ම නොදියුනු රටවල් වලද, ප්‍රධාන නගර ආශ්‍රිතව පදිංචියට සුදුසු නිවසක් හොයාගන්න එක තරමක් දුෂ්කර කාර්යයක්. නිවාස තිබුනත් ඒවායේ බදු , කුලී මුදල් ගොඩක් අයට ඔරොත්තු දෙන්නෙ නෑ. මිලට ගන්න ගියත් ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නෙ. මධ්‍යම පාන්තිකයින්ට තමන්ගේම නිවහනක් ප්‍රධාන නගරයකින් මිලට ගැනීම හීනයක්. ලෝකයේ බොහෝ රටවල මෙයට පිළියම් වශයෙන් තට්ටු නිවාස ගොඩ නැගුනා. ඊට අමතරව අපේ රටේ නැතත් වෙන රටවල් වල මේ සඳහා විසඳුම් හොයන්න, අඩු වියදමකින් නිවාස නිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ උත්සාහ කරනවා. මම මේ කියන්න යන්නෙත් නිවාස ගැටළුවට විසඳුමක් ලෙස නිර්මාණය උන නිවාසයක් පිළිබඳව.

                                         හොංකොං කියන්නේ ගොඩක් ජනාකීර්ණ රටක්. හොංකොං වලින් පදිංචියට සුදුසු නිවසක් කුලියට ගන්න එක ඒතරම් ලෙහෙසි පහසු  දෙයක් නෙමෙයි. හොඳ තත්ත්වයේ එක නිදන කාමරයක් සහිත නිවසකත් මාසික කුළිය ඩොලර් 2100 පමන වෙනවා. මෙවැනි මුදලක් දරගන්න බැරි නිසා ගොඩක් මිනිස්සු ඉතා අඩු මුදලකට කුලියට ගන්න පුලුවන් කුඩා කාමර වල ජීවත් වෙනවා . මේවා කොෆීන් කියුබිකල් (Coffin Cubicle)  නමින් හඳුන්වනවා.( ඒ ගැන විස්තරයක් මම පසුව ලියන්නම්.)

                     ජේම්ස් ලෝ සය්බටෙක්චර් (James Law Cybertecture)   සමාගම නිවාස ගැටළුවට පිළියමක් විදිහට පහසුකම් සහිත කුඩා නිවාසයක් හඳුන්වා දී තිබෙනවා.   ඒ තමයි  Opod Tube House. කොන්ක්‍රීට් වතුර නලයක් පහසුකම් සහිත නිවසක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මෙම කුඩා නිවාස අනුරුව නිර්මාණය කොට තිබෙන්නේ. වර්ග අඩි දහසක විෂ්කම්භයකින් සහ අඩි අටක් පළලැති මේ නිවසේ අභ්‍යන්තරය තනි පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ජීවත් විය හැකි පහසුකම් වලින් සමන්විතයි.  අවශ්‍ය විට දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් ලෙස දිග හරින්න පුලුවන් සෝෆාවක්, මයික්‍රොවේව් උඳුනක් සහ කුඩා ශීතකරණයක් මෙන්ම පහසුකම් සහිත නාන කාමරයකින් මෙම නිවස සමන්විතයි. ඇතුලත සුදු වර්ණය ආලේප කර ඇති නිසා ඉඩකඩ වැඩිපුර පෙන්වන බව මෙහි නිර්මාණකරුවෝ පවසනවා. අවශ්‍ය විටක ජනෙලයක් විදිහට කොටසක් විවෘත කරන්න පුලුවන් රවුම් වීදුරු දොර නිසා හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය මෙම නිවසට ලැබෙනවා. එමෙන්ම මෙම දොර ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයකින්  අරින්න වහන්න පුලුවන් අන්දමට නිර්මාණය කොට තිබෙනවා.

                  මෙහි නිර්මාණ කරුවන් පවසන ආකාරයට මෙම කුඩා නිවාස, සාමාන්‍ය නිවාසයක කුලී මුදල දරාගන්න අපහසු තරුණ තරුණියන්ට මෙන්ම රැකියාවක් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිනෙන අයට ,වසරකට දෙකකට ජීවත් වීමට සුදුසුයි. මෙහි රවු හැඩය නිසා ගොඩනැගිල්ලක් ඉදිකරන්නට නොහැකි කුඩා ඉඩක උනත් ස්ථානගත කරන්න පුලුවන්. අවශ්‍යනම් වෙනත් තැනකට රැගෙන යන්නත් පුලුවන්. ටොන් විසිදෙකක් පමන බරැති මේ ටියුබ් නිවාස හිස් ඉඩක තැනපත් කරන්න යන වියදමත් ඉතා අඩුයි.
මෙහි නිෂ්පාදන වියදම ඩොලර් 15000 පමන වෙනවා. මෙම නිවසක් ඩොලර් 400 පමන මුදලකට කුලියට දෙන්න පුලුවන් බව නිර්මාණකරුවෝ පවසනවා.

      මේවගේ නිවාස අපේ රටට උනත් ගැලපෙනවා. කර්මාන්තශාලා ආශ්‍රිතව, විශ්ව විද්‍යාල ආශ්‍රිතව අඩු පහසුකම් සහිත  බෝඩිම් කාමර වල ඉන්න අයට උනත් හොඳ විකල්පයක්. මටත් ආසා හිතුනා මේවගේ ගෙදරකට. ඉන්න බෑ කියලා හිතුනොත් රෝල් කරගෙන කැමති දිහාකට යන එක විතරනෙ තියෙන්නෙ.










Monday, January 22, 2018

ළොව විශාලතම පිංතූර රාමුව Dubai Frame

පසුගිය වසරේ තිබුනු සමීක්ෂණයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලොව ධනවත් රටවල් අතුරෙන් නව වෙනි ස්ථානයට පත්වුනා. එමිර් රාජ්‍ය විටින් වීට අපූරු නිර්මාණ ලොවට දායාද කරනවා. ලොව උසම ගොඩනැගිල්ල වන බුර්ජු කලීෆා ගොඩනැගිල්ල,එහිම නිර්මාණය කර ඇති ලොව උසම කුළුණ වන ස්කයිස්ක්‍රේපර් , ලොව විශාලතම සුපිරි වෙළඳ සැල් සංකීර්ණය වන ඩුබායි මෝල්, රියදුරන් රහිතව ධාවනය වන ලොව දිගම මෙට්‍රෝ දුම්‍රිය පද්ධතියට එමීර් රාජ්‍ය හිමිකම් කියනවා. ඔවුන්ගේ අලුත්ම නිර්මාණය තමයි "ළොව විශාලතම පිංතූර රාමුව". එය ඩුබායි ෆ්‍රේම් ලෙස නම් කර තිබෙනවා.
   මෙම රාමුව නිර්මාණයට ඩිරාම් මිලියන එකසිය හැටක් වැයවී තිබෙනවා. මෙය මෙක්සිකානු ජාතික ෆනැන්ඩෝ ඩෙනිස් නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්. මීටර් එකසිය පනහක උසින් යුත් කුළුණු දෙකක්  මීටර් සීයක විෂ්කම්භය ඇති වීදුරු පාලමකින්  යාකොට මෙම රාමුව නිර්මාණය කර තිබෙනවා. මෙය රන් පැහැති තහඩු වලින් ආවරණය කොට ඇති නිසා  දිවා කාලයේ සූර්යාලෝකය ලැබුනු විට රන් පැහැයෙන් දිදුලමින් අලංකාර දසුනක් මවනවා, නැරඹුම් මැදිරියේ සිට ඩුබායි නගරය සම්පූර්ණයෙන් නරඹන්න පුලුවන්. මෙහි දකුණු පස සිට බලන විට ස්කයිස්ක්‍රේපර් ද අනෙක් පසින් පැරණි ඩුබායි නගර‍යද දර්ශණය වෙනවා. මෙහි බිම් මහලෙහි තිබෙන කෞතුකාගාරයෙන් ධීවර ගම්මානයක්ව තිබූ ඩුබායි නගරය වර්තමානයේ පවතින තත්වයට ක්‍රමයෙන් නිර්මාණය වූ අන්දම දැක ගන්න පුලුවන්. ඒ වගේම වසර 2050 වන විට ඩුබායි නගරය තිබෙන ආකාරයද වීඩියෝ දර්ශන මගින් දකින්නට අවස්ථාව ලැබෙනවා. මෙය 2020 දී පැවැත්වීමට නියමිත එක්ස්ෆෝ 2020 ව්‍යාපාරික සමුලුවේ ලෝගෝ එක ලෙස භාවිතා කරන්නට තීරණය කොට තිබෙනවා.
ඩුබායි නගරයේ සංචාරක ස්ථාන අතුරෙන් මෙම රාමුව, අනෙක්වාට වඩා ආකර්ෂණය දිනාගනු ඇතැයි අනුමාන කරනවා. රාත්‍රියේදී විවිධ වර්ණයේ නියෝන් එළි මගින් මෙය අලංකෘත වෙනවා. දැනටමත් දෙස් විදෙස් ආකර්ෂණය දිනා ඇති ඩුබායි ෆ්‍රේම් ඉදිරිපිටට වී විවිධ ඉරියව් වලින් ඡායාරූප ගන්න සංචාරකයෝ වැඩි කැමත්තක් දක්වන බව සඳහන්.










Saturday, January 20, 2018

ලෝක රැවුල් කාරයන්ගේ තරඟාවලිය

මම ඔයාලා කාගෙන් හරි "ඔයාගේ විනෝදාංශය මොකක්ද?" කියලා ඇහුවොත් විවිධාකාර පිළිතුරු මට ලැබෙයි. පොත් කියවීම, රට වටේ සංචාරය, බයිසිකල් පැදීම, මල් හිටවීම, යම් කිසි ක්‍රීඩාවක් කිරීම, රූපවාහිනීය නැරඹීම, ඔය වගේ සාමාන්‍ය විනෝදාංශ තමයි ගොඩක් අයට තියෙන්නේ. ඒත් මේ ලෝකයේ තරමක් වෙනස් අන්දමේ විනෝදාංශ වලට හුරු උන අයත් ඉන්නවනෙ. රැවුල වැවීම ත් එහෙම වෙනස් අන්දමේ විනෝදාංශයක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට රැවුල වැවීම නෙමේ විවිධ මෝස්තර අනුව රැවුල වැවීම. මම මේ කියන්න යන්නේ රැවුල වැවීම විනෝදාංශය කරගත් ලෝක රැවුල් කාරයන්ගේ තරඟාවලිය ගැන (World Beard and Mustache Championship) . 
               මුලින්ම මෙහෙම තරඟාවලියක් පවත්වලා තියෙන්නේ 1970 වසරේ ඉතාලියේදී. එහෙත් වර්තමානයේ පවත්වන රැවුල් කාරයන්ගේ තරඟාවලිය ආරම්භ කරලා තියෙන්නේ 1990 දී ජර්මනියේදී. ඉතින් මෙහෙම ආරම්භ උන මේ තරඟාවලිය වසරින් වසර එක එක රටවල් වලදී ඒ රටවල සංගම් වල අනුග්‍රහයෙන් පවත්වනු ලබනවා. මේ තරඟාවලියත් එසේ මෙසේ තරඟාවලියක් නෙමේ. රැවුල වවා ඇති ප්‍රමාණ සහ හැඩ අනුව කාණ්ඩ කීපයකට වර්ග කර  මෙම තරඟය පවත්වනවා. විවිධාකාරයේ රැවුල් මෝස්තර තියන අය මේ තරඟයට සහභාගී වෙනවා.බැලූ බැල්මට මේවා ව්‍යාජ ඒවා බව පෙනුනට නෑ මේවා වය්‍යාජ ඒවා නෙමෙයි. මේ රැවුල් දැක්කම එයාලා කන්නෙ බොන්නේ නාන්නේ මූණ හෝදන්නෙ කොහොමද කියලත් හිතෙනවා. ඒවගේම මේවා නඩත්තු කරන්නත් මුදල් හා කාලය ගතවෙනවා ඇති. 2017 වසරේ පැවති තරඟාවලියට සහභාගී වී ජයග්‍රහනය කල රැවුල් කාරයින්ගේ රැවුල් විලාසිතා පහත ඡායාරූප වලින් දැකගන්න පුලුවන්.













Thursday, January 18, 2018

කල්පනාවෙන්


අපි යමක් කරද්දී අවට පරිසරය ගැන විමසිලිමත් වෙන්න ඕනා. මම මේ කියන්නේ ගෙදරදි නෙමේ මග තොටේදී බස් එකේදී කෝච්චියෙදි වගේ පොදු ස්ථාන වලදී. අපි නොහිතුවට අපි දිහා බලාගෙන අපි ගැන අවදානෙන් ඉන්න පුද්ගලයන් ඉන්නවා. මට එහෙම කියන්න හිතුනේ අද උදේ මම නැගපු බස් එකට මගින් නැගපු ගැහැණු ළමයෙක් සීට් එකේ වාඩි වෙලා ෆෝන් එක ඔබනවා මෙලෝ කල්පනවාක් නැතුව. මට හිතුන විදිහට එයා කාත් එක්ක හරි චැට් කරනවා හෝ මැසේජ් කරනවා. ඊට පස්සේ හෝල්ට් එකෙන් නැගපු පිරිමි ළමයෙක් ඒ ළමයා ගාවින් හිටගෙන අර ළමයාගේ ෆෝන් එකට එබිලා එයා ටයිප් කරන ඒවා කියෝනවා. ගැහැණු ළමයාට ඒ ගැන වැටහීමක් නෑ. ඒ ගැහැණු ළමයා මොනවා ටයිප් කරාද දන්නෙ නෑ අර පිරිමි ළමයාගේ මුහුණේ මැවුනේ පුදුම හතටත් වඩා පුදුමයක් දැක්කම මුහුණේ මැවෙන විශ්මයාර්ථයක්. ඒ පිරිමි ළමයා බස් එකෙන් බහින්න දොර ගාවට ගිහිල්ලත් අර ගැහැණු ළමයා දිහා හැරිලා බැලුවේ අර විශ්මයට පත් උන මූනෙන්මයි. ඒ පිරිමි ළමයා ගැහැණු ළමයාගේ හැඩරුව හොඳින්ම මතකේ තියාගත්ත වගනම් තේරුනා. ඇය ටයිප් කලේ අතිශයින්ම පෞද්ගලික දෙයක් නම් දැන් අර පිරිමි ළමයා ඒක දැනගෙන ඉවරයි. තවත් දවසක ඔහුගේ යාළුවෙක් එක්ක යද්දී ඒ ගැහැණු ළමයව දැක්කොත් ඔහු කියවපුවා යාළුවා සමග නොකියා හිඳීවිද. අපට අනිත් මිනිස්සු හදන්න බෑ. ඒත් විමසිල්ලෙන් ඉන්න. විශේෂයෙන් ගැහැණු ළමයි. අනුන්ගේ දුරකතනය කට එබෙන එක ඒ තරම් හොඳ ගුණයක් නූනට ගොඩක් අය ඒ වැඩේ කරනවා. ඒ නිසා කල්පනාවෙන්..

Tuesday, January 16, 2018

ලොව සීතලම ගම්මානය



ලොව සීතලම ගම්මානය පිහිටලා තියෙන්නේ සයිබීරියාවේ. සයිබීරියාව කියන්නේ රුසියාවේ කොටසක්. උතුරු ආසියාව කියලත් සයිබීරියාව හඳුන්නනවා.රුසියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 77% ක් සයිබීරියාවට අයත් උනත් ජන ඝනත්වය ගොඩක් අඩුයි. සයිබීරියාවේ උතුරු ප්‍රදේශය වසරකට මාස අටක පමන ශීත සෘතුවකට මුහුණ දෙනවා. මේ මම කියන කුඩා ගම්මානය පිහිටලා තියෙන්නෙත් සයිබීරියාවේ උතුරු ප්‍රදේශයේ. 
          Oymyakon කියන ගම්මානයේ ජනවාරි මාසයේ උෂ්ණත්වය ලෙස වාර්තාවී තිබුනේ -67C ක්. මෙම ගම්මානයේ පන්සීයක් පමන ජනතාවක් ජීවත් වෙනවා.කොයිතරම් සීතලද කියනවනම් නිවාස වලින් පිටතට පැමිනියොත් ටික වෙලාවකින් ඇහි පිහාටු වල පවා හිම මිදෙනවළු. එහි ජීවත් වෙන ජනතාවට මේ සීතල නිසා එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන ගැටළු බොහොමයි.
ඔවුන් භාවිතයට ගන්නා පෑන් වල තීන්ත මිදීම, බැට්‍රි අක්‍රීය වීම වැනි සුලු දේවල් නිසාත් ඔවුන් අපහසුතාවයට පත්වෙනවා. ක්‍රියා විරහිත කලොත් යලි පන ගන්වන්න බැරිවෙයි කියන බයට ඔවුන්ගේ වාහන දවස පුරාම ක්‍රියාමත්ක කර තියනවළු.
 මෙහි පොළව ගලක් වගේ ඝනකම් නිසා මරණයක් උනහම අවසන් කටයුතු කරන්න වලක් හාරන එක එතරම් ලේසි පහසු වැඩක් නෙමේ. මුලින්ම වලක් කැපීමට අවශ්‍ය ප්‍රමාණයට හිම දිය කරගත යුතු වෙනවා, ඒ සඳහා එම ස්ථානයේ ගිනි මැලයක් ගසා පැය කීපයක් තබනවා. ඉන්පසු සිදුරක් සාදා රත්වූ ගල් අඟුරු ඔබනු ලබනවා, මේ විදිහට දින කීපයක් කරලා තමයි ඔවුන් මිනී පෙට්ටියක් දාන්න පුලුවන් තරම් වලක් හාර ගන්නේ. 
මේ ගම්මානේ තියන මාළු වෙළඳ සැල් වල්ට ශීතකරණ අවශ්‍ය වෙන්නෙ නෑ. අධික සීතල නිසා මාළු නරක් නොවී එළිමහනේ තියා ගන්න පුලුවන්. මෙහි ජීවත් වන ජනතාව එළිමහනේ ගත කරන්නේ සුලු කාලයක් විතරයි. සීතල නිසාම ඔවුන් නිවාස අභ්‍යන්තරයට වී ඉන්න උත්සාහ කරනවා. ශීත සෘතුවේදී මෙම ප්‍රදේශයට ආලෝකය ලැබෙන්නේ  දිනකට පැය තුනක කාලයක් පමනයි. දිනක ඉතුරු කාලය තියෙන්නේ අඳුරු වෙලා.