Friday, January 12, 2018

කාන්තාවන්ට පමනක් වෙන්වූ වාහන ප්‍රදර්ශනාගාරයක්

                 සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම,මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ මැදිහත් වීමෙන් පසුගිය වසරේ ඉවත් කලා. කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර තිබූ එකම රට උනේ සෞදි අරාබිය.
            ඊට මාස පහකට පස්සේ , ජනවාරි එකලොස් වෙනිදා ප්‍රථම වරට කාන්තාවන්ට පමනක් වෙන්වූ වාහන ප්‍රදර්ශනාගාරයක්(.women only car showroom) ජෙඩා නගරයේ වෙස්ටන් රෙඩ් සී පොර්ට් සිටී (western Red Sea port city) හිදී විවෘත කරලා.මේ ප්‍රදර්ශනාගාරයට පැමිනෙන කාන්තාවන්ට ගැලපෙන වාහන මාදිලි විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා තියෙනවලු. කාන්තාවන්ට පමනක් නිසා, එහි සේවයට යොදවලා තියෙන්නේ කාන්තා සේවිකාවන් විතරලු. අවශ්‍ය නම් පහසු ගෙවීමේ පදනම යටතේ වාහන මිලදී ගැනීමට පහසුකම් සලස්වල තියනවලු. මේ වගේ ප්‍රදර්ශනාගාර රට පුරා විවෘත කරන්න එම ආයතනය බලාපොරොත්තු වෙනවලු.
              සාධාරණ මිලකට වාහන මිලදී ගන්න පුලුවන් නම් හොඳයි කියලා සෞදි කාන්තාවන් අදහස් දක්වලා තිබුනා.සෞදි රජය ජනවාරි මාසයේ ගෑස් මිල වැඩිකිරීමත් වැට් බදු හඳුන්වා දීමත් සමග සෞදි ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා.
             මෙම ප්‍රදර්ශනය නැරඹීමට සෞදි කාන්තාවන් විශාල පිරිසක් ගොඩක් උද්‍යේගයකින් සහභාගී උනාලු. ඔවුන් වාහන ඉදිරිපිටට වෙලා සෙල්ෆී ඡායාරූප ගත්තලු. සමහරු වාහන වල වාඩි වෙලා ස්ටියරින් වීල් එක ආසාවෙන් අතපත ගෑවලු. වාහනයක් පදවාගෙන නිදහසේ පාරේ යන්න දැන් ඔවුන් හීන මවනවා ඇති. මේ පටන් ගැන්මත් එක්ක ආගමික කාරනා හේතුවෙන් සෞදි කාන්තාවන්ට පනවා තිබූ නීති ටිකෙන් ටික ලිහිල් වේවි. සෞදි කුමාරයා සෞදි අරාබිය නවීන ලෝකයට සරිලන ලෙස ටිකින් ටික වෙනව් කරාවි කියලයි විචාරකයො පවසන්නේ. අපිත් සෞදි කාන්තාවන්ට සුබ පතමු.





Wednesday, January 10, 2018

සහරාවට හිම වැටිලා

ගෝලීය උණුසුම වැඩිවෙනවත් එක්කම ලෝකය කනපිට හැරෙන්න පටන් අරන්. මේ වසරේ ශීත සෘතුවේ අධික හිම පතනය සහ අධික ශීතලත් එක්ක රටවල් බොහොමයක් අපහසුතාවට පත්වුනා. අපටත් සීතල දවස් කීපයක් තිබුනනෙ.
                 කාන්තාරෙකට හිම වැටෙනවා කිව්වොත් කවුරුත් පිළිගන්න එකක් නෑ. ඒත් ඔන්න ලෝකයේ විශාලතම හා උණුසුම්ම කාන්තාරයට හිම වැටිලා.ඔව් සහරා කාන්තාරෙට තමා. සමහර ප්‍රදේශ වලට අඟල් 16 ක පමන හිම තට්ටුවක් දකින්න ලැබුනලු. වසර හතලිහක් තුල මේ විදිහට හිම වැටුනේ දෙවනි වතාවටලු. 1979 වසරේදීත් මේ විදිහටම හිම වැටිලා තිබුනලු. වැලි කඳු වලට හිම වැටුනම කොයිතරම් ලස්සනට තියෙන්න ඇතිද? බලන්නකො මේ පිංතූර ටික.







Tuesday, December 26, 2017

ක්‍රිස්ටීන් ස්පීට්ල් විල්සන්


දොස්තර ආර්.එල් ස්පීට්ල් මහත්මයව අපි කවුරුත් දන්නවනේ. එතුමාගේ මැකී ගිය දඩමං, වනගත ලංකා, ලක් බිමේ තවත් යුගයක්, සුදු වැද්දා, සුදු ගෝනා පොත් කියවලා නැති නම් පොත් කියවන එකෙනුත් වැඩක් නෑ. මම අද කියන්න යන්නේ එතුමාගේ දියනිය වන ක්‍රිස්ටීන් ස්පීට්ල් විල්සන් මහත්මිය ගැන. 
සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ලේකඛයෙක් වන රිචඩ් ලයනල් ස්පීට්ල් මහතාගේ සහ වෛද්‍ය ක්ලේරී ස්පීටිල් මහත්මියගේ වැඩිමහල් දි‍යණිය ලෙස ක්‍රිස්ටීන් ස්පීට්ල් 1913 කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේදී ජන්ම ලාභය ලබනවා. ඇයට බාල සහෝදරියක් සිටිය මුත් ඇය කුඩා කලදීම මිය යනවා. කොළඹ බිෂොප් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන කුඩා ක්‍රිස්ටීන් උසස් අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයේ බ්‍රයිටන්හි රෝඩන් විද්‍යාලයෙන්.
ක්‍රිස්ටීන් කුඩා අවදියේ සිටම ඇගේ පියා නිවාඩුවක් ලද විගස වනගත් පෙදෙස් වල සංචාරය කරනවා. ඔහු සහ වැද්දන් අතර අපූරු සභඳතාවක් තිබුනාලු. එවැනි ගමන් වලට ක්‍රිස්ටීන් සහ ඇගේ මවත් සහභාගී උනාලු. ක්‍රිස්ටීන්ගේ මව වෛද්‍යවරියක් උනත් ඇය වෘත්තියක් ලෙස වෛද්‍යවෘතිය තෝරාගෙන නැහැ. Christine a memory පොතේ කියන විදිහට ඇය ගෙදර දොරේ වැඩ කරගෙන උන්නලු. ඉන්පසු ස්පීට්ල් මහත්මයා අරම්භකල, ඔවුන්ගේ නිවස වන විචරිලියේම පවත්වාගෙන ගිය ශල්‍යාගාරයේ වැඩට ඇගෙන් විශාල සහයෝගයක් ලැබුනලු. දහඅට වන වියේදී අධ්‍යාපන කටයුතු හමාර කොට ලංකාවට පැමිනෙන ක්‍රිස්ටීන්ව දෙමාපියන් විසින් සමාජයට හඳුනවාදෙනු ලබනවා. ඒත් ඇයට එම උත්සව නිරස වූ බව ඇගේ පොතේ සටහන් කරලා තිබුනා.
1933 නොවැම්බර් 17 වැනිදා විසිවන වියේ පසුවූ ක්‍රිස්ටීන් රයන් නැමති තේ වැවිලි කරුවෙකු සමග විවාහ වෙනවා. එම විවාහයෙන් ඇයට ලැබෙන දියණිය ඈන් හැදී වැඩෙන්නේ ඇගේ ආච්චී හා සීයා ගාව. ක්‍රිස්ටීන් සහ රයන්ගේ විවාහය සාර්ථක වෙන්නෙ නෑ ඔහුගෙන් දික්කසාදවන ක්‍රිස්ටීන් දෙවනි වතාවට මේජර් ඇලිස්ටෙයාර් මැක්නේල් විල්සන් සමහ විවාහ වී දියණියත් සමග ලන්ඩනයේ පදිංචියට යනවා.එංගලතයේ ජීවත් වෙද්දි තමයි ක්‍රිස්ටීන් වැඩිපුර ලියන්න පටන් ගන්නෙ. එංගලන්තයෙන් පිටවී ලංකාවට එන ක්‍රිස්ටීන් සැමියා සමග ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන්ගේ විවේක කාලය ගෙවෙන්නෙ ඇගේ පියාමෙන්ම වනාන්තරවල සංචාරයටයි. ඒ තරම් පහසුකම් නොතිබුන ඒකාලේ ඒ ගමන් ගොඩක් සුන්දර වෙන්න ඇති.
ඇගේ Christine a memory පොතේ විල්පත්තුව ගැන විශේෂයෙන් සඳහන් කරලා තියනවා. විල්පත්තුවේ දිවියො ගොඩක් ජීවත් උනාලු. ඊලාම් යුද්ධෙත් එක්ක විල්පත්තුව විනාශ උන එක ගැන එයා ගොඩක් දුක්වෙන බව සටහන් කරලා තිබෙනවා. අද විල්පත්තුවට වෙලා තියන විනාශය දකින්න තරම් ඇය ජීවත් උනේ නැති එකත් වාසනාවක්.
1948 ලංකාවට නිදහස ලැබිලා බ්‍රිතාන්‍යයන් බහුතරයක් ලංකාවෙන් පිටවෙනවා. ක්‍රිස්ටීන්ගේ සැමියා බොහෝ කාලයක් සේවය කල කලම්බු කොමර්ෂල් සමාගමෙන් ඉවත් වෙලා ඇයට විදේශගත වෙන්න ආරාධනා කරනවා. ඔවුන් පදිංචි වෙන්නෙ කෙන්යාවේ. ඔවුන් අප්‍රිකාවේ වනාන්තර වල සංචාරය කරන්නෙ හරිම ආසාවෙන්. වසර විස්සකට පස්සේ ලංකාවේ පදිංචියට එන ක්‍රිස්ටීන් අවුරුදු 97 ආයු වලඳා 2010 දී අවසන් හුස්ම හෙලනවා.
ඇගේ පොත් අතරින් තිත්ත කෝපි, කඳුකර මාවත, වන වැදුණු දොස්තර, වීර දිවයින, අත්තටු මැවිලා යන පොත් ලංකාවේ පාඨකයන් අතර අදටත් ප්‍රසිද්ධයි. ක්‍රිස්ටීන් පොත් පහලවක් ලියා පල කරලා තියනවා.
ඇය ගැන වැඩි විස්තර දැනගන්න කැමති ඇය "ක්‍රිස්ටීන් ස්පීට්ල් මතක සටහන්" පොත අරන් කියවන්න
.





Tuesday, December 19, 2017

රිවස්ටන්


මම පහුගිය ඉරිදා රිවස්ටන් ගිය නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. ගිය අයත් ඇති, නොගිය අයත් ඇති. මාතලේ නකල්ස් ආශ්‍රිතව තමයි රිවස්ටන් පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ඒ ගමනෙදි පුංචි ලෝකාන්තය බලාගන්න පුලුවන්. චාරිකාව යද්දී හොඳ තත්වයේ වාහනයක යනවා නම් වඩාත් හොඳයි. කඳු හෙල් වංගු බහුල පටු පාරක් නිසා බ්‍රේක් හොඳට වැඩ කරන වාහනයක යන එක හොඳයි.
මාතලේ පහුවෙලා උඩට යනකොට රබර් වතු, එනසාල් වතු, තේ වතු වගේම හෙල් මලු ක්‍රමයට හදපු කුඹුරු, ෆයිනස් වගාවන්, ස්වභාවික වනාන්තර දැක බලාගන්න පුලුවන්. මේ දවස් වල මීදුම ටිකක් තදයි. විටින් විට ළඟ ඉන්න කෙනාව පේන්නෙ නැති වෙන්නම මීදුම අපිව වසාගන්නවා. ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි. වාතය හරිම පිරිසිදුයි. බස්නාහිර පලාතේ ඉන්න අපට එහෙට ගිහින් හුස්ම ගන්නකොට ඒ වෙනස හොඳට දැනෙනවා. දූව්ලි නැති දුමාරය නැති විනාශ නොවූ පරිසරය ඇත්තටම මගේ හිත පුදුම විදිහට සන්සුන් කලා. රිවස්ටන් ගොඩක් වැදගත් වෙන්නේ සුළං කපොල්ල නිසයි.
රිවස්ටන් වලින් කිලෝමීටර් හතක් පමන දුර ගිහාම පිටවල පතන හමුවෙනවා. කොළ පාට තැනිතලවක්. පායන කාලෙටනම් දුඹුරු පාට වෙනවලු. පාරේ ඉඳන් පතනේ කිලෝමිටරයකට ආසන්න දුරක් ගිහාම පුංචි ලෝකාන්තය දැක ගන්න පුලුවන්. එතනට යන්න නියමිත පාරක් හදලා නෑ. පතනෙ මැද්දෙන් හොයාගන්න පුලුවන් වෙන්න ගල් වල සුදු පාට සලකුණු යොදලා තියනවා. පුංචි ලෝකාන්තය බලන්න ගිහාම ආරක්ෂාව පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂක වැටක් සවි කරලා නෑ. සුළං තදයි. අපිව ආපස්සට තල්ලු කරන තරමට වෙලාවකට සුළං හමනවා. එතන ඉඳන් පහල බැලුවම කොල පාටට අවට පේනවා. කඳු පංතියත් ලස්සනට බලාගන්න පුලුවන්. පුංචි ලෝකාන්තෙට හැරෙන පාර ගාව ඉඳන් ටික දුරක් ගිහාම තෙල්ගමුව ඔයේ සීතල වතුර නාගන්නත් පුලුවන්. හැබැයි කල්පනාවෙන්. වතුර වැඩිවෙන්වලු හිටපු ගමන්.
මෝටර් බයික් වල යන පිරිමි ළමයි දැක්කා. පරිස්සමෙන් ගියොත් වාහනේක යනවට වඩා අපූරුවට වට පිටාව බලන්න පුලුවන් කියලා මට හිතුනා.
අවාසනාවට හොඳ වර්ගයේ කැමරාවක් මාගාව නෑ. කෝල් ගන්නයි ජීපීඑස් ඕන් කරන් ගිය නිසා ෆෝන් එකේ බැට්‍රි භාගෙකටත් වඩා අඩුවෙන් තිබුනෙ. ඒක නිසා මට හොඳ ෆොටෝ ටිකක් ගන්න තිබුන අවස්ථාව මහ ඇරුනා.
තව එකක් වැහි කාලේ ගිහාම අපිව සාදරයෙන් පිළිගන්න කට්ටියක් බලන් ඉන්නවා. කූඩැල්ලෝ. 😁😁😁😁😁😁😁😁😁
තව ඉල්ලීමක් ඔයාලා එහෙ ගිහාම ටොපි කොළයක් තරම් දෙයක්වත් පරිසරයට එකතු නොකරන්න වගබලා ගන්න. වාසනාවට තාමත් ඒ පරිසරය පවිත්‍රයි. කවුරුවත් ශොපින් බෑග් එකක්වත් දාලා ගිහින් තිබුනෙ නෑ.








Monday, December 18, 2017

රාජකීය විවාහය

එංගලන්තයේ රජ පවුල කාලයෙන් කාලයට ලෝකයේම අවධානය යොමුවෙන විදිහේ පුවත් මවනවා. පහුගිය දවස් වල කාගේත් අවධානයට ලක්වෙලා තිබුනේ හැරී කුමරුගේ විවාහ ගිවිස ගැනීම. මමත්එං ගලන්ත රජ පවුලේ ඕපාදූප ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න නිසා මේ ටික ලියන්න හිතුනා. 
හැරී කුමරු එක්ක විවාහ ගිවිසගත්ත කාන්තාව මේගන් මාකල්. ඇගේ මව අප්‍රිකාණු සම්භවයක් ඇති කාන්තාවක්. මේගන් ඇමරිකාණු ජාතික කතෝලික තරුණියක්. ඇය ටෙලි නාට්‍ය හා චිත්‍රපටි නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. චිත්‍ර පට නිෂ්පාදකයෙක් සහ නළුවෙක්

වන ට්‍රෙවෝ එංගල්සන් සමග විවාහ වී වසර දෙකකට පසුව ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා.
හැරීට මේගන් මුණ ගැසෙන්නේ දකුණු අප්‍රිකාවෙදී. එහිදී දැන හඳුනා ගන්නා ඔවුන් ප්‍රේමයෙන් බැඳෙනවා. ඉන්පසු ඔවුන් බොහෝ තැන් වල සංචාරය කරනවා. ඔය අතරේ තමයි රජ පවුල ගැන නිරන්තර අවධානෙන් ඉන්න පැපරාසීන්ට ඔවුන් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉන් පසු ඔවුන්ගේ සම්භන්දය ලොවම සහ රජ පවුලේ සාමාජිකයින් දැනගන්නවා.
පුදුමය කියන්නේ ,හැරීට වඩා අවුරුදු තුනක් පමන වැඩිමහල් දික්කසාද වූ අප්‍රිකාණු සම්භවයක් තියන කතෝලික මේගන්ව විවාහ කරගන්න හැරීට එලිසබෙත් රැජිනගෙන් කැමැත්ත ලැබෙනවා. ඔවුන්ගේ විවාහ උත්සවය ලබන වසරේ මහ ඉහළින් පවත්වන්න දින නියම කරගෙන.
මෙගන් , එංගලන්තයේ රජ කිරුළට උරුමකම් කියන සාමාජිකයෙක් සමග විවාහ වෙන්න හීනෙන්වත් නොසිතන්න ඇති. ආදරයට ජාති ආගම් කුල භේද නෑ කියනවනේ. ගැහැණුන්ගේ පින කුණු මුල්ලේ කියනවානේ .මේගන් ගේ දෛවය ඇයව කුමරියක් එහෙම නැත්නම් ආදිපාදවරියක් කරා අරන් ගිහින්. ඇයට හිමිවෙන තානාන්තරය තවම තීරණය වී නැහැ.රජ කිරුලට උරුමකම් කියන්න හැරීට පෙර තව සාමාජිකයින් හතර දෙනෙක් ඉන්න නිසාත් තවත් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් නුදුරේදී එක්වන්න බලන් ඉන්න නිසාත් මේගන්ගේ වතගොත රැජින ට ලොකු ගැටළුවක් නොවෙන්න ඇති.
එංගලන්ත වැසියන් නම් මේගන්ව දැනටමත් "කළු කුමරිය" (Black princes) ලෙස හඳුන්වන්න පටන් අරන්.කොහොම උනත් රජ පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ, ඔවුන්ගේ ආදරය වෙනුවෙන් සහ රජ පවුලේ නීති රීති නිසා මේගන්ට වර්තමාන ඇගේ ජීවිතයේ බොහෝදේ කැපකරන්න සිදුවේවි. එංගලන්ත වැසියන්ට සොඳුරු මංගල්ලයක් දැකගන්න ලැබේවි. පැපරාසියොත් ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉඳීවි.