Thursday, September 26, 2019



ලෝරා ඉංගල්ස් වයිල්ඩර් රචිත Little House කතා මාලාව අපේ රටේ බාල වැඩිහිටි කාගෙත් සිත් ගත් පොත් පෙළක්. ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය එම පොත් පෙළ සිංහලට පරිවර්තනය කළා.
මම අද කියන්න යන්නේ, ලෝරා වයිල්ඩර් ගේ දුව රෝස් වයිල්ඩර්ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කරගෙන රොජර් ලී මැක් බ්‍රයිඩ් රචිත, චිත්‍රා අමරසේකර මහත්මිය සිංහලයට පරිවර්තනය කරන ලද පොත් පෙළ ගැන. මෙය පොත් අටකින් සමන්විතයි.
1. කඳු මුදුනේ සොඳුරු නිවස
Little House on Rocky Ridge
2. අස්වනු සමයේ පුරහඳ
Little farm in the Ozarks
3. ඇපල් සුවඳ මුසුවූ ගොවි බිම
In the land of the Big Red Apple
4. දොළ ඉවුරෙන් සිදාදියට
On the other side of the hill
5. තැනිතලා රෝස මල
Little town on the Ozaks
6. අරුණැල්ල
New Dawn on Rocky Ridge
7. නවෝදය
On the Bank of Bayou
8. නිවසින් බැහැර දෙවසරක්
Bachelor girl
කුඩා ගැහැණු දරුවෙක් වන රෝස් යුවතියක වන තුරුම ඇගේ ජීවිතයේ වූ සිදුවීම් ඇතුලත් මෙම පොත් පෙළ දරුවන්ට මෙන්ව වැඩිහිටියන්ටද කියවා රසවිඳිය හැකි පොත් පෙළක්. රෝස් සිය මාපියන් සහ ඔවුන්ගේ මිතුරු කුලී පවුල සමග වඩා යහපත් අනාගතයක් ලබා ගැනීමේ අරමුණෙන් ඩැකෝටාවේ සිට මිසූරියට පැමින රොකී රිජ් ගොවිපොළ මිලට ගෙන පදිංචි වූ පසු ඔවුන්ගේ ජීවිතය ගලාගෙන ගිය ආකාරය මෙම පොත් පෙළෙහි සටහන්වී තිබෙනවා.
මෙම පොත් ටික කියවන ගමන් මමත් රෝස් එක්ක රොකී රිජ් ගොවිපොළේ දහසකුත් එකක් වැඩ කරමින් තැනිතලාවේ දුවමින් පාසැලට, නගරයට යමින් ජීවත් උනා. ගැමි දැරියකවූ රෝස්ට නගරයේ පොහොසත් දැරියන්ට මෙන් ලස්සන ඇඳුම් සපත්තු තිබුනේ නෑ. සිය දෙමාපියන්ට ඒවාට වියදම් කළ නොහැකි නිසා ඇයට ඇතිවූ සිත් පීඩාවන් මමත් ඇයත් සමග වීඳ ගත්තා.
රෝස් බොහෝ දේවල් දරාගත්ත දිරිය දැරියක්. වර්තමානයේ දරුවන්ට කල නොහැකි බොහෝ අසීරු දේවල් කරමින් සිය මවට හා පියාට ගොවිපොළ දියුණු කරගන්නට ඇය බොහෝ වෙහෙසවී උදව් කරනවා.
2019 වන විට ඇමරිකාව අද පවතින තත්තවයත් රෝස් ගේ බාලවියේ, ඒ කියන්නේ 1900 දී ඇමරිකාව තිබූ තත්ත්වයත් සලකා බලනකොට දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියන අපි ගැන කණගාටුවක් නොදැනුනාම නෙමේ. සත්‍ය කතාවක් නිසා ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගේන්න මිනිස්සු පුදුමාකාර ලෙස වෙහෙසවී වැඩකර තිබුණු බව වැටහුනා.
අටවන පොතෙන් (නිවසෙන් බැහැර දෙවසරක්) චිත්‍රා අමරසේකර මහත්මිය පවසන ආකාරයට වර්ෂ 1886 දෙසැම්බර් පස්වෙනි දින උපත ලද රෝස් වයිල්ඩර් 1968 ඔක්තෝම්බර් තිස්වෙනිදා මෙළොවින් සමුගන්නවා.
රෝස් වයිල්ඩර් ගිලට් ලේන් නැමැත්තා සමග විවාහ වෙනවා. 1910 දී ඇය මවක් කරමින් ඉපදෙන පුංචි පුතා ලදරු වියේදීම මිය යනවා. 1918 දී සැමියාගෙන් දික්කසාද වන රෝස් නව කතා, කෙටි කතා, තීරු ලිපි ආදිය ලියමින් ලේඛන් කලාවට පිවිසෙනවා. ඇය බොහෝ රටවල් වල සංචාරය කරනවා. ඇයට 1965 දී හමුවන රොජර් ලී මැක් බ්‍රයිඩ් ට ඇගේ දේපළ මෙන්ම ඇගේ කතාව පොතක් ලෙසේ පළ කිරීමේ අයිතියද ලැබෙනවා.
කියවා නැති අය කියවලා බලන්න. ගොඩක් ලස්සන පොත් පෙළක් . සමයවර්ධන ප්‍රකාශනයක්.



1 comment: